Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා පවතින අමුතු නීති කිහිපයක් !

ලොව පුරා විවිධ රටවල, ඒ ඒ රටවල්වලට අනන්‍ය වූ නීති පද්ධති තිබෙනවා. මින් බහුතරය, ශිෂ්ට යැයි සම්මත, සමාජයේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව සඳහා වැදගත් වූ නීති ලෙස හඳුනා ගන්නට පිළිවන්. මේ අතර, ඉතා විකාරරූපී වූ, ඒවා පවතින්නේ මන්දැයි පවා සිතා ගත නොහැකි නීති තිබෙනවා. දියුණු රටවල්වල පවා ඇති මේ සමහරක් නීති ගැන ඇසීම පවා විසුළු සහගත වෙනවා. මින් සමහරක් ඒවා, බැලූ බැල්මට මුග්ධ ලෙස පෙනුණත්, සවිස්තරාත්මකව පෙනී යන්නේ, ඇත්තෙන්ම ඒවා වල පෙනෙනවාට වඩා ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇති බව යි. 

මේ සමහරක් නම්, යාවත්කාලීන නොවීම නිසා ඇත්තෙන් ම කිසිදු ප්‍රයෝජනයක් නැති විකාරරූපී ගණයෙහි ලා ම සැලකිය හැකි ඒවා ලෙස පෙනෙනවා. මේවා රාශියක් ඇතත්, ඉන් ලොව වැඩිමනත් ම අවධානයට බඳුන් වූ නීති කිහිපයක් පිළිබඳ ලිපි දෙකකින් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.  

එංගලන්තයේ අපූරු ‘සැමන්’ නීතිය

එංගලන්තයේ අදටත් ක්‍රියාත්මක අපූරු නීතියක් තිබෙනවා. 1886 වසරේ ගෙන එන ලද ‘සැමන්’ පනතේ 32 වන වගන්තිය ප්‍රකා රව, කිසිවෙක් සැමන් මාළුවකු සැකකටයුතු ලෙස හසුරවනවා නම්, එය නීතියේ හැටියට දඬුවම් කළ හැකි වරදක් වෙනවා. මේ නීතිය එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වෙනවා. සැමන් මත්ස්‍යයන් නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන, උන් සැක කටයුතු ලෙස පරිහරණය කරමින් සිටිය දී, නීතියට හසුවුවහොත්, උපරිම වශයෙන් දෑ අවුරුදු සිර දඬුවමකට යටත් කරන්නට එරට බලධාරීන්ට මෙමඟින් හැකියාව ලැබෙනවා.

සැමන් මාළුවකු සැකකටයුතු ලෙස හසුරවනවා නම්, එය නීතියේ හැටියට දඬුවම් කළ හැකි වරදක් – www.examinerlive.co.uk

ජෝර්ජියාවේ කුකුළු නීතිය

ජෝර්ජියාවේ ක්විට්මන් හි පනවා ඇති මෙම නීතිය බැලූ බැල්මට, ඉතා අමනෝඥ මෙන් ම විකාරරූපී නීතියක් ලෙස පෙනී ගියත්, ඇත්තෙන් ම මෙය පනවා තිබෙන්නේ, එහි යහමින් ඇති කුකුළු ගොවිපළවල සිටින කුකුළන්ටත්, ඔවුන්ගෙන් ප්‍රදේශයේ ජනතාවටත් වෙන අපහසුතා අවම කරවන අරමුණෙනු යි.

තමන් සතු කුකුළන්ට පාර මාරු වීමට ඉඩ දීම නීතියේ හැටියට වරදක් වෙනවා -entertainmentbracket.com

මේ නීතියට අනුව, තමන් සතු කුකුළන්ට පාර මාරු වීමට ඉඩ දීම නීතියේ හැටියට වරදක් වෙනවා. එහි බලධාරීන් පවා කුකුළාට මෙන් ම කුකුළු මස්වලට ලබා දෙන්නේ ඉහළ තැනක්. සමහරෙක් ඔවුන් කුකුළන් ‘දේවත්වයෙන්’ සලකන බවට උසුළු විසුළු පවා කරනවා. ඔවුන් කුකුළු මස් ආහාරයට ගැනීමේ දී හැඳි ගෑරොප්පු පවා භාවිත කරන්නේ ඉතා අවම වශයෙනු යි. ඔවුනට මේ පුරුද්ද, ආහාර අඩු සමයක කුකුළන් නිසා දිවි බේරා ගත් බැවින් ඇති වුණු එකක් බැව් පැවසෙතත්, එය තහවුරු කරන්නට එතරම් සාක්ෂි නැහැ.

වික්ටෝරියාවේ බල්බ මාරු කිරීමේ නීතිය

මේ නීතිය හමු වන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙනු යි. එහි නීතිය අනුව, නිසි සුදුසුකම් නොමැති ව, ඔබට ඔබේ නිවසේ විදුලි බල්බය මාරු කිරීමට පවා හැකියාවක් තිබුණේ නැහැ. මේ ආකාරයෙන් තම නිවසේ හෝ බල්බ මාරු කිරීම නීතියේ හැටියට වරදක් වූ අතර, හසුවුවහොත් ඔස්ට්‍රේලියානු ඩොලර් 10 ක දඩයකට යටත් වන්නට සිදුවුණා.

