Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෙරුසලම් නගරයේ ඉතිහාසය

ජෙරුසලම් නගරය වර්තමාන ඊශ්‍රායලයට අයත් වන අතර බොහෝ දෙනා මෙම නගරය ශුද්ධවූ නගරයක් ලෙස පිළිගනු ලබයි. එමෙන්ම ජෙරුසලම ලොව පැරණිතම නගරවලින් එකකි. ලොව ප්‍රධාන ආගම් අතරින් තුනක් වන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම්වල ශුද්ධවූ නගරයක් ලෙස ජෙරුසලම් නගරය සළකනු ලැබේ. වසර දහස් ගනනක් පුරාවට මේ නගරය අරබයා යුද්ධ බොහෝ ප්‍රමාණයක් හා අසීමිත ලේ වැගිරීම් සිදුවී ඇත.  විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ජෙරුසලම් නගරයට මුල් පදිංචිකරුවන් පැමිණ ඇත්තේ පූර්ව​ ලෝකඩ අවධියේ දී එනම් ක්‍රි.පූ. 3500 දී පමණ ය. ක්‍රි.පූ. 1000 දී පමණ දාවිත් රජු මෙම නගරය අල්ලාගෙන එය ජුදෙව් රාජධානියේ අගනගරය කොට ගත්හ. ඉන් වසර හතලිහකට පමණ පසු ඔහුගේ පුත් සලමොන් ජෙරුසලම් නගරයේ පලමු ශුද්ධවූ දෙව්මැදුර ඉදිකරන ලදි. ක්‍රි.පූ. 586 දී බැබිලෝනියන්වරු ජෙරුසලම අල්ලාගෙන ජුදෙව්වරුන්ගේ අභිමානයට හේතු වූ දේවමාලිගාව විනාශ කර ජුදෙව්වරුන්ව පිටුවහල් කලේය. Boney M සංගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබන “By the rivers of babylon” ගීතයේ අඩංගු වන්නේ මෙම සිදුවීමයි. ඉන් වසර පනහකට පමණ පසු බැබිලෝනියාවේ රජ වූ සයිරස් රජු පිටුවහල් වූ ජුදෙව් ජනතාවට නැවත තම මව්බිම් කරා යාමට අවස්ථාව සලසා දුන් අතර දේවමාලිගාව නැවත ගොඩනැගීමට ද අවසර දුන්නේ ය.

ජෙරුසලම් නගරය (wikipedia.org)

ක්‍රි.පූ. 332 දී ඇලෙක්සැන්ඩර් රජු ජෙරුසලමේ බලය අතට ගත්තේය. ඉන් වසර සිය ගනනක් මුළුල්ලේ ජෙරුසලම විවිධ කණ්ඩායම් මගින් පාලනය විය. ඒ අතර රෝමන්වරු, පර්සියන්වරු, අරාබිවරු, සෙල්ජුක් තුර්කිවරු, ඊජිප්තුවරු සහ ඉස්ලාමිකයන් වෙයි. මෙම කාලය අතරතුර ජෙරුසලම් නගරයේ ආගමික වශයෙන් වැදගත් වූ සිද්ධීන් කිහිපයක් සොයා බලමු. ක්‍රි.පූ. 37 දී හෙරෝද් රජු ජෙරුසලම් දේවමාලිගාව නැවත ප්‍රතිසංස්කරණය​ කර එයට සුවිශාල තාප්පයක් ද සවි කලේ ය. ක්‍රි.ව. 30 දී පමණ ජේසුස්වහන්සේව මෙම නගරය තුල කුරුසිපත් කරන ලදි. ක්‍රි.ව. 70 දී රෝමන්වරු නගරය තුල දෙවනවරට ඉදිකල දේවමාලිගාව විනාශ කර දැමුවේ ය. ක්‍රි.ව. 632 දී ඉස්ලාම් ආගමේ ශාස්තෲවරයා වූ මොහමඩ් නබි තුමා මියගිය අතර ඉස්ලාම් ආගමිකයන් පිළිගනු ලබන්නේ එතුමා ස්වර්ගස්ථ වූයේ ජෙරුසලම් නගරයේ සිට බවයි. බොහෝ යුරෝපීය කිතුනුවන් ජෙරුසලම් නගරය වන්දනාමාන කිරීම ක්‍රි.ව. පලමු සියවසේ පටන් සිදු කිරීමට පටන් ගත්තේ ය. ක්‍රි.ව. 1099 සිට 1187 දක්වා ජෙරුසලම් නගරය මුල් කරගෙන කුරුස යුද්ධ ඇති විය.

