Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රජ කාලේ නඩු කියූ හැටි

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මුල් අවස්ථා අධිකරණ පද්ධතිය පිහිටුවීම සහ ඒ ඒ අධිකරණ සතු බලතල නිශ්චය කිරීම සිදු කර ඇත්තේ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත මගින්. ඒ අනුව මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ චූලායාචන අධිකරණය (Small Claims Court) ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මුල් අවස්ථා අධිකරණ 4 ක් හඳුනා ගත හැකි යි. ඊට අමතර ව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත්බද මහාධිකරණ පිහිටා ඇති අතර එයට හිමි බලතල ලබා දී ඇත්තේ 1996 අංක 10 දරණ පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත මගින්.

එසේ ම ඉහළ වටිනාකමකින් යුතු වාණිජ ගනුදෙනු පිළිබඳ නඩු කටයුතු සඳහා වාණිජ මහාධිකරණය පිහිටු වන්නේ ද මේ පනත යටතේ යි. මේ සියල්ලට ම අමතර ව අභියාචනා විභාග කිරීම සඳහා සිවිල් අභියාචනාධිකරණය, අභියාචනාධිකරණය සහ ලක්දිව අධිකරණ ධූරාවලියේ ඉහළත ම අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පවතිනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල (© UNAIDS)

සිවිල් සහ අපරාධ නඩු සඳහා මේ ආකාරයට වෙන් වෙන් වශයෙන් අධිකරණ හඳුන්වා දීම සිදු කර ඇත්තේ ලන්දේසීන් විසින්. එසේ ම අභියාචනා කිරීමේ දී පහළ අධිකරණයේ සිට පිළිවෙළින් ඉහළ අධිකරණය කරා අභියාචනා කිරීමේ ක්‍රමය ද ඔවුන් විසින් හඳුන්වා දෙන ලද්දක්. එයට පෙර ශ්‍රී ලංකාවේ පැවති අධිකරණ ක්‍රමය තුළ සිවිල් සහ අපරාධ නඩු සඳහා වෙන් වෙන් අධිකරණ නොපැවතුණු අතර පහළ උසාවියකින් ලබා දුන් තීන්දුවක් කෙලින් ම අභියාචනය සඳහා රජු වෙත යොමු කිරීමේ හැකියාව ද පැවතුණා.

මේ ලිපිය, විධිමත් අධිකරණ ධූරාවලියක් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ නඩු විභාග කරන ලද ආකාරය ගැන යි.

රජ දවස ලක්දිව පැවති නීතිය

රජ දවස නඩු කියූ ආකාරය ගැන කතා කිරීමට පෙර අතීතයේ දී නඩු විභාග කරන ලද්දේ කුමන නීතියක් යටතේ දැයි දැන සිටීම වැදගත් වෙනවා. පැරණි සිංහල නීති ක්‍රම බොහෝමයක් ලිඛිත නොවූ අතර බොහෝ අවස්ථාවල දී නීතිය සහ සිරිත් විරිත් අතර පැහැදිලි වෙනසක් දැක ගැනීමට ලැබුණේ ද නැහැ. එසේ ම වර්තමානයේ දී මෙන් විවිධ වැරදි සඳහා වෙන් වූ දඬුවම් නොතිබුණු අතර බොහෝ අවස්ථාවල දී රජුගේ වචනය නීතිය ලෙස යොදාගෙන තිබෙනවා.

කෙසේ වුවද ඓතිහාසික මූලාශ්‍ර පරිශීලනයේ දී පැරණි සිංහල නීති ක්‍රමය සැකසීම සඳහා දායක වී ඇති මූලාශ්‍ර කිහිපයක් හඳුනා ගත හැකි යි.

පැරණි ලක්දිව ලිඛිත නීති පැවතුණේ ඉතාමත් අඩුවෙන් (blogs.mcgill.ca)

1. හින්දු නීති සහ සිරිත් විරිත්

ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හින්දු නීති සහ සිරිත් විරිත්වල අභාෂය ලැබුණේ ලක්දිව ජනාවාස වීමෙන් පසු ගත වී ගිය මුල් සියවස් ද්විත්වය තුළ යි. ඒ අනුව රාජ්‍යත්වය, කුල ක්‍රමය, පියා මූලික කර ගත් සමාජ ක්‍රමය, දීග විවාහ ක්‍රමය සහ ගම වටා වැව සංකල්පය හින්දු ආභාෂය හේතුවෙන් පැරණි සිංහල නීති ක්‍රමය තුළට ඇතුළු වී තිබෙනවා. එසේ ම පොළොන්නරු යුගයේ පැවති අපරාධ නීතිය සඳහා බලපා ඇත්තේ ද මේ හින්දු නීති ක්‍රමය යි.

