Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝලන්ත හමුදාවේ සොල්දාදු වලස් හාමි

“සොල්දාදු වලස් හාමි” කිව්වොත් ඔළුවට එනවා ඇත්තෙ ලස්සන වසිලීස්සා වැනි සෝවියට් රුසියන් සුරංගනා කතා පොතක චරිතයක්. ලිපියේ මාතෘකාව රුසියන් සුරංගනා කතාවක චරිතයක් වගේ වුණාට, මේ වලසා නම් ඇත්තටම ජීවත් වුණු වලසෙක්. මේ අපි අහලා තියෙන පැණි කන, කම්මැලි වලසෙක් නම් නෙවෙයි; මේ දෙවන ලෝක යුධ සමයේ යුධ හමුදා බල ඇණියක තානාන්තරයකුත් දරපු වලසෙක්. නමකුත් දීලා තිබුණා මේ වලහට, “වොයිටෙක්” කියලා.

වලස් පැටවාගේ ආගමනය

බේරාගත් වලස් පැටවා  (Polish Institute and Sikorski Museum)

1942 වසරේ මුල භාගයේ දී පෝලන්ත හමුදා භට ඛණ්ඩයක් සෝවියට් දේශයේ වැඩ කඳවුරු වල සිට නිදහස් කරන ලද පෝලන්ත සිරකරුවන් පිරිසක් සමඟ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව දෙසට ගමන් කරමින් සිටියා. මේ කණ්ඩායම ඉරානයේ ටෙහ්රාන් දෙසට කඳු පෙදෙසක් හරහා යමින් සිටියදී කුඩා වලස් පැටවෙකු සොයාගත් ඉරාන දරුවෙකු හමුවුණා. වලස් පැටවාගේ මවට දඩයක්කරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබුණා. මෙම දුඹුරු වලස් පැටවාට එම කණ්ඩායමේ සිටි සරණාගතයින් කෙතරම් ඇලුම් කරන්නේදැයි දු‍ටු භට ඛණ්ඩයේ ලුතිනන්වරයා මෙම වලස් පැටියා මිළයට ගත්තා.

“වොයිටෙක්”

මිළට ගත් වලස් පැටවා ඉතා ලාබාල සතෙක්. එනිසා උකු කිරි හිස් වොඩ්කා බෝතලයකින් පෙවීමට සිදුවුණා. සරණාගතයින්ගේත්, සොල්දාදුවන්ගේත් කැපවීම නිසා කුඩා පැටවා ජීවත් වීමට වාසනාවන්ත වුණා. කිරි වලට අමතරව, පලතුරු, පැණි, සහ මාමලේඩ් ද වලස් පැටවාට ලබා දුන් බව කියවෙනවා.

රෙජිමේන්තුවේ සෙබලුන් සමඟ (Pinterest)

මාස තුනක් ඉරානයේ සරණාගත කඳවුරක වාසය කළ මේ කණ්ඩායම, ඉන්පසු පලස්තීනයට පැමිණියා. එහිදී වලස් පැටවාව පෝලන්ත කාලතුවක්කු හමුදාවේ 22වන කාලතුවක්කු සැපයුම් කණ්ඩායම වෙත ලබාදුන්නා. භටයින් විසින් ඔහුට “වොයිටෙක්” යන නම ලබාදුන් අතර, මීළඟ වසර කීපය පුරාවටම වොයිටෙක් ඔවුන්ගේ ගමන් සඟයෙක් වුණා.

බියර් බොන වලසෙක්

වොයිටෙක් නිතර කාලය ගතකළේ කුස්සිය ආශ්‍රිතව බව කියනවා. තමාට දෙන ලද සියළු ආහාර පමණක් නොව, තම සොල්දාදු සඟයින් පානයට ගත් වයින් සහ බියර් පවා බීමට වොයිටෙක් හුරුව සිටි බවයි කියවෙන්නේ. එමෙන්ම සිගරට් දල්වා දුන් පසු ඒවා කා දැමීමටත් මේ වලසා හුරුවී සිටියා.

වොයිටෙක් වැඩෙද්දී කිලෝග්‍රෑම් 250කට අධික බරකින් යුතු වලසෙක් බවට පත්වුණා. දුඹුරු වලසා අති භයානක සත්ත්වයෙකු වුණත්, කුඩා කල සිට තම කඳවුරේ වැඩුණු මේ දුඹුරු වලස් පැටවා කිලෝ 250ක් බර සතෙකු වූ විටත් ඔහු සමඟ සෙල්ලමට පොර බදන්නට ඉදිරිපත් වූ සොල්දාදුවන් අතලොස්සක් සිටියා. සුළු සීරීම් කීපයක් සහ ඉරීගිය ඇඳුම් පැළඳුම් හැරෙන්නට ඔවුන්ට වෙන කිසිදු අනතුරක් සිදුවුණේ නැහැ, සටනින් පරාද වුණා හැරුණුකොට!

