Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපගෙන් ස‍ැඟව ගිය රමණිය උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයේ වතු බෝග වගාව ආරම්භ කරන ලදී. එම කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීම සඳහා උඩරට පහතරට ප්‍රදේශ සම්බන්ධ කරමින් දුම්රිය මාර්ග ඉදි වන්නට විය. එය යම් තරමකට දුෂ්කර වූයේ උඩරට ප්‍රදේශවල පවතින අධික කඳු සහ බෑවුම් සහිත ස්වභාවය හේතුවෙනි. මේ වනවිට බදුල්ල දක්වා මූලිකව දුම්රිය ධාවනය සිදුවූවද, බ්‍රිතාන්‍යයන්ගේ වාණිජ බෝග වගාවේ සහ සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වූ නුවරඑලිය නගරය දක්වා දුම්රිය ප්‍රවාහන පහසුකම් නොමැතිවීම​ හේතුවෙන් උඩරටින් නිපදවූ වැවිලි බෝග ප්‍රවාහනයටත්, සංචාරය කිරීමටත් වෙනත් ක්‍රමවේදයන් යොදා ගැනීමට සිදුවිය.

ඉදිකිරීම් ආරම්භය

සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා (www.imuseum.im)

සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා 1895 අප්‍රේල් මස 25 වන දින සංචාරයක් සඳහා නුවරඑලියට පැමිණි විට මෙසේ දුම්රිය මාර්ගයක අවශ්‍යතාවය පිළිබඳව එතුමාට දන්වන ලදී. එම ඉල්ලීමට අනුව, 1900 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. එසේ ඉදිකිරීමට සැලසුම් කරන ලද දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 19ක් වූ අතර නානුඔය සිට නුවරඑලිය හරහා රාගල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම සිදු කරන ලදී. මෙහි ඉදිකිරීම් වඩාත් දුෂ්කර වූයේ අධික දළ බෑවුම් සහිත වීම නිසා මෙන්ම අධික වියදමක් දැරීමට සිදුවීම නිසාවෙනි. එබැවින් මෙම දුම්රිය මාර්ගය, පටු දුම්රිය මාර්ගයක් ලෙස රේල් පීලි අතර පරතරය අඩි 02 යි අඟල් 06ක් ලෙස ඉදි කරන ලදී.

මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 05ක් ඉදි කරන ලද අතර ඒවා නම් බ්ලැක්පුල්, නුවරඑලිය, කඳපොල, බෘක්සයිඩ් සහ රාගල යන දුම්රිය ස්ථානයි. එසේම නුවරඑලියේ සිට කඳපොල අතර කුඩා දුම්රිය ස්ථාන තුනක් ලෙසින් පීඩ්රූ, සමර් හිල් සහ පෝර්ට්වුඩ් නැවතුම්පොළවල් ඉදිවූ අතර, කඳපොල සිට බෘක්සයිඩ් දුම්රිය ස්ථාන අතර 12.40 සහ ශාන්ත ජෝන් නමැති දුම්රිය පොලවල් ඉදි කරන ලදී. මෙම කුඩා දුම්රිය පොලවල් ඉදි කරනු ලැබූයේ තේ නිෂ්පාදන ප්‍රවාහනය සඳහාමය. මෙම ව්‍යාපෘතිය අදියර 3 කින් සමන්විත වූ අතර, නානුඔය සිට නුවරඑලිය දක්වා වූ පළමු අදියර 1903 දෙසැම්බර් මස 14 වන දින විවෘත කරන ලද්දේ සර් හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා විසිනි. 1904 වන විට කඳපොල සහ රාගල දක්වා වූ දෙවන සහ තෙවන අදියරයන්හි කටයුතුද අවසන් විය. මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා රු. 1,653,452ක සම්පූර්ණ මුදලක් වැයව තිබේ.

