Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සුප්‍රකටම සටන

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මැසඩෝනියාවේ සිට ඉන්දියාවේ වයඹදිග කෙළවර තෙක් වූ මහා අධිරාජ්‍යයක් නිර්මාණය කළා. ඔහු ඒ අතරේදී සටන් රැසක නියැලුණ අතර පර්සියානු අධිරාජ්‍යය විනාශ කර දැමීමට සමත් වුණා. ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රකටම සටන ලෙස සලකනු ලබන්නේ ගෝගමේලා නොහොත් අර්බාලා සටනයි.

මැසඩෝනියාවේ තුන්වන ඇලෙක්සැන්ඩර් හෙවත් මහා ඇලෙක්සැන්ඩර් රජ බවට පත්වුණේ ඔහුගේ පියා වූ මැසඩෝනියාවේ දෙවැනි ෆිලිප් රජතුමාගේ ඝාතනයෙන් පසුවයි. ඒ ක්‍රිස්තු පූර්ව 336 දී. ඒ වනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 20 ක් වුණා.

මැසඩෝනියාවේ දෙවන ෆිලිප් රජු මිය යද්දී එරට දේශසීමා. කොරින්තියානු ලීගයේ නායකත්වය දැරුවේ ද ඔහු විසින් (Wikimedia Commons)

ග්‍රීසිය තුළ සහ අවට ප්‍රදේශවල තමන්ට විරුද්ධව පැණ නැගුණ කැරලි මර්ධනය කළ ඇලෙක්සැන්ඩර් ක්‍රි. පූ. 334 දී තම මූලික අභිප්‍රාය ක්‍රියාවට නගන්න පියවර ගත්තා. ඒ පර්සියානු අධිරාජ්‍යය විනාශ කිරීමයි. මේ අනුව එම වසරේ මුල් කාලයේදී ඔහුගේ හමුදාව හෙලෙස්පොන්ට් (වර්තමානයේ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය​) තරණය කර සුළු ආසියාවට ගොඩ බැස්සා.

මෙම හමුදාවේ ශක්තිය පිළිබඳ විවිධ මත පවතින අතර සාමාන්‍ය පිළිගැනීම නම් පාබල හමුදාව 48,000 ක පමණ ද අශ්වාරෝහක හමුදාව 6,000 ක පමණ ද විශාලත්වයෙන් වන්නට ඇති බවයි. එමෙන්ම මෙම හමුදාවට නාවුකා 120 ක් ද අයත් වුණ බව සඳහන්.

කෙසේ වෙතත් මැසඩෝනියානු නාවික හමුදාවට සාපේක්ෂව පර්සියානු නාවික හමුදා ශක්තිය ඉතා වැඩි වුණා.

පර්සියානු නාවික බල බිඳීම

ඇලෙක්සැන්ඩර් පර්සියානුවන්ට එරෙහිව සිදු කළ පළමු ප්‍රධාන සටන වුණේ ග්‍රැනිකස් සටනයි. එය ජයගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් පර්සියානු නාවික හමුදාව අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් ක්‍රියාවට නැගුවා. ඒ මධ්‍යධරණී මුහුදේ පර්සියානු පාලනය යටතේ වූ සියළු වරායවල් අල්ලාගෙන නාවික හමුදාවට මූලස්ථාන අහිමි කිරීමයි.

ග්‍රැනිකස් සටන (චාර්ල්ස් ලෙ බෘන්ගේ සිතුවමක්)

මේ අනුව ඔහු සුලු ආසියාවේ දකුණුදිග වෙරළ දිගේ පැමිණෙද්දී පර්සියානු අධිරාජයා වූ තුන්වන ඩේරියස් ඔහු හා සටනට එළඹුණා. ඒ අයිසස් සංග්‍රාමයේදී. එහිදී ඩේරියස් අන්ත පරාජයක් ලබන අතර සිය පවුලේ අය පවා දමා සටනින් පළා ගියා. ඩේරියස්ගේ මව​, බිරිඳ සහ දියණියන් දෙදෙනකු ඇලෙක්සැන්ඩර් යටතට පත් වුණා. ඇලෙක්සැන්ඩර් ඔවුනට ඉතාම ගෞරවයෙන් යුතුව සැළකූ බව ඉතිහාසය සඳහන් කරනවා.

