ඉතිහාසය

විනාඩි 3 ක කියවීමක්

දෙවන ලෝක යුද්ධයේ ආසියාව (පළමු කොටස) – සටන් බිමේ මූලික පසුබිම​

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Chamara Sumanapala

Staff Writer

දෙවන ලෝක යුද්ධයේදී ආසියා – පැසිෆික් කලාපය විශාල වැදගත්කමකින් යුක්ත වූ ප්‍රදේශයක් බව නොරහසක්. ඒ ජපානය සහ මිත්‍ර පාක්ෂිකයන් අතර යුද්ධය මෙම ප්‍රදේශයේ දියත් වූ බැවින්. මිත්‍ර පාක්ෂිකයන්ගේ මූලික ම අවධානය යොමු වූයේ ජර්මනියට එරෙහි යුද්ධය සම්බන්ධව යි.

පැසිෆික් සාගරයේ දූපත් ආශ්‍රිතව යුද්ධය බොහෝ කොටම ඇමරිකාව සහ ජපානය අතර එකක් වූ අතර ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල විවිධ කණ්ඩායම් මෙම යුද්ධයට දායක වුණා. චීනයේ, මලයාවේ, ඉන්දුනීසියාවේ, ඉන්දු චීනයේ, බුරුමයේ (වත්මන් මියන්මාරය​) මෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ ද සටන් සිදු වුණා.

අප ජීවත්වන කලාපය තුළ සිදුවූ දැවැන්ත අවි ගැටුමක් නිසා අපි හිතුවා අග්නිදිග සහ දකුණු ආසියාවේ වගේම චීනයේත් දෙවන ලෝක යුද්ධ සමය පිළිබඳ විස්තර ඔබට ගෙන ඒමට​.

මෙය එක ලිපියකින් ඔබවෙත සවිස්තරාත්මකව ගෙන එන්නට නොහැකි බැවින් කොටස් පහකින් පමණ යුක්ත වෙනවා. එම සබැඳි කොටස් දෙක, තුන, හතර සහ පහ ලෙසින් ඔබට කියවන්නට පුළුවන්.

චීනය සහ සෝවියට් දේශය සමඟ ගැටුම්

ජපානය දෙවන ලෝක යුද්ධය ඇරඹීමට වසර කිහිපයකට පෙර චීනය සහ සෝවියට් දේශය සමඟ ගැටුම් ඇති කර ගත්තා. මෙම ගැටුම්වල මූලාරම්භය වූයේ මැන්චූරියානු ආක්‍රමණයයි.

1894 සිට ජපානය සිය බලය ව්‍යාප්ත කරමින් චීනය සහ කොරියාව සිය පාලනයට නතු කර ගනිමින් සිටියා. 1910 දී කොරියාව සම්පූර්ණයෙන් ම ජපන් පාලනයට යටත් වුණා. 1931 දී ජපන් හමුදා මැන්චූරියාව ආක්‍රමණය කර එහි තමන්ට හිතවත් රූකඩ රජයක් පිහිටුවාගත්තා. මැන්චුකුවෝ අධිරාජ්‍යය ලෙස මෙය හඳුන්වනු ලැබුණා.

1939 වන විට ජපානය අල්ලාගන තිබූ ප්‍රදේශ (Wikimedia Commons)

මින් පසු ජපානය කළේ සුලු සුලු සටන්වලට යමින් කෙමෙන් කෙමෙන් චීනයේ අනෙකුත් ප්‍රදේශවලටත් සිය අණසක පැතිරවීමයි. විශේෂයෙන් ම අල්ලාගත් මැන්චූරියාව ආසන්න ප්‍රදේශවල නිරන්තරයෙන් මෙසේ සටන් සිදු වුණා.

