Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණයේ දොරටුව: හිට්ලර්ගේ අවුස්විට්ස් වධකාගාරයේ බිහිසුණු මතක සටහන්

අවුස්විට්ස් වධකාගාරයේ ආරම්භය

හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් දෙවන ලෝක යුද සමය ගිනියම් කරමින් දකුණු පෝලන්තයෙහි ස්ථාපිත කරන ලද අවුස්විට්ස් වධකාගාරය, ප්‍රධාන කඳවුරු තුනක් සහ උප කඳවුරු 45ක් දක්වා වර්ධනය කරන ලද මාරක සිහිවටනයකි. “යුරෝපයේ යුදෙව් ප්‍රශ්නයට අවසාන විසඳුම” ලෙසින් මෙම වධකාගාරය හඳුන්වා දෙන ලදී. මෙම වධකාගාරය තුළ 90%ක් පමණ වධ හිංසනයට ලක් වූයේ යුදෙව්වන් වන අතර ඉතිරිය පෝලන්ත, ජර්මානු සහ ජිප්සි සිරකරුවන් විය. 1945 ජනවාරි 27 වන දින සෝවියට් රුසියාව විසින් මෙම වධකාගාරය නාසීන්ගෙන් මුදවාගන්නා ලදී.

අවුස්විට්ස් වධකාගාරය (thousandwonders.net)

ආරම්භයට හේතු

යුදෙව්වන් වූ කලී රාජ්‍යයක් හිමි නොවූ ජාතියකි. යුදෙව්වන් බුද්ධි මට්ටමෙන් ඉහළ ජන කොටසක් වූ අතර විශේෂයෙන්ම නොබෙල් ත්‍යාගලාභීන් අතර යුදෙව් ජාතිකයන් ඉදිරියෙන් සිටිය හ. යුදෙව්වන්ගේ පැවැත්ම, පිරිසිදු ආර්යයන් වන තමන්ට තර්ජනයක් බව නාසි ජර්මනිය විශ්වාස කළේ ය. නාසි පාලක හිට්ලර්ට අවැසි වූයේ යුදෙව්වන්ගෙන් තොර නාසි ජර්මනියක් නිර්මාණය කිරීමට ය. මේ අනුව අවුස්විට්ස් වධකාගාරය ඉදි කිරීමට හේතු වූයේ, යුදෙව්වන් සමූල ඝාතනය කිරීමෙන් ඔවුන්ව මිහිපිටින් අතු ගා දැමීමට ආඥාදායක හිට්ලර් තුළ පැවති බලවත් අභිලාෂය යි.

ආඥාදායක, නාසි පාලක හිට්ලර් (Alamy)

වධකාගාරයේ සැලැස්ම සහ ක්‍රියාත්මක කරන ලද වධහිංසාවන්

වර්ෂ 1940 අප්‍රේල් මස, එස්. එස්. හමුදා ප්‍රධානී හෙන්රිච් හිම්ලර්ගේ නියෝගයකට අනුව ජර්මනියේ විශාලතම වධකාගාරය වූ අවුස්විට්ස් වධකාගාරය ඉදිකරන ලදි. දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් පෝලන්තයෙන් ඈඳාගත් කොටසක් වන දකුණු පෝලන්තයේ ප්‍රදේශයක් (Oświęcim) තුළ ඉදි කෙරුණු මෙය, යුදෙව්වන්ගේ මරණයේ පියස්ස බවට පත් විය. ප්‍රධාන කඳවුරු තුනෙන් පළමු කඳවුර සිරකරුවන් රඳවා තබා ගැනීමට භාවිත කළ අතර දෙවන කඳවුර යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සඳහා ද තෙවන කඳවුර සිරකරුවන්ගෙන් බලහත්කාර ශ්‍රමය ලබා ගැනීමට ද යොදා ගන්නා ලදී.

අවුස්විට්ස් වධකාගාරයේ මුරවැටකි. (Time Travel Turtle)