ඉන් පසුව වර්තමාන සිරියාව​, ලෙබනනය සහ ඊශ්‍රායලය කියන රටවල්වල වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව කරා ආවා. මෙහිදී ටයර් නගරය ඔහුට යටත් වීම ප්‍රතික්ෂේප කළා. මාස අටක පමණ දිගු වැටලීමකින් පසු එම නගරය යටත් වුණා. එම වසර අවසන් වීමට පෙර ගාසා නගරය ද වැටලීමකින් පසු පහර දී යටත් කරගත්තා. ඉන් අනතුරුව ඔහු ඊජිප්තුවට පැමිණි අතර එහි සිටි පර්සියානු පාලකයා සටනකින් තොරවම ඇලෙක්සැන්ඩර්ට යටත් වුණා.

ක්‍රිස්තු පූර්ව 331 දි ඇලෙක්සැන්ඩර් යළි ටයර් වෙත පැමිණියේ පර්සියාවේ අභ්‍යන්තර ප්‍රදේශ ආක්‍රමණය කරන අදහසින්.

සාම යෝජනා

ඩේරියස් අධිරාජයා අයිසස්වලදි ලද පරාජයෙන් පසුව අවස්ථා කිහිපයකදිම ඇලෙක්සැන්ඩර් සමඟ සාකච්ඡා ආරම්භ කරන්න සූදානම් වූ බව ඉතිහාසය සඳහන් කරනවා. විවිධ ඉතිහාසකරුවන් විසින් මෙම සිද්ධීන් විස්තර කරන්නේ යම් යම් වෙනස්කම් සහිතව වුණත් ඩේරියස් කිහිප විටක් ම ඇලෙක්සැන්ඩර්ට සාම යෝජනා ගෙන ආ බවත් හැලිස් නදියෙන් බටහිර ප්‍රදේශ ඔහුට පවරා දෙන්නට සූදානම් වූ බවත් කියවෙනවා. අතීත හැලිස් නදිය වර්තමානයේ හඳුන්වන්නේ කිසිලිර්මක් යන නමින්. එය පිහිටියේ තුර්කියේයි.

ඩේරියස්ගේ යෝජනාවලට එකඟ වූවා නම් ඇලෙක්සැන්ඩර් අල්ලාගත් ප්‍රදේශ සමහරකිනුත් ඉවත් විය යුතු වුණා.

ටයර් නගරයට ඇලෙක්සැන්ඩර් ආපසු පැමිණි පසු ඩේරියස් කළ සාම යෝජනාවට අනුව හැලිස් නදියෙන් බටහිරත්, විශාල කප්පමකුත්, ඇලෙක්සැන්ඩර්ට භාර්යාවක ලෙස එක් දුවකුත් පවරා දෙන්න ඩේරියස් කැමති වුණා.

ඇලෙක්සැන්ඩර් මේ පිළිබඳ සිය සෙනවියන්ගෙන් ගෙන් විමසූ විට පාර්මේනියන් නමැති සෙනවියා පමණක් ඒ පිළිබඳ අදහස් දැක්වූවා.

“මම ඇලෙක්සැන්ඩර් වුණා නම් මම ඊට කැමති වෙනවා”

“මම පාර්මේනියන් වුණා නම් මමත් ඒකට කැමති වෙනවා” ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කළා.

ඉන්පසු ඔහු ඩේරියස්ට විකල්ප දෙකක් දන්වා සිටියා. ඒ සටන් කොට ප්‍රබලයා තෝරා ගැනීම හෝ යටත් වීමයි.

පර්සියාව ආක්‍රමණය

ටයර් නගරයේ සිට බැබිලෝනියාව බලා ඇලෙක්සැන්ඩර් පිටත් වුණා. බැබිලෝනියාවට යාමට වඩා කෙටි නමුත් කර්කශ කාන්තාර මැදින් වැටුණ මාවත තෝරා නොගත් ඇලෙක්සැන්ඩර් උතුරුදිග මාවතෙන් එදෙසට ගමන් කළා. ඔහු යුප්‍රටීස් සහ ටයිග්‍රීස් නදී තරණය කළේ පර්සියානුවන්ගේ විරෝධයක් නොමැතිවයි.

