Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ මහනගර සභාව: මෙරට පැරණිත ම පළාත් පාලන ආයතනය

18 වන සියවස අවසන් භාගයේ දී බ්‍රිතාන්‍යයන් අප රටේ මුහුදුබඩ පළාත්වල පාලන බලය අල්ලා ගත්තා. ඉන් පසු ව ඔවුන් ෆෙඩ්‍රික් නෝත් මෙරට මුල් ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත් කළා. ඒ 1798 වසරේ දී යි.

එතැන් සිට ගෙවුණු වසර 150ක කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් 29ක් අප රට පාලනය කළා. එයින් 13 වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා බවට පත් වුණේ හර්කියුලිස් රොබින්සන් නම් පුද්ගලයෙක්. ඔහු 1865 මැයි 16 වැනිදා සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළා.

හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයා – rasnsw.com.au

ඉන් පසුව රොබින්සන් ආණ්ඩුකාරවරයා අප රටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මූලිකත්වයෙන් 1865 ඔක්තෝබර් මාසයේ දී අංක 17 දරණ මහනගර සභා ආඥා පනත ඉදිරිපත් කළා. එමඟින් කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල මහනගර සභා 3ක් ස්ථාපිත කළා.

ඒ අතුරින් මුලින් ම ආරම්භ කළේ කොළඹ මහනගර සභාව යි. ඒ අනුව අප රටේ පැරණිත ම පළාත් පාලන ආයතනය බවට පත්ව තිබෙන්නේත් කොළඹ මහනගර සභාව යි. මේ ඔබට කියන්න යන්නේ වසර 157ක ඉතිහාසයක් ඇති කොළඹ මහනගර සභාවේ අතීත තොරතුරු යි.

මහනගර සභාව ස්ථාපිත කිරීම

1865 ඔක්තෝබර් මාසයේ දී අංක 17 දරණ මහනගර සභා ආඥා පනත ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළා. එම යෝජනාව නොවැම්බර් මාසයේ දී දෙවන වර කියවා සම්මත කර ගත්තා. ඉන් අනතුරු ව පිහිටුවීමට යෝජනා වුණු කොළඹ, මහනුවර සහ ගාල්ල යන මහනගර සභාවල සීමා නිර්ණය සිදු කළා. ඒ අනුව කොළඹ මහනගර සභාවේ සීමා නිර්ණය සිදු කළේ 1865 නොවැම්බර් 25 වැනිදා යි.

එහි දී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය කොට්ඨාස 9කට බෙදා වෙන් කළා. කොල්ලුපිටිය, කොටුව, පිටකොටුව, කොටහේන, අලුත්කඩේ, ශාන්ත පාවුළු, මරදාන, කොම්පඤ්ඤ වීදිය සහ ශාන්ත බස්තියම එම කොට්ඨාස 9 යි. එසේ සීමා නිර්ණය සිදු කිරීමෙන් පසුව 1866 ජනවාරි 1 වැනිදා කොළඹ මහනගර සභාව ස්ථාපිත කළා.

කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල වර්තමානයේ දී – cinnamonhotels.com

කොළඹ මහනගර සභාව සඳහා පැවති මුල් ම මැතිවරණය

කොළඹ මහනගර සභාව සඳහා පැවති පළමු මැතිවරණය 1866 ජනවාරි මාසයේ මුල් සතියේ දී පැවැත්වුණා. මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම කොළඹ කච්චේරියේ දී සිදු වුණා. එකල කොළඹ සිටි රජයට බදු ගෙවූ නගරවාසීන්ට මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණා. ඉන් අනතුරු ව ඔවුන් කොළඹ කච්චේරියට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළා. එම මැතිවරණය දින 3ක් පුරාවට පැවැත්වුණා. මේ එහි දී එක් එක් මහනගර සභා බල ප්‍රදේශය වෙනුවෙන් සාමාජිකයන් තේරී පත් වුණු ආකාරය යි.