2. ත්‍රිපිටක ධර්ම සහ බුදු දහමේ එන වත් පිළිවෙත්

මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම රැගෙන ඒම සහ තිස්ස රජු බුදු දහම වැළඳ ගැනීම බුදු දහම ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු වීමට හේතු වුණා. ඒ අනුව විනය පිටකයේ ඇති කරුණු බොහෝමයක් පැරණි සිංහල නීතිය පෝෂණය කිරීමට දායක වී ඇති අතර විහාරගම්, ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව, සිවුරු පරම්පරාව සහ සාංඝික දේපළ වැනි බෞද්ධ විහාරස්ථාන හා බැඳි නීති ක්‍රම වර්ධනය වීම ආරම්භ වී ඇත්තේ මේ කාලයේ යි.

ජේම්ස් ෆර්ගසන් සිතුවමට නැගූ අනුරාධපුර මහා විහාරය (lookandlearn.com)

3. ශාක්‍ය සහ මෞර්ය සිරිත් විරිත්

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ කාන්තාවන් සම්බන්ධයෙන් දක්නට ඇති නීති බොහෝමයක මූලාරම්භය වන්නේ ශාක්‍ය සහ මෞර්ය සිරිත් විරිත්. නීතිය ඉදිරියේ කාන්තාව ස්වාධීන පුද්ගලයෙක් ලෙස පිළි ගැනීම සහ කාන්තාවන්ට දේපළ අයිතිවාසිකම් ලබා දීම සිදු කර ඇත්තේ මේ මගින්.

එසේ ම ගොවිතැන් කටයුතු සම්බන්ධ අඳ ක්‍රමය සහ ගමරාළ, ලේකම් සහ කංකානම වැනි තනතුරු ද ලක්දිව නීති පද්ධතියට එක් කර ඇත්තේ ශාක්‍ය සහ මෞර්ය සිරිත් විරිත් හි ආභාෂය හේතුවෙන්.

4. පෙර සිරිත්

පෙර සිරිත් යනුවෙන් අදහස් කරන්නේ පෙර සිටි රජවරුන් අනුගමනය කරන ලද වත් පිළිවෙත් පසු කාලීන රජවරුන් විසින් ද සාම්ප්‍රදායක් ලෙස අනුගමනය කරන අවස්ථාවක්. මෙය තරමක් දුරට එංගලන්තයේ දක්නට ලැබෙන පොදු නීතිය යන සංකල්පයට සමාන වෙනවා.

5. කුල සිරිත්

කිසියම් ජන කණ්ඩායමක් විසින් අනුගමනය කරනු ලබන, පරම්පරාවෙන් පරම්පරාවට ගෙන එන නීති ක්‍රම, කුල සිරිත් හෙවත් කුලචාර ලෙස හැඳින් වෙනවා.  ඒ අනුව දරුකමට හදා ගැනීම,  විවාහය සහ දේපළ අනුප්‍රාප්තිය වැනි නීති සංකල්පය බොහෝමයක මූලාරම්භය වන්නේ කුල සිරිත් බව අවිවාදාත්මක යි.

6. ගම් සිරිත්

ගම්වැසියන් අතර පැවති සිරිත් නීතිය ලෙසින් පිළි ගැනීම හඳුන්වන්නේ ගම් සිරිත් ලෙස යි. වැව් ගොඩ නැගීම, නඩත්තුව, අලුත්වැඩියාව සහ භාවිතය වැනි වැව් හා බැඳි නීති ක්‍රම බොහෝමයක් වර්ධනය වී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙස බව සැලකෙනවා.

කලා වැව (© Indika Kumara)

7. දකුණු ඉන්දීය සිරිත් විරිත්

චෝල සහ පාණ්ඩ්‍ය ආක්‍රමණ හේතුවෙන් ලක්දිව නීති ක්‍රමයට ඇතුළු වූ දකුණු ඉන්දීය සිරිත් විරිත් මූලික වශයෙන් ම දේවාලගම් නීතියට, උඩරට සහ කෝට්ටේ යුගයේ පැවති නීති ක්‍රමවලට බලපෑම් කර තිබෙනවා1.

ලක්දිව පැරණි අධිකරණ පද්ධතිය

මේ නීති රීතී ක්‍රියාත්මක කිරීම සඳහා වෙන ම ම අධිකරණ පද්ධතියක් පැවතුණු අතර ඒ සියල්ලට ම අවැසි අධිකරණ බලය ලබා දුන්නේ රජතුමා යි. මුල් කාලීන අධිකරණ ක්‍රම ගැන නිශ්චිත තොරතුරු නොපැවතුණ ද නුවර යුගයේ ක්‍රියාත්මක කරන ලද අධිකරණ පද්ධතිය ගැන ඓතිහාසික මූලාශ්‍ර බොහෝමයක් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා.

