Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානය එක්සේසත් කළ වීර සමුරායිවරු තිදෙනා

දේපළ විකුණුම් ක්ෂේත්‍රයේ ලොව සුපතළ වෙළඳ නාමයක් වන ‘Harwood International’ හි ආරම්භකයා වන ස්විස් ජාතික ව්‍යාපාරික ගේබ්‍රියෙල් බාර්බියර්-මුලර් සහ ඔහුගේ බිරිඳ ඈන්ගේ විනෝදාංශය වන්නේ පැරණි කලා කෘතීන් එකතු කිරීම යි. ‘ඈන් සහ ගේබ්‍රියෙල් බාර්බියර්-මුලර් එකතුව’ ලෙස ප්‍රකට ඔවුන්ගේ එකතුව, ජපන් සමුරායි යුද සන්නාහ සඳහා දැනට ලොව පවතින විශිෂ්ටත ම සහ වඩාත් විස්තීර්ණ එකතුවක් ලෙස යි සැලකෙන්නේ. ජපන් සමුරායි සාම්ප්‍රදායන්ගේ දර්ශනීය ඉතිහාසය විදහා දක්වන අයිතමයන් 140 කින් එය සමන්විත වෙනවා.

© Noel Del Rio

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් කලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම එකතුව සතු ව සෑම යුද සන්නාහයක් ම එය අයත් ව පැවති සමුරායිවරයා සහ ඔහු ජීවත් වූ කාල සීමාව පිළිබඳ ව නිහඬ කථාන්තරයක් ලොවට හෙළි කරන බව පැවසීම බොරුවක් නොවෙයි. ඓතිහාසික ජපන් අධිරාජ්‍යය තුළ යුදමය වතාවරණයක් පැවති ක්‍රිස්තු වර්ෂ 1467 – 1600 දක්වා කාල සීමාව, නොබිය ව සටනට ගොස් ජාතිය වෙනුවෙන් දිවි පිදූ කීර්තිමත් සමුරායි රණශූරයින් ගැන පැවසෙන කථාන්තරයන්ගෙන් බහුල යි.  මේ කාල සීමාවේ දී ෂෝගුන් පාලනය යටතේ පැවති හමුදා පාලනය බිඳ වැටී පැවතුණු අතර ප්‍රාන්ත රාජ්‍යයන් පාලනය කළ දෛම්යෝවරුන් එකිනෙකාට එරෙහි ව සටන් මෙහෙයවමින් රටේ පාලනය සියතට ගැනීමට උත්සාහ කරමින් සිටියා. එවැනි වතාවරණයක් යටතේ දස දහස් ගණනක් වූ හමුදාවන් මෙහෙයවමින් බිඳ වැටෙමින් පැවති ජපන් අධිරාජ්‍යය එක්සේසත් කිරීමට උත්සාහ කළ වීර සමුරායිවරුන් තිදෙනෙකු පිළිබඳ ව ජපන් ඉතිහාසයේ සඳහන් වෙනවා.

(© Wikimedia Commons)
සමුරායි සටනක්

ඔඩා නොබුනගා (ක්‍රිස්තු වර්ෂ 1534 – 1582)

මධ්‍යම ජපානයේ වෙරළබඩ ප්‍රාන්තයක් වූ ඔවාරි හි පාලකයා වූ ඔඩා නොබුනගා, ඔහුගේ යුද උපක්‍රමයන් හි දී අතිදක්ෂ ලෙස අලුත් උපක්‍රමයන් අත්හදා බැලූ අනුකම්පා විරහිත රණශූරයෙකු බව යි සඳහන් වෙන්නේ. එසේ ම ක්‍රිස්තු වර්ෂ 1543 දී ජපානයට පා තැබූ පෘතුගීසි ජාතිකයන්ගේ යුද තාක්ෂණය කෙරෙහි උනන්දුවක් දැක් වූ අයෙකු ලෙස ද ඔහු ප්‍රකට යි. තව ද​ ජපානය එක්සේසත් කිරීමේ අරමුණෙන් ඔහු ඒ කාලයේ විශාල දේශපාලනය බලයක් හිමි ව පැවති බෞද්ධ ආශ්‍රමයන් සහ රණශූර භික්ෂූන් සමග මෙන් ම යුදමය වශයෙන් බලවත් දෛම්යෝවරුන් සමග ද සටන් වැද තිබෙනවා.

© Wikimedia Commons

ඔඩා නොබුනගා මුහුණ දුන් වඩාත් තීරණාත්මක සටන ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1575 දී තුවක්කු භාවිතා කරමින් සිදු කරන ලද ‘නගාෂිනෝ සටන’ යි. එහි දී තකේදා ගෝත්‍රයේ පාලකයා වූ කත්සුයෝරි (ෂින්ජෙන් නම් බලවත් හමුදා නායකයාගේ පුත්‍රයා) ව පරාජයට පත් කිරීමට ඔඩා නොබුනගා සමත් වුණේ ජපානය එක්සේසත් කිරීමේ ව්‍යාපාරයේ දැවැන්ත පියවරක් ඉදිරියට තබමින්. පසු ව ඔඩා නොබුනගා එවකට ජපන් අධිරාජ්‍යයේ අගනුවර වූ කියෝතෝවේ බලය අල්ලා ගැනීමට සමත් වුව ද අකෙචි මිත්සුහිදේ නම් ඔහුගේ යුද හමුදාවේ ජෙනරාල්වරයා ඔහුට ද්‍රෝහී වීම හේතුවෙන් සමුරායි සාම්ප්‍රදාය අනුව හොන්නෝ-ජි පන්සලේ දී සිය දිවි නසා ගැනීම මගින් ඔහු ගෞරවාන්විත ව මිය ගියා.

