Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තන්තිරිමලය රජමහා විහාරය

බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබදව අධ්‍යනය කරන විට ඉතාමත් වැදගත් තොරතුරු සපයන මුලාශ්‍ර ලෙස හදුනා ගත හැකි වන්නේ රට පුරා විසිරි පවතින බෞද්ධාගමික​ වෙහෙර විහාරස්ථානයි. එම ආගමික සිද්ධස්ථාන ආගමික හා පෞරාණික වටිනාකමකින් යුතු වෙනවා මෙන්ම අප රටේ ඓතිහාසික ශ්‍රී විභූතිය ලොවට විදහා දක්වන කැඩපතක් ලෙසද හදුන්වන්නට පුළුවන් වෙනවා. එලෙස ඉතාමත් පැරණි පෞරාණික වටිනාකමකින් යුතු භූමියක් ලෙස මෙම තන්තිරිමලය රජමහා විහාරය හදුනා ගැනීමට පුළුවන් වෙනවා. තන්තිරිමලය රජමහා විහාරය හා බැඳුණු තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

තන්තිරිමලය පුද බිමෙහි පිහිටා තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්වෙන පින්තුරයක් (panoramio.com)

තන්තිරිමලය රජමහා විහාරය අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර 36 පමණ වයඹ දෙසට වන්නට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නැගෙනහිර දෙසින්ද මල්වතු ඔයෙහි වම ඉවුර දෙසට වන්නට මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 366 ග්‍රාමනිලධාරී වසම ඇතුලත පිහිටා තිබෙනවා. එසේම එය අක්කර 200 කට වඩා වැඩි භුමි ප්‍රමාණයකට හිමිකම් කියන අතර එම භුමිය ශිඛර​වලින් ගහන භූමියක් ලෙසද හදුනා ගැනීමට පුළුවන් වෙනවා. මෙම විහාරස්ථානය පිලිබදව අධ්‍යනය කරනවිට තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ පැවති ඉපැරණි ජනාවාසයක් ලෙස හදුනා ගැනීමට පුළුවන් වෙනවා. එසේම මහින්දාගමනය සිදු වූ යුගයට පෙර සිටම අප රට තුල ජනාවාස පැවති බවට මෙම භුමිය සාක්ෂි දරනවා. එහිදී මෙම විහාරස්ථානය ඇසුරින් මුල්කාලීන යුගයේ සිටම අනුරාධපුර යුගයේ අගභාගය දක්වාම විහිදෙන දිර්ඝකාලින කාල පරිච්චේදයකට උරුමකම් කියන සාක්ෂි හමුවී තිබෙනවා. එහිදී එම භුමිය තුලදී හමුවන කැටයම් හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ, ශිලා ලේඛන, චිත්‍ර හා මුර්ති, ආදී කාලින මිනිසුන් භාවිත කල මෙවලම්, මෙන්ම ආගමික නිර්මාණ එයට සාක්ෂි දරනවා. එසේම ජනප්‍රවාද සහ ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව මුල් කාලීනව මෙහි සිට වයඹදිග මුහුදු වෙරල දක්වා සක්‍රිය ජනාවාස පැවති තිබෙනවා.

තන්තිරිමලය පුද බිමෙහි පිහිටා තිබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්වෙන පින්තුරයක් (panoramio.com)

මේ හා බැදුණු ඉතිහාසය පිලිබදව සලකා බලන විට විජය කුමරු ශ්‍රී ලංකාවට ගොඩ බැස මල්වතු ඔය ඔස්සේ අනුරාධපුරයට පැමිණ ඒ ආශ්‍රිතව තම රාජ්‍ය​ පිහිටුවා ගත් අතර ඔහු සමග පැමිනි සෙසු අමාත්‍යවරුන්ටද විවිධ දිශාවන්ට ගොස් ජනාවාස පිහිටුවා ගැනීමට උපදෙස්  දෙන ලදී. ඒ අනුව උපතිස්ස අමාත්‍යවරයා විසින් තෝරා ගත්තේ මල්වතු ඔයට කනදරා ඔය හමුවන ස්ථානය වූ අතර එය උපතිස්ස ග්‍රාමය නමින් හඳුන්වා තිබෙනවා. වර්තමානයේදී තන්තිරිමලය යනුවෙන් හදුන්වනු ලබන්නේ එම ප්‍රදේශය යයි විශ්වාස කරනවා. එසේම බුද්ධ වර්ෂ 3 වන සියවසේ දෙවනපෑතිස් රජුගේ කාලයේ තිවංක බමුණුගම යනුවෙන් හදුන්වා තිබෙන්නේද මෙම ප්‍රදේශයයි. එනම් එකල මෙම ප්‍රදේශය තිවංක නම් බමුණෙකු යටතේ පැවති අතර එනිසා එනමින් හදුන්වා තිබෙනවා. එසේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාද්වීපයට වැඩම කරවීමෙන් පසුව උන්වහන්සේ අනුරාධපුරය වෙත වැඩම කරවන ගමනේදී එම පෙරහැර මෙම තන්තිරිමලය රජමහා විහාරස්ථානයට​ අයත් වන භූමියේ  එක් දිනක් නවාතැන් ගෙන ඇති අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පළමු ශාඛාව​ එහි හටගත් බවද සදහන් වෙනවා. මහාවංශයට අනුව මෙහි ජනාවාස විජය කුමරුගේ ආගමනයෙන් පසුව ඇරඹි බවට සදහන් වුවද ඊට පෙර සිට එනම් ප්‍රාග් ඓතිහාසික තරම් ඈත​ යුගයකට අයත් ජනාවාස පිළිබද සාධක මෙම භූමියෙන් හමු වී තිබෙනවා. මේ ආකාරයට මෙම භූමිය හා බැදුණු ඓතිහාසික තොරතුරු හදුනා ගැනීමට හැකි වෙනවා.

