Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිළිකා ඇති වීමට බලපාන හේතු හරියටම දැන ගනිමු

අවුරුදු ගනනාවක් තිස්සේ වැඩුණු විශාල ගසක වුනත් පිළිලයක් හැදුනොත් ඒ ගසේ අත්තක් අත්තක් පාසා කොළයක් කොළයක් පාසා පැතිරිලා ගිහින් මුළු ගසම විනාශ කරන්න උනත්  හැකියාවක් තියෙනවා. ඒ බව දැනගත්ත අපේ පැරණි මුතුන් මිත්තන් කළේ ඒ පිළිලය හැදුනු කොටස ගසෙන් කපලා ඉවත් කරන එක. පිළිකාවක් කියන්නෙත් හරියටම අන්න ඒ වගේ දෙයක් තමයි. මුලදීම දැනගත්තොත් බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්. එහෙම බැරිනම් පිළිකාව පැතිරිලා තියෙන කොටස ඇඟන් ඉවත් කරලා සුව කරන්න පුළුවන්. ඒත් හැම පිලිකාවක්ම එහෙම සුව කරන්නත් බැහැ.

අපිට හරි නැත්තම් අපේ නෑදෑයෙක්ට හරි අසල්වැසියෙක්ට හරි පිළිකාවක් හැදිලා කියලා දැනගත්තහම ජීවිතය පිළිබඳව තියෙන බලාපොරොත්තු අතහැරලා දාලා, කරන්න ඕන මොකක්ද?, යන්න ඕන කොහෙටද? කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. ඇත්තටම අපි ඒ වෙලාවට ගොඩක් අසරණ වෙනවා නේද? මම හිතනවා මට වගේම ඒ අත්දැකීම මේ ලිපිය කියවන ඔබටත් සමහරවිට ඇති කියලා. අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ පිළිකා ඇතිවෙන්න බලපාන හේතු පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

පිළිකාවක් කියලා කියන්නේ පාලනයක් නැතුව අසාමාන්‍ය විදිහට බෙදීමට ලක් වුන සෛල ගොනුවකට (Malignant cells). ඉස්සර කාලේ නම් පිළිකාවක් හැදුනොත් ඒ කෙනා ඊලඟට හිතන්නේ මරණය ගැන වුනත් දැන් එහෙම නැහැ. ඒ මොකද පිළිකා සුව කරන්න බෙහෙත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට හොයාගෙන තියෙනවා. පිළිකාවක් මූලික අවස්ථාවේදීම හඳුනා ගත්තොත් වෛද්‍ය විද්‍යාව භාවිතයෙන් බොහෝ දුරට සුව කරන්න පුළුවන්. පිළිකා හැදෙන්න හේතු ගොඩක් බලපානවා. ඒවා තමයි දුම්කොළ හා මත්පැන් භාවිතා කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතය, විවිධ ආහාර වර්ග භාවිතා කිරීම, රැකියාවේදී පිළිකාකාරක වලට සිරුර නිරාවරණය වීම, ජානමය සාධක, පාරිසරික සාධක, හෝමෝන ක්‍රියාකාරිත්වය, විවිධ ඖෂධ භාවිතය, පරපෝෂිත හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය, වෙනත් රෝගවල පසු කාලීන සංකුලතා, තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම හා වයස්ගත වීම කියන හේතු.

දුම්කොළ හා මත්පැන් භාවිතා කිරීම

මොන තරම් භයානක වුණත් වැඩි දෙනා තවමත් දුම්කොළ නිෂ්පාදන සහ මධ්‍යසාර පාවිච්චි කරනවා. රූපය : howstuffworks.com

මොන තරම් භයානක වුණත් වැඩි දෙනා තවමත් දුම්කොළ නිෂ්පාදන සහ මධ්‍යසාර පාවිච්චි කරනවා. රූපය : howstuffworks.com

පිළිකා හේතුකාරක අතරින් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ චර්යාත්මක හා සමාජීය සාධක වලට. දුම් පානයට තමයි ඒ අතරිනුත් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ. දුම්වැටි වල පිළිකාජනක 40කට වඩා වැඩි ගණනක් අඩංගු බව ඔබ පිළිගන්නවාද? දුම්වැටි වල අඩංගු හානිකරම රසායනික ද්‍රව්‍ය තමයි තාර(Tar) කියලා කියන්නේ.