1). කොල්ලුපිටිය- ඇල්.සී ෆර්නැන්ඩස්
2). කොටුව- ජේ.ඩබ්ලිව්. වෑන්
3). පිටකොටුව- ජේ.ඩබ්ලිව්. ගයිසල්
4). කොටහේන- සී.ඒ. ලෝරන්ස්
5). අලුත්කඩේ- ජේම්ස් ද අල්විස්
6). කොම්පඤ්ඤ වීදිය- විලිස් ෆෝර්ඩ්
7). මරදාන- ඇම්.සී. ලෝස්
8). ශාන්ත පාවුළු- ඇස්. තම්බයියා
9). ශාන්ත බස්තියම- ඇස්. ජේ. ද සේරම්

කොළඹ නගරයේ පැරණි දසුනක් – gettyimages.com

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම

කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම 1866 ජනවාරි 16 වැනිදා පැවැත්වුණා. එම රැස්වීමේ දී මහනගර සභාවේ කටයුතු කර ගෙන යාම සඳහා තවත් නිලධාරින් පස් දෙනෙක් නගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් කළා. එහි දී මහනගර සභාවේ ඉහළ ම තනතුර වුණු සභාපති තනතුර එකල බස්නාහිර පළාත් දිසාපති තනතුර දැරූ චාල්ස් පීටර් ලෙයාර්ඩ්ට හිමි වීම විශේෂත්වයක් වුණා. මේ කොළඹ මහනගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් කළ එම නිලධාරින් පස් දෙනා යි.

1). සභාපති- චාල්ස් පීටර් ලෙයාර්ඩ් (බස්නාහිර පළාත් දිසාපති)
2). ලේකම්- සැමුවෙල් ග්‍රෙනියර්
3). ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරි (දොස්තර චාල්ස්)
4). මිනුම්පතිවරයාගේ සහකාර (ග්‍රීන් හේලිස්)
5). ප්‍රධාන ඉංජිනේරු සහ මාර්ග කොමසාරිස්

කොළඹ කච්චේරියේ දී පැවති එම මංගල රැස්වීමේ දී මහනගර සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා නව ගොඩනැඟිල්ලක් අවශ්‍යතාව පිළිබඳ ව සාකච්ඡා කෙරුණා. ඉන් පසුව එහි නිලධාරින් ඒ සඳහා වඩාත් සුදුසු ගොඩනැඟිල්ලක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට රජය යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. එනිසා මහනගර සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෝජනාවක් සම්මත කර ගැනීමට එහි සභිකයන්ට හැකි වුණා.

පැරණි කොළඹ කච්චේරියේ සිතුවමක් – lankapradeepa.com

මුල් මහනගර සභා ගොඩනැඟිල්ල ඉදි කිරීම

නව ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා තෝරා ගත්තේ පිටකොටුව ප්‍රදේශය යි. එය ඉදි කිරීමට තෝරා ගත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පී. බර්මන් ඉදිරිපත් කළ සැලසුම යි. එම සැලසුමට අනුව ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා අධික පිරිවැයක් අවශ්‍ය වුණා. එනිසා ගොඩනැගිල්ල ඉදි කිරීම අත් හැර දැමුවා. ඊට වසර 2කට පසුව මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමේ අවශ්‍යතාවය යළි මතු වුණා. එහි දී ගොඩනැඟිල්ල ස්ථීරව ම ඉදි කිරීමට මහනගර සභාවේ නිලධාරින් ඒකමතික ව තීරණය කළා. ඒ සඳහා නව සැලැස්ම බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පි ජේ.පී. ස්මිතර් සකස් කළා.

ඔහුගේ සැලසුමට අනුව ඉදි කළ එම ගොඩනැඟිල්ල මහල් දෙකකින් යුක්ත වුණා. එහි උඩු මහලේ රැස්වීම් ශාලාවක්, සභා කාර්යාලයක් සහ විශ්‍රාම ශාලාවක් ද, පහළ මාලයේ සුවිසල් ආලින්දයක් සහ නාගරික උසාවිය පිහිටා තිබුණා. එකල කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා පවුම් 7000ක මුදලක් වැය වුණු බව පැරණි සටහන්වල ලියැවී තිබෙනවා.

වසර 4ක කාලයක දී වැඩ නිම වුණු මෙම ගොඩනැඟිල්ල 1873 දී විවෘත කෙරුණා. ඒ එකල ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි අතින්.

පැරණි මහනගර සභා ගොඩනැගිල්ලේ වර්තමාන පෙනුම – lakpura.com

වසර 95කට පෙර ඉදි වුණු වර්තමාන මහනගර සභා ගොඩනැඟිල්ල

20 වන සියවස ආරම්භ වෙද්දී කොළඹ නගරයේ ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබුණා. එනිසා 1912 පමණ වන විට විශාලත්වයෙන් වැඩි මහනගර සභා ශාලා ගොඩනැඟිල්ලක අවශ්‍යතාව තදින් ම දැනුණා. 1914-1918 කාලයේ පැවති පළමු ලෝක යුද්ධය නිසා නව ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය කල් ගියා. එය යළි ක්‍රියාත්මක වුණේ 1920 දශකයේ දී යි. එවර නව මහනගර සභා ගොඩනැඟිල්ලේ සැලසුම සකස් කිරීම භාර වුණේ රැල්ෆ් බූටි සහ සමාගමේ ඇස්.ජේ එඩ්වඩ්ස්ට යි.

