ඉතිහාසය

විනාඩි 4 ක කියවීමක්

සිංහල බස රකින හෙළ හවුල

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

නූතන යුගයේ දී සිංහල බසට ඉහළ ම මෙහෙයක් කළේ කුමාරතුංග මුනිදාසයන් බව අවිවාදාත්මක යි. 1940 දශකය ඇරඹෙන විට ඉංග්‍රීසි යටත් විජිතයක් ව පැවති ශ්‍රී ලංකාවේ සෑම පාසලක ම පාහේ ඉංග්‍රීසි මාධ්‍යයට වැඩි අවධානයක් යොමු වී තිබුණු අතර ක්‍රමයෙන් සිංහල භාෂාව යටපත් වෙමින් තිබුණා. මේ හේතුවෙන් නිවැරදි සිංහල භාෂා ව්‍යවහාරය ආරක්ෂා කර ගැනීම සඳහා බලවත් අවශ්‍යතාවක් මතු වූ අතර එහි ප්‍රතිඵලය වුණේ 1939 ජූලි 10 වැනි දින කුමාරතුංග මුනිදාසයන් ‘සුබස’ සගනුව (සඟරාව) ආරම්භ කිරීමයි.

© හෙළ හවුල නිල ෆේස්බුක් පිටුව

කෙටි කලකින් ම සිංහල භාෂාවට ආදරය කරන්නන් අතර ජනප්‍රිය වූ ‘සුබස’ සඟරාවට හරවත් ලිපි සහ කවි නිර්මාණ යොමු කරන්නන්ගෙන් අඩුවක් පැවතුණේ නැහැ. මෙසේ තමන්ගේ භාෂා කුසලතා එළි දක්වමින් ‘සුබස’ සඟරාව සමග එක් වූ පාසල් ගුරුවරුන්, ලිපිකරුවන්, වෛද්‍යවරුන්, නොතාරිස්වරුන් වැනි උගතුන් හඳුන්වා ඇත්තේ ‘සුබැසියෝ’ යනුවෙන්. ‘සුබස’ සඟරාව නිසා බිහි වූ සුබැසියෝ පිරිසක් 1941 ජනවාරි 11 වැනි දින පානදුරේ පිහිටි කුමාරතුංග මුනිදාස නිවසේ දී එක් රැස් වුණා.

හෙළ හවුලේ ඇරඹුම

හෙළ හවුලේ නිර්මාතෘ කුමාරතුංග මුනිදාසයන් (© හෙළ හවුල නිල වෙබ් පිටුව)

අදින් වසර 76 කට පෙර ඒ ලෙසින් කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසට එක් රැස් වූ සුබැසියන්ට ජයන්ත වීරසේකරයන් ‘හෙළ හවුල’ නමින් නාමයක් ලබා දුන්නා. හෙළ බස, දෙස සහ රැස යන හෙළ තෙරුවන සුරක්ෂා කරමින් එය වඩා නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින එක ම සංවිධානය ලෙස ‘හෙළ හවුල’ බිහි වුණේ ඒ අයුරින්. මෙසේ පැවති පළමු ‘හෙළ හවුල’ රැස්වීම සඳහා පසු කාලීන ව හෙළ හවුලේ ප්‍රධාන තනතුරු හෙබ වූ අමරසිරි ගුණවඩු, අරිසෙන් අහුබුදු වැනි වියතුන් බොහෝ දෙනෙක් පැමිණි තිබෙනවා.

1941 ජනවාරි 11 වැනි දින පැවති සුබැසියන්ගේ මුල් රැස්වීමේ සභාපති අසුන හිමි වුණේ එවකට මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් දැරූ ඇන්ටන් පෙරේරා ජයමාන්න මහතාට යි. ඉන් පසු ව කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුලේ අරමුණු පැහැදිලි කිරීමෙන් පසු ව සියලු දෙනාගේ එකඟතාව මත එහි මුල් ම සකසුරුවන් (භාණ්ඩාගාරික) ලෙස එඩී පනඳු සහ අබරම් ගම්හේවා යන දෙදෙනා පත් වුණා. හෙළ හවුලේ සභාපති තනතුර හිමි වුණේ එය ආරම්භ කිරීමට මූලික වූ කුමාරතුංග මුනිදාසයන්ට යි. මෙසේ ස්ථාපනය කරන ලද හෙළ හවුලේ මුල් ම රැස්වීම 1941 පෙබරවාරි 15 වැනි දින පානදුරේ මහානාම විද්‍යාල භූමියේ පැවති බව සඳහන් වෙනවා.