මේ අතර සැප්‍තැම්බර් 20 වනදා චන්ද්‍රග්‍රහණයක් සිදු වුණා. ඇලෙක්සැන්ඩර් හිරු, සඳු සහ පෘථිවිය වෙත පුද පූජා පවත්වා යළි ඉදිරියට යන්නට වුණා.

ඩේරියස් විශාල හමුදා සේනාංකයක් ඒකරාශී කරගෙන සිටියා. එකල පළ වූ ඇතැම් වාර්තා අනුව මෙම හමුදාව මිලියනයක් පමණ වුණා. ඊට එරෙහිව ඇලෙක්සැන්ඩර්ට සිටියේ අශ්වාරෝහකයන් 7,000 ක් ඇතුලුව 47,000 ක හමුදාවක් පමණයි. කෙසේ නමුත් පසු කාලීන ඉතිහාසඥයන් පවසන්නේ ඩේරියස්ගේ හමුදාව උපරිමයෙන් 250,000 ක් වන්නට ඇති බවයි. බොහෝ විට එය 100,000 ක හෝ ඒ ආසන්න ප්‍රමාණයක හමුදාවක් වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

ඩේරියස්ගේ සූදානම

ඩේරියස් සිය හමුදා ඒකරාශී කළේ ගෝගමේලා නම් ප්‍රදේශය ආසන්නයේ විශාල තැනිතලාවකයි. එය වර්තමාන ඉරාකයේ මෝසුල් නගරයට සැතපුම් 18 ක් පමණ ඊසාන දෙසට මෙන්ම අර්බිල්  (ආර්බෙලා) නගරයෙන් සැතපුම් 35 ක් පමණ බටහිරින් පිහිටි ස්ථානයක්.

ඩේරියස් එම භූමියේ උස් ප්‍රදේශ සහ වෙනත් බාධක ඉවත් කර සමතල බිමක් නිර්මාණය කරවූවා. තම සුවිසල් හමුදාවට සටන් බිමේ සැරිසැරීමට අවශ්‍ය ඉඩකඩ සකසා ගැනීම එහි අරමුණ වුණා.

ඇලෙක්සැන්‍ඩර්ගේ අධිරාජ්‍යය සහ ඔහුගේ ගමන් මග​ (Wikimedia Commons)

ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව ඒ අසළ ප්‍රදේශයට විත් කඳවුරු බැඳගත්තා. සටනට කලින් දා, එනම් සැප්තැම්බර් 30 වනදා, රාත්‍රී කාලයේ ඔහුගේ හමුදාව විවේක ගනිද්දී පර්සියානුවන් යුද්ධ සරඹ පවත්වනු දකින්න ලැබුණා.

මේ අවස්ථාවේ ඇලෙක්සැන්ඩර් හමුවීමට පැමිණි පාර්මේනියන් ඔහුට යෝජනා කළේ රාත්‍රී කාලයේ ප්‍රහාරයක් සඳහා යොමු වන ලෙසයි. නමුත් එය ඇලෙක්සැන්ඩර් ප්‍රතික්ෂේප කළා. ඊට හේතු වූයේ රාත්‍රියට එක් එක් හමුදා ඒකක සමඟ සන්නිවේදනය අපහසු වන බැවින්.

සටන

ඇලෙක්සැන්ඩර්ගෙ උපක්‍රමය අවදානම් එකක් වුණා වගේම නිවැරදි කාලයට නිවැරදි පියවර ගැනීම මත රඳා පැවතුණා. වඩා විශාල පර්සියානු හමුදාවලට එරෙහිව ඔහු ඔහුගේ පාබල හමුදාවේ ප්‍රධාන කොටසක් සෘජුකෝණී ඒකකවල සැකැස්මට සකසා යොමු කළා. ඔවුන් ගමන් ගත්තේ ඩේරියස්ගේ සේනාංකයේ මධ්‍යය දෙසට​. ඩේරියස් ද රැඳී සිටියේ එම ප්‍රදේශයේ යි.

