ඉතිහාසය

විනාඩි 4 ක කියවීමක්

පියා සරන්නට රයිට් සහෝදරයන්ට පාර කැපූ නිහඬ විරුවා – ඔටෝ ලිලියන්තාල්

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ගුවන් යානය නිපදවුයේ කවුද කියලා කවුරු හරි ඇහුවොත් “රයිට් සහෝදරයෝ” කියලා දැනුම් තේරුම් කියන පුංචි දරුවෙක් වුණත් කියාවි. නමුත් එ් බොහෝ දෙනා ‘ඔටෝ ලිලියන්තාල්’ කියන නම ඇහුවාම නම් උඩ බිම බලනවා. ලෝකයේ බොහොමයක් නිර්මාණ ඒවා අවසානයේ සාර්ථකව නිමා කළ කෙනා ගේ නමින් ලියවිලා තිබුණාට ඒ සියල්ලම පාහේ ඊට කලින් ඒ දේවල් උත්සාහ කරලා ආසන්නයටම ඇවිත් අසාර්ථක වුණ අයගේ කර මතින් හැදුණු දේවල්.

පියාඹන මිනිසා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔටෝ ලිලියන්තාලුත් මේ කොටසට අයත්. හදිසි පර්යේෂණ දෝෂයක් හේතුවෙන් බෙල්ල කඩා නොගත්තා නම්, මෝටර රහිත ගුවන් යානාවලට සමාන ඇටවුම් සාදාගෙන සාර්ථක පියාසැරි කීපයක්ම කළ මේ කෘතහස්ත විද්‍යාඥයාගේ නම ඉදිරියෙන් ගුවන් යානය සෑදීමේ ගෞරවය බොහෝ විට ලියවෙන්නට තිබුණා. මේ විස්තරය ගුවන් යානා පරිණාම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතු ඔටෝ ලිලියන්තාල් ගැනයි.

gettyimages.com

කුරුල්ලන් අතර ගෙවුණු කුඩා කාලය

ඔටෝ ලිලියන්තාල් උපත ලැබුවේ ප්‍රශියාවේ (වර්තමාන ජර්මනියේ) ඇන්ක්ලම් නුවර දී 1848 මැයි 23 වෙනිදා ය. ඔහුගේ සහෝදරයා හා ඔහු එකට ක්‍රීඩා කරන කුඩා අවදියේ පටන් ‘ගුවන් ගත වීම’ සම්බන්ධයෙන් ඇල්මක් දැක්වූවා. අනෙක් කුඩා දරුවන් අල්ලන සෙල්ලම් කරන විට, වෙනත් ක්‍රියාකාරකම් කරන විට කුඩා ඔටෝ හා සහෝදර ගුස්ටොව් කාලය ගත කළේ කුරුල්ලන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමටයි. ඔවුන් ගුවන් ගත වන ආකාරය, ගුවනේ රැඳෙන ආකාරය මෙන්ම ගුවනේ හැසිරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වූවා. බාලාංශ පන්තියේ විෂය නිර්දේශයට ‘කුරුල්ලන් ගැන අධ්‍යයනය’ යන විෂය ඇතුලත්ව තිබීම කුඩා ඔටෝ ගේ සිතට මහත් ආශ්වාදයක් ගෙන දුන්නා නිසැකයි.

කාර්යක්ෂ්ම ඉංජිනේරුවෙක් ලෙස

ක්‍රි. ව 1864 දී 16 හැවිරිදි ගැටවරයෙකු ලෙස පෝස්ට්ඩෑම් හි ප්‍රාදේශීය තාක්ෂණ විද්‍යාලයට ඇතුළත් වන ඔටෝ එහිදී 1866 වන තුරු කාර්මික ශිල්පය හැදෑරුවා. ඉන් අනතුරුව ඔහු වෘත්තීය සැලසුම් ඉංජිනේරුවෙකු බවට පත් වූවත් දිගින් දිගටම ‘ගුවන් ගත වීම’ හෙවත් පියාසැරි අධ්‍යයනය විනෝදාංශයක් වශයෙන් දිගටම කර ගෙන ගියා.

