Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන්නුන් ඔස්ට්‍රේලියානුවන් කළ රන් අකාර

රත්රන් යනු වටිනාකමින් හා මිලෙන් ඉතා ඉහළ ලෝහයකි. රත්රන් බොහෝවිට ආභරණ තැනීම සඳහා යොදාගනී. අතීතයේ සිටම ලෝකයේ විවිධ ප්‍රදේශවල විශාල රන් ආකර දක්නට ලැබුණු අතර ඔස්ට්‍රේලියාව ඉන් ප්‍රධාන රටකි. ඔවුන් රත්රන් කර්මාන්තය නිසා වර්තමානයේ මෙන්ම අතීතයේද රන් ආකර තිබු රටවල් විශාල ධනයක් උපයා ගෙන අැත.

රන් ආකර ඔස්ට්‍රේලියාව ට විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන මාර්ගයකි. මෙම ලිපිය තුළින් ඕස්ට්‍රේලියාවේ තිබු රන් ආකර පිළිබඳවත්, එම රන් ආකර නිසා ඔස්ට්‍රේලියාවට චීන ජනයා ඇදී ඒම හා එහි පදිංචි වීම පිළිබඳවත් අවධානය යොමු කෙරේ.

චීන ජාතිකයන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම

ghanaguardian.com

චීන ජාතිකයින් යනු ලෝකයේ බොහෝ රටවලට සංක්‍රමණය වූ පිරිසකි. ඔවුන් සංක්‍රමණය වූ රටවල ජනපදද පිහිටුවා ගන්නා ලදී. චීනුන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට එක් හේතුවක් වුයේ 1851දී ඕස්ට්‍රේලියාවේ රන් ආකර ඇති බව සොයාගැනීමයි.

මෙහිදී චීන ජාතික පිරිමින් දහස් ගණනක් ගුවාංඩොං ප්‍රාන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණුනි. චීන ජාතික කාන්තාවන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමක් සිදුවුයේ නැති අතර ඊට හේතුව වූයේ කාන්තාවන් තම මව්බිම අතහැර නොයෑමේ සම්ප්‍රදායක් ඔවුන් අතර පැවතීමයි. මේ සංක්‍රමණය හේතුවෙන් 1861 වන විටද ඕස්ට්‍රේලියාවේ චීන ජාතික පිරිමින් 38,000ක් පමණ ජීවත් වී තිබේ.

දුක්ඛිත ගමනක්

චීනයේ සිට ඔස්ට්‍රේලියාවට යාමට නැව් යොදාගන්නා ලදී. මෙම නැව්වලට සාමාන්‍යයෙන් යා හැකි ප්‍රමාණයට වඩා වැඩි සෙනඟක් එක් රැස් වීම හේතුවෙන් එ්වා දැඩි තදබදයකින් යුතු විය. නැවට දැරිය හැකි ප්‍රමාණයට වඩා මිනිසුන් පැටවීම නිසා රෝග පැතිරීමද ඉක්මන් වූ අතර බොහෝ චීන ජාතිකයෝ තම ගමනාන්තය වන ඔස්ට්‍රේලියාවට ළඟාවීමට පෙර මියැදුණහ. මොවුන් බොහෝ දෙනා බලාපොරොත්තු වුයේ ඔවුන්ට අවශ්‍ය මුදල් උපයාගෙන නැවත තම රටට පැමිණීමටයි.

සංක්‍රමණය වූ චීන ජාතිකයන් මුහුණ පෑ ගැටළු

flicker.com

රන් සෙවීමටත් වඩා මෙම සංක්‍රමණික චීන ජාතිකයන් මුහුණ පෑ අසීරු කාර්යයක් වූයේ තමාට නුහුරු පරිසරයක ජීවත් වීමට සිදු වීමයි. ඔවුන් නිවාස ලෙස ඉදි කරගත්තේ කුඩා කුඩාරම්ය. ඔස්ට්‍රේලියාවට පැමිණි චීන ජාතිකයන්ට බදු ගෙවීමටද සිදුවිය. මේ සඳහා උපක්‍රමයක් ලෙස ඔවුන් ප්‍රධාන වරායවල් මගහැර කුඩා ගම්මානවලට ගොඩ බැසීමට කටයුතු කළහ. “රෝබි” යනු එලෙස චීන ජාතිකයන් ගොඩ බසිනා ලද ගම්මානයකි. 1857 වසරේදී මාස පහක් ඇතුළත රෝබිවලට පමණක් 12,000ක් පමණ චීන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත.

බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි වූ නමුත් මෙවැනි ගම්මානවල සිට රන් ආකරවලට බොහෝ දුර පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය. මෙම ගමන දුෂ්කර වූ නිසා ඔවුන් ගමන් කළේ කණ්ඩායම් වශයෙනි. මොවුන් ගමනේදී අවශ්‍ය ජලය ලබා ගත්තේ ඔවුන් විසින්ම හෑරු ළිංවලින් වන අතර කැන්ගරුවන් හා වෙනත් කැලෑ සතුන් මරා මස් අාහාරයට ගත්හ.

ameinfo.com

චීන ජාතිකයින් අතර තිබු බැඳීම නිසා නිතරම ඔවුන් කණ්ඩායමක් ලෙස එකට සිටීම දැකිය හැක. ඔවුන් රන් සෙවීමේ නිරත වුයේද කණ්ඩායම් ලෙසයි. මෙහිදී චීන ජාතිකයන් මුහුණ දුන් තවත් ප්‍රබල ගැටළුවක් වූයේ ඔවුන් සොයාගත් රත්රන් හා ධනය පිටස්තරයන් විසින් කොල්ල කෑමයි. මෙම කොල්ලකරුවන් විසින් චීන ජාතිකයන්ගේ කුඩාරම්වලට ගිනිතබා විනාශ කර ඔවුන් සතු රත්රන් පැහැරගන්නා ලදී. රන් සොයා ඔස්ට්‍රේලියාවට පැමිණි චීන ජාතිකයන් 1854 සිට 1862 අතර කාලයේදී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් රත්තරන් කිලෝ 18,662ක් පමණ චීනයට යවා තිබෙන බව වාර්තා වේ.

අතීතයේ රන් අකාර තිබු බැලරාට් නගරය

marketwatch.com

බැලරාට් නගරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ය. මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි සුන්දරම නගරයයි. මෙම නගරය වික්ටෝරියා ප්‍රාන්තයේ පහළ බටහිර තැන්නේ උප මහා කඳුවැටි නිම්නයට සහ යැරොව් ගංගාවට මැදිව පිහිටා තිබේ.

බැලරාට් නගරය අතීතයේ රන් ආකර බහුලව තිබූ ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයෙන් ලොව දෙවැනියට විශාලතම රන් ගුලියද (nugget) සොයාගන්නා ලදී. 99% රනින් යුතු වූ එම ස්වභාවිකව තැනුණු ගුලියේ බර කිලෝ ග්රෑම් 69කි. එහි වර්තමාන වටිනාකම ඩොලර් මිලියන 3ක් පමණ වේ. බැලරාට් ප්‍රදේශයේ ඇති සවරින්හිල් කෞතුකාගාරය තුළ අදටත් මෙම රන් ගුලිය දැකගත හැක.

1854 දී ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවතුණි. මෙකල යටත් විජිතවාදී හමුදාව සහ රන් ආකර කම්කරුවන් අතර සටනක් ඇති වූ අතර එය යුරේකා කැරැල්ල ලෙස හැඳින්වුණි. එකල මෙම රන් ආකරවල සේවය කළ චීන සංක්‍රමණිකයන් තම එකම ආදායම් මාර්ගය වූ රන් ආකර බ්‍රිතාන්‍ය හමුදා අතට පත්වීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරා තිබේ.

චීන ජාතිකයන්ට ස්ථිර පදිංචියක්

loftystate.com

කාලයත් සමග ඕස්ට්‍රේලියාවේ රන් ආකරවල රන් හිග විය. කෙසේ නමුත් රන් සොයා පැමිණි ඇතැම් චීනුන් නැවත ඔවුන්ගේ මව්රටට යාමට අකැමති වූ අතර රන් හිඟවීමත් සමග ඔවුන් විකල්ප රැකියා ලෙස ආපනශාලා හා ලොන්ඩරි වැනි කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමටත්, බහුල ලෙස වගා කටයුතුවල නියැලීමටත් ක්‍රියා කර අැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ඇතටන්, බ්‍රිස්බේන්, බෲම්, කෙයාර්න්ස්, ඩාර්වින්, මෙල්බර්න්, සිඩ්නි සහ ටවුන්ස්විල් වැනි නගරවල චීන ජනපද පවා බිහි විය.

මෙලෙස ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචි වූ පිරිමින් වැඩි දෙනෙක් තනිව ජීවත් වූයේ චීන ජාතික කාන්තාවන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය නොවූ නිසාවෙනි. නමුත් ඇතැමුන් ඕස්ට්‍රේලියානු කාන්තාවන් සමඟ විවාහ විය.

වර්තමානය වන විට මෙම තත්වයේ විශාල වෙනසක් දැකිය හැක. ඔස්ට්‍රේලියාව යනු ආර්ථිකය අතින් බොහෝ ශක්තිමත් රටකි. මේ හේතුවෙන් චීන ජාතික පිරිමින් හා කාන්තාවන් පමණක් නොව ලෝකය වටා සිටින විවිධ ජාතීන්ට අයත් කාන්තවන් හා පිරිමින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමට උත්සහ දරති.

නමුත් වර්තමාන ඕස්ට්‍රේලියානු ආර්ථිකය මේ තරම් ශක්තිමත් වීමට අතීතයේ සිට බොහෝ දුක් දරා ශ්‍රමය සැපයූ චීන ජාතිකයන්ද කුඩා හෝ දායකත්වයක් දක්වා ඇති බව අමතක කළ නොහැකිය.

කවරයේ පින්තුරය : (tes.com)

Related Articles