දුම් පානය කරන අය ආකාර දෙකකට ඉන්නවා. ඒ තමයි සක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් ඇත්තටම දුම්වැටි පානය කරන අය හා අක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් දුම්පානය කරන අය ලඟ සිටීම නිසා පිළිකාජනක ශරීරගත වෙන අය. සක්‍රීය දුම්පානය කරන්නන්ට වඩා අක්‍රීය දුම්පානය කරන්නන්ගේ ශරීර තුළට පිලිකාජනක ඇතුල් වීමේ අවදානම පනස් ගුණයකින් විතර වැඩි බව ගොඩක් දෙනා නොදන්නා කරුණක්.

දුම්පානය කරන්නන් අතර පෙණහළු පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි උගුර ප්‍රදේශය ආශ්‍රිත පිළිකා, ගලනාලය, අග්න්‍යාශය, වකුගඩු, මුත්‍රාශය, හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා සෑදීමේ හැකියාවද දුම්පානය කරන්නන්ට තියෙනවා. දුම්පානයට අමතරව මත්පැන් පානය කරන අයට මේ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය තවත් වැඩියි.

බුලත් විට සැපීම නිසාත් විශේෂයෙන්ම මේ මුඛ පිළිකා ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. බුලත් එක්ක ගන්න පුවක්, දුම්කොළ, හුණු වගේ දේවල් වල පිලිකාජනක අඩංගු වෙනවා. මේ කරුණ ගැන නම් ශ්‍රී ලාංකික අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන නේද?

රසායනික ද්‍රව්‍ය භාවිතය

තවමත් වැඩි දෙනා වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බැස්ටෝස් ප්‍රබල පිළිකාකාරකයක්. රූපය : asbestos.vic.gov.au

තවමත් වැඩි දෙනා වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බැස්ටෝස් ප්‍රබල පිළිකාකාරකයක්. රූපය : asbestos.vic.gov.au

විවිධ රසායනික ද්‍රව්‍ය මගිනුත් පිළිකා ඇති වෙනවා කියලා විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා. ඇස්බැස්ටෝස් (Asbestos) හා පෙණහළු පිළිකා අතර තියෙන සම්බන්ධතාව උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. කාලයක් තිස්සේ ඇස්බැස්ටෝස් තහඩු වලින් වැටෙන කුඩු ශ්වසන මාර්ගය ඔස්සේ ශරීරගත විමේ ප්‍රථිපලයක් විදිහට තමයි මේ පෙණහළු පිළිකා ඇති වෙන්නේ. ඒ වගේම තමයි සමහර කෘමිනාශක වල තියෙන ආසනික් (Arsanic) කියන රසායනික ද්‍රව්‍ය පෙණහළු හා සමේ පිළිකා ඇති කරන්නත් රබර් හා සම් කර්මාන්ත වලදී භාවිතා කරන බෙන්සීන් (Benzene) රසායනික ද්‍රව්‍ය ලියුකීමියා වර්ග ඇති කරන්නත් දායක වෙනවා.

විවිධ ආහාර වර්ග භාවිතා කිරීම

ආහාර හා විවිධ රෝගාබාධ අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. පිළිකා ඇති වෙන්නත් විවිධ ආහාර හේතු වෙනවා.

පියයුරු පිළිකා හා මහබඩවැල ආශ්‍රිත පිළිකා ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු විදිහට අධික තෙල් සහිත ආහාර ගැනීම හා සත්ව මේද බහුලව අඩංගු වෙන ආහාර ගැනීම හඳුන්වන්න පුළුවන්. ආහාර කල් තියා ගන්න, වර්ණ ගන්වන්න හා රසකාරකයන් විදිහට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක විදිහට ක්‍රියා කරන බව හොයා ගෙන තියෙනවා.

අධික තෙල්, සීනි, වර්ණක සහ රසකාරක අඩංගු ආහාර පිළිකා ඇති කරන්න බෙහෙවින් දායක වෙනවා. රූපය : iran-daily.com

අධික තෙල්, සීනි, වර්ණක සහ රසකාරක අඩංගු ආහාර පිළිකා ඇති කරන්න බෙහෙවින් දායක වෙනවා. රූපය : iran-daily.com

විවිධ ආහාර වර්ග මත වැඩෙන ක්ෂුද්‍ර ජීවින් නිපදවන විෂ වර්ගද පිළිකාකාරක විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි පිළිකා ඇති වෙන්න විවිධ පෝෂණ ද්‍රව්‍ය වල ඌනතා ද බලපානවා. උදාහරණ විදිහට විටමින් A, C, E වගේ ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග හා සින්ක් (Zinc), සෙලිනියම් (Selenium) වගේ ඛනිජ ලවණ හඳුන්වන්න පුළුවන්.

