Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේ ජර්මනියට තර්ජනයක් වූ ලීයෙන් තැනූ ‘මදුරුවා’

දෙවන ලෝක යුධ සමයේ ජර්මනියට තර්ජනයක් වූ ගුවන් යානා අතර ඩි හැවිලන්ඩ් සමාගමේ මොස්කිටෝ (මදුරුවා) සැහැල්ලු බෝම්බ හෙලන යානය විශේෂ තැනක් ගන්නවා. මුළුමණින්ම පාහේ දැවයෙන් තැනුණ එම යානය, බෝම්බ හෙලන යානයක් වුවද​, එකල තිබූ වේගවත්ම ගුවන් යානයක් වුණා​. ඊට පැයට කිලෝ මීටර 668 තරම් ඉහළ වේගයන් කරා එළඹීමේ හැකියාව ද තිබුණා.

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සතුව දෙවන ලෝක යුධ සමයෙහි තිබූ ප්‍රකටම යානයක් වූ මොස්කිටෝ යානය, එහි වේගය හේතුවෙන්ම කාර්යයන් රැසකට යොදාගනු ලැබුණා. දිවා කාලයට මැදි උසක සිට බෝම්බ හෙලන යානයක් ලෙස ද, රාත්‍රියට ඉහළ අහසේ සිට බෝම්බ හෙලන යානයක් ලෙස ද භාවිතා වූ මෙය මං සොයන්නකු (pathfinder) ලෙස ද, ඔත්තු බලන යානයක් ලෙස ද භාවිතා කරනු ලැබුණා. තවද දිවා හෝ රාත්‍රී හෝ ඕනෑම කාලයක ප්‍රහාරකයකු (day time fighter, night time fighter) ද ප්‍රහාරක – බෝම්බකරුවකු (fighter bomber) ද ලෙස මෙම යානා භාවිතා කෙරුණා.

දැවයෙන් තැනූ හෙයින් මෙම යානයට “Wodden Wonder” (ලීයෙන් තැනූ අරුමය​) යන අන්වර්ත නාමය පටබැඳී තිබුණ අතර ගුවන් නැවියන් අතර වඩා ජනප්‍රිය වූයේ “මොසී” යන නාමයයි.

මොස්කිටෝ යානය නිර්මාණය වීම​

ඩි හැවිලන්ඩ් මොස්කිටෝ යානය නිර්මාණය වීමේ කතා පුවත ඇරඹෙන්නේ 1930 දශකයේ අගභාගයේ ය​. මේ වනවිට ලොව පිහිටි ප්‍රකටම​, විශ්වාසවන්තම සහ නව්‍ය අදහස් සහිත ගුවන් යානා නිමැවුම්කරුවකු ලෙස ඩි හැවිලන්ඩ් සමාගම නමක් දිනාගෙන සිටියා​. ඔවුනගේ සාර්ථක නිමැවුම් අතර DH88 කොමට් රේසර් (DH88 Comet Racer) සහ DH91 ඇල්බැට්‍රොස් (DH91 Albatross) මගී යානය ප්‍රධාන වුණ අතර මෙම ගුවන් යානා දෙකේම සැලසුම් මොස්කිටෝ යානය සඳහා ද බලපෑවා.

යුරෝපයේ යුධ උණුසුම ඉහළ යද්දී එක්සත් රාජධානියේ යුද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ඉහළ සිට බෝම්බ දැමිය හැකි, එන්ජින් දෙකක් සහිත, ඉහළ වේගයන් කරා එළඹිය හැකි මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙලන යානයක් අවශ්‍ය වුණා. ඔවුන් බලාපොරොත්තු වූයේ රාත්තල් 3000 ක (කිලෝග්‍රෑම් 1400) බෝම්බ ප්‍රමාණයක් සැතපුම් 3000 ක් (කිලෝමීටර් 4800 ක්) ගෙන යා හැකි ආකාරයේ යානයක්. මෙම අවශ්‍යතාව යුද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් ඩි හැවිලන්ඩ් සමාගමට දන්වනු ලැබුවා.

මොස්කිටෝ යානයක් (ww2today.com)

ඩි හැවිලන්ඩ් සමාගම මෙම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මුලින්ම සැලසුම් කළේ ඇල්බට්‍රොස් යානය ප්‍රතිනිර්මාණය කිරීමටයි. නමුත් පසුව ඔවුන් ඇල්බැට්‍රොස් සහ කොමට් රේසර් යානා දෙකෙහිම සැලසුම් ආශ්‍රයෙන් නව සැලසුමක් සකස් කළා.

මුලින්ම තැනූ ආදර්ශ යානා සඳහා මර්ලින් X ඇන්ජිමක් භාවිතා කළ නමුත් පසුව රෝල්ස් රොයිස් ග්‍රිෆන් සහ නේපියර් සේබර් ඇන්ජින් යොදා ගැනීමට තීරණය වුණා.

