කලාව සහ ජීවන රටා

විනාඩි 4 ක කියවීමක්

හෘදයාබාධ ගැන ඔබ දැනුවත්ද?

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

වර්තමානයේදි අපි ගතකරන කාර්යබහුල සහ තරඟකාරී ජීවන රටාවත්, ශාරීරික යහපැවැත්ම සම්බන්ධව දක්වන අඩු සැලකිල්ලත් නිසා බොහොමයක් ලෙඩ රෝග අප කරා එන්නේ නොදැනුවත්මයි. ඒ විදියට අප වෙත එන, බෝ නොවෙන රෝග කාණ්ඩයට අයත් හෘදයාබාධ ගැනයි මේ ලිපියෙන් විස්තර වෙන්නේ.

හෘදයාබාධ එහෙමත් නැත්නම් heart attack ගැන අහල නැති කෙනෙක් නැති තරම්. හෘදයාබාධයක් ඇති වෙන්නෙ කොහොමද, හදිසි හෘදයාබාධයකදී කටයුතු කරන්නෙ කොහොමද කියන දේ සහ හෘදයාබාධ ඇති නොවෙන්නට වග බලාගන්නෙ කොහොමද කියන ප්‍රශ්න වලට මේ ලිපිය අවසානයේදි ඔබට පිළිතුරු ලැබේවි.

හෘදයාබාධයක් ඇති වෙන්නේ කොහොමද?

අපේ ශරීරයේ සෑම අවයවයකටම රුධිරය පොම්ප කිරීමේ කාර්යය සිදු කරනු ලබන්නේ හෘදය මඟින්. හෘදයට විඩාවක් නොමැතිව රිද්මයානුකූලව ස්පන්දනය වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නිරෝගී, වැඩිහිටියෙකුගේ හෘදය විනාඩියකට 72 වාරයක් පමණ ස්පන්දනය වෙනවා. මේ කාර්යය නිසි අයුරින් සිදු වීමට නම් හෘදයට නිරන්තර ඔක්සිජන් සහ පෝශක ද්‍රව්‍ය වල සැපයුමක් අවශ්‍ය වෙනවා.

හෘදයේ ඇති පේශි වලට අවශ්‍ය ඔක්සිජන් බහුල රුධිරය සපයනු ලබන්නේ කිරීටක ධමනි (coronary arteries) මඟින්. හෘදයාබාධයක් ඇති වෙන්න හේතුව තමයි, මෙන්න මේ කියන කිරීටක ධමනි වල සිදු වන අවහිරවීම් නිසා අවශ්‍ය තරමේ රුධිර සැපයුමක් හෘත් පේශි වලට නොලැබීම.

කිරීටක ධමනි වල අවහිරවීම සිදු වෙන්නේ රුධිර කැටිති නිසා. කොලෙස්ටරෝල් වගේ අඩු ඝණත්ව ලිපිඩ වර්ග කිරීටක ධමනි බිත්ති වල තැන්පත් වීම නිසා කිරීටක ධමනි වල අභ්‍යන්තර වට ප්‍රමාණය අඩු වෙනවා. එවිට මෙම කිරීටක ධමනි බිත්තිය රුධිර කැටියක් සිරවීම මඟින් අවහිර වීමට ඇති සම්භාවිතාවය ඉතාමත්ම ඉහලයි. එමඟින් හෘත් පේශි වල අඩාල වීම සිදු වෙනවා.  

කිරීටක ධමනි වල අභ්‍යන්තර වට ප්‍රමාණය අඩු වන ආකාරය. (theconversation.com)

හෘදයාබාධයක්ද? හෘත් අකර්මන්‍යවීමක්ද?