ඔටෝමන් අධිරාජ්‍ය ජෙරුසලම සහ මැදපෙරදිග සමහර කොටස් ක්‍රි.ව. 1516 සිට 1917 දක්වා පාලනය කලේ ය. පලමු ලෝක යුද්ධයෙන් පසු මහා බ්‍රිතාන්‍ය ජෙරුසලමේ බලය තම අතට ගත්තේය. එවකට ජෙරුසලම අයත්ව තිබුනේ පලස්තීනයට යි. ක්‍රි.ව. 1948 දී ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වන තුරුම මහා බ්‍රිතාන්‍ය ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශ පාලනය කලේය.

ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ඊශ්‍රායලයේ නිදහස ප්‍රකාශ කරන අවස්ථාව. 1948 (history.com)

ඊශ්‍රායලයේ පලමු වසර විස්ස ඇතුලත ජෙරුසලම බෙදී පැවතුනි. ඊශ්‍රායලය එහි බටහිර කොටස පාලනය කල අතර ජෝර්දානය​ එහි නැගෙනහිර කොටස පාලනය කලේ ය. 1967 දී දින හයේ යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ජෙරුසලමේ සම්පූර්ණ අයිතිය ලබා ගත්තේ ය. මෙම නගරයේ අක්කර තිස්පහක පමණ ප්‍රදේශයක් පුරාවට ක්‍රිස්තියානි, ඉස්ලාම් හා ජුදෙව් ආගමිකයන්ට සුවිශේෂී වූ ස්ථාන බොහොමයක් තිබේ. මෙම ප්‍රදේශය Temple Mount ලෙස හැදින්වේ. ජුදෙව්වරු විශ්වාස කරන ආකාරයට (ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද ඇතුලුව) තම ආදි පීතෘවරයෙක් වූ ආබ්‍රහම් තම පුත් ඊසාක්ව පූජා කිරීමට තැත් කලේ ද මෙම ස්ථානයේ දීය. ඉස්ලාම් බැතිමතුන්ගේ තුන්වන ශුද්ධවූ ස්ථානය ද මෙයයි. (අනෙක් දෙක නම් සවුදි අරාබියේ පිහිටි මක්කම සහ මෙදීනා ය) ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මොහමඩ් නබි තුමා ස්වර්ගස්ථ වූයේ මෙම ප්‍රදේශය තුලදීයි. ක්‍රිස්තියානි ආගමිකයන් ද Temple Mount නම් ප්‍රදේශය විශේෂ කොට සලකයි. මන්ද පැරණි ගිවිසුම තුල දිවැසිවරයන් මෙම ස්ථානය දැක්වූ අතර නව ගිවිසුම තුල ජේසුස්වහන්සේ මෙම ප්‍රදේශයට නිතර පැමිණ ඇති නිසාය.

Temple Mount ප්‍රදේශය. (mfa.gov.il)

මේ ආකාර ආගමික වශයෙන් විවිධ ආගම්වලට මෙම ප්‍රදේශය බොහෝ සම්බන්ධකම් ඇති නිසා මෙම ප්‍රදේශය උදෙසා නිරන්තර ගැටුම් ඇතිවිය. ජුදෙව්වරු සහ ඉස්ලාමිකයන් බොහෝ සමීපව සිටිනා නිසා මෙම ගැටුම් තවතවත් උග්‍ර විය. දින හයේ යුද්ධයෙන් පසු Temple Mount ප්‍රදේශයේ බලය ඊශ්‍රායෙල්වරු අත්කර ගත්තේය. ක්‍රි.ව. 691 දී ඉස්ලාමීය වැසියන් විසින් රන් පැහැ හිසක් ඇති ශිලා මස්තකයේ පූජාභූමිය (Doom of the rock) ලෙසින් හැදින්වෙන පූජා භූමිය ඉදි කලේ ය. ඒ පෙරදී ජුදෙව් ආගමිකයන්ගේ දේවස්ථාන තිබූ ස්ථානයේ ය. මෙම පූජා ස්ථානය Temple Mount නම් ප්‍රදේශයේ තිබෙන අතර එය ඉදිකරන ලද්දේ අබ්ඩ් අල්-මලික් නම් කාලීෆ්වරයා විසිනි.

ශිලා මස්තකයේ පූජාභූමිය (Doom of the rock). (hexapolis.com)

දැනට ඉතිරිව ඇති පැරණිතම ඉස්ලාමීය ගොඩනැගිල්ල වන්නේ මෙයයි. කුරුස යුද්ධ අවධියේ දී කිතුනුවන් විසින් මෙම ඉස්ලාමීය ගොඩනැගිල්ල කිතුනු පල්ලියක් ලෙස භාවිතයට ගත්තේ ය. එනමුත් 1187 දී ඉස්ලාම්වරු නැවත මෙම ස්ථානය අල්ලාගෙන එය තම පූජා භූමියක් ලෙසට ස්ථාපිත කලේය. මෙයටම නුදුරින් රිදී පැහැති හිසක් ඇති අල්-අක්සා නම් පුදසුන පිහිටා තිබේ. ඉස්ලාම් වැසියන්ට මෙයද ශුද්ධවූ ස්ථානයකි.