ලිලියන්තාල් ඉංජිනේරුවෙකු වීමට බර්ලින් හි රාජකීය තාක්ෂණ ඇකඩමියේ අවුරුදු 3ක් ගත කළ අතර ඉංජිනේරු සිසුවෙක්ව සිටියදීම 1867 වර්ෂයේදී වායු ගතික විද්‍යාව හා ‘මානව පියාසැරිය’ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. මේ පර්යේෂණවල ප්‍රතිපල ඔහු පසු කාලයක පළ කළ අතර ඒවා පසු කලෙක ගුවන් යානය තැනීමට රයිට් සහෝදරයින්ට මහත් අත්වැලක් වූ බව නොරහසක්.

යුධ සේවය, කර්මාන්තශාලා ජීවිතය හා විවාහය

ලිලියන්තාල්ගේ අවාසනාවට 1870 දී ප්‍රංශය හා ප්‍රශියාව අතර යුද්ධය ඇවිලීම නිසා ඔහුගේ අධ්‍යයන කටයුතුවලට බාධා පැමිණි අතර ප්‍රශියානු හමුදාවට අනුයුක්ත වීමටත් සිදු වුණා. 1871 දී හමුදාවෙන් ඉවත් වෙන ඔහු කාර්මික ඉංජිනේරුවෙක් වශයෙන් බර්ලිනයේ වෙබර් සමාගමට බැඳුණු අතර ඉන් පසු තවත් සමාගමකට ඉදිකිරීම් ඉංජිනේරුවෙක් වශයෙන් බැඳී 1880 පමණ වන තුරු එහි ද සේවය කර තිබෙනවා.

1880දී ඔහු ඔහුගේම කියා බොයිලේරු කර්මාන්තශාලාවක් අරඹන්නේ ඔහුගේම සැලසුම් වලට අනුකූලවයි. බොයිලේරුවලට අමතරව එයට අවශ්‍ය අනෙකුත් උපකරණත් ඔහු නිර්මාණය කරන්නට කටයුතු කළා. 1890 දී ඔහු තම සේවකයන්ට කර්මාන්තශාලාවේ ලාභයෙන් කොටසක් බෙදෙන ආකාරයේ ක්‍රමයක් සලසා දුන්නා.

ලිලියන්තාල් 1878 දී ඇග්නස් ෆිෂර් නැමති යුවතියක් විවාහ කරගන්නා අතර ඔවුනට දරුවන් 4 දෙනෙකු ලැබුණා.

ලිලියන්තාල් පවුලේ උදවිය සමඟ 1892 දී (lilienthal-museum.de)

පියසර කිරීමට මූලික සූදානම

ලිලියන්තාල්ගේ විශේෂත්වය ලෙස මුලින්ම පෙනෙන්නේ ඔහු සාම්ප්‍රදායිකව බොහෝ මිනිසුන් උත්සාහ කළ පරිදි තටු ගසා පියාසර කිරීමට උත්සාහ නොකර උකුස්සන් ඈත අහසේ පාවෙන ආකාරයට පියාසර කිරීමට උත්සාහ ගැනීම වඩා සාර්ථක හා ප්‍රායෝගික බව අවබෝධ කර ගැනීමයි. එම නිසා පාවීමට අදාළ ලෙස ගුවන් යානා තටු නිර්මාණය කිරීමට සැලසුම් ඇඳීමට ඔහු මූලිකත්වය ලබා දුන්නා. විවිධ බාධා මධ්‍යයේ වුවද 1874 දී පමණ ඔහු සරුංගල් ඉහළ යාමේදී බල පවත්වන බලයන් පිළිබඳව පර්යේෂණ කර තිබෙනවා.

