Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි කවුරුත් දන්නා බුකි පරිශීලකයින් වර්ගීකරණයක්

ෆේස්බුක්. ලංකාව පුරා හැම අස්සක් මුල්ලක් නෑරම වැඩියෙන්ම භාවිතා වන සමාජ ජාලය. වයස අවුරුදු 12 – 30 අතර, ජංගම දුරකතනයක් භාවිතා කරන තරුණ පිරිස් අතරින් ෆේස්බුක් ගිණුමක් නොමැති අයෙක් නැති තරම්. ඊට මදක් වැඩිමහළු පිරිස් වලිනුත් සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් පුද්ගලයින් ෆේස්බුක් ගිණුමකට හිමිකම් කියනවා. ෆේස්බුක් ඒමේ අරමුණ එකිනෙකාට වෙනස්. සමහරු අලුතෙන් මිතුරු මිතුරියන් දැන හඳුනාගැනීමටත්, සමහරු එකිනෙකාගේ තොරතුරු දැනගැනීමටත්, තවත් සමහරු ලිවීම සඳහාත් ෆේස්බුක් එනවා. මේ අතරේ සමහරු අර ලියන්නන් ලියන දේ කියවීම සඳහා ෆේස්බුක් එන අතර  සමහරු ෆේස්බුක් එන්නේ සංවාද කරන්න බලාගෙන. මේ ඔක්කොම අස්සේ තවත් සමහරු තමාගේ ව්‍යාපාරයක්, බ්ලොග් එකක් ප්‍රවර්ධනය කිරීමට ෆේස්බුක් එනවා. මේ සියළුම ආකාරයේ පිරිස් අපේ මිතුරු ලැයිස්තුවෙනුත් හොයාගන්න පුළුවන්. ඒ නිසා, ෆේස්බුක් භාවිතා කරන්නන් (බුකි පරිශීලකයින්) කරන කියන, ලියන, ශෙයා කරන දේ අනුව කණ්ඩායම් කීපයකට බෙදා වෙන්කිරීමට අපි උත්සාහයක් ගත්තා.

ආ. හරි හරි. (business2community.com)

ආ. හරි හරි. (business2community.com)

#1  කුකුළා

උදේ අවදිවෙලා ෆේස්බුක් ලොග් වුණු ගමන්ම මේ වර්ගයේ අය කරන්නෙ යාළුවන්ට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන එක. “ගුඩ් මෝනින් යාළුවනේ” (gd mrnin yaaluwane/ gud mornin frens/ Good morning lovelies; මේ සුබ පැතුම්වල ප්‍රභේද. මේ ටික ඇතිනෙ නේද?) මේ වගෙ ස්ටේටස් එකක් හැමදාම උදේට මෙයාලා අතින් අප්ඩේට් වෙනවා. ඒ එක්කම මල් පොකුරක්, කෝපි කෝප්පයක් තියෙන ෆොටෝ එකක් (උදේ පාන්දර නොකා නොබී වැඩට යන අතරමගදි ෆේස්බුක් නිව්ස්ෆීඩ් එකේ අනුන්ගෙ කෝපි කෝප්ප දකිනකොට දැනෙන සතුට.. හම්මේ ඉතින්..), ධනාත්මක අදහසක් ගැබ්වුණු වැකියක් පුරුද්දක් වශයෙන් මෙයාලා ශෙයා කරනවා.

ඕනවට වඩා වැඩි කියල හිතුනොත් ඉතින් ... (pinterest.com)

ඕනවට වඩා වැඩි කියල හිතුනොත් ඉතින් … (pinterest.com)

ඊළඟට තියෙන්නෙ ‘උපන්දින සුබ පැතුම් චාරිත්‍රය’. එදිනට උපන්දිනය යෙදිලා තියෙන හැමෝටම (සමහර අයව අඳුනන්නෙත් නෑ) මෙයාලා විශ් කරනවා. රෑට නින්දට යන්න කලිනුත් “ගුඩ් නයිට් යාළුවනේ” ස්ටේටස් එකක් දාන එකත් මේ අය නොවරදවාම කරන දෙයක්.