එළවලු, පලතුරු හා පලාවර්ග අඩුවෙන් ආහාරයට ගන්න අයට මහාන්ත්‍ර පිළිකා සෑදීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා.

රැකියාවේදී පිළිකාකාරක වලට සිරුර නිරාවරණය වීම

සමහර රැකියාවල නිරත වෙන අයට යම් යම් පිළිකා වර්ග හැදීමේ ප්‍රවණතාවක් ඇති බව සොයාගෙන තියෙනවා. ඒ මොකද ඒ ඒ රැකියා ආශ්‍රිතව විවිධ රසායනික ද්‍රව්‍ය වලට සිරුර නිරාවරණය වෙන නිසා. උදාහරණ විදිහට කෘෂිකාර්මික කර්මාන්ත, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන, සායම් වර්ග (Dye) ආශ්‍රිත කර්මාන්ත, රබර්, සම්, වායු වර්ග ආශ්‍රිත කර්මාන්ත හඳුන්වන්න පුළුවන්.

විකිරණ ආශ්‍රිත රැකියාවල නිරත වෙන අයටත් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. එකට හේතුව තමයි විශේෂයෙන්ම දිර්ඝකාලීනව විකිරණ වලට සිරුර නිරාවරණය වීම. මෙමගින් සිරුරේ DNA වල වෙනස්කම් සිදු වෙලා පිළිකා හට ගන්නවා.

එක්ස් කිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වෙනවා. රූපය : funkidslive.com

එක්ස් කිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වෙනවා. රූපය : funkidslive.com

ජානමය සාධක

ගොඩක් අය හිතනවා තමන්ගේ ඥාතියෙකුට පිළිකාවක් හැදුනම ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියලා. ඒත් ගොඩක් පිළිකා සම්බන්ධව නම් එක ඇත්තක් නෙවෙයි මොකද ගොඩක් පිලිකා වර්ග පරම්පරාගත වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් සමහර පිළිකා නම් පරම්පරාවෙන් පරම්පරාවට යන්න වැඩි නැඹුරුතාවක් දක්වනවා. පියයුරු පිළිකා, මහාන්ත්‍ර පිළිකා, ඩිම්බකෝෂ පිළිකා මෙයට උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්.

සමහර ප්‍රවේණිගත (පරම්පරාවෙන් පරම්පරාවට යන) සාධක යමෙක් තුළ පිළිකා ඇති වීම වළක්වනවා. අනෙක් අතට එක් එක් ජානගත රෝග තියෙන අයට සමහර පිළිකා වර්ග සෑදීමේ ඉඩකඩ වැඩියි.

විවිධ ඖෂධ භාවිතය

පහසුවෙන් ඇඟ හදා ගන්න කියලා එන්නත් කර ගන්න ස්ටරොයිඩ් නිසා ඔබව පහසුවෙන්ම පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්. රූපය : broscience.com

පහසුවෙන් ඇඟ හදා ගන්න කියලා එන්නත් කර ගන්න ස්ටරොයිඩ් නිසා ඔබව පහසුවෙන්ම පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්. රූපය : broscience.com

ස්ටරොයිඩ් (Steroids) ඛණ්ඩයට අයිති සමහර ඖෂධ ගත්තම පිළිකා හැදෙන්න පුළුවන් වුනත් එහෙම වෙන්නේ කලාතුරකින්. විවිධ අවයව බද්ධ කලාට පස්සේ රෝගීන්ට ස්ටරෝයිඩ ඖෂධ දීර්ඝ කාලීනව දෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී රෝගියාගේ ප්‍රතිශක්තිය හීන වීම නිසා ඔවුන් විවිධ පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්.

සමහර පිළිකා වලට ප්‍රතිකාර විදිහට භාවිතා කරන පිළිකා නාශක නිසාත්, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න භාවිත කරන විකිරණ ප්‍රතිකර්ම නිසාත් කලාතුරකින් වෙනත් පිළිකා පවා ඇතිවෙනවා.