අවුස්විට්ස් I සහ II යන වධකාගාරයන් වටා විදුලිය කවන ලද මීටර් හතරක් උසැති කටු කම්බි වැටක් ඉදි කර තිබුණි. ඒ වටා නිරන්තරයෙන් මැෂින් තුවක්කු සහ රයිෆල් අතැතිව මුරට සිටින ජර්මානු එස්. එස්. හමුදා නිලධාරීන් දැක ගත හැකි විය. කඳවුරු ද්විත්වය පිහිටා තිබුණේ මුර වැටට සැතපුම් තුනෙන් දෙකක් පමණ ඔබ්බෙනි. එකී දුර ප්‍රමාණය තුළ මුර කපොලු මාලාවක් පිහිටා තිබුණේ වධකාගාරයෙන් මැස්සෙකුට හෝ රිංගා යාමට නොහැකි බව තවදුරටත් තහවුරු කරමිනි. මේ තරම් දැඩි මුරකාවල් මධ්‍යයේ පිහිටා තිබුණු අවුස්විට්ස් වධකාගාරයට වර්ෂ 1942 මාර්තු මස වන විට, වරකට යුදෙව්වන් දහසකට අධික ප්‍රමාණයක් එකගොඩට ගාල් කරන ලද මරණයේ දුම්රිය වාර කිහිපයක්, දිනපතා වාර්තා කරන ලදී. වර්ෂ 1942 වර්ෂය පුරාම පෝලන්තය, ස්ලෝවැකියාව, නෙදර්ලන්තය, බෙල්ජියම, සහ යුගෝස්ලෝවියාව වැනි රාජ්‍යයන් වෙතින් එසේ යුදෙව්වන් මරණයේ දොරටුව කරා ප්‍රවාහනය කරන ලදී.

අවුස්විට්ස් වෙත රැඳවියන් ගෙන ආ දුම්රිය මග (WWII Today)

දුම්රියෙන් ගොඩ බැස් වූ විගස වැඩ කළ හැකි පුද්ගලයන් එක ගොඩකටත්, වැඩ කළ නොහැකි තැනැත්තන් වන කුඩා දරුවන්, මව්වරුන්, රෝගී පුද්ගලයන් සහ මහලු පුද්ගලයන් තවත් ගොඩකටත් වෙන් කරන ලදී. මින් පළමු කාණ්ඩයේ සිරකරුවන්ගේ හිස් මුඩු කර, ඔවුනට බන්ධනාගාර ඇඳුම් අන්දා, වම් අතෙහි ලියාපදිංචි අංකයක් හංවඩු ගසා ඉන් අනතුරුව මොනොවිට්ස් ප්‍රදේශයේ පිහිටා තිබූ අවුස්විට්ස් III වධකාගාරය තුළ හෝ අවුස්විට්ස් I වධකාගාරය තුළ ගාල් කර ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගන්නා ලදී. වැඩ කළ නොහැකි මට්ටමේ පුද්ගලයන්ගේ අවසන් සුසුම් අනුකම්පා විරහිතව ගෑස් කුටීර තුළ පැතිරි විෂ වාතලයට මුසු කෙරිණි. කොටසක් මෙසේ මරා දමන කල්හි තවත් කොටසක් කඳවුර තුළ වූ අධික තදබදය හේතුවෙන් හටගත් සාගතයත්, ලෙඩ රෝගත් හේතුවෙන් මරණයට පත් විය.

කාන්තාවන් සහ දරුවන් නිරුවතින් ඝාතනය කිරීම සඳහා රැගෙන යන ආකාරය (The Spiritual Pilgrim)

අවුස්විට්ස් වධකාගාරය II හෙවත් බර්කීනු (Birkenau) වධකාගාරය තුළ ගෑස් කාමර සහ ආදාහනාගාර ඉදි කර තිබූ අතර දිනකට විසි දහසකට අධික ප්‍රමාණයක් යුදෙව්වන් මේවා තුළ දී නාසීන් අතින් ඝාතනයට ලක් විය. විනාඩි පහළොවක් හෝ විස්සක් තුළ තම හුස්ම පොද නාසීන් විසින් ඩැහැ ගන්නා බව දනිමින්ද නොදනිමින් ද, ඇඳ සිටි ඇඳුම් උනා දමා ගෑස් කාමර තුළට පෝළිමට ගමන් කිරීමට මරණයේ නිහැඬියාව විසින් අසරණ යුදෙව්වන්ට බල කරන ලදී. පහසුකම් සහිත කඳවුරු තුළ ඔවුන්ව ගාල් කරන බවත්, ඊට ප්‍රථම නහා පිරිසිඳු වන ලෙසත් රැවටීමට ලක් කොට මුලදී ඔවුන්ව මෙසේ ගෑස් කාමර තුළට යවන ලදැයි පැවසේ.

අවුස්විට්ස් වධකාගාරයේ ගෑස් කාමර (www.history.com)