#2  බුකි ප්‍රබුද්ධයා

මේ පිරිස් නොදන්න දෙයක් නෑ (බක-පණ්ඩිතයො). දේශපාලනය? මෙයාලා ‘අ’යන්නෙ ඉඳන් දන්නවා. චීනෙ හමුදා ශක්තිය? ඇහුවොත් කියයි යුද්ධ ටැංකි, ෆයිටර් ජෙට්ස් ගාණත් එක්කම. ක්වොන්ටම් ‍ෆිසික්ස්? අපෝ හරි සිම්පල්. රෝම අධිරාජ්‍යය කඩා වැටීමට හේතුව? පැහැදිලි කරනවා විතරක් නෙවෙයි, ඒ සම්බන්ධ පොත් ලිස්ට් එකකුත් යෝජනා කරයි අමතර කියවීම සඳහා.

මේ කණ්ඩායම බොහෝවිට හමුවන්නෙ ෆේස්බුක් සංවාද මණ්ඩප වලදි. ඕනෑම කාලීන ගැටළුවක් පිළිබඳ කුමක් හෝ සටහනක් මෙයාලගෙ වෝල් වලින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලට ඉන්නෙ සුළු මිතුරු සංඛ්‍යාවක්. ෆලෝවර්ස්ලා ‍රැස්කිරීම පිළිබඳව මෙයාලගෙ අවධානයක් නෑ. තමන්ගෙ පෝස්ට්ස් කිසිවෙක් කියවන්නෙ නැති වුණත් (මෙයාලා ලියන ඒවා කාටද තේරෙන්නෙ?), මේ පිරිස් ලියන එක නම් නවත්වන්නේ නැහැ.

කැමති නැත්තම් ඉතින් කවුද බලන්න කිව්වේ? (pinterest.com)

කැමති නැත්තම් ඉතින් කවුද බලන්න කිව්වේ? (pinterest.com)

#3  විවේචකයා

ඕනෑම දෙයක් විවේචනය කිරීමට සැදී පැහැදී සිටින කණ්ඩායමක්. දියවන්නා මොන්ටිසෝරියෙන් පනතක් සම්මත කරගත්තොත්, මෙයාලා ඒක විවේචනය කරනවා. අලුතෙන් ට්‍රෙන්ඩ් එකක් ආවොත් (ඩක්ෆේස් සෙල්ෆීස්?), මෙයාලා ඒක විවේචනය කරනවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළොත්, මෙයාලා ඒක විවේචනය කරනවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් මරණයට පත්වෙලා, බුකිය පුරා හැම දෙනාම දුක් වෙන්න පටන්ගත්තොත්, මෙයාලා ඒකත් විවේචනය කරනවා. උදාහරණයක් විදියට, මියගිය විදෙස් නළුවෙක් පිළිබඳව දුක් වන අයෙක්, මියගිය ප්‍රසිද්ධ ලාංකිකයින් පිළිබඳව ඒ ආකාරයෙන් දුක් නොවන්නෙ ඇයි කියන එක මෙයාලට නිතර ඇතිවන ගැටළුවක් (“පෝල් වෝකර් ගැන දුක්වෙන පොශ් නංකිලා ඇයි ටයිටස් තොටවත්ත ගැන දුක්වෙන්නෙ නැත්තෙ බ්‍රෝ? හ්ම්..?”).

මේ පිරිසත් බොහෝවිට ෆේස්බුක් සංවාද මණ්ඩප ආශ්‍රිතව සොයාගන්න පුළුවන්.

ප.ලි.: ඩක්ෆේස් සෙල්ෆීස් නම් විවේචනය කළාට කමක් නැද්දත් මන්දා… එච්චරට හිරිකිතයි.