මීට අමතරව සෝවියට් දේශය සමඟ ද දේශසීමා සටන් කිහිපයක් ම සිදු වුණා. මේ සටන්වලින් සමහරක් සිදු වූයේ එවකට සෝවියට් රජයේ රූකඩ ආණ්ඩුවක් පැවති මොන්ගෝලියාව සහ ජපන් රජයේ රූකඩ ආණ්ඩුවක් පැවති මැන්චුකුවෝ යන ප්‍රදේශ දෙකෙහි දේශසීමාවේදී. මේ හේතුව නිසා සෝවියට් දේශයට සැළකිය යුතු තරම් හමුදාවක් ඈත පෙරදිග රඳවන්නට සිදු වුණා.

1937 ජූලි 7 වනදා මාර්කෝ පෝලෝ පාලම අසළදී චීන සහ ජපන් හමුදා අතර ගැටුමක් ඇති වුණා. අනෙක් අවස්ථාවල මෙන් නොව මෙවර ගැටුමින් පසු ජපානය විසින් එල්ල කරන තර්ජනවලට තදින් ප්‍රතික්‍රියා කිරීමට චීන නායක චියැං කායි ශෙක් තීරණය කළා.

මෙහි ප්‍රතිඵලය වූයේ චීනය සහ ජපානය අතර දැවැන්ත යුද්ධයක් හට ගැනීමයි. දෙවන ලෝක යුද්ධයට ජපානය 1941 දෙසැම්බරයේදී සම්බන්ධ වූ අතර එතෙක් වසර හතරකට වැඩි කළක් චීනය ජපනුන් සමඟ යුධ වැදී සිටියා.

ෂැංහයි හි ජපන් සෙබලු (Public Domain)

මෙම යුද්ධයේදී අහිංසක චීන ජාතිකයන් සිය දහස් ගණනක් ගුවන් ප්‍රහාරවලින් පීඩා වින්ද අතර ජපානය විසින් සිදුකළ නෑන්ජින් සංහාරයේදී තවත් විශාල පිරිසක් අමු අමුවේ ඝාතනය කෙරුණා. කෙසේ නමුත් ජපානය අද වනතුරු මෙවන් සංහාරයක් සිදු වූ බව පිළිගන්නේ නැහැ.

පර්ල් හාබර් ප්‍රහාරය​

ඇමරිකානු පැසිෆික් නාවික හමුදා මූලස්ථානය පිහිටියේ හවායි දූපත් හි පර්ල් හාබර්වලයි. ජපානය දෙවන ලෝක යුද්ධයට ඇතුලු වූයේ පර්ල් හාබර් වෙත පහර දීමෙන්. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ කලාපයේ තමන්ට ප්‍රබලම අභියෝගයක් විය හැකිව තිබූ නාවික හමුදා සේනාංකය විනාශ කිරීම යි. ආසියාතික කලාපයේ සිදු නොවුණත් මෙම ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා නොකර දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හමුදා මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කළ නොහැකියි.

පර්ල් හාබර් වෙත පහර දීමට සැලසුම් කළේ ජපන් හමුදාපති අද්මිරාල් ඉසොකුරො යමමොටෝ විසින්. ඒ අනුව කළින් දැනුම් දීමකින් තොරව එල්ල කරන ප්‍රහාරයකින් ඇමරිකානු පැසිෆික් නාවික බලය විනාශ කළ යුතුව තිබුණා. 1941 ඔක්තෝබරය වනවිට ගුවන් යානා ගෙන යන නෞකා හයක් සහ තවත් නැව් 24 ක් ඇතුලත් ප්‍රහාරක සේනාංකයක් මෙම මෙහෙයුම සඳහා සූදානම් කෙරුණා.

මෙම ප්‍රහාරක බල ඇණිය කුරීල් දූපත්වල රහසිගතව රැස් වී, 1941 නොවැම්බර් 26 වනදා හවායි දෙසට පිටත් වුණා. ඔවුන් ගමන් ගත්තේ සාමාන්‍ය නාවික මාර්ග මග හරිමින්. එම නිසා දෙසැම්බර් 7 වනදා වනතුරු ම ඔවුන් පිළිබඳ ඔත්තුවක් හවායි හි ඇමරිකන් හමුදා වෙත ලැබුණේ නැහැ.

