Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආහාර වේලකින් පසුව නොකළ යුතු දේවල්

කාලය මඳකම සමඟ ගෙවෙන අවිවේකී ජීවන රටා ඇතුළේ අපි කරන සමහර දේවල් සිදු කරන්නේ හැකි තරම් කාලය ඉතුරු කර ගැනීමේ අරමුණෙන්. ප්‍රමාදයකින් තොරව රැකියා ස්ථානයට හෝ පාසලට හෝ සරසවියට යෑමේ අදහසින් බොහෝ දෙනෙක් කරන්නේ උදේ ආහාර වේල සමග ම උණු උණුවෙන් තේ කෝප්පයක් පානය කරලා කම්මැලිකම යන්නත් එක්ක සීතල වතුරෙන් නාලා, ප්‍රමාදයක් නැතුව වැඩට දුවන එක යි. බැලූ බැල්මට ම ඉතා අහිංසක සිද්ධි දාමයක් වගේ පෙනුනත් මේ මගින් අපේ සිරුරට සිදුවන හානිය නම් බොහොම වැඩි යි.

ඒ නිසා ම අපි හිතුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ආහාර වේලකින් පසුව නොකළ යුතු දේවල් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නට.

ස්නානය කිරීම

නිරන්තරයෙන් ම තම සිරුර පිරිසිදුව තබා ගැනීම ඉතාමත් හොඳ දෙයක් වුණත් සිරුර පිරිසිදු කිරීමේ කාර්යය සඳහා තෝරා නොගත යුතු කාල සීමාවක් තමයි ආහාර වේලකින් පසු ගත වෙන මිනිත්තු 30 – 45 දක්වා වන කාල සීමාව. එයට හේතුව ආහාර වේලකින් පසුව ස්නානය කිරීමෙන් ආහාර ජීරණ ක්‍රියාවලිය අක්‍රමවත් කිරීම යි.

(scalza.com.gt)

ආහාර නිසි ලෙස ජීරණය වීම සඳහා සැලකිය යුතු මට්ටමේ ශක්ති ප්‍රමාණයක් වුවමනා වන අතර ම ඒ සඳහා ආමාශයට ප්‍රමාණවත් තරම් රුධිර සංසරණයක් ද පැවතිය යුතු යි. සාමාන්‍යයෙන් ස්නානය කිරීමෙන් පසු සිරුරේ උෂ්ණත්වය තරමක් පහළ යනවා. එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමට ද මනා රුධිර සැපයුමක් අවැසි යි.

එවිට සිදු වන්නේ ආහාර ජීරණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම සහ පරිවෘත්තීය කටයුතුවල වේගය අඩාල වීම යි. මේ නිසා ආහාර වේලකට පෙර ස්නානය කිරීම සහ සැහැල්ලු ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසු වෙනවා.

තේ පානය කිරීම

(yesvegetarian.com)

ආහාර වේලකට පසුව තේ (හෝ කෝපි) පානය කිරීම ද එතරම් සෞඛ්‍යමත් පුරුද්දක් නෙමෙයි. එයට හේතුව තේ කොළවල අඩංගු වන අම්ල මගින් ජීරණ ක්‍රියාවලිය සඳහා බලපෑම් එල්ල කිරීම යි. තේ මගින් ආහාරවල අඩංගු ප්‍රේටීන් සංඝටක දැඩි කිරීම මගින් ඒවා ජීරණය වීම අපහසු කරනවා පමණක් නොව යකඩ සිරුරට උරා ගැනීමටත් බාධා සිදු කරනවා.

මේ නිසා ආහාර වේලක් අවසානයේ තේ කෝප්පයක් රස විඳීමට නම් ඒ සඳහා පැයක පමණ කාලයක් ඉවසා සිටීම නුවණට හුරු යි. එසේ ම ආහාර වේලකින් පසුව තේ පානය කිරීමෙන් වැළකීමට කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ යකඩ ඌණතාවයෙන් පෙළෙන පුද්ගලයන් විශේෂයෙන් ම වග බලා ගත යුතු යි.

නින්දට යාම

(hesca.org)

රසවත් ආහාර වේලකින් පස්සේ නිදිමතක් දැනෙන එක හැමෝට ම පොදු දෙයක් වුණත් සුවදායක සිරුරක් ලබා ගන්නට නම් ඒ සඳහා අඩු තරමේ පැය දෙකක කාලයක්වත් ඉවසිය යුතු යි. ආහාර වේලකින් පසුව තිරස් ඉරියව්වක සිටීම ආහාර ජීරණ ක්‍රියාවලිය ප්‍රමාද කරන අතර ම බඩ පුරවා දැමීමට මෙන් ම පපුවේ වේදනාවන් ඇති කිරීමට ද හේතු වෙනවා.