වලස් පොර  (polityka.pl)

සාමාන්‍ය සෙබළ වලස් හාමි

1943 වන විට ඉතාලියේ යුද කලාපයට ඇතුල්වීමට පෝලන්ත හමුදා සැරසී සිටියත්, ඔවුන්ට ගැටළුවක් මතුවුණා. එකල නීති වලට අනුව යුධ වදින හමුදා කණ්ඩායමකට සුරතල් සතුන් ඇතිකිරීමට බැහැ. වොයිටෙක් මග අතැර දමා යන්නටත් හැකියාවක් නැහැ. එනිසා මෙයට විසඳුමක් ලෙස පෝලන්ත හමුදාව විසින් වොයිටෙක් වලසා සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදාවට බඳවාගත්තා. සා.සෙ. වොයිටෙක්ට තනතුරක්, සේවා අංකයක්, සහ පඩියක් ලැබුණු අතර, එය නීතියට අනුකූල නිසා නීතිමය බාධා පහව ගියා. වොයිටෙක් තම බල ඇණියද සමඟ මොන්ටි කැසිනෝ හි යුද බිමට ගියා.

වැඩුණු වොයිටෙක්  (wojtek the soldier bear)

බොහොමයක් බුද්ධිමත් සතුන් මෙන් වොයිටෙක් ද අනුකරණයට දක්ෂ වුණා. මොන්ටි කැසිනෝ හි දී යුධ භටයන් විසින් විශාල කාලතුවක්කු උණ්ඩ කාලතුවක්කු දෙසට ගෙන යනු දු‍ටු වොයිටෙක්, එය එලෙසම අනුගමනය කරමින් තමාද කාලතුවක්කු උණ්ඩ ප්‍රවාහනයට දායක වූ බවයි කියැවෙන්නේ. වොයිටෙක් කාලතුවක්කු උණ්ඩ ‍රැගෙන ගියා නොව හිස් උණ්ඩ කොපු සමඟ සෙල්ලම් කළ බවයි ඇතැමෙක්ගෙ අදහස. ඒ කෙසේ වෙතත් මේ සිදුවීම නිසා වලසා වීරයෙකු බවට පත්වුණා. ඔහුගේ බල ඇණිය විසින් තම බල ඇණියේ නිල ලාංඡනය ලෙස කාලතුවක්කු උණ්ඩයක් ඔසවාගෙන යන වොයිටෙක්ගේ රූපයක් භාවිතයට පටන්ගත්තා.

22වන කාලතුවක්කු සැපයුම් බල ඇණියේ ලාංඡනය  (polishscottishheritage.co.uk)

යුද්ධයෙන් පසු

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ වොයිටෙක්ගේ රෙජිමේන්තුව ස්කොට්ලන්තයේ බර්වික්ශයර් හි ගොවිපළ පෙදෙසක කඳවුරක් වෙත යැවුණා. 1947 දී රෙජිමේන්තුව විසිරුවා හරින තුරු එහි වාසය කළ වොයිටෙක්, ඉන්පසු එඩින්බරෝහි සත්ත්ව උද්‍යානයට ලබාදෙනු ලැබුවා.

එඩින්බරෝ සත්ත්ව උද්‍යානයේ දී  (Herald Scotland)

BBC ඇතුළු මාධ්‍යවලින් මාධ්‍යවේදීන් නිතර වොයිටෙක්ව හමුවීමට ගිය අතර, ඔහුගේ බල ඇණියේ සහෝදර සොල්දාදුවන් ද වොයිටෙක් දැකීමට එඩින්බරෝ සත්ත්ව උද්‍යානයට ගිය බව කියැවෙනවා. ඔවුන් විසින් ඔහුගේ කූඩුවට සිගරට් විසිකිරීමට පුරුදුව සිට ඇති අතර, ඇතැම් සොල්දාදුවන් වලස් කූඩුවට පැන වොයිටෙක් වැළඳගැනීම පවා සිදු කළ බවයි පැවසෙන්නේ.

පෝලන්තයේ පිහිටවූ වොයිටෙක් ප්‍රතිමාව (PAP/Jacek Bednarczyk)

1963 දෙසැම්බර් මස දිනක, 22හැවිරිදිව සිටිය දී වොයිටෙක් මියගිය බව පැවසෙනවා. මියයන විට කිලෝග්‍රෑම් 220ක් බරව සිටි මේ වලසා අඩි 6ක් පමණ උසට වැඩී සිටියා. ඔහුගේ මරණයේ පුවත ගුවන් විදුලිය හා ප්‍රවෘත්ති පත්‍ර මගින් ලොව පුරා බෙදාහරිනු ලැබූ අතර ලොව වටා බොහෝ පිරිසක් ශෝකයට පත්වූවා.

2014 වසරේ දී පෝලන්තයේ ක්‍රකොව් නුවරත්, 2015 වසරේ දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරත් වොයිටෙක් අනුස්මරණය කරමින් ස්මාරක විවෘත කෙරුණා.

cover image – ස්කොට්ලන්තයේ පිහිටවූ වොයිටෙක් ප්‍රතිමාව (Chicago Tribune)

Related Articles