දෙසැම්බර් 7 වනදා හවායි වේලාවෙන් උදෑසන 6 ට පළමු ප්‍රහාරක රැල්ල ගුවන් යානා ගෙනයන නෞකා 6 න් පිටත් වුණා. මෙම පළමු රැල්ලට ගුවන් යානා 181 ක් අයත් වුණා.

පර්ල් හාබර් ප්‍රහාරය අතරතුර ජපන් ගුවන් යානයකින් ගන්නා ලද ඡායාරූපයක් (Public Domain)

එක් අවස්ථාවක ඇමරිකානු රේඩාර් මධ්‍යස්ථානයකට මෙම යානා කණ්ඩායම නිරීක්ෂණය වූ නමුත් එය ඇමරිකානු යානා කණ්ඩායමක් ලෙස වරදවා වටහා ගැනීම හේතුවෙන් විශාල විනාශයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කිරීමට තිබූ අවස්ථාව මග හැරී ගියා.

පර්ල් හාබර් වේලාවෙන් උදෑසන 8 ට පමණ ජපන් ගුවන් යානා නාවික කඳවුර දෙසට කඩා වැදුණා. එදින ඉරිදා දිනයක් නිසා බොහෝ නාවිකයන් යුධ වැදීමට සූදානමින් සිටියේ නැහැ. එහෙයින් ඇමරිකන් හමුදාවලට දක්වන්නට ලැබුණේ සීමා සහිත ප්‍රතිචාරයක් පමණයි.

වාසනාවකට මෙන් ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධාන ගුවන් යානා ගෙනයන නෞකා එකක්වත් පර්ල් හාබර් හි එදින් නවතා තිබුණේ නැහැ. විවිධ කරුණු හේතුවෙන් ඒවා වෙනත් කඳවුරු වෙත යවා තිබුණා. මේ හේතුවෙන් සිදුවිය හැකි වූ මහා විනාශයක් වැළකී ගියා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදු වූ විශාලම විනාශය වූයේ සන්නාහයන් පසාරු කරන බෝම්බයක් උදෑසන 8.10 ට පමණ ඇරිසෝනා නෞකාව පසා කරගෙන එහි වෙඩි බෙහෙත් ගබඩාවට වැදී පිපිරී යාමෙන්. මෙම නැව ගිලී ගිය අතර නාවිකයන් 1,177 ක් මිය ගියා​. සමස්ථ ප්‍රහාරයෙන්ම මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 2,403 ක් වුණා.

මෙම සිද්ධියෙන් පසුව ඇමරිකාව ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ජර්මනිය ද ඒ සමඟම ඇමරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා.

ජපනුන් විසින් පර්ල් හාබර් ප්‍රහාරය එල්ල කළේ පැසිෆික් සාගර කලාපයේ මෙන්ම අග්නිදිග ආසියාවේ තමන්ට වූ ප්‍රධාන තර්ජනය ඉවත් කරන අදහසින්. එම ප්‍රහාරයෙන් පැය ගණනක් ඇතුලත ඔවුන් අග්නිදිග ආසියාවේ යුරෝපා යටත් විජිත අල්ලා ගැනීමේ ප්‍රහාරයන් දියත් කළා. මේ අතර ඇමරිකන් පාලනය යටතේ වූ පිලිපීනය ද ඔවුනගේ ඉලක්කයක් බවට පත් වුණා.

ජපනුන් විසින් එල්ල කරන ලද මුල් ම ප්‍රහාරයන් පෙළ ගැන මෙම ලිපි පෙළෙහි ඊළඟ ලිපියෙන් විස්තර කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර​

  1. Attack on Pearl Harbour, history.com
  2. wikipedia.org

Cover Image: භීතියට පත් දරුවෙක්, ෂැංහයි (1937)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්