1960 දශකයේ දී පැවති හෙළ හවුලේ රැස්වීමක්  (© හෙළ හවුල නිල වෙබ් පිටුව)

හෙළ තෙරුවන රකින හෙළ හවුල

සිංහල බස රැක ගැනීමේ අරමුණ ඇති ව අරඹන ලද හෙළ හවුල සෑම මසකට ම වරක් රැස් වූ අතර සිංහල භාෂාව ගැන දේශනා සහ සංවාද පවත්වමින් ඔවුන් නිවැරදි සිංහල භාෂාව මහජනතාවට පැහැදිලි කර දීමට කටයුතු කළා. කුමාරතුංග මුනිදාසයන්ගේ මෙහෙයවීමේ යටතේ මුල් කාලයේ දී පානදුරේ සහ කළුතර අවට ද ඉන් පසු ව මොරටුව වැනි නගරයන් හි ද, පසු ව කොළඹ ආන්නද විද්‍යාලය වැනි බෞද්ධ පාසල්වල දී ද හෙළ හවුලේ රැස්වීම් පවත්වා තිබෙනවා. එම රැස්වීම්වල දී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ නිවැරදි සිංහල ව්‍යාකාරණ නිති රීතී ගැන මහජනතාව දැනුවත් කිරීම සහ සිංහල බසින් නාට්‍ය සහ සංගීත වැඩසටහන් පැවැත්වීම සඳහා යි.

මෙසේ පවත්වන ලද රැස්වීම් සඳහා හෙළ හවුලේ සාමාජිකයන් මෙන් ම එසේ නොවන්නන් ද සහභාගී වුණා. මේ හේතුවෙන් ම කෙටි කලක් තුළ දී හෙළ හවුලේ ශාඛා කිහිපයක් ආරම්භ කර තිබෙනවා. නිරිත දිග හෙළ හවුල සහ මාතර හෙළ හවුල එසේ බිහි වූ මුල් කාලීන ශාඛා ද්විත්වයක්.

1941 දෙසැම්බර් 13 වැනි දින නිරිත දිග හෙළ හවුලේ ප්‍රථම රැස්වීම අම්බලන්ගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. සිංහල බස ඉදිරියට පැමිණීම වැළැක්වීමට මාන බැලූ ඉංග්‍රීසි ගැතියන්, කුමාරතුංග මුනිදාසයන් ව ජීවිතක්ෂයට පත් කිරීමට එදින මැරයන් එවා තිබුණ ද එම ප්‍රහාරයන් සාර්ථක ව මැඩ පවත්වා නිරිත දිග හෙළ හවුලේ රැස්වීම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට එතුමන් සමත් වූ බව කියැවෙනවා.

1960 දශකයේ දී කොළඹ ආන්නද විද්‍යාලය (© Associated Newspapers of Ceylon Limited)

1960 දශකය ආරම්භ වන විට සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ව රට පුරා පැතිරී ගොස් තිබුණු ප්‍රබලත ම බලවේගය වුණේ හෙළ හවුල යි. ඒ කාලය වන විට අහංගම, උණවටුන, රත්ගම, ගාල්ල, කළුතර සහ මහනුවර වැනි නගර ආශ්‍රිත ව පමණක් නොව ගාල්ලේ මහින්ද සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් වැනි පාසල්වල පවා හෙළ හවුලේ ශාඛා බිහි වී තිබුණා. ඒ බොහෝමයක් ශාඛාවන් හි මූලිකත්වය ගෙන ඇත්තේ පාසල් සහ සරසවි සිසු සිසුවියන්.