එහි සියලු ඉදිකිරීම් භාර ව කටයුතු කළේ ඒ.ඒ. ගාමන් සහ සමාගම යි. 1924 මැයි 24 වැනිදා ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් ආරම්භ වුණා. එහි ඉදි කිරීම් කටයුතු 1928 ජූලි මාසයේ දී අවසන් වුණා. එම වසරේ අගෝස්තු 9 වැනිදා නව මහනගර ශාලව විවෘත කළා. වර්තමානයේ දී කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටා තිබෙන්නේ එම අලංකාර ගොඩනැඟිල්ල යි.

කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල ඉදි වුණු මුල් යුගයේ – gettyimages.com

කොළඹ මහනගර සභාව පාලනය කළ සුප්‍රසිද්ධ නගරාධිපතිවරු

කොළඹ මහනගර සභාව සඳහා මුල් ම වරට නගරාධිපතිවරයකු පත් කළේ 1937 දී යි. එහි දී නගරාධිපති තනතුරට පත් වුණේ රත්නජෝති සරවනමුත්තු යි. එතැන් සිට ගෙවුණු වසර 86ක කාලය තුළ ඉතාමත් ප්‍රසිද්ධ දේශපාලන චරිත රැසක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයේ කටයුතු කළා.

ආචාර්ය ඇන්.ඇම් පෙරේරා, ඒ.ඊ ගුණසිංහ, ජෝර්ජ් ආර් ද සිල්වා, වී.ඒ සුගතදාස, එම්. එච්. මොහොමඩ්, ඒ.එච්.එම් ෆවුසි, වින්සන්ට් පෙරේරා, සිරිසේන කුරේ, කරූ ජයසූරිය, රෝසි සේනානායක එම ලැයිස්තුවට ඇතුළත් කරන්නට පුළුවන්.

ඒ අතුරින් වැඩි ම කාලයක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති තනතුර දැරුවේ සිරිසේන කුරේ නම් දේශපාලනඥයා යි. ඔහු 1979-1989 කාලයේ එම තනතුරේ කටයුතු කළා. කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට සැනට පත් වුණු එක ම කාන්තාව වුණේ රෝසි සේනානායක යි.

කරූ ජයසූරිය – colombotelegraph.com

කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බළකොටුවක්

වර්තමානය වන විට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, බටහිර කොළඹ සහ නැඟෙනහිර කොළඹ යන ප්‍රධාන කොටස් 5කට බෙදී තිබෙනවා. එම ප්‍රදේශවල තවත් කුඩා නාගරික ඡන්ද කොට්ඨාශ රැසක් පිහිටා තිබෙනවා. ඒ අනුව කොළඹ මහනගර සභාව නාගරික ඡන්ද කොට්ඨාශ 47කට බෙදී තිබෙනවා. සාමාන්‍යයෙන් එම ප්‍රදේශවල සියලු ම ජනවර්ගවලට අයත් ජනතාව ජීවත් වෙනවා. එනිසා කොළඹ මහනගර සභාව අතීතයේ සිට ම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත බළකොටුවක්.

ආචාර්ය ඇන්.ඇම් පෙරේරා – www.dailymirror.lk

එක්සත් ජාතික පක්ෂයට කොළඹ මහනගර සභාව අහිමි වුණේ 1954 දී පමණ යි. ඒ එවර ලංකා සමසමාජ පක්ෂය එහි බලය හිමි කර ගත් නිසා යි. එසේ ලංකා සමසමාජ පක්ෂයට කොළඹ මහනගර සභාවේ බලය හිමි වුණු අවස්ථාවේ නගරාධිපති තනතුරට පත් වුණේ ඇන්.ඇම්. පෙරේරා යි. 2006 දී පැවති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ශේප වුණා. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබුණු ස්වාධීන කණ්ඩායමක් කොළඹ මහනගර සභාවේ බලය ලබා ගැනීම විශේෂ සිදුවීමක් ලෙසින් දක්වන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය- කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල - gettyimages.com

මූලාශ්‍ර-.sundaytimes.lk
lankadeepa.lk
dinamina.lk
colombo.mc.gov.lk

Related Articles