ඉතිහාසය

විනාඩි 3 ක කියවීමක්

පුරාණ ග්‍රීක පරිගණකය : ඇන්ටිකෙතාරා

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ග්‍රීසියේ ඇතන්ස් නුවර ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ සංචාරයක් සඳහා යන අයෙක්ට සහස්‍ර දෙකකට වැඩි කාලයක් මුහුදු පතුලේ තැන්පත් ව තිබී සොයා ගන්නා ලද, හරිත පැහැ මුහුදු පාසිවලින් වැසුණු විරූපී වී ගිය පැතලි ලෝකඩ කැබලි ත්‍රිත්වයක් දැක ගැනීමට හැකි යි. දුරට පුස් බැඳුණු ගල් කැබැල්ලක් සේ පෙනුනත් ආසන්නයට ගිහින් උනන්දුවෙන් නිරීක්ෂණය කරන අයෙක් මේ අපූරු ප්‍රදර්ශන භාණ්ඩයෙන් විශ්මයට පත් වෙන බවට සැකයක් නැහැ. විඛාදනය නිසා නොපැහැදිලි වුණත් තවමත් මෙය තුළ ඔරලෝසුවේ ඇතුළත දැක ගැනීමට ලැබෙන ගියර මෙන් සියුම් ව සකසන ලද ත්‍රිකෝණාකාර දත් සහිත ගියර සහ කෝණමානයක් මෙන් අංශකවලට බෙදන ලද කවයක් දැක ගැනීමට ලැබෙනවා. වඩාත් පුදුම සහගත කරුණ වන්නේ මේ හා සමාන සංකීර්ණ බවකින් යුතු පුරාතන යුගයට අයත් වෙනත් වස්තුවක් තවමත් සොයාගෙන නොමැති වීම යි.

© David Lewis

ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ලෙස හඳුන්වන මේ අපූරු පුරාවස්තුව, ඈත අතීතයේ දී  තාරකා විද්‍යාව හා සබැඳි සිදුවීම් ගැන අනාවැකි පළ කරන්නට යොදාගෙන ඇති බව යි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. පුරාතන ග්‍රීක ජාතිකයන් විසින් ලොවට දායද කළ ලොව පළමු පරිගණකය ලෙස සැලකෙන ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ගැන තොරතුරු යි මේ.

ගැඹුරු මුහුදේ සුපිරි පරිගණකයක්

මුහුදු කුණාටුවකින් ආරක්ෂා වීම සඳහා ග්‍රීසියට දකුණු දෙසින් මධ්‍යධරණී මුහුදේ පිහිටි ඇන්ටිකෙතාරා නම් කූඩා දූපතට ගොඩ බට කිමිදුම්කරුවන් පිරිසකට අභිරහස් ගියර පෙට්ටයක් හමු වී තිබුණා. ඒ 1900 වර්ෂයේ දී යි. පසු ව මුහුදේ කිමිදී වැඩිදුර පරීක්ෂා කළ ඔවුන්ට පුරාතන නැවක සුන්බුන් හමු වූ අතර එහි ප්‍රතිඵලය වුණේ සහස්‍ර දෙකකට පමණ මුහුදුබත් වූ ඇන්ටිකෙතාරා නෞකා සුන්බන් කෙරෙහි පුරාවිද්‍යාඥයින්ගේ අවධානය යොමු වීම යි. ඔවුන් විශ්වාස කරන්නේ රෝමය සහ ඇනටෝලියාව (වත්මන් තුර්කිය) අතර මුහුදු ගමනක යෙදී සිටිය දී ඇන්ටිකෙතාරා නෞකාව මුහුදුබත් වන්නට ඇති බව යි.

© Aleksandr Zykov

ගවේෂකයන් තව දුරටත් සුන්බුන් පරීක්ෂා කර බැලීමේ දී ඔවුන්ට ප්‍රමාණයෙන් සපත්තු පෙට්ටියක් තරම් වන යන්ත්‍රයක් හමු වී තිබෙනවා. මුහුණත් කිහිපයකින් සමන්විත වූ එය සම්පූර්ණ කර තිබුණේ ලෝකඩ භාවිතා කර නිමවන ලද ගියර 30 ක් පමණ යොදාගෙන යි. මේ අභිරහස් වස්තුව කොටස් ගණනාවකට කැඩී ගොස් තිබුණත් පුරාවිද්‍යාඥයින්ට අතීතයේ දී එය භාවිතා කරන්නට ඇත්තේ කුමන කාර්යයක් සඳහා දැයි අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. පුරාතන ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් අත් දණ්ඩක් මගින් ක්‍රියාත්මක කළ හැකි ගියර පෙට්ටිය භාවිතා කර තිබුණේ අනාගතයේ ඕනෑම දිනයක දී සූර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් තාරකාවන් පිහිටන ආකාරය ගැන පූර්වේක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා යි.