පරපෝෂිත හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය

බැක්ටිරියා, වෛරස හා විවිධ පරපෝෂිතයන්ට මිනිසා තුල පිළිකා ඇති කරන්න පුළුවන්. හෙපටයිටිස් (Hepatitis) B හා C ආසාදන තමයි අක්මාවේ පිළිකා ඇති කරන්නේ. එප්ස්ටයින් බාර් (Epstein Bar) කියන වෛරසය මගින් ලිම්ෆෝමාව (Lymphoma) හා නාසය පිටුපස ප්‍රදේශය ආශ්‍රිතව හට ගන්න පිළිකාද ඇති කරන බව හොයාගෙන තියෙනවා.

මානව පැපිලෝමා වෛරසය (Human Papilloma Virus) කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා, පුරුෂලිංගයේ පිළිකා හා ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව සමේ පිළිකා ඇති කරනවා. ඒ වගේම තමයි සිස්ටසොමයිසීස් (Schistosomiasis) කියන පරපෝෂිතයා මුත්‍රාශයේ පිළිකා ඇති කරන්න දායක වෙනවා.

වෙනත් රෝගවල පසු කාලීන සංකුලතා

පිළිකා හැදෙන්න බලපාන තවත් හේතුවක් තමයි වෙනත් රෝග වල පසු කාලින සංකුලතා.

ගැබ්ගෙල ප්‍රදේශයේ හට ගන්නා වෙනස්කම් කල්ගත වීමේදී පිළිකා බවට පත් වෙන්න පුළුවන්. ලිංගික ඉන්නන් හටගැනීම සඳහා හේතු වෙන මානව පැපිලෝම නමැති වෛරසය ගැබ්ගෙල පිළිකා සඳහාද හේතු වෙන බව හොයාගෙන තියෙනවා.

මුත්‍රාශයේ ගල් බොහෝ කාලයක් තිස්සේ පැවතීම නිසා මුත්‍රාශයේ පිළිකා හට ගන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි කැඩුණු දත් හා නියමාකාරව සවි නොවන කෘතීම දත් ඇඳි ආදිය නිසා මුඛයේ ශ්ලේෂ්මල පටලය හා දිව නිරන්තරයෙන් උද්දීපනයට ලක් වීම නිසා මුඛයේ හා දිවේ පිළිකා ඇති වෙන්න පුළුවන්.

ලංකාවේ අපි ගොඩ දෙනෙක්ට තියෙන ලෙඩක් තමයි ගැස්ට්‍රියිටීස් කියලා කියන්නේ. අපි මේ ගැස්ට්‍රියිටීස් ගැන වැඩිය හිතුවේ නැති වුනාට ගැස්ට්‍රියිටීස් නිසා ඇති වෙන අමශයික තුවාල කල් ගත වීමත් එක්ක පිළිකා බවට හැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම

තරබාරුකම පිළිකා වගේම වෙනත් රෝග බොහොමයකට හේතු වෙන සෞඛ්‍ය ගැටළුවක්. රූපය : techtimes.com

තරබාරුකම පිළිකා වගේම වෙනත් රෝග බොහොමයකට හේතු වෙන සෞඛ්‍ය ගැටළුවක්. රූපය : techtimes.com

තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම නිසා පියයුරු, ඩිම්බ කෝෂ, ගර්භාෂ,මහාන්ත්‍ර,තෛරොයිඩ් ග්‍රන්ථි, ගලනාල, අග්න්‍යාශ, වකුගඩු හා පිත්තාශ පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා.

අද කාලේ ගොඩක් දෙනා හුරු වෙලා තියෙන්නේ ඒකාකාර ජීවන රටාවකට. ඒත් ඒ ඒකාකාර ජීවන රටාවෙන් මිදිලා ක්‍රියාශීලි ජීවිතයකට හුරු වීම මගින් අපිට පිළිකා වලින් විතරක් නෙවෙයි ලෙඩ ගොඩකින් ආරක්ෂා වෙන්න පුළුවන්.

ඉස්සර කාලෙට වඩා අද වෙනකොට පිළිකා වලට ගොදුරු වෙන පිරිස එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. පිළිකා වලට ලොකු, පොඩි, දුප්පත්, පොහොසත්, හොඳ,නරක භේදයක් නැහැ. ඕනම වයසක ඕනම තරාතිරමක කෙනෙක්ට ඕනම වෙලාවක පිළිකා හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි පිළිකා හැදෙන්න බලපාන හේතු වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සහ කරමු. එතකොට අපිට හෙට දවසේදී පිළිකා මාරයා ලෝකයෙන්ම තුරන් කරන්න පුළුවන් වේවි.

Related Articles