භූගෝලීය පිහිටීම සහ දුම්රිය මාර්ගය

දුම්රිය මාර්ගයේ ආරම්භක ස්ථානය (lowawate.blogspot.com)

දළ වශයෙන් මෙවැනි ඉහළ කඳු මුදුන්හි නැග්ම සඳහා ප්‍රමාණාත්මක අගය වනුයේ 1/44ක්‌ හෝ 1/45 යන ප්‍රමාණයයි. අඩියක ඉහළ එස වීමක්‌ සදහා අඩි 44ක දුරක්‌ දුම්රිය ගමන් කළ යුතුය. මෙම කලාපයේ අධික ආනතිය නිසාම මෙම දුම්රිය මාර්ගයේ නැග්මේ සාමාන්‍යය වූයේ 1/24 කි. එනම් අඩි 24ක් ඇතුලත දුම්රිය මාර්ගය අඩි 1ක් ඉහළට එසවීමයි. කඳපොල සිට බෘක්සයිඩ් දක්වා නැග්මේ සාමාන්‍යය අඩි 16ක් ඇතුලත එක අඩියක් දක්වා වූ අතර එය රාගල දක්වාම පැවතී තිබේ. එය කඩුගන්නාව ගිරි දුර්ගයට සමගාමීව තුන් ගුණයක ආතතියකි. ඉතා අධික නැග්මක් වූ බැවින් මෙම කලාපයේදී දුම්රිය ගමන්  කළේ පැයට කිලෝ මීටර 9 -10 දක්වා වන වේගයකින් වන අතර ඇතැම් ස්ථානවලදී දුම්රිය අතරමග නැවතී තිබීමද සිදුවිය. මෙම මාර්ගයේ පිහිටි කඳපොල දුම්රිය ස්ථානය ඒ වන විට ලංකාවේ වැඩිම උසින් පිහිටි දුම්රිය ස්ථානය බවට පත්වූයේ මුහුදු මට්ටමේ සිට අඩි 6316ක් උසින් පිහිටා තිබීම නිසාවෙනි. අද මෙරට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පටිටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට 6204 ක් උසින්, එනම් කඳපොලට වඩා අඩි 112ක් පහළින් පිහිටා තිබේ.

ලංකාවේ වැඩිම උසින් පිහිටි දුම්රිය ස්ථානය වු කඳපොල දුම්රිය ස්ථානයේ වර්තමාන තත්ව‍ය(www.awidimu.com)

දුම්රිය ධාවනය

1920 පමණ වන විට මෙම මාර්ගයේ දෛනිකව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 5ක් සහ මිශ්‍ර දුම්රිය 11ක් ලෙසින් සම්පූර්ණයෙන් දුම්රිය 16ක් ධාවනය​ වී තිබේ. දුම්රිය මාර්ගයේ අවට ඇති ස්වභාව සෞන්දර්යය නිසාම එය සංචාරකයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය ව තිබූ අතර ආණ්ඩුකාරවරයා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක් පවා තිබී ඇත.

මාර්ගය අධික ආනතියක් සහිත වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ ඉල්ලීම පරිදි එංගලන්තයේ බයර් පීකොක් (Bayer Peacock) සමාගම නිපදවූ සුවිශේෂී ගැරට් එන්ජිමක් (එච් 1-293) මෙරටට ගෙන්වන ලදී. උඩපුස්සැල්ලාව මාර්ගය වසා දැමෙන තෙක්ම මෙය භාවිතා වූ අතර ඉන්පසු කැලණිවැලි දුම්රිය මාර්ගය සඳහා මද කලක් යොදවන ලදී. එය ඒ වනවිට ලොව ඉතිරිව තිබූ බයර් පීකොක් සමාගම විසින් නිෂ්පාදිත එකම පටු ආමානයේ ගැරට් වාෂ්ප දුම්රිය එන්ජිම විය. නමුත්, 1981 දී ඩීසල්කරණ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එය පරණ යකඩ වලට විකිණීම සඳහා කැබලි කපා දමන ලදී. එහි ටැංකිය පමණක් අද වනවිට ඉතිරිව තිබේ. සංරක්ෂනය කළ යුතුව තිබූ කෞතුක වස්තුවක් මේ හේතුවෙන් ලොවටම අහිමි වී ගොස් තිබේ.