#4  අවධාන ගණිකාව

මේ අය ෆේස්බුක් එන්නෙ අවධානය දිනාගන්න ( #AttentionWhoringFTW), ෆලෝවර්ස්ලා එකතුකරගන්න අතරේම තමන්ගෙ ලස්සන අනෙක් අයට පෙන්වන්න වගෙ අරමුණු ඇතිව. මේ වර්ගයෙ අය කාණ්ඩ කීපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එක පිරිසක් උදේ ඉඳන් රෑ වෙනකල්ම වැඩියෙන්ම කරන්නෙ එක එක ඉරියව් වලට ගත් තමන්ගෙ සෙල්ෆීස් ෆේස්බුක් අප්ලෝඩ් කරන එක (හෑශ්ටැග්ස් තිස්තුන්කෝටියකුත් එක්කම). මෙයාලගෙ ෆොටෝස් බලන්නම එකතු වුණු ෆලෝවර්ස්ලා විශාල පිරිසක් මෙයාලගෙ ප්‍රෝෆයිල්ස්වල ඉන්නවා.

අද මට හම්බුවෙච්ච අවධානය පොඩ්ඩක් මදි වගේ (pinterest.com)

අද මට හම්බුවෙච්ච අවධානය පොඩ්ඩක් මදි වගේ (pinterest.com)

 ඊළඟ පිරිස බූට් කවි ලියන්නො. මෙයාලා කරන්නෙම බූට් කවි ලියන එකයි, විරහ ගී ශෙයා කරන එකයි. මෙයාලව සනසන්නම සැදී පැහැදී ඉන්න පිරිසකුත් මෙයාලා වටේ නිතරම ඉන්නවා.

කම්මැලි හිතුනම කාටහරි ගිනිගෙඩියක් දීල හරි බලන්න ඕන (smosh.com)

කම්මැලි හිතුනම කාටහරි ගිනිගෙඩියක් දීල හරි බලන්න ඕන (smosh.com)

තෙවනි පිරිස කරන්නෙ ඉතාම ‘රැඩිකල්’ පෝස්ට්ස් ශෙයා කරන එක. එම පෝස්ට්ස් වල අඩංගු කරුණු වලින් සිත් රිදවාගන්න අය, කෝපයට පත්වන අය මේ අයට අවශ්‍ය අවධානය නොඅඩුවම ලබාදෙනවා. ඔය සමහර පේජස් වලින් ශෙයා කරන මඩ පෝස්ටර්ස්වල මෙයාලගෙ මුහුණු නිතරම වගෙ දකින්න පුළුවන්.

“මෙන්න මේ @#$!&*! අපෙ පූජනීය බිබික්කමට අපහාස කරලා තියෙනවා. මේ @#$!&*!ට හෙනගහන්න කියලා මේක ශෙයා කරන්න”

හැබැයි “Any publicity is good publicity” කියල කියන්නේ ඉතින් කට කහනවට නෙමෙයිනේ.

#5  ජාත්‍යාතල්-ආගමාතල්/පරණවිතාන

මේ අය ෆේස්බුක් එන්නෙ තමන්ගෙ ජාතිය/ආගම ‍රැකගැනීමේ අරමුණෙන්. අරමුණ කෙසේ වෙතත් මොවුන් බහුතරයක් දෙනා කරන්නෙ තම ජාතිය හෝ ආගම පිට නැගී ‘ආතල්’ ගැනීම/දීම. මොවුන් දවස පුරාම කරන්නෙ අන්‍ය ජාතිකයින්, අන්‍යාගමිකයින් සමඟ වාද විවාද, හා අපහාස කිරීම. බුකියෙන් පිට සැබෑ ලෝකයෙදි තම ජාතිය හෝ ආගම වෙනුවෙන් කිසිම ඵලදායී යමක් නොකළත්, බුකියෙදි නම් මොවුන් තරම් තම ජාතිය/ ආගම නගා සි‍ටුවන්නො වෙන කොහෙන්වත් හොයාගන්න නෑ. මොවුන්ගෙන් බහුතරය ඉතාම අන්තවාදියි.

මේ පිරිසේම තවත් ප්‍රභේදයක් ‘පරණවිතාන’ලා. මෙයාලා ජීවත්වෙන්නෙ අතීතයෙ. හැම වෙලේම කතාකරන්නෙ අතීතයෙ ශ්‍රී විභූතිය ගැන. වර්තමානයේ තම රට හෝ ජාතිය යන අත ගැන මොවුන්ට හැඟීමක් නෑ. මොනම ගැටළුවක් උද්ගත වුණත් මොවුන් උදාහරණ ගෙනහැරපාන්නෙ, හෝ පිළියම් හොයන්නෙ අවුරුදු දහස් ගණනක් එපිටින්. ඒ තොරතුරු වර්තමානයට ගැලපෙනවාද යන්න මෙයාලට අදාල නෑ.

