Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මන්දගාමී ම ශීඝ්‍රගාමී දුම්රිය: ග්ලැසියර් එක්ස්ප්‍රස්

ලෝකයේ වඩාත් ම සුන්දර රටවල් පිහිටා තිබෙන මහාද්වීප අතුරින් යුරෝපයට ප්‍රමුඛස්ථානයක් හිමි වනවා. එම මහාද්වීපයේ මධ්‍යම කොටසට අයත් රටක් වන ස්විට්සර්ලන්තයට යුරෝපයේ ක්‍රීඩා පිටිය යන අන්වර්ථ නාමය පටබැඳී තිබෙනවා. ඒ, මනස්කාන්ත ඇල්ප්ස් කඳුකර ප්‍රදේශවලින් වට වුණු ස්විට්සර්ලන්තය ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක් නිසා යි.

ඇල්ප්ස් කඳුකර ප්‍රදේශ යා කරමින් ග්ලැසියර් එක්ස්ප්‍රස් නම් ශීඝ්‍රගාමී දුම්රිය ගමන් කරනවා. ශීඝ්‍රගාමී දුම්රියක් වුණත් කිලෝමීටර් 291ක දුරක් ගමන් කිරීම සඳහා එය පැය 8ක කාලය වැය කරනවා. එනිසා එය ලොව මන්දගාමී ම ශීඝ්‍රගාමී දුම්රිය ලෙස සැලකෙනවා.

මෙතැන් සිට ඔබට කියන්නේ ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ඇල්ප්ස් කඳු අතරින් යන සුන්දර ගමන පිළිබඳ තොරතුරු යි.

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය – gettyimages.com

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රියේ ආරම්භය

1920 දශකයේ මැද භාගය වන විට ස්විට්සර්ලන්තයේ දුම්රිය සේවාව දියුණුවෙමින් පැවතුණා. ඒ Furka Oberalp Bahn (FOB), Rhaetian Railway (RHB), Visp Zermatt-Bahn (VZ) යන දුම්රිය සමාගම්වල ක්‍රියාකාරිත්වය නිසා යි. එකල එම දුම්රිය සමාගම් ස්විට්සර්ලන්තයේ බොහෝ ප්‍රදේශ වෙත නව දුම්රිය මාර්ග ඉදි කළා. නවීනත ම දුම්රිය එන්ජින් භාවිත කරමින් එම මාර්ගවල දුම්රිය ධාවනය ආරම්භ කළා. එහි දී දුම්රිය ධාවනය මුලින් ම සිදු වුණේ කෙටි ගමනාන්ත සඳහා යි. දුම්රිය ගමන් සඳහා තිබුණු ඉල්ලුම වැඩි වෙද්දී දිගු දුර දුම්රිය සේවාත් ආරම්භ කිරීම කෙරෙහි ස්විට්සර්ලන්ත දුම්රිය සමාගම්වල අවධානය යොමු වුණා.

‘එක්ස්ප්‍රස්’ නමින් හැඳින්වුණු දුම්රිය

එහි ප්‍රතිඵලයක් වශයෙන් FOB, RHB, සහ VZ යන ස්විට්සර්ලන්ත දුම්රිය සමාගම් මැදිහත් වී 1930 ජූනි 25 වැනිදා දිගු දුර දුම්රියක් ආරම්භ කළා. ‘ග්ලැසියර් එක්ස්ප්‍රස්’ නමින් හැඳින්වුණු එම දුම්රිය කිලෝමීටර් 291ක දුරක් ගෙවමින් ශාන්ත මොරිට්ස් සිට සර්මැට් දක්වා ගමන් කළා. එම දුම්රිය පළමු, දෙවන සහ තෙවන පන්තියේ මැදිරිවලින් සමන්විත වුණා. ඊට අමතර ව එහි භෝජනාගාරයක් ද තිබුණා. එකල ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනය කිරීම සඳහා වාෂ්ප එන්ජින් යොදා ගත්තා.