නුවරඑලිය දුම්රිය පොල පැරණි ඡායාරුපයක් (srilankanpulse.blogspot.com)

මෙරට දුම්රිය මාර්ග පිළිබඳ The Ceylon Government Railway යන කෘතිය රචනා කළ බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි ඩබ්ලිව් කේව් මහතා ඔහුගේ කෘතියේ දක්වන්නේ මෙම කෙටි දුම්රිය ගමන මගින් තෙත් කලාපය සහ වියලි කලාපය අතර වෙනස අත්විඳිය හැකිවාක් මෙන්ම කඳපොල පසු කිරීමත් සමග සෞම්‍ය, සිසිල් දේශගුණයක් අත්විඳිය හැකි බවයි.

දුම්රිය මාර්ගය වසා දැමීම

දෙවන ලෝක යුද්ධයත් සමග බ්‍රිතාන්‍යන්ගේ ආර්ථිකයද කඩා වැටීමට පටන්ගත් අතර ඉහළ වියදමක් දරමින් මෙම දුම්රිය මාර්ගය පවත්වාගෙන යාම ගැටලුවක් විය. එසේම මේ වනවිට මහා මාර්ග පද්ධතියද දියුණු මට්ටමක පැවති අතර ලොරි වලින් භාණ්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු කරන ලදී. එබැවින්, 1942 දී රාගල සිට නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගය වසා දමන ලද අතර 1948 අගෝස්තු මස 02 වන දිනදී උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන ලදී. දුම්රිය මාර්ගය වසා දැමුණද දුම්රිය ස්ථාන තවත් කාලයක් යනතුරු ක්‍රියාත්මක වූයේ වෙනත් දුම්රිය ස්ථානවලින් ලැබෙන සහ ගෙනයන භාණ්ඩ හුවමාරුව සිදු කිරීම හේතුවෙනි. පසුකාලීනව මෙයද නැවතී ගිය අතර උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයත්, දුම්රිය ස්ථානත් ස්ථිර වශයෙන්ම වසා දමන ලදී.

වසා දැමු පැරණි නුවරඑලිය දුම්රිය පොල වර්තමානයේ ලංගම ඩිපෝව ලෙස භාවිතයට ගැනේ (www.awidimu.com)

වර්තමානය වනවිට මේ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි කිහිපයක් සහ තැන් තැන් වල ශේෂව ඇති නෂ්ටාවශේෂ කිහිපයක් පමණි. නුවරඑලිය දුම්රිය ස්ථානය අද වන විට ශ්‍රී ලංගම බස් ඩිපෝව ලෙස භාවිතයේ පවතින අතර, බෘක්සයිඩ් දුම්රිය පොල මත්පැන්හලක් බවට ලක්ව තිබේ. රාගල දුම්රිය පොලද වෙළදකුටි කිහිපයක් බවට පත්ව තිබේ.

එසේම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා මෙම දුම්රිය මාර්ගය යථාවත් කිරීමට යෝජනා ඉදිරිපත් වුවත්, අධික වියදම නිසාත් භූගෝලීය පිහිටීමෙන් ඇතිවන දුෂ්කරතා නිසාත් එම යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඇණහිට තිබේ. නමුත්, රටක් සංවර්ධනය කරා ගමන් කළ යුතුම මේ කාලයේදී නවීන තාක්ෂණයද යොදාගෙන අවම වියදමකින් නැවත මෙම දුම්රිය මාර්ගය ඉදි කළ හැකිනම්, එය මෙරට වඩාත්ම සුන්දර ප්‍රදේශය වෙත දුම්රිය ගමනකින් පමණක්ම ලැබිය හැකි ආස්වාදය ලබාදෙන්නක් වනු ඇත.

මුලාශ්‍ර

  1. මීළග දුම්රිය නානුඔය සිට රාගල දක්‌වා ගමන් ආරම්භ නොකෙරේ
  2. වසා දැමුණු නුවරඑළිය දුම්රිය මාර්ගය​
  3. පුංචි කෝච්චිය නුවරඑළි ගිය හැටි
  4. උඩරට චාරිකාව – 18
  5. H1 class 293 (Bayer Peacock) සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා

Cover Photo- රාගල දුම්රිය මාර්ගයේ පැරණි ඡායාරුපයක් (lowawate.blogspot.com)

Related Articles