ඇලෙක්සැන්ඩර් තම ආරක්ෂකයන් ඇතුළු හොඳම අසරු සේනාවක් ප්‍රතිවාදී පර්සියානුවන් ගේ වම් පස කෙළවර දෙසට ගෙන ගියා. මෙම පිරිස බලාපොරොත්තු වූයේ හැකි පමණ පර්සියානු අසරුවන් එදෙසට යොමු කරවා ගැනීමයි.

මේ අතර පාර්මේනියන් සිය හමුදා ඛණ්ඩ පර්සියානු දකුණු පස දෙසින් යොමු කළා.

බලාපොරොත්තු වූ පරිදි ම ඇලෙක්සැන්ඩර්ගෙ අසරු හමුදාව දෙසට ඩේරියස්ගෙ අසරු හමුදාව කඩා වැදුණා. වඩා විශාල පර්සියානු හමුදාව එක්ක සටන් කිරීම ඇලෙක්සැන්ඩර්ගේ සේනාවට පහසු වුණේ නැහැ. නමුත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා හොඳ පුහුණුවක් සහ පළපුරුද්දක් ලැබූ අය වීම නිසා පර්සියානුවන් සමඟ හොඳ සටනක් දෙන්න ඔවුනට හැකි වුණා.

මේ අතර පර්සියානු හමුදාවේ මධ්‍යය නිරාවරණය වෙලායි තිබුණේ. ඇලෙක්සැන්ඩර් සිය හොඳම අසරු භටයන් පිරිසක් සමඟ පර්සියානු වම් කෙළවරෙන් පසු බැස්සා. එහි සිටි අනෙක් මැසඩෝනියානු සේනා දිගටම පර්සියානුන් හා සටන් කළා. මේ අතර තමන් සතු වූ අතිරේක සේනා ද එක් කරගත් ඇලෙක්සැන්ඩර් වේගයෙන් පර්සියානු මධ්‍යයට කඩා වැදුණා.

මේ ප්‍රහාරය පර්සියානුවන් බලාපොරොත්තු වුණේ නැහැ. ඇලෙක්සැන්ඩර්ගේ හමුදා පර්සියානු මධ්‍යය කඩා දැමීමත් සමඟ පර්සියානු හමුදාවේ පරාජය ස්ථිර වුණා. ඩේරියස් යළි පසු බැස්සා.

දෙපස සිටි හමුදාවලට තවමත් වඩා විශාල පර්සියානු බල ඇණි විසින් පහර දෙමින් තිබුණ හෙයින් ඇලෙක්සැන්ඩර්ට ඔවුනට උපකාර කිරීමට සිය ප්‍රහාරය නවතන්න සිදු වුණා. එසේ නොවූවා නම් ඩේරියස් එදින අල්ලා ගැනීමටත් ඉඩ තිබුණා.

සටනින් පැරද පළා ගිය ඩේරියස් නැගෙනහිරට පසුබැස අලුත් හමුදාවක් බඳවා ගැනීමට සැලසුම් කළා. නමුත් පර්සියානු ප්‍රාදේශීය පාලකයකු වූ බෙසස් ඔහුව මරා දැම්මා. ඇලෙක්සැන්ඩර් ඒ බව අසා මහත් කම්පාවට පත් වූ අතර ඔහුගේ අවසන් කටයුතු උපරිම ගෞරව සහිතව ඉටු කළා. ඊළඟ අවුරුද්දේ බෙසස් අල්ලාගත් ඇලෙක්සැන්ඩර් ඔහුට මරණ දඬුවම දුන්නා.

මූලාශ්‍ර

  1. J.F.C. Fuller, The Decisive Battles of the Western World (Volume I)
  2. Alexander the Great (356 – 323 BC), BBC
  3. The Battle of Gaugamela, Encyclopedia Britannica
  4. wikipedia.org​

Cover Image: ගෝගමේලා සටන (Public Domain)

Related Articles