හෙළ හවුලට නායකත්වය දුන්නෝ

හෙළ හවුලේ ආරම්භකයා මෙන් ම ප්‍රථම සභාපති ලෙස ද කටයුතු කළ කුමාරතුංග මුනිදාසයන් 1944 මාර්තු 2 වැනි දින අභාවප්‍රාප්ත වීමෙන් පසු ව එහි සභාපති තනතුර හිමි වුණේ හෙළ හවුලට එම නාමය ලබා දුන් ජයන්ත වීරසේකර යි. 1949 ජූනි 18 වැනි දින මෙලොවින් සමු ගන්නා තෙක් ම එතුමන් එම තනතුරු හෙබ වූ අතර ඉන් පසු ව හෙළ හවුලට නායකත්වය දීමේ වගකීමේ ප්‍රකට කවියෙකු වන රැපියෙල් තෙන්නකෝන් වෙත පැවරුණා.

රැපියෙල් තෙන්නකෝන් (© හෙළ හවුල නිල වෙබ් පිටුව)

හෙළ හවුලේ තෙවැනි සභාපති ලෙස අමරසිරි ගුණවඩු වැඩ කටයුතු භාර ගන්නේ 1965 මාර්තු 8 වැනි දින සිට යි. එතුමාගේ නායකත්වය යටතේ 25 ක් වසරක් සම්පූර්ණ කළ හෙළ හවුල, දින දෙකක් පුරාවට තම රීදී සැමරුම් උළෙල, බොරැල්ලේ රෙක්ස් මන්දිරයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පවත්වා තිබෙනවා. 1977 ජූලි 8 වැනි දින සිදු වූ අමරසිරි ගුණවඩුගේ අභාවයෙන් පසු ව හෙළ හවුලේ මුල් පුටුව කෝදාගොඩ ඤාණාලෝක නා හිමිපාණන් වෙත හිමි වුණා. උන් වහන්සේ අපවත් වීමෙන් පසු ව සභාපති තනතුරුට පත් වූ වරකාගොඩ සිල්රුවන් හිමියන්ගේ නායකත්වය යටතේ කොළඹ මහජන පුස්තකාලෙයේ දී හෙළ හවුලේ 50 වැනි සැමරුම පවත්වා තිබෙනවා.

අරිසෙන් අහුබුදු (© හෙළ හවුල නිල වෙබ් පිටුව)

1991 දෙසැම්බර් මාසයේ දී හෙළ හවුලේ සය වැනි සභාපති ලෙස වැඩ භාර ගත්තේ අ. දො. චන්ද්‍රෙස්කර යි. මේ කාලයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් 1992 අංක. 38 දරණ හෙළ හවුල සංස්ථාපනය කිරීමේ පනත සම්මත කිරීම මගින් හෙළ හවුල ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිළිගෙන තිබෙනවා.

ඉන් අනතුරු ව අරිසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි සහ අමරසිරි පොන්නම්පෙරුම යන වියතුන් පිළිවෙළින් හෙළ හවුලේ සභාපති තනතුරු දරා ඇති අතර 2012 නොවැම්බර් මාසයේ සිට අද දක්වා එහි සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රී නාත් ගණේවත්ත යි.

අමරසිරි පොනන්ම්පෙරුම, අලවුඉසි සැබිහෙළ, අරිසෙන් අහුබුදු සහ අනඳපිය කුඩාතිහි (© හෙළ හවුල නිල වෙබ් පිටුව)

හෙළ හවුල ගුරුකුලයක් ද?

බොහෝ අවස්ථාවල දී සරසවි කථිකාචාර්යවරුන් හෙළ හවුල ගුරුකුලයක් ලෙස හැඳින්වුව ද එය එසේ නොවේ. හෙළ හවුල මගින් සිදු කරන්නේ සිංහල භාෂාව නව නීති රීති හඳුන්වා දීම නොව අතීතයේ දී සහ වර්තමානයේ දී භාවිත වූ සිංහල භාෂාව නිසි ලෙස හදාරා වඩාත් නිවැරදි කුමක් ද යන්න හඳුනාගෙන මතු පරපුර සඳහා එය සුරක්ෂිත කිරීම යි.

කවරයේ පින්තූරය : (© Paradise Road)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්