බලහත්කාර ශ්‍රමය ලබා ගැනීම සඳහා රඳවා ගත් සිරකරුවන්ගේ කඳවුරු චර්යාව තුළ ඔවුනට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබුණි. පාන්දර අවදි වීම, පිරිසිඳු කිරීම් සිදු කිරීම, උදෑසන රෝල කියවීම, වැඩ කිරීම සඳහා කැඳවාගෙන යාම, පැය ගණන් අධිකව වැඩ ගැනීම, ඉතා කුඩා ආහාර වේලක් සඳහා පැය ගණන් පෙළ ගැසී බලා සිටීමට සිදු වීම, නැවත කඳවුරට පැමිණීම, මැදිරි පරීක්ෂාව සහ සවස රෝල කියවීම දෛනික කාලසටහනක් අනුව සිදු විය. සිරකරුවන්ට ලබා දී තිබුණේ කටුක කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු නොදෙන අන්දමේ ඉතා තුනී ඇඳුම් විය. රෝල කියවීම සිදු කරන කාලය අතරතුර පැය ගණන් නොසෙල් වී, සිය අවසාන ජීවය දක්වා සටන් කිරීමට රැඳවියන්ට සිදු වූ අතර යම් හෙයකින් රැඳවියෙක් බිම වැටුණහොත් හෝ යම් පැකිලීමක් පෙන්නුම් කළහොත් එම අවස්ථාවේදීම අදාළ රැඳවියාව මරා දමන ලදී.

වධකාගාරයේ ගොදුරු

හිට්ලර්ට අවශ්‍ය වූයේ ජර්මන් ජාතිය වර්ධනය කිරීමට ය. ඔහු යුදෙව් නිවුන් දරුවන් ඇසුරෙන්, නිවුන් දරුවන් බිහි වන ආකාරය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට යුදෙව් වෛද්‍යවරුන් පවා යොදා ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ තම ජර්මන් ජාතිකයන් පිරිසිදු ආර්යයන් බව පවසමින් තම ජාතිය වඩ වඩා ව්‍යාප්ත කිරීමට නිවුන් දරුවන් බිහි කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමය. මෙසේ තමාට දායක කරගත හැකි යුදෙව් බුද්ධිමතුන් පමණක් අදාළ කාර්යයන් අවසන් වන තෙක් රඳවා තබාගත් අතර සෙසු යුදෙව් රැඳවියන් සියල්ලන්ටම නාසි වධකාගාර තුළ දී මරණයේ ඉරණම වැළඳ ගැනීමට සිදුවිය. අවුස්විට්ස් වධකාගාරයෙන් පලා ආ කිහිප දෙනෙකු පිළිබඳව ද ඒ අතර වාර්තා වේ.

අවුස්විට්ස් වධකාගාරය සෝවියට් ග්‍රහණයට නතු වීම

අවුස්විට්ස් වධකාගාරය සෝවියට් සේනාංක විසින් මුදාගත් පසු, ඉතිරි රැඳවියන් ඉන් පිටව යන ආකාරය (Daily Mail)

වර්ෂ 1945 ජනවාරි මස වන විට සෝවියට් සෙබලුන් අවුස්විට්ස් වධකාරයට සේන්දු වෙමින් සිටිය හ. ඉන් පසුබෑමට සූදානම් නොවූ ජර්මානුවන්, ඒ වන විට තම භාරයේ ඉතිරිව සිටි යුදෙව් රැඳවියන් පනස් අටදහසක් පමණ, මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් ඔවුන්ව ජර්මනිය දෙසට මරණයේ පා ගමනක නිරත කරවන ලදී. මෙම පා ගමනේ දී බොහෝ රැඳවියන් මරණයට පත් වූහ. වර්ෂ 1945 ජනවාරි 27 වන දින සෝවියට් හමුදාව විසින් අවුස්විට්ස් වධකාගාරය අත්පත් කර ගන්නා විට එහි ජීවමානව සිටීමට තරම් වාසනාවන්ත වූයේ යුදෙව් රැඳවියන් 7650ක් පමණ අතළොස්සකි. ඒ වන විටත් යුදෙව්වන් මිලියන 1.1කට අධික සංඛ්‍යාවක් අවුස්විට්ස් වධකාගාරය තුළ මිහිදන් වී සිටියහ. යුදෙව්වන් මරා දැමීමට බල කරන ලදුව මානසිකව කම්පනයට ලක් වී සිටි නාසි හමුදා නිලධාරීන් දහස් ගණනකට පසුකාලීනව වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.

නාසි වධකාගාරයන් තුළ සිදු වූ හිංසනයන් පිළිබඳ යෙදුණු පසුකථනයකදී නාසි සොල්දාදුවන් විසින් ප්‍රතිචාර දැක් වූ ආකාරය (Rare Historical Photos)

අවුස්විට්ස් වධකාගාරය කෞතුකාගායක් බවට පත්වීම

මිලියනයකට අධික යුදෙව්වන්ගේ ලෙයින් පෙඟී ගිය අවුස්විට්ස් වධකාගාර භූමිය අද වන විට මරණයේ කෞතුකාගාරයක් බවට පත් වී තමන් විසින් ගිලගත් ජීවිත ස්මරණය කරමින් නිසොල්මනේ බලා සිටී.

අවුස්විට්ස් කෞතුකාගාරය (New York Observer)

කවරයේ පින්තූරය – අවුස්විට්ස් වධකාගාරය (ISurvived.org)

මූලාශ්‍ර

Related Articles