හෘත් අකර්මන්‍යවීමක් එහෙමත් නැත්නම් cardiac arrest කියල කියන්නේ වෙනස් සිද්ධියකටයි. මෙහිදී සම්පූර්ණයෙන්ම හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. මෙවන් තත්වයක් එක්වරම ඇතිවන අතර රෝගියාගේ නාඩි වැටීම සම්පූර්ණයෙන්ම නැති වී යාම සිදු වනවා. මෙවන් අවස්ථාවකදී සිහි මූර්ජා වූ රෝගියා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කෘත්‍රීම පපු තෙරපුම සහ කෘතීම ස්වසනය ලබා දීම සඳහා පුහුණුව ලත් අයෙකු සිටීනම් පපු තෙරපුම ලබා දීම මඟින් හෘදය නැවත ක්‍රියාත්මක කරවීමට උත්සාහ කිරිම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අනෙක් වැදගත්ම කාරණය තමයි රෝගියා හැකි ඉක්මනින්ම ළඟම ඇති රෝහලක් වෙත යොමු කරවීම.

නමුත් හෘදයාබාධයකදි එහෙමත් නැත්නම් heart attack එකකදී හෘදයේ ක්‍රියාකාරීත්වය එක්වරම අඩාල වීමක් සිදු වන්නේ නැහැ. රුධිරය නොලැබෙන පේශි කොටස මුලින්ම අඩාල වන අතර, නිසි ප්‍රතිකාරයක් නොලැබුණොත් සම්පූර්ණ හෘත් පේශියම මිය යාම සිදු වෙනවා.  එබැවින් නිසි ප්‍රතිකාර ලබා දීමක් සඳහා යොමු කළොත් හදිසි හෘදයාබාධයකට ලක් වූ අයෙක්ව ජීවිත හානියකින් තොරව ගලවා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

හෘද‍යාබාධයක් ඇති වූ බව හඳුනා ගන්නේ කොහොමද?

1) පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව

හෘදයාබාධයකදී පපු ප්‍රදේශය ආශ්‍රිතව ඉතාමත්ම දැඩි වේදනාවක් ඇතිවෙනවා. මෙය වම් අත දක්වා හෝ, පිට ප්‍රදේශය දක්වා හෝ, උදරය දක්වා පැතිර යාම සිදු විය හැකියි.

පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව. (qsota.com)

2) උදරයේ වේදනාව හා උදරය ආශ්‍රිතව ඇති වන අපහසුකාරී තත්ත්වයන්

බොහෝ දෙනෙක් අතින් සිදු වන වැරැද්දක් තමයි මෙම වේදනාව ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් සමඟ ඇති වන වේදනාවක් යැයි සිතා නොසලකා හැරීම. නමුත්, මෙහි සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් සමඟ මෙම වේදනාව ඇති වනවා නම් ඒ පිළිබඳව සැලකිළිමත් වීම වැදගත් වෙනවා.

3) වමනය

වමනය කිරීමට පෙර උදරයේ ඇති වන අපහසුකාරී තත්ත්වයට සමාන තත්ත්වයක් හෝ වමනය කිරීමක් සිදු විය හැකියි.

4) හුස්ම ගැනීමේ අපහසුතා

මෙහිදී ස්වසන මාර්ගයේ අවහිරතාවයක් ඇති ලෙසින් දැනෙන්නට පටන් ගන්නවා. ඔබ සාමාන්‍ය අවස්ථාවලදී ආස්වාස කරනු ලබන හුස්ම ප්‍රමාණයේ අඩු වීමක් ලෙස මෙය දැනෙන්නට පුළුවන්.

5) අධික ලෙස දහඩිය දැමීම

ඔබ බිය පත් වූ අවස්ථාවක දහඩිය දමන ආකාරයට, හෘදයාබාධයකදී ඇතැම්විට දහඩිය දැමීමක් ඇති වෙන්නට පුලුවන්.

හුස්ම ගැනීමේ අපහසුතා සහ අධික ලෙස දහඩිය දැමීම. (watchfit.com)

මෙම ලක්ෂණ පිළිබඳව දැනුවත්වීම සහ හොඳින් මතක තබාගැනීම ඔබට හෝ සමීපතමයෙකුට හෘදයාබාධයක් ඇතිවුනු අවස්ථාවකදී ක්‍රියා කිරීමේදී වැදගත් වෙනවා.

ඔබට හෘදයාබාධයක් ඇතිවෙන බවක් හැඟෙනවානම්,

1) කරමින් සිටින කාර්යය නවත්වන්න. දැනුවත්කරන්න.

