Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊශ්‍රායලයට අවාසි ගෙන දුන් යොම් කිපූර් යුද්ධය – 1 කොටස

ඊශ්‍රායලයට විශ්මිත යුධ ජයග්‍රහණයක් ගෙන දුන් සය දින යුද්ධය පිළිබඳ තතු අපි පසුගිය ලිපි පෙළකින් ඔබ වෙත ගෙන ආවා. මෙම යුද්ධය නිසා අරාබි ලීගයට අයත් රාජ්‍යයන්ට ඉතා දරුණු පරාජයක් අත්වුණු අතර ඉතා විශාල භූමි ප්‍රදේශයක අයිතියත් ඊශ්‍රායලයට ලැබුණා. කෙසේ නමුත් 1967 වසරේ දී අත්පත් කරගත මේ යුධ ජයග්‍රහණයේ පහස විඳ ගැනීමට ඊශ්‍රායලයට ලැබුණේ වසර 6 ක් තරම් කෙටි කාලයක් පමණයි. 1973 වසරේ ඇවිල ගිය යොම් කිපූර් යුද්ධය නැවතත් මැදපෙරදිග යුධ ගිණි දල්වන්නට සමත් වුණා. මේ ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපි පෙළක පළමු ලිපියයි.

යොම් කිපූර් යුද්ධයට පසුබිම සැකසීම

සය දින යුද්ධය ජයග්‍රහණය කළ ද ඊශ්‍රායලයට දිගින් දිගටම අවශ්‍ය වූයේ සෙසු අරාබි රටවල් සමඟ සාමකාමී ප්‍රතිපත්තියකට පැමිණීමටයි. නමුත් අනෙක් අතින් අරාබි ලීගයට අයත් රාජ්‍යයන් බහුතරයක් සයදින යුද්ධයෙන් නිර්දය ලෙස පරාජය වීමේ ලැජ්ජාව වසාගැනීමට අර අදිමින් සිටියා. විශේෂයෙන් ඊජිප්තුව දිගින් දිගටම ඊශ්‍රායලයට එරෙහිව ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක සිටි අතර ජනපති ගමාල් අබ්දුල් නසාර් 1970 දශකය උදාවත් සමඟම ජීවිතයෙන් සමුගත්ත ද එම තත්ත්වයේ වෙනසක් සිදු වූයේ නැහැ.

ගමාල් අබ්දුල් නසාර් -jrbenjamin.com

රුසියාවද ඊශ්‍රායලය සයදින යුද්ධය ජයගැනීම ගැන සිටියේ නොසතුටිනුයි. විශේෂයෙන් තමන් යුධමය වශයෙන් ආධාර කළ රටවල් ඉන් පරාජය වීම ඔවුනට දරාගත නොහැකිව තිබුණා. මේ නිසා ඔවුන් ද ඊශ්‍රායලය යුධමය වශයෙන් පරාජය වනු දැකීමට කැමැත්තක් දැක්වූ අතර අරාබි ලීගයට යුධ උපකරණ දිගටම ලබා දුන්නා.

ගමාල් අබ්දුල් නසාර් වෙනුවට අන්වර් සදාත්

ක්‍රි.ව 1971 දී එවකට ඊජිප්තු ජනපති අන්වර් අල් සදාත් ඊශ්‍රායලය සමඟ එකඟතා ගිවිසුමකට පැමිණීමට කැමැත්ත පල කරනවා. කෙසේ නමුත් එකඟතාවයකට පැමිණීමට නම් සය දින යුද්ධයෙන් ඊජිප්තුව ඇතුළු අරාබි ලීගයෙන් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් භූමි භාගයන් සියල්ලම නැවතත් ඒ ඒ රට වලට පැවරිය යුතු බව සදාත් ඊශ්‍රායලයට දන්වා යවනවා. නමුත් ඇත්තෙන්ම ඔහු ඉන් බලාපොරොත්තු වූයේ අනෙකක්. ඊශ්‍රායලය මේ යෝජනාව නිශ්ප්‍රභා කරනු දැකීම ඔහුගේ බලාපොරොත්තුව වුණා. එමඟින් තවත් යුද්ධයකට පොටක් පාදාගෙන, යුද්ධයකින්ම තමන්ට අහිමි වූ බිම් කොටස් ඊශ්‍රායලයෙන් නැවත ලබාගෙන 1967 දී තමන්ට වූ කැළල මකාගැනීම ඔහුගේ අභිප්‍රාය වුණා.

ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර සාම සාකච්ඡා මේ පරිදි සිදු වන විට 1972 වසරේදී ඉතා භයානක වූත් පහත් වූත් දෙයක් සිදු වෙනවා. ඒ වසරේ පැවති මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ඊශ්‍රායල ක්‍රීඩකයින් 11 දෙනෙක් පලස්තීන ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන්නේ මුළු ලොවම කම්පා කරමින්.

අන්වර් අල් සදාත් – trendinegypt.com

මියුනිච් ඔලිම්පික් උළෙලේ සිදු වූ සිදුවීමත් සමඟම ඊශ්‍රායලය හා අරාබි ලීගය අතර සාම සාකච්ඡා බිඳී ගය අතට ඊජිප්තු ජනපති සදාත්ට අවශ්‍ය වූ වටපිටාව නිතැතින්ම ගොඩනැඟුණා. ඊශ්‍රායලය දෘඪ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැවසූ ඔහු සිය දේශයේ අභිමානය වෙනුවෙන් සොල්දාදුවන්ගේ ජීවිත මිලියනයක් වුව පරිත්‍යාග කිරීමට මැලි වන්නේ නැතෙයි ප්‍රකාශ කළා. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ 242 වන කෙටුම්පතේ යෝජනා ප්‍රකාරව, 1967 වසරේ තමන් විසින් අත්පත් කරගත් භූමි ප්‍රදේශ සියල්ලෙන් පසු බසින ලෙස ඔහු විසින් ඊශ්‍රායලයට අනතුරු ඇඟෙව්වා.

මියුනිච් ඛේදවාචකය-AP

මේ සමඟම සදාත් ඇමෙරිකා එක්සත් ජනපදයට හා රුසියාවට, ඊශ්‍රායලයට එරෙහි පීඩනය තවත් වැඩි කරන ලෙස ඉල්ලා සිටියා. මීට අමතරව වඩා බලවත් අවිත් ඔහු ඉල්ලා සිටියා. කෙසේ වෙතත් රුසියාව හා ඇමෙරිකාව අතර තිබූ සීතල යුද්ධය නිසා එකම පාර්ශවයක් ගෙන උදව් කිරීමට රුසියාව කැමති වූයේ නැහැ. මේ නිසා මෙවර රුසියාව සදාත්ගේ ඉල්ලීම් පසෙකළූ අතර ඉන් උරණ වූ ඔහු රුසියානුවන් 20000 පමණ පිරිසක් ඊජිප්තුවෙන් පිටමං කරනවා. ක්‍රි.ව 1973 වසරේ මැද භාගය වන විට තත්ත්වය පැවතියේ මේ ආකාරයෙන්.

ගෝල්ඩා මයර් ගේ තීරණය

ක්‍රි.ව 1973 මැද භාගය වන විට අරාබි ලීගය ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික අතින් එදිරිව සිටි අතර ඉක්මණින්ම යුද්ධයක් ඇරඹීමේ ලකුණු පහළ වී තිබුණා. මේ නිසා සයිනයි අර්ධද්වීපය ඇතුළු පහසුවෙන් ප්‍රහාරයට ලක්විය හැකි ප්‍රදේශ වල හමුදා ඛණ්ඩ සීරුවෙන් තැබීමට ඊශ්‍රායල අගමැතිනි ගෝල්ඩා මයර් ක්‍රියා කළා. කෙසේ නමුත් ඔක්තෝබර් මාසය වන විටත් තත්ත්වයේ සැළකිය යුතු වර්ධනයක් නොපෙන්වූ හෙයින් මදින් මද යුදකාමී වාතාවරණය පහව යන බවට ඇමෙරිකානු හා ඊශ්‍රායල රහස් ඔත්තු සේවා සිය ප්‍රධානීන් හට වාර්තා කළා. මේ නිසා ඊශ්‍රායල බලමුළු මදින් මද සැහැල්ලු වෙමින් සිටියා.