මුලදී මොස්කිටෝ යානයේ සැලසුම තනිකරම පාදක වුණේ වේගවත් යානයක් නිර්මාණය කිරීමේ අදහස මතයි, නමුත් යුද්ධ කටයුතු අමාත්‍යාංශය එම අදහස දුටුවේ අවදානම් සහගත එකක් ලෙසයි. මේ අනුව ප්‍රහාරක – බෝම්බ හෙලන යානයක සැලසුමක් සඳහා දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණුනා. මෙහි මිලිමීටර 20 හිස්පැනෝ Mk.II කාලතුවක්කු හතරක් සහ යානයේ නාසය දෙස වූ .303 (මිලිමීටර 7.7) බ්‍රවුනිං මැෂින් තුවක්කු හතරක් මෙයට ඇතුලත් කෙරුණා. මොස්කිටෝ යානයකට නියමුවකු සහ ගුවන් නැවි/බොම්බාඩියර් යන ද්විත්ව කටයුතු සඳහා වූ අයකු ලෙස ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු අවශ්‍ය වුණා.

යුධ මෙහෙයුම්

මොස්කිටෝ යානය සිය මංගල ගුවන් ගමන 1940 නොවැම්බර් 3 වනදා සිදු කළ නමුත් යුධ කටයුතු අමාත්‍යාංශය සහ හැවිලන්ඩ් දමාගම අතර ගුවන් යානයේ සැලැස්ම පිළිබඳ වූ මතභේද ආදිය හේතුවෙන් යුධ පෙරමුණට මෙය හඳුන්වා දීම ප්‍රමාද වුණා. 1941 සැප්තැම්බර් 20 වනදා තනි මොස්කිටෝ යානයක් ප්‍රංශයට ඉහළ අහසේ ඔත්තු බැලීමේ යෙදුණා. මෙම යානා විශාල වශයෙන් යුධ පෙරමුණ වෙත හඳුන්වා දුන්නේ 1941 නොවැම්බර් 15 වනදා සිටයි.

මොස්කිටෝ යානයක් පළමු වරට පරීක්ෂණ ගුවන් ගමනක් සඳහා සූදානම් වූ අවස්ථාව (historynet.com)

ප්‍රහාරක – බෝම්බ හෙලන ගුවන් යානයට අමතරව යම් යම් වෙනස්කම් සිදු කරන ලදුව වෙනත් කටයුතු සඳහා යොදාගත් මොස්කිටෝ යානා ප්‍රභේද දහයක් පමණ නිර්මාණය කෙරුණා.මේ අතර රාත්‍රී ප්‍රහාරක යානය​, දිවා ප්‍රහාරක යානය​, ඔත්තු බලන යානය (24 කැමරා සවි කරන ලද​), ටෝර්පිඩෝ බෝම්බ හෙලන යානය​ ආදී වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇතැම් රටවල් විසින් පුහුණු කටයුතු සඳහා භාවිතා කළ යානා ද මීට ඇතුලත් වුණා.

මේ අතර විශාල බෝම්බ හෙලන යානාවලට මං පෙන්වන්නකු ලෙස ද මොස්කිටෝ යානය භාවිතා කෙරුණා. වෙනත් යානා ගමන් නොකරන අභියෝගාත්මක ප්‍රදේශ කරා යාමට එම යානයට සිය වේගය හේතුවෙන් හැකියාව තිබුණා.

ඩි හැවිලන්ඩ් මොස්කිටෝ යානා සහභාගී වූ මෙවන් එක් අභියෝගාත්මක ප්‍රහාරයක් වූයේ නෝර්වේ රටේ ඔස්ලෝ නගරයේ පිහිටි නට්සි ජර්මන් ගෙස්ටාපෝ (රහස් පොලිසිය​) මූලස්ථානයකට පහර දීමේ මෙහෙයුමයි. මොස්කිටෝ යානා 4 ක් විසින් 1942 සැප්තැම්බර් 25 වනදා මෙම ප්‍රහාරය එල්ල කළා. මොස්කිටෝ යානා පිළිබඳව ජනතාවට හෙළි කෙරුණේ එම ප්‍රහාරයෙන් පසුවයි.

අද තත්ත්වය​

අද වනවිට පියාසැරි තත්ත්වයේ පවතින ඩි හැවිලන්ඩ් මොස්කිටෝ යානා දෙකක් ද​ පියාසැරි තත්ත්වයේ නොපවතින තවත් යානා තිහක් පමණ ද ඉතිරි ව පවතිනවා. මේ මුලින් තැනූ යානා 7,700 කට මඳක් වැඩි ප්‍රමාණයෙන් ඉතිරි ව පවතින යානා සංඛ්‍යාවයි. මෙයින් වැඩිම යානා ප්‍රමාණයක් එක්සත් රාජධානියේ ඩි හැවිලන්ඩ් උරුමය මධ්‍යස්ථානයේ පිහිටා තිබෙනවා. නමුත් ඒ යානා තුනම පියාසැරි තත්ත්වයේ නොපවතින ඒවා වනවා.

Cover Photo: දැනට පියාසැරි තත්ත්වයේ තිබෙන එක් මොස්කිටෝ යානයක් (historynet.com)

Related Articles