තොයෝතොමි හිදෙයොෂි (ක්‍රිස්තු වර්ෂ 1536 – 1598)

© Morino Higuma

ගොවි පවුලකට උපන් තොයෝතොමි හිදෙයොෂි, ඔහුගේ යුද සේවය අරඹා ඇත්තේ ඔඩා නොබුනගාගේ පාවහන් භාරකරුවෙකු (sandal-bearer) ලෙස යි. නමුත් යුදමය කටයුතු සැලසුම් කිරීම සඳහා ඔහු තුළ පැවති සහජ දක්ෂතාවය හඳුනාගත් ඔඩා නොබුනගා, කෙටි කලකින් ම ඔහු ව තම විශ්වාසවන්ත ජෙනරාල්වරයෙකු ලෙස උසස් කර තිබෙනවා. තම ස්වාමියා වෙනුවෙන් සටන් රැසක් ජය ගත් ඔහු, ඔඩා නොබුනගාගේ මරණය සඳහා පළි ගැනීමෙන් පසු ව සමුරායි පාලනය සියතට ගෙන ජපානය එක්සේසත් කිරීමේ ව්‍යාපාරය දිගට ම පවත්වාගෙන ගියේ ක්‍රිස්තු වර්ෂ 1590 දී එක්සේසත් කරන ලද ජපානයේ ඔසාකා නුවර ඔහුගේ මූලස්ථානය පිහිටුවමින්.

කලා කෘතීන් සඳහා මහත් ඇල්මක් දැක් වූ තොයෝතොමි හිදෙයොෂි, ඔහුගේ අසුචි හි පිහිටි සුවිසල් මැදුර අලංකාර ලෙස සරසන ලද බව සඳහන්. එසේ ම ඔහු සෙන් නො රික්‍යු නම් ශ්‍රේෂ්ඨ ජපන් තේ චාරිත්‍ර පිළිබඳ ගුරුවරයාගෙන් ජපන් තේ චාරිත්‍ර හදාරා තිබෙනවා. ජපානය එක්සේසත් කිරීමෙන් පසු ව යළිත් වරක් ජපන් අධිරාජ්‍යය බිඳී යාමට ඇති ඉඩකඩ ඇහිරීමේ අරමුණෙන් ඔහු ජපානය තුළ පැවති පන්ති ක්‍රමය දැඩි කිරීමට කටයුතු කළා. ඒ අනුව ඔහු ගොවි ජනතාවට ආයුධ භාවිතා කිරීම තහනම් කර ඇත්තේ සමාජ සංචලතාවකට ඇති ඉඩ ප්‍රස්තාව සම්පූර්ණයෙන් ම අහුරමින්. එසේ ම තොයෝතොමි හිදෙයොෂි ඔහුගේ මරණයට කෙටි කාලයකට පෙර කොරියාව යටත් කර ගැනීම සඳහා අසාර්ථක යුද ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.

(© Arissa Hahn)
යළි ගොඩනංවන ලද ඔසාකා මන්දිරය

තොකුගාවා ඉයෙයාසු (ක්‍රිස්තු වර්ෂ 1543 – 1616)

ඔවාරි ප්‍රාන්තයට යාබද ව පිහිටි මිකාවා හි පාලකයා වූ තොකුගාවා ඉයෙයාසු ද ඔඩා නොබුනගාගේ හමුදාවේ ජෙනරාල්වරයෙක්. විචක්ෂණ රණශූරයෙකු ලෙස සැලකෙන ඔහු විසින් මෙහෙය වන ලද සටන් අතරින් පරාජයට පත් වූ අවස්ථාවන් පවතින්නේ අතළොස්සක් පමණ යි. ඔඩා නොබුනගාගේ මරණයෙන් පසු ව ඒ සඳහා පළි ගැනීමට තොයෝතොමි හිදෙයොෂිට සහය දැක් වූ ඔහු ක්‍රිස්තු වර්ෂ 1598 දක්වා ම තොයෝතොමි හිදෙයොෂිගේ විශ්වාසවන්ත ජෙනරාල්වරයෙකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුගේ මරණයෙන් පසු ව උපායෙන් තොයෝතොමි හිදෙයොෂිගේ උරුමකරු බවට පත් වූ තොකුගාවා ඉයෙයාසු, ජපන් අධිරාජ්‍යයේ පාලනය බලය සියතට ගැනීමට කටයුතු කළා.

© Wikimedia Commons

නමුත් ක්‍රිස්තු වර්ෂ 1600 දී තොයෝතොමි හිදෙයොෂිගේ පුතු වූ තොයෝතොමි හිදෙයොරිට පක්ෂපාතී වූ හමුදාවන්, සෙකිගහරා සටනේ දී ඉෂිදා මිත්සුනාරි නම් ජෙනරාල්වරයාගේ නායකත්වය යටතේ තොකුගාවා ඉයෙයාසුට එරෙහි ව සටන් මෙහෙය වූ අතර එයට දෙලක්ෂයක පමණ භට පිරිසක් සහභාගි වූ බව සඳහන්. නමුත් තොකුගාවා ඉයෙයාසු මෙම සටන ජය ගත් අතර එය සැලකෙන්නේ ‘තොකුගාවා ෂෝගුනේට්’ නම් ඔහුගේ නව ආණ්ඩුවේ නිල නොලත් ඇරඹුම ලෙස යි. ජපානයේ අවසන් වැඩවසම් පාලන ආණ්ඩුව ලෙස සැලකෙන එය මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් යළිත් මෙයිජි අධිරාජ්‍යයාට පාලනය බලය පවරන තෙක් ක්‍රිස්තු වර්ෂ 1603 – 1867 දක්වා පැවතුණා.

කවරයේ පින්තූරය : © Wallpapers Wide

Related Articles