1873 දී ඔටෝ හා ඔහුගේ සහෝදරයා බ්‍රිතාන්‍ය ගගනගාමී සංගමයට බැඳෙන අතර තමන් මෙතුවක් කල් සොයා ගන්නා ලද දේ සම්බන්ධ දේශනා පැවත්වීමේ අවස්ථාව එහි දී ඔහුට උදා වුණා. කුරුල්ලෙකු තටු නොගසා පාවී යාම ගුවන් යානයක් සෑදීමේ හා පියාසර කිරීමේ අඩිතාලම ලෙස පෙන්වා දෙන සිද්ධාන්ත එහිදී ඉදිරිපත් කළ ඔටෝ පසු කාලීනව හෙවත් 1886 දී පමණ ජර්මනියෙත් දේශනා පැවත්වීමට අවස්ථාව ලැබුණු පසු තවදුරටත් ‘කුරුළු පියාසැරියේදී අවශ්‍ය ශක්තිය’ හා ‘කුරුළු පියසැරිය හා හිරු තාපය අතරින් යන මිනිසුන්’ වැනි මාතෘකා ඔස්සේ දේශන පැවැත්වූවා.

ලිලියන්තාල් විවිධ දේ අත් හදා බැලීය (chmelnice.org)

මෙතෙක් කල් පර්යෙෂණ තුළින් සොයා ගත් හා ඉගෙන ගත් ගුවන් යානා සැලසුම්කරණය හා යොදාගැනීම පිළිබඳ සියළු දේ කැටි කරගනිමින් ලිලියන්තාල් ‘‍යාත්‍රා කරන ගුවන් යානයක වක්‍ර මතුපිටවල උඩුකුරු පීඩන ධාරිතාව’ නමින් 1889 දී පොතක් එළි දැක්වූවා. තවත් පොතක් ‘සියොත් පියාසැරිය ගුවන් තරණයේ අඩිතාලම ලෙස, පියාසර කිරීමේ භෞතික සිද්ධාන්ත සහිතව’ නමින් ඒ කාලයේදීම එළි දැක්වූ අතර එම දෙවන පොත පසුකාලීනව ඉංග්‍රීසියටද පරිවර්තනයකට කරනු ලැබුවා. මෙහි ඔහු විසින්ම සිත්තම් කළ කුරුල්ලන්ගේ පින්තූරද අන්තරගතව තිබෙනවා.

ප්‍රායෝගික, සජීවී පරීක්ෂණ

ක්‍රි.ව. 1890 දී ලිලියන්තාල් මුල් වරට මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම ආරම්භ කළා. 1891දී ඔහු සිය සොහොයුරාගේද සහයෙන් යුතුව සිය පළමු සාර්ථක ග්ලයිඩරය නිර්මාණය කරන්න සමත් වුණා. එය ඉක්මනින්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න හැකියාව ලැබුණා. යම් යම් අසාර්ථක වීම් මධ්‍යයේ අවසනයේ ලිලියන්තාල් ටිකෙන් ටික උපකරණයේ නියම හැඩය කෙසේ විය යුතුදැයි අවබෝධ කරගෙන තටුවල වපසරිය හා විහිදීම අඩු වෙන පරිදි සැකසීම් කිහිපයක් කිරීමෙන් අනතුරුව අවසානයේ ඔහුගේ ව්‍යායාමය ට සාර්ථක ප්‍රතිඵල හිමි වූවා. ලිලියන්තාල්ගේ පළමු ග්ලයිඩර් නිපැයුම අඩි 80 ක පියාසැරියක් සාර්ථකව අවසන් කළා.

ලිලියන්තාල්ගේ නොම්මර 11 ග්ලයිඩයරය (airandspace.si.edu)

ඉන් පසු 1892 වර්ෂයේදී ඔහු තවත් ඉදිරියට සිය ඇටවුම ගෙන යමින් මීටර 150 ක් පමණ පාවුණු අතර එයට වෙනසක්ද එකතු කරමින් තටු ගසන, මෝටරයක් සහිත උපකරණයක්ද අත් හදා බලා තිබෙනවා. ලිලියන්තාල් සිය ඇටවුම් නිර්මාණය කිරීමට යොදාගත්තේ ඉටි තැවරූ රෙදි, වයර් කැබලි, විලෝ කෝටු වැනි දේයි. මුලදී සමහර කුරුල්ලන් හා සමනලයින් ගේ හැසිරීම් විලාස අනුගමනය කළත් පසුව ඔහුට ප්‍රත්‍යක්ෂ වන්නේ මුහුදු ලිහිණින්ගේ පියාසර විලාසය ගුවනේ පා වීමට ඉතා සුදුසු බවයි. මේ ආකාරයට නවීන ඇටවුමක් නිර්මාණය කරමින් යම් සාර්ථකත්වයක් ළඟා කරගත් ඔහු ඉන් කීපයක් සාදා මිතුරන්ටත් පරිත්‍යාග කර තිබෙනවා.