1. ගම්සභාව

බොහෝ විට ගම්මානයේ සිටින වැඩිහිටි පුද්ගලයන්ගෙන් සමන්විත වන ගම්සභාව පැවැත් වී ඇත්තේ විශාල රුක් සෙවණක හෝ අම්බලමක යි. සොරකම්, කුඩා ණය ගනුදෙනු, මායිම් සම්බන්ධයෙන් වන ගැටලු සහ සුළු රණ්ඩු වීම් විභාග කරන ලද එහි දී වැරදිකරුවන්ට දඬුවම් කරනවා වෙනුවට සමගි බේරුම්කරණය කෙරෙහි යොමු වීමට වැඩි අවධානය ලබා දී තිබෙනවා. එසේ ම කුඩා ප්‍රමාණයේ දඩ අය කර ගැනීමට ද ගම්සභාවට බලය පැවතුණා.

ගම්සභාව පැවැත් වුණේ අම්බලමක හෝ විශාල රුක් සෙවණක යි (© Dilanka Bandara)

2. රටසභාව

මූලික වශයෙන් ම සමාජ තත්ත්වය, කුලය සහ විවාහය සම්බන්ධයෙන් වන ගැටලු සඳහා පිළියම් ලබා දුන් රටසභාව, ගම්සභාවෙන් ලබා දුන් තීන්දු අභියාචනය කිරීම ද සිදු කර තිබෙනවා. එය සමන්විත වුණේ දිස්ත්‍රික්කය තුළ පැවති එක් එක් ගම්මාන නියෝජනය කළ නියෝජිතයන්ගෙන්.

3. සාක්කි බලන්ඩ

හදිසි මරණ පරීක්ෂණ සම්බන්ධ පරීක්ෂණය පැවත්වීමේ අධිකරණ බලය හිමි සාක්කි බලන්ඩ සමන්විත වුණේ දිස්ත්‍රික්කයේ සිටි වැදගත් පුද්ගලයන්ගෙන්.

4. මහ නඩුව

නුවර රාජ සභාව රැස් වූ සෙංකඩගල මගුල් මඩුව (© Namal Senarathne)

දිසාවේ හෝ අදිකාරම් වැනි ඉහළ තනතුරු දැරූවන්ගෙන් සමන්විත වූ මහ නඩුව බිහි වී ඇත්තේ රජතුමා වෙත යොමු කරන ලද නඩු කටයුතු, එතුමන්ගේ අවධානය යොමු කිරීමට තරම් වැදගත්කමකින් යුතු දැයි පරීක්ෂා කර බැලීම සඳහා රාජ සභාවේ කටයුතු කළ නිලධාරීන් වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. මුල් කාලයේ දී රජුගේ උපදේශකයන් ලෙස පමණක් කටයුතු කළ මහ නඩුව, පසු ව ක්‍රමයෙන් අධිකරණයක් සතු බලතල අත්පත් කරගෙන ඇති පෙනී යනවා.

5. රජු

පැරණි සිංහල අධිකරණ ධූරාවලියේ අවසානාත්මක අධිකරණ අධිකාරිය ලෙස කටයුතු කරන ලද්දේ රජු යි. සෑම කාරණාවක් සම්බන්ධයෙන් ම ඔහුට පුළුල් බලතල තිබුණ ද මූලික වශයෙන් රජුගේ අවධානය යොමු වුණේ ඉහළ නිලධාරීන් අතර ආරවුල් විසඳීම, රාජකීය ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම, ප්‍රධාන විහාරස්ථානයන් හි මහ නායක පදවිය සම්බන්ධයෙන් වන ගැටලුවලට පිළියම් යෙදීම, රාජ්‍ය දෝහී ක්‍රියා, රජයට විරුද්ධ ව කැරළි ගැසීම සහ කුමන්ත්‍රණය වැනි දරුණු අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම කෙරෙහි යි1.

විධිමත් අධිකරණ පද්ධතියක් නොවූවත් ලංකාවේ අතීතයේ නඩු ඇසූ ක්‍රමය ගැන හොඳ දැනුමක් ලබා සිටීම නීති අධ්‍යාපනයේදී ඉතා වැදගත් වෙනවා. මන්ද අදටත් අප රටේ පවතින නීති බොහොමයකට එහි ආභාෂය ලැබී ඇති නිසායි.

කවරයේ පින්තූරය : Picture 7 ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධිකරණය (© Prasanna Weerakkody)

  1. Cooray, L. J. M., An Introduction to the Legal System of Sri Lanka (first published in 1972, Stamford Lake Publication 2013)

Related Articles