ගෝල්ඩා මයර් -AP

ඔත්තු සේවා යුද්ධයක සේයාවක් නොදුටුව ද සත්‍ය වශයෙන්ම වෙමින් තිබුණේ අනෙකක්. පරාජය වූ ලැජ්ජාවෙන් ගැලවීම මොහොතකටවත් අමතක නොකළ ඊජිප්තුව ඇතුළු අරාබි ලීගය ඊශ්‍රායලයට එරෙහි ඉතා දරුණු ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියා. මොසාඩ් සංවිධානයට මෙය එහෙන් මෙහෙන් ඉව වැටී තිබුණ අතර යුද්ධයක සේයාවක් ඇති බව අවබෝධ කරගත්තත් සන්නිවේදනයේ වූ දුර්වලතාවයක් මත නිසියාකාරව බලධාරීන් දැනුවත් කිරීමට ඔවුනට නොහැකි වෙනවා.

එවකට ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානියා වූ ඩේවිඩ් එලාසර් ට ගොඩනැඟෙමින් පවතින තත්ත්වය සුභදායක නැතැයි ඉවෙන් මෙන් වැටහෙනවා. ක්‍රි.ව 1973 ඔක්තෝබර් මස 6 වනදා හෙවත් යුදෙව්වන්ගේ ශුද්ධවන්තම වූ යොම් කිපූර් දිනයේ අළුයම 5 වන විට ඔහු විසින් දේශ සීමා වල ආරක්ෂාව තර කිරීම හා ගුවන් ප්‍රහාරක යානා සීරුවෙන් තැබීම වහාම සිදුකළ යුතු බවට අගමැතිනි ගෝල්ඩා මයර් දැනුවත් කළත් ඔත්තු සේවා වලින් හා ඇමෙරිකානු පාර්ශවයෙන් යුද්ධයක් පිළිබඳව ඇයව ඒ තරම් දැනුවත් කර නොතිබුණු නිසා ඇය එයට එක් වරම අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

ඩේවිඩ් එලාසර්- israeled.org

මේ වන විට ඊජිප්තුව නවීන අවිවලින් සන්නද්ධ වී සිටි අතර ඒවා හරියාකාරව සන්නිවේදනය නොවීමත්, යුධ ප්‍රකාශ කිරීම නිසා ඇමෙරිකානු ජනපති රිචඩ් නික්සන් උරණ වී තමන් සමඟ ඇති කරගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වේ යැයි සිතූ නිසාත් පහර දීම පසෙකළූ ඇය ඒ වෙනුවට ‘දැඩි තීරණ නොගන්නා ලෙසට’ ඊජිප්තුව ඇතුළු අරාබි ලීගය දැනුවත් කරන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියා. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ගර් එය සිදු කළ අතර පෙරළා ඊශ්‍රායලයන්ද පහර නොදෙන ලෙස ඉල්ලා සිටියා. 1967 වසරේ මෙන් නොව ඇමෙරිකාවේ සහය තමාට ලැබෙන බව සිතූ ගෝල්ඩා මයර් සියල්ල සතුටුදායක ලෙස අවසන් වනු ඇතැයි සිතා තත්ත්වය මදකට අමතක කොට යුදෙව්වන්ගේ ශුද්ධවන්තම දිනය වූ යොම් කිපූර් දිනයට පිළිවෙතින් පෙළගැසුණා. ඊශ්‍රායලයේ බහුතරයක් වූ යුදෙව්වන්ද සිය ආගමික කටයුතු කිරීමට සූදානම් වුණා. ක්‍රි.ව 1973 ඔක්තෝබර් මස 6 වනදා ඊශ්‍රායලයට හිරු උදා වූයේ මේ අතරයි.

යොම් කිපූර් යුද්ධයේ අනපේක්ෂිත ආරම්භය ගැන දෙවන කොටසින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය – cojs.org

Related Articles