දියුණු කරන ලද ද්විත්ව ග්ලයිඩරයක් (wright-brothers.org)

1895 වන විට තම නිර්මාණය තවත් ඉදිරියට ගෙන යමින් අඩි 1150ක දුරක් සාර්ථකව පාවුණු ලිලියන්තාල් කාබනික් අම්ලයෙන් දිවෙන, චලනය කළ හැකි තටු සහිත ග්ලයිඩරයක්ද නිෂ්පාදනය කරන්නටත් කටයුතු කළා. මේ සියලු විස්තර ලෝකයා සමඟ බෙදා ගැනීමට තරම් ඔහු නිරහංකාර වීම ගුවන් යානයේ පරිණාමයට මහත් අත්වැලක් වුණා.

දුක්බර අවසානය

1896 අගෝස්තු 9 වෙනිදා සුපුරුදු පරිදි ලිලියන්තාල් පාවීමේ අත්හදා බැලීම් කරමින් සිටියා. මුල් පියවර කීපයම ඉතා සාර්ථක වීම නිසා ඔහු ග්ලයිඩරයේ නාසය මදක් බර කොට වේගයෙන් පාවීමට උත්සාහ කර තිබෙනවා. නමුත් එවිට යානය පොළොවට වේගයෙන් ඇද වැටෙන්නට පටන් ගත්තා. යානය පාලනය කර ගන්න උත්සාහයන් කීපයක් ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. ග්ලයිඩරයද සමඟ අඩි 50ක පමණ උසකින් බිම ඇද වැටී ඔහුගේ තුන් වන ග්‍රෛවී කශේරුකාව බිඳී ගියා. ඉක්මන් ප්‍රතිකාර දුන්නත් අනතුරෙන් පැය කීපයකට පසු මේ විශිෂ්ටයා මෙලොව හැර ගියා. ඔහුගේ අවසන් වදන් වූයේ ‘කැප කිරීම් කළ යුතුය’ යන්නයි.

ලිලියන්තාල්ගේ අවසාන ග්ලයිඩරය. මොහු ඇද වැටුණේ මෙයිනි (lilienthal-museum.de)

ඔටෝ ලිලියන්තාල්ගෙන් පසුව ඒ මඟ යමින් රයිට් සහෝදරයින් සාර්ථකව ගුවන් යානය නිර්මාණය කරන්න සමත් වුණා. ඔවුන් දෙදෙනා ගුවන් යානය නිර්මාණය කිරීමෙන් පසුව ප්‍රකාශ කළේ තමන්ට ඒ සඳහා උනන්දුව හා විශ්වාසය ලැබුණේ ලිලියන්තාල්ගෙන් බවයි. එසේම ඔහුගේ මරණය විශාල පාඩුවක් බවත්, සාර්ථක ගුවන් යානයක් ගොඩනැඟුණේ ඔහුගේ පර්යේෂණ හා සිද්ධාන්ත මූලික කරගෙන බවත් ඔවුහු තව දුරටත් පවසා තිබෙනවා.

dlr.de

කාලයාත් සමඟ අද වන විට ගුවන් ගමන් කොයි තරම් පරිණාමය වී ඇතිද? අවසානය සාර්ථක වීම නිසා රයිට් සහෝදරයන් ඉතිහාස පොතේ රන් අකුරින් සනිටුහන් වුණත් ඊට අඩිතාලම දැමූ ඔටෝ ලිලියන්තාල් නාමය කාලයේ වැලි තලාවෙන් වැසී ගියා.

කවරයේ පින්තූරය (miepvonsydow.wordpress.com)

මූලාශ්‍ර:

  1. Encyclopedia.com
  2. famousinventors.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්