#6  තිත්මුවා

මෙයාලා ෆේස්බුක් එන්නෙ සංවාද කරන්න නොවෙයි, සංවාද කියවන්න. ඇතැමුන් දැනුම එකතු කිරීම සඳහා සංවාද කියවනවා. ඇතැමුන් වාද විවාද, වලි කියවා සතුටක් ලබනවා (මෙයාලා කොයි වෙලේත් පොප්කෝන්, පෙප්සි එහෙම රෙඩි කරගෙනයි ඉන්නෙ). මේ දෙපිරිසම කුමක් හෝ කමෙන්ට්ස් ත්‍රෙඩ් එකක නොටි‍ෆිකේශන්ස් ලබාගන්න අවශ්‍ය වූ විට, තිතක් කමෙන්ට් කරනවා. මොවුන් බොහෝවිට සංවාදයට කිසිම අයුරකින් සහභාගී වෙන්නෙ නැහැ.

බලමු බලමු මොකද වෙන්නේ කියල (pinterest.com)

බලමු බලමු මොකද වෙන්නේ කියල (pinterest.com)

#7  බුකි පෙම්වත්තු

මේ පිරිස ෆේස්බුක් එන්නෙ ආදරය කරන්න. මොවුන් එකිනෙකාගෙ වෝල්ස් වල හාට්ස්, මල්, හාදු පෝස්ට් කරන එක දිනපතාම සිදුකරනවා. පෙම්වතුන් යුවලම එකට පෙනී සිටින ඡායාරූප මොවුන්ගේ ප්‍රෝෆයිල්ස් වල බහුලයි. මොවුන් අඩුම තරමේ දවසට එක් වතාවක්වත් තම පෙම්වතාගේ/ පෙම්වතියගේ වෝල් එකේ ලියනවා ඔහු/ ඇය නිසා තමන්ගෙ ජීවිතය සුරංගනා කතාවක් (?) බව. මෙවන් යුවලක් ඔබේ ප්‍රෝෆයිල් එකෙත් ඇති. එහෙනම් මොවුන් රණ්ඩු වන වෙලාවට මොවුන්ගේ වෝල්පෝස්ට්ස් කියවීම කොතරම් විනෝදජනකයි ද කියලා අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැනෙ?

(smosh.com)

(smosh.com)

#8  13න් පහල පාතාලෙ

මේ මෑත කාලයේ බිහිවුණු පිරිසක්. මෙයින් බහුතරය වයස අවුරුදු 9 – 13 අතරෙ පිරිස් වුණත්, හැසිරෙන්නෙ නම් හරියට තමන් හරි ලොකු අයියලා වගෙයි. මෙයාලා වචන දහයක් කිව්වොත්, එයින් පහක්ම කුණුහරුප. තමන්ටවත් නොතේරෙන වචන වලින් ‍රැප් විඩියෝස් හදලා අප්ලෝඩ් කරන එක මෙයාලගෙ විනෝදාංශයක්. මෝස්තර සහිත පමණට වඩා විශාල ටී ශර්ට්ස් ඇඳගෙන, කැප් එකක් එකක් දාගෙන, ඇට මාලයක් එහෙම දාගෙන ‘යෝ යෝ නිගා, ‍රැප් සීන් එකේ ඉන්න අය තමයි මෙයාලා යාලො’.

අපට මගහැරුණු වර්ග තියෙනවද? එහෙනම් අපට කියන්න. ඔබේ මිතුරන් අතරෙත් තිත් මුවෙක්, කුකුළෙක් එහෙම ඉන්නවා නම්, විහිළුවටත් එක්ක ඒ කෙනාට මේ ලිපිය පෙන්වන්න.

කවරයේ  පින්තුරය:independent.co.uk

Related Articles