ඔබට හෘදයාබාධයක් ඇති වෙමින් පවතින බව හැඟේනම් වහාම ඔබ කරමින් සිටින කාර්යය නවත්වන්න. ඔබ වාහනයක් පදවන අතරතුර නම් වාහනය මාර්ගයෙන් පසෙකට කර නවත්වන්න. වහාම අසල සිටින අයෙකුට ඔබට හෘදයාබාධයක් ඇතිවී ඇති බව දැනුම් දෙන්න. නැත්නම් ඔබේ සමීපතමයෙකුට ඒ බව දැනුම් දෙන්න. එවිට ඔවුන්ට පුලුවන් ඔබව ඉක්මනින්ම ළඟම ඇති රෝහලක් වෙත යොමු කරවීමට.

කවුරුන් හෝ දැනුවත් කරන්න. (rd.com)

2) ඇස්පිරින්.

ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශය ඇත්නම් සහ ඔබට සහායට කවුරුන් හෝ පැමිණෙන තුරු ඇස්පිරින් පෙත්තක් සැපීමට පුළුවන්. ගිලීමට වඩා සැපීමෙන් ඉක්මනින්ම මෙම ඖෂධය ශරීරයට අවශෝෂණය වෙනවා.

ඇස්පිරින්. (pakistankakhudahafiz.com)

3) බිය වෙන්නත්, කලබල කරන්නත් එපා.

බිය වීමකදී හෝ කලබල වීමකදී ශරීරයේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහල යනවා. එවිට හෘදය වේගයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මෙය හෘදයාබාධ තත්ත්වයකදී ඉතාමත් අහිතකර දෙයක්. එබැවින් සහාය ලැබෙන තුරු හැකිතාක් සන්සුන්ව, විවේකීව සිටින්න.

ඔබේ සමීපතමයෙකුට හෘදයාබාධයක් ඇති වී ඇත්නම්

1) හැකිතාක් රෝගියා සන්සුන්ව තබා ගන්න.

හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලක් වෙත ගෙනයන්න. හෘදයාබාධය ඇතිවී මුල් මිනිත්තු 10ත් 15ත් අතර රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සැලැස්වුවහොත් ජීවිතය බේරා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

2) රෝගියාට ඇවිදීමට හෝ වෙහෙස වීමට ඉඩ දෙන්න එපා

රෝගියා සන්සුන්ව තබා ගන්න. ඇවිදීමට හෝ වෙහෙස වීමට ඉඩ දෙන්න එපා. (youtube.com)

3) සිහි මූර්ජා වීමක් සිදු වී ඇත්නම් කෘත්‍රිම පපු තෙරපුම සහ කෘත්‍රීම ස්වසනය (CPR) ලබා දෙන්න. එබැවින් මේ සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා තිබීම ඕනෑම අවස්ථාවකදී වැදගත්වෙනවා.

කෘත්‍රිම පපු තෙරපුම සහ කෘත්‍රීම ස්වසනය (CPR). (youtube.com)

හෘදයාබාධයක් ඇති වීමේ අවධානම් සාධක මොනවාද?

1) වයස්ගත බව.

2) රුධිරයේ පවතින අධික කොලෙස්ටරෝල් හෝ ට්‍රයිග්ලිසරඩ් මට්ටම.

3) අධි රුධිර පීඩනය.

4) දියවැඩියාව.

5) අධික ස්ථූලතාවය.

6) අධික මානසික පීඩනය.

7) පරම්පරාගත සාධක.

නමුත් මේ කිසිම කාණ්ඩයකට අයත් නොවූවත් එක්වරම හෘදයාබාධයක් ඇති වෙන්නට පුළුවන්. හෘදයාබාධයක් එක්වරම නවත්තන්න බැහැ. නමුත් අවධානයෙන් කටයුතු කලොත් හෘදයාබාධයක් ඇති වෙන එක වලක්වගන්න පුළුවන්.

හෘදයාබාධයක් ඇති නොවීමට නම්,

1) ඔබේ රුධිර පීඩනය, රුධිර කොලෙස්ට්‍රරෝල් මට්ටම, රුධිරයේ සීනි මට්ටම පිළිබඳ සැලකිලිමත් වෙන්න.