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය මුල් යුගයේ දී – glacierexpress.ch

සුන්දර මාර්ගයක් ඔස්සේ ගමන් කරන දුම්රියක්

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ගමන් කරන්නේ සර්මැට් සිට ශාන්ත මොරිට්ස් දක්වා යි. එම දුම්රිය ගමනේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 291ක්. දුම්රිය තරමක් දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කරන නිසා සමස්ත දුම්රිය ගමනට වැය වන කාලය පැය 8 මිනිත්තු 3ක්. එම මාර්ගය ආශ්‍රිත ව පාලම් 291ක් සහ බිම්ගෙවල් සහ උමං මාර්ග 91ක් පිහිටා තිබීම විශේෂත්වයක්. ලොව තිබෙන වඩාත් සුන්දර දුම්රිය මාර්ග අතුරින් එකක් වන මෙහි සුවිශේෂී ස්ථාන කිහිපයක් දක්නට ලැබෙනවා.

ඇන්ඩර්මැට් සහ ඩයිසෙන්ටිස් අතර පිහිටා තිබෙන ඕබර්ඇල්ප් පාස් නම් කඳුකර ප්‍රදේශය එයින් එකක්. මුහුදු මට්ටමේ සිට මීටර් 2044ක උසකින් පිහිටා තිබෙන එම ප්‍රදේශය ආශ්‍රිතව ශීත කාලයේ දී සැලකිය යුතු තරම් හිමපතනයක් සිදු වෙනවා. එනිසා එම කාලයේ දී මෙම ප්‍රදේශය හරහා දුම්රියේ ගමන් කරන මගීන්ට අමුතු ම ආකාරයේ අත්දැකීමක් විඳගන්නට පුළුවන්.

ඕබර්ඇල්ප් ප්‍රදේශයෙන් ගමන් කරන දුම්රිය – gettyimages.com

මෙම දුම්රිය මාර්ගයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් වන්නේ ලෑන්ඩ්වාසර් පාලම සහ බිම්ගෙය යි. එම පාලම ඉදිකර තිබෙන්නේ ලෑන්ඩ්වාසර් ගංගාව හරහා යි. අලංකාර ආරුක්කු පාලමක් වන එය ඇලෙක්සැන්ඩර් ඇකාටෝස් නම් ඉංජිනේරුවාගේ මූලිකත්වයෙන් ඉදි වුණේ 1901-1902 අතර කාලයේ දී යි. මීටර් 136ක් දිග මීටර් 65ක් උස මෙම පාලම ඉදිකිරීම සඳහා එකල ස්විස් ෆ්රෑන්ක් 280,000ක මුදලක් වැය වුණු බව පැරණි වාර්තාවල සඳහන් වෙනවා.

පාලමේ මැද කොටසේ බිම්ගෙයක්

එසේ නිර්මාණය කළ පාලමේ මැද කොටසේ බිම්ගෙයක් දක්නට ලැබීම විශේෂත්වයක්. එම අපූරු බිම්ගෙය ඉදිකර තිබෙන්නේ ලෑන්ඩ්වාසර් ගංගාව සමීපයේ පිහිටි කුඩා හුණුගල් කඳුවැටිය හරහා දුම්රියට ගමන් කිරීමට යි. මෙම පාලම 2009 දී ස්වීස් ෆ්රෑන්ක් මිලියන 4.6ක් වැය කොට ප්‍රතිසංස්කරණය කළා. ලෑන්ඩ්වාසර් පාලම සහ බිම්ගෙය අවට ප්‍රදේශයේ සුන්දරත්වය නිසා එයට ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි ව තිබෙනවා.