නිසි සුදුසුකම් නොමැති ව, ඔබට ඔබේ නිවසේ විදුලි බල්බය මාරු කිරීමට පවා හැකියාවක් තිබුණේ නැහැ – energy.gov

ඇත්තෙන් ම මෙය වික්ටෝරියාවේ බලධාරීන් පනවා තිබුණේ, ප්‍රාන්ත වැසියන්ගේ ම යහපත වෙනුවෙනු යි. අතීතයෙ සූත්‍රිකා පහන් ආශ්‍රිත විදුලි සැර වැදීම් වික්ටෝරියා ප්‍රාන්තයෙන් සැලකිය යුතු ලෙස වාර්තා වීම නිසා මේ නීති පනවා තිබුණා. එම නීති අනුව විදුලි බල්බ මාරු කිරීමේ සිට, විදුලි සැපයුම සම්බන්ධ කිසිදු කටයුත්තක් කළ හැකි වන්නේ, පුහුණුව සහ සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු වන්නේ නම් පමණ යි. කෙසේ නමුත් පසුකාලීන ව විදුලි බල්බ සහ පේනු ආශ්‍රිත ආරක්ෂාව වැඩි උපාංග වෙළෙඳපොළට පැමිණීම නිසා 1998 වසරේ දී මෙම නීතිය මඳක් වෙනස් කෙරුණා. ඒ අනුව එම වසරෙන් පසුව, වික්ටෝරියා වැසියන්ට පේනුවක් බිත්තියෙන් ගැලවීම සහ තම නිවසේ විදුලි බල්බ මාරු කිරීම, සුදුසුකම් නොමැතිව වුව ද සිදු කළ හැකි වුණා.

ඇරිසෝනාවේ ‘බූරු’ නීතිය’

අමෙරිකා එක්සත් ජනපදය විකාරරූපී නීති කිහිපයකට ම ප්‍රසිද්ධියක් උසුළනවා. මෙම නීතියට අනුව, ඒ ප්‍රාන්තයේ කිසිවකුට, රාත්‍රී 7 න් පසු, සිය සුරතල් බූරුවන් නාන කාමරයේ ඇති, නාන බේසම්වල නිදි කරවිය නොහැකි යි. 

මෙම නීතිය පනවා ඇත්තේ1924 වසරේ දී කිසිවෙක් සිය බූරුවා, නාන බේසමක නිදි කරවා සිටිය දී, නගරයට ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා යි. මෙම ගංවතුර තත්ත්වය නිසා බූරුවා සැතපුමක් පමණ දුරකට ගසාගෙන ගොස් තිබුණු අතර, අවසානයේ, නගරයේ මිනිසුන් මහත් පරිශ්‍රමයක් දරා ඌ බේරාගෙන තිබුණා. මෙම බූරුවා බේරා ගන්නට විශාල ශ්‍රමයක් සහ මුදලක් වැයවීම නිසා, නැවත එවැන්නක් නොවන්නට මෙම නීතිය පැනවූවා.

ටියුරින් හි බල්ලන්  ඇවිදවීමේ නීතිය – livitaly.com

ටියුරින් හි බල්ලන්  ඇවිදවීමේ නීතිය

ඉතාලියේ ටියුරින් හි වැසියන්, සිය සුරතල් සුනඛයා දිනකට තෙවරක්වත් ඇවිදීම සඳහා ගෙන යා යුතු වෙනවා. නෝසේ නම්, නීතියේ හැටියට එය වරදක් ලෙස සැලකෙන අතර, යුරෝ 500 ක දඩයකට යටත් වෙන්නට සිදුවෙනවා. මෙය මාතකදී සම්මත කර ගත් නීතියක් වන අතර, සතුන්ට රැකවරණය සහ කරුණාව දැක්වීමට මිනිසුන් දිරිමත් කිරීම උදෙසා මෙය පනවා තිබෙනවා. ඉතාලිය බල්ලන් සහ බළලුන් වැනි සුරතල් සතුන්ට සංවේදී රටක් වන අතර, ඔවුන්ගේ සුබසාධනය සඳහා වූ නීති රාශියක් එරට බලධාරීන් පනවා තිබෙනවා.

මෙම නීතිය පැනවූ පසු, එරට පොලිසිය, යමෙක් සිය සුරතල් සුනඛයාට හරිහැටි සලකන්නේ නැතිනම්, එය පිළිබඳ ව ඔත්තු ලබා දෙන්නන්ට ත්‍යාග ලබා දීමට ද කටයුතු කළා. ටියුරින් නුවර ලොව සුරතල් සතුන්ගේ රැකවරණය උදෙසා, තදබල ම නීති ඇති නගරයක් ලෙස සැලකෙන අතර, ගෝල්ඩ් ෆිෂ් සතුන් ඉටි උරවල බහා විකිණීම, මිලදී ගැනීම සහ ප්‍රවාහනය කිරීමත් තහනම් කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය - dvsolicitors.com
මූලාශ්‍ර
Thelawyerportal.com
Veenaworld.com
Indiatimes.com

Related Articles