මේ නිසා ආහාර වේලකින් පසුව කෙටි දුරක් සෙමින් ඇවිදීම හෝ ආහාර බඳුන් පිරිසිදු කිරීම වැනි සරල ක්‍රියාවන් හි නිරත වීම මගින් නිදිමත නැති කර ගැනීම පමණක් නොව නිදා ගැනීම නිසා ඇති විය හැකි හෘද රෝග අවදානම ද අඩු කර ගත හැකි යි.

ව්‍යායාම කිරීම

(sayidy.net)

නීරෝගි සිරුරක් පවත්වාගෙන යාම සඳහා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසු ම අවස්ථාව එළැඹෙන්නේ ආහාර වේලක් අවසානයේ නම් නෙමෙයි. ආහාර වේලක් අවසානයේ ව්‍යායාම් කිරීම නිසා ආමාශයේ වේදනාවන් සහ කෙණ්ඩා පෙරළීම් ඇති වීමට හේතු වෙනවා. මේ නිසා ව්‍යායාම් කිරීම පැය දෙකක පමණ කාලයකින්වත් කල් දැමිය යුතු යි.

එසේ ම රාත්‍රී ආහාරයෙන් පසුව ව්‍යායාම් සිදු කිරීම මෙලටෝනින් (නින්ද ක්‍රමවත් කිරීමට උපකාරී වන හෝමෝනයක්) නිකුත් කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවනවා. එහි ප්‍රතිඵලය වන්නේ රාත්‍රියේ නින්ද යාමේ හැකියාව අඩපණ වීම යි.

දුම් පානය කිරීම

(huffingtonpost.com)

දුම් පානය කිරීම කොහොමත් සිරුරට හිතකර පුරුද්දක් නෙමෙයි. එවැනි තත්ත්වයක් යටතේ ආහාර වේලක් අවසානයේ දුම් පානය කිරීම සිරුරට ඉතාමත් අනර්ථදායක යි. මේ නිසා දුම් පානයට ඇබ්බැහි වූ අයෙක් වුවත් ආහාර වේලක් රස විඳීමෙන් පසු ව දුම් පානය කරන්න අවශ්‍ය නම් ඒ නිසා මිනිත්තු 20 ක්වත් ඉවසා සිටීම නුවණට හුරු යි.

ආහාර ජීරණ ක්‍රියාවලිය සඳහා සිරුරේ ඇති පද්ධතීන් සියල්ලක් ම පාහේ දායක වෙනවා. එවැනි විටෙක දී නිකොටින් මුසු වූ වාතය ආඝ්‍රාණ කිරීමෙන් සිදු වන්නේ ශ්වසන පද්ධතියේ කාර්යයන් දෙගුණකින් ඉහළ යාම යි. එවිට අවැසි වන ශක්ති ප්‍රමාණය ද ඉහළ යනවා. මීට අමතර ව ආහාරවල ඇති විටමින් සහ ඛනිජ (විශේෂයෙන් ම විටමින් සී, ඩී සහ කැල්සියම්) උරා ගැනීම සඳහා දුම්කොළවලට හැකියාවක් පවතිනවා. ඒ නිසා ආහාර වේලක් අවසානයේ දුම් පානය කිරීමෙන් සිදු වන්නේ ඉතාමත් සෞඛ්‍යදායක ආහාර වේලක් පවා නිකරුණේ අපතේ යාම යි.

පලතුරු ආහාරයට ගැනීම

(blog.lucilleroberts.com)

ආහාර වේලක් අවසානයේ අතුරුපස විදියට පලතුරු ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. නමුත් එය එතරම් හොඳ පුරුද්දක් නෙමෙයි. එයට හේතුව එවිට පලතුරු නිසි ලෙස ජීරණය නොවීම යි. ඒ නිසා ආහාර අනුභව කිරීමෙන් අඩු තරමේ පැයකට පමණ පසු ව පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු යි.

සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර අතරෙන් වැඩි ම වේගයකින් ජීරණය වන්නේ පලතුරු යි. කෙසෙල් සහ රට ඉඳි හැරුණු විට අනෙකුත් පලතුරු සෑම එකක් ම පාහේ ජීරණය වීම කුඩා අන්ත්‍රය කරා ගමන් කිරීමට ගත වන්නේ මිනිත්තු 20 ක් පමණ යි. මේ නිසා ආහාර වේලකින් පසුව පලතුරු ගැනීමෙන් ඒවා පමණ ඉක්මවා ජීරණය වීමට සහ ආමාශය තුළ දී ම නරක් වීම සිදු වෙනවා.

කවරයේ පින්තූරය: pinterest

මූලාශ්‍ර:

  1. brightside.me
  2. top10homeremedies.com
  3. healthxchange.sg
  4. thecrazyfacts.com
  5. buzznigeria.com

Related Articles