ලෑන්ඩ්වාසර් පාලම උඩින් ගමන් කරන දුම්රිය – gettyimages.com

මුල් යුගයේ දුම්රිය ධාවනය වුණේ ගිම්හානයේ දී පමණ යි

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ගමන් කරන්නේ ෆුර්කා නම් කඳුකර ප්‍රදේශය හරහාත් ගමන් කරනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 2429කින් පිහිටි එම ප්‍රදේශය ආශ්‍රිත ව හිම කඳු කිහිපයක් පිහිටා තිබෙනවා.අතීතයේ දී එම ප්‍රදේශය හරහා දුම්රිය ගමන් කිරීම අනතුරුදායක වුණා.1930-1982 කාලය තුළ ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ගමන් කළේ ගිම්හාන කාලයේ දී පමණ යි.

වසරේ වැඩි කාලයක් ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනය කිරීමට නොහැකි වීම එම ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට දැරිය නොහැකි පාඩුවක් වුණා. එවැනි තත්ත්වයක් යටතේ ෆුර්කා කඳුකර ප්‍රදේශය හරහා ආරක්ෂිත ව ගමන් කිරීම සඳහා උමං දුම්රිය මාර්ග පද්ධතියක් ඉදි කිරීම කෙරෙහි එරට දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමු වුණා.

හිම කඳු අතරින් ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනයේ යෙදෙමින් – gettyimages.com

එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆුර්කා කඳුකර ප්‍රදේශය හරහා කිලෝමීටර් 15.4ක දිගකින් යුත් උමං මාර්ගයක් ඉදි වුණා. එය ඉදි කිරීම සඳහා මූලිකත්වය ගත්තේ Matterhorn Gotthard Bahn (MGB) නම් දුම්රිය සමාගම යි. එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණේ 1971 වසරේ දී යි.

එතැන් සිට දශකයකට වැඩි කාලයක් එහි ඉදි කිරීම් කටයුතු සිදු වුණා. එසේ ඉදි වුණු උමං දුම්රිය මාර්ගය විවෘත කළේ 1982 ජූනි 25 වැනිදා යි. ෆුර්කා කඳුකර ප්‍රදේශය හරහා ආරක්ෂිත ව දුම්රිය ධාවනය සිදු කිරීමට ඉන් පසු හැකි වුණා. 1982 ජූලි මාසයේ සිට වසර පුරා ම ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනය වුණා.

ෆුර්කා උමං මාර්ගයට පිවිසෙන දුම්රිය – wikiwand.com

දුම්රිය ධාවනය වන කාල සීමා

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය අද වන විට ධාවනය වන්නේ විශේෂ කාලසටහනකට අනුව යි. එහි දි මැයි 13 සිට ඔක්තෝබර් 15 දක්වා ගිම්හානය ලෙස ද, දෙසැම්බර් 11 සිට මැයි 12 දක්වා ශීත ඍතුව ලෙස ද සලකමින් දුම්රිය ධාවනය කරනවා. සාමාන්‍යයෙන් ස්විට්සර්ලන්තයේ සංචාරක සමය ලෙසින් සැලකෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා ගෙවෙන කාලය යි.

එම කාලයේ දී ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රියට ලැබෙන ඉල්ලුම වැඩි යි. එම මාසවල දී දුම්රියේ ආසනයක් වෙන් කර ගැනීමට වැඩි මුදලක් අය කරනවා. වසරේ මාස 10ක් ධාවනයේ යෙදෙන ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනයෙන් ඉවත් කරන්නේ ඔක්තෝබර් 16 සිට දෙසැම්බර් 9 දක්වා ගෙවෙන දින 54 තුළ පමණ යි.

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ධාවනයේ යෙදෙමින් – gettyimages.com

එදා සිට අද දක්වා දුම්රිය ක්‍රියාත්මක කිරීමට දායක වුණු සමාගම්

Furka Oberalp Bahn (FOB), Rhaetian Railway (RHB), Visp Zermatt-Bahn (VZ) යන දුම්රිය සමාගම් තුන එකතු වී 1930-1962 අතර කාලය තුළ මෙම දුම්රිය ක්‍රියාත්මක කළා. ඉන් අනතුරු ව FOB සහ RHB දුම්රිය සමාගම්වලට එකතු වුණු Brig Visp Zermatt-Bahn (BVZ) යන දුම්රිය සමාගම 1962-2002 යුගයේ දී මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කළා.