ජෙරුසලමේ බටහිර බිත්තිය යනු දෙවෙනි වරට සෑදූ දේවමාලිගයේ දැනට ඉතිරිව පවතින කොටසයි. මෙය Temple Mount ප්‍රදේශයේ බටහිරට වන්නට පිහිටා ඇති අතර සෑම වසරකම මිලියන ගණනින් ජුදෙව්වරු මෙම බිත්තිය අසලට පැමිණ යාච්ඤා කරති. Temple Mount ප්‍රදේශයේ අනෙකුත් ස්ථාන මුස්ලිම්වරුන්ට වර්තමානයේ අයත්ව ඇති බැවින් ජුදෙව්වන්ට යාච්ඤා කල හැකි ශුද්ධතම ස්ථානය ලෙස සැලකෙන්නේ මෙම බටහිර බිත්තිය යි.

ජෙරුසලම් බටහිර තාප්පය 1898 (wikipedia.org)

කිතුනුවන් විශ්වාස කරන ආකාරයට ජේසුස්වහන්සේ කුරුසිපත් කල හා ස්වර්ගස්ථ වූ ස්ථානයේ දේවස්ථානයක් සාදා ඇත. එය සාදා ඇත්තේ ක්‍රි.ව. 335 දීය. දහස් ගණන් කිතුනු බැතිමතුන් මෙම ස්ථානය වන්දනාමාන කිරීම සදහා ලොව නන් දෙසින් පැමිණෙති. බොහෝ කිතුනුවන් විශ්වාස කරන අන්දමට කිතුනුවන්ට ඇති ශුද්ධවූම ස්ථානය වන්නේ මෙම ස්ථානයයි. මෙම නගරය උදෙසා ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ගැටුම් නිරතුරුවම පවතියි. මෙය ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් වූ දා පටන්ම පැවතියේ ය. ජුදෙව් නීතියට අනුව Temple Mount ප්‍රදේශයේ යාච්ඤා කිරීම ජුදෙව්වන්ට තහනම් ය. එයට බොහෝ විට හේතු කාරණා වී ඇත්තේ එම ප්‍රදේශය මුස්ලිම්වරුන්ගේ අණසක පැවතීමයි. සමහර ඊශ්‍රායෙල් කණ්ඩායම් නිවේදනය කර තිබුනේ Temple Mount ප්‍රදේශයේ තුන්වන ජුදෙව් දේවස්ථානය ඉදිකිරීමට සැලසුම් කරන බවයි.

ජේසුස්වහන්සේ කුරුසිපත්වූවා යැයි සැලකෙන ස්ථානයේ සාදා ඇති දේවස්ථානය (wikipedia.org)

ඊශ්‍රායලය හා පලස්තීනය යන රටවල් දෙකම ජෙරුසලම තම අගනගරය ලෙස හැදින්වීමට උත්සහ කර ඇත. 1980 දී ඊශ්‍රායල ජෙරුසලම තම අගනගරය ලෙස හැදින්වුවත් බොහෝ අන්තර්ජාතික සංගම් මෙය පිලිගත්තේ නැත.2017 වසරේ ජූලි මසදී අරාබි ජාතිකයන් තිදෙනෙක් ඊශ්‍රායෙල් පොලිසියේ දෙදෙනෙකුට Temple Mount ප්‍රදේශයේ දී වෙඩි තැබීය. ආරක්ෂක හේතූන් මත මෙම ප්‍රදේශය සංචාරකයන්ගෙන් සහ සිකුරාදා දින මුස්ලිම් යාච්ඤා මෙහෙය මෙම ප්‍රදේශයේ නතර කෙරිණි. එසේ යාච්ඤා මෙහෙය මෙම ප්‍රදේශය නතර වූයේ වසර 17 කට පසුවයි.

2017 වසර අවසානයේදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කරන ලද අතර ඉන් පසු කලාපයේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේය​. ජෙරුසලම යනු ආගමික වශයෙන් හා දේශපාලනික වශයෙන් සුවිශාල බලයක් අයත් නගරයක්. මේ හේතු නිසාම අවිනිශ්චිත අනාගතයක් හිමි නගරයක්.

මූලාශ්‍ර:

1)A history of the jews – Paul Johnson2)Jerusalem in history – K J Asali3)www.history.com

-කවරයේ පින්තූරය – ජෙරුසලම් පැරණි නගරය (Mark Millan)

Related Articles