පුද බිමෙහි පිහිටා ඇති ගල් ගුහාවක් තුලදී දැකගැනීමට ලැබෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යයි සැලකෙන අක්ෂර (harithacharika.blogspot.com)

එසේම මෙම ප්‍රදේශයට තන්තිරිමලය යන නමින් හැඳින්වීම​ පිලිබදව සලකා බලන විට එය හා බැදුණු ඓතිහාසික තොරතුරු හදුනා ගැනීමට පුළුවන් වෙනවා. සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහය නිසා රජ මාලිගයෙන් ඔවුන් පිටුවහල් කල අවස්ථාවේ ඔවුන් දෙදෙනා වාසය කර ඇත්තේ මෙම ප්‍රදේශයේ බව සැලකෙනවා. එසේම පසුව දුටුගැමුණු මහා රජතුමා එම දෙදෙනාට සමාව ලබා දී ඇති අතර එම අවස්ථාවේදී රජතුමා විසින් “තන්තිරි” යන සමනලයන් වැනි සත්ව විශේෂයක හැඩයෙන් නිමවුණු මාලයක් ත්‍යාග වශයෙන් ඔවුන්ට ලබා දී ඇති බවද කියවෙනවා. පසු කාලීනව සාලිය කුමරු එම මාලය මෙම ප්‍රදේශයේ නිධන් කල බවත් ඒ හේතුව නිසාවෙන් මෙම ප්‍රදේශයට තන්තිරිමලය යන නම ලැබුණු බවට මතයක් පවතී. එසේම තවත් මතයක් ලෙස “පූජනීය​ පිරිස නවාතැන් ගත් ස්ථානය” යන අරුත දෙන දමිල වචනය වන “තන්ගෛතිරුමලේ” යන දමිල ව්‍යවහාරය පසුකාලීනව තන්තිරිමලය බවට පත් වූ බව හදුනා ගැනීමට පුළුවන.

චෛත්‍ය රාජයාණන් වහන්සේ (lanka-excursions-holidays.com)

මෙවැනි ඓතිහාසික වටිනාකමක් ඇති මෙම විහාර භුමිය තුලදී වර්තමානයේදීද ආගමික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නටබුන් හා ආගමික ස්ථාන හදුනාගැනීමට පුළුවන. එහිදී මෙම විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පළමු ශාඛාව​ ලෙස මෙහි වැඩ හිදින බෝධීන් වහන්සේ සලකනු ලබන අතර එම බෝධීන් වහන්සේ පිහිටා තිබෙන්නේ මෙම විහාරස්ථානයේ ඇති ගල් තලාව මත වීමද බොහෝ දෙනාගේ විශ්මයට හේතු වෙනවා. මෙම විහාරස්ථානයේදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ද බොහෝ දෙනෙකුගේ වන්දනාමානයට​ ලක් වනවා. එසේම මෙම පුද බිමෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද දකින්නට ලැබෙන අතර එය දිගින් අඩි 45ක් වෙනවා.

විහාර භුමිය තුල පිහිටා ඇති බෝධීන් වහන්සේ (tripadvisor.com)

එසේම මෙම භුමියේ පිහිටා ඇති අලංකාර නෙලුම් පොකුණ ආසන්නයට වන්නට පිහිටා ඇති ස්වභාවික ගල්කුලක් මත ඇති චතුරශ්‍රාකාර පොත්ගුලද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එසේම මෙහි ඇති ගල් ගුහා තුලදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යයි සැලකෙන සිතුවම් ද දැකගැනීමට හැකි වෙනවා. එමෙන්ම මෙම තන්තිරිමල පුණ්‍ය භුමිය තුලදී ශිලාලේඛනයන් ද දැකගැනීමට පුළුවන් වෙනවා. එසේම විහාරස්ථානයක අංගයන් වන දාගැබ​ මෙන්ම පිළිමගෙයක් ද මෙම විහාරස්ථානයේ දකින්නට ලැබෙනවා. මේ සියලුම විහාර අංගයන් මෙන්ම සමස්ථ​ තන්තිරිමලය පුදබිම පිහිටා තිබෙන්නේ අක්කර 200ක පමණ පැතිරී ඇති ගල් තලාවක් මතයි.

මේ ආකාරයට ඓතිහාසික පුරාවිද්‍යාත්මක මෙන්ම ආගමික වැදගත්කමකින් යුතු අප කාගේත් වන්දනාමානයට ලක් විය යුතු විහාරස්ථානයක් ලෙස තන්තිරිමලය රජමහා විහාරස්ථානය හදුනාගැනීමට පුළුවන.

Cover: commons.wikimedia.org

මුලාශ්‍ර:

http://srilankatravelnotes.com/ANURADHAPURA/THANTHIRIMALE/Thanthirimale.html

http://www.gloriousbygone.com/c/asia/south-asia/sri-lanka/thanthirimale-rajamaha-viharaya/3-4-131-4171

https://sinhala.lankainformation.lk/directory/travel/places/14355-tantirimale-raja-maha-viharaya

Related Articles