(© Magnus Hagdorn) ඇන්ටිකෙතාරා යාන්ත්‍රණයේ ත්‍රිමාණ අනුරුවක්

වසර දෙදහසක අධික කාලයක් මුහුදු පතුලේ තැන්පත් ව තිබී විඛාදනය වුව ද නූතන තාක්ෂණයේ සහය ලබා ගනිමින් 2016 වර්ෂයේ දී පුරාණ ග්‍රීක පරිගණකයේ ත්‍රිමාණ අනුරුවක් නිර්මාණය කර ඇන්ටිකෙතාරා යාන්ත්‍රණයේ සටහන් කර තිබුණු වගන්ති කිහිපයක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙනවා. එම වැකි මගින් පෙන්වා දී ඇත්තේ ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය භාවිතා කිරීම සඳහා අවැසි වන උපදෙස් මාලාවක් බවයි ‘Almagest’ නම් විද්‍යා සංග්‍රහය ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් ලෙස මෙසේ අනාවරණය කර ගත් නව තොරතුරු අතර ගියර පෙට්ටියේ ඉදිරිපස දක්වා ඇති විවිධාකාර තරු රටාවන් ඔස්සේ ග්‍රහලෝක ගමන් කර ආකාරය දැක්වෙන රාශි චක්‍රයක් ඇති බව පැවසෙනවා.

ඔරලෝසුවක් හා සම ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය

පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයක ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ප්‍රමාණයෙන් මේසයක් මත තැබිය හැකි පැරණි පන්නයේ ඔරලෝසුවකට සමාන වෙනවා. සුන්බුන් අතරින් හමු වූ දැව කොටස් පෙන්නුම් කරන්නේ එය දැව ආවරණයක් තුළ තැන්පත් කර තිබෙන්නට ඇති බව යි. ඔරලෝසුවක් මෙන් ම දැව ආවරණය ඉදිරිපස වෘත්තාකාර මුහුණතක් සහ කරකැවෙන කටු තිබෙන්නට ඇති බව ද පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා. එසේ ම ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය ඉදිරියට සහ පිටුපසට කරකැවීම සඳහා එහි එක් පසෙක අල්ලුවක් සවි කර තිබෙන්නට ඇති අතර එය කරකැවීමේ දී එකිනෙක හා සම්බන්ධ ව පැවති දැති රෝද හතක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට වෙනස් වේගයන්ගෙන් අදාළ දැතිරෝද පෙළ ධාවනය කර තිබෙනවා.

© Hype Science

ඔරලෝසුවක මෙන් නොව ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය සතුව කටු හතක් තිබී ඇති අතර ඒවා සූර්යයා, චන්ද්‍රයා සහ පියවි ඇසට දැක ගත හැකි බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් වෙත යොමු වී තිබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඒ මගින් සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇති විය හැකි වේලාවන් නිවැරදි ව සොයාගත හැකි වන්නට ඇති බව යි.

සූර්යග්‍රහණ ගැන අනාවැකි කියූ ඇන්ටිකෙතාරා

2014 වර්ෂයේ දී විද්‍යඥයින් ප්‍රකාශ කළේ ඇන්ටිකෙතාරා යාන්ත්‍රණයට සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇති වන දිනයක් පමණක් නොව අදාළ ග්‍රහණය ඇති වන අවස්ථාවේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම සහ ඔවුන්ගේ කෝණික විෂ්කම්භය වැනි සූර්ය/චන්ද්‍ර ග්‍රහණයට අදාළ වෙනත් තොරතුරු ද අනාවරණය කිරීමේ හැකියාව පවතින්නට ඇති බව යි.

(© Wikimedia Commons) ඇන්ටිකෙතාරා සුන්බුන්

නමුත් ග්‍රීක ජාතිකයන් විසින් සූර්යග්‍රහණ පූර්වේක්ෂණය කළ හැකි පරිගණකයන් නිෂ්පාදනය කළේ ඇයි දැයි යන්නට තවමත් පිළිතුරු ලැබී නැහැ. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ පුරාතන ග්‍රීක ජාතිකයන් සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ අනාගත වැදගත් සිදුවීමක පෙරනිමිත්තක් ලෙස විශ්වාස කිරීම මෙවැනි පරිගණකයක් නිෂ්පාදනය කිරීමට අඩිතාලමක් සකසන්නට ඇති බව යි.

කවරයේ පින්තූරය : (© Nikon Metrology Blog)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්