ඔබ අධික රුධිර පීඩනයෙන් හෝ, අධික කොලෙස්ට්‍රරෝල් මට්ටමකින් හෝ සීනි මට්ටමකින් පෙලෙනවානම් නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානය යොමුකිරීම ඉතාමත් වැදගත්. හැකිතාක් ඒවා සම්මත අගයන් හි පවත්වාගැනීමට උත්සාහ කරන්න. ඔබේ වෛද්‍යවරයා විසින් ලබාදෙන ප්‍රතිකාර නිසි අන්දමින් නියමිත මාත්‍රාවට අනුව ලබා ගැනීමත් ඉතා වැදගත්. ඔබේ හිතුමනාපයට අනුව ඖෂධ පාවිච්චි කරන්න එපා.

නිරතුරුවම ඔබේ සෞඛ්‍ය පිළිබඳ අවධානයෙන් සිටින්න. (ratednaija.com)

2) සෑම විටම සතුටින් සිටීමට උත්සාහ කරන්න.

ඔබේ පවුලේ ප්‍රශ්න, රැකියාවේ ගැටළු ආදී නොයෙක් දේ නිසා ඔබ මානසික පීඩනයකින් සිටිනවා වෙන්නට පුළුවන්.එවන් ගැටළු ඇති වීම ස්වභාවිකයි. ඒ වගේම ගැටළු තාවකාලිකයි. එනිසා ඔබට හැකිතරමින් ඔබ ප්‍රිය කරන විනෝදාංශයක නිරත වීමෙන් හෝ ආගමික කටයුතු වලට නැඹුරු වීමෙන් හෝ වෙනත් අයුරකින් සතුටින් සිටීමට උත්සාහ කරන්න. එවිට ඔබේ මානසික පීඩනය යම් තරමකින් හෝ මඟහැරේවි.

3) කෘත්‍රීමව සකස් කළ ආහාර, මාංශමය ආහාර, මත්පැන්, දුම්වැටි භාවිතය අඩුකරන්න. පෝශ්‍යදායි, සමබල ආහාර වේලකට හුරු වෙන්න.

පෝශ්‍යදායි, සමබල ආහාර. (swimming.org)

4) දිනපතා කය වෙහෙස කරවන අන්දමේ ව්‍යායාමයක යෙදෙන්න.

ව්‍යායාම. (bestcatcher.com)

5) ඔබ පරම්පරාගත හෘද රෝග ඇතිවීමේ අවධානමකින් පෙලේ නම් නිරන්තරයෙන් ඔබේ කායික යහපැවැත්ම කෙරෙහි සැලකිළිමත් වෙන්න. උසට සරිලන බර පවත්වා ගැනීමට උත්සාහ ගන්න.

6) හෘදයාබාධයක් නිසා සිදුවන මරණ ගැන බැලුවම තේරුම් යන කාරණයක් තමයි, නිසි අවධානයකින් කටයුතු කලා නම් මේ ජීවිත හානිය වලක්වා ගන්න පුළුවන් නේද කියන දෙය.

ඒ නිසා හෘදයාබාධයක් වගේ හදිසි තත්ත්වයක්දී කටයුතු කරන්න ඕනි ආකාරය පිළිබඳ ඔබ දැනුවත්නම්, ප්‍රථමාධාර ශිල්ප ක්‍රම පිළිබඳව ඔබ දැනුවත්නම්, ඒ පිළිබඳ තවත් නොදන්නා අයෙක්ව දැනුවත් කරවීම කල හැකිනම් එය වටිනා සමාජ මෙහෙවරක් වෙනවා.

මෙම ලිපිය කියවීම මඟින් ඔබට හෘදයාබාධ ගැන පුංචි අවබෝධයක් ලැබෙන්න ඇතැයි අපි  හිතනවා. ඔබට යම් අවස්ථාවකදී ක්‍රියාත්මක වීමේදී, මෙහි අඩංගු එක් කරුණක් හෝ සිහියට නැඟුනොත්, ඒ තමයි මේ ලිපියේ අරමුණ..

මූලාශ්‍ර – webmd.com, mayoclinic.org

Cover photo credits –  nutritionreview.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්