RHB සහ Matterhorn Gotthard Bahn (MGB) යන දුම්රිය සමාගම් එකතු වී 2003-2017 යුගයේ දී ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ක්‍රියාත්මක කළා. 2017 සිට ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ක්‍රියාත්මක වන්නේ Glacier Express AG නම් දුම්රිය සමාගම යටතේ යි. එය ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය ක්‍රියාත්මක කිරීම සඳහා RHB සහ MGB යන දුම්රිය සමාගම් දෙක එක් ව පිහිටුවා ගත් නව සමාගමක්.

ආසන වෙන් කර ගත් මගීන්ට සැප පහසු ආසන, විශේෂ නැරඹුම් කවුළු, ආසනයට සම්බන්ධ කළ විශාල මේස ඇතුළු පහසුකම් අත්විඳිය හැකි යි – gettyimages.com

දුම්රියේ ඇතුළත් විශේෂ පන්ති

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රියේ විශිෂ්ටතා පන්තිය (Excellence Class), පළමු පන්තිය (1st Class) සහ දෙවන පන්තිය (2nd Class) යනුවෙන් එකිනෙකට වෙනස් දුම්රිය මැදිරි පන්ති පිහිටා තිබෙනවා. මේ දුම්රිය ට්කට් පත ලබා ගන්නවාට අමතර ව දුම්රිය ආසන වෙන් කිරීම සඳහා විශේෂ මුදලක් ගෙවීමටත් සෑම මගියකුට ම සිදු වෙනවා. ආසන වෙන් කිරීමේ දී පළමු පන්තියේ ටිකට් පතක් ලබා ගත් මගියකුට වැඩි මුදලක් ගෙවා විශිෂ්ටතා පන්තියේ ආසනයක් වෙන් කර ගන්නට පුළුවන්. ඒ විශිෂ්ටතා පන්තියේ ගමන් කරන මගීන්ට ලැබෙන විශේෂ සැප පහසුකම් නිසා යි.

දුම්රිය ඇතුළත දර්ශනයක් – gettyimages.com

විශිෂ්ටතා පන්තියේ මගීන්ට ලැබෙන විශේෂ පහසුකම්

ශාන්ත මොරිට්ස් සිට සර්මැට් දක්වා ගමන් කිරීම සඳහා පළමු පන්තියේ ටිකට් පතකට අය කරන මුදල ස්වීස් ෆ්රෑන්ක් 268ක්. එසේ පළමු පන්තියේ ටිකට් පතක් ලබා ගත් මගියකුට තවත් ස්වීස් ෆ්රෑන්ක් 470ක මුදලක් ගෙවූ විට විශිෂ්ටතා පන්තියේ අසුනක් වෙන් කර ගන්නට පුළුවන්.

විශිෂ්ටතා පන්තියේ ආසන වෙන් කර ගත් මගීන්ට විශේෂ නැරඹුම් කවුළු, සැප පහසු ආසන, ගමන් මලු තැබීමට විශේෂ ආරක්ෂිත පහසුකම්, ටැබ්ලට් හා විද්‍යුත් උපකරණයක් භාවිත කිරීමේ අවස්ථාව, ග්ලැසියර් එක්ස්ප්‍රස් හි අවන්හලට පිවිසීම සඳහා විශේෂ අවසරය ඇතුළු පහසුකම් රැසක් ලැබෙනවා.

විශිෂ්ටතා පන්තියේ ගමන් කරන මගීන්ට ලැබෙන සැප පහසුකම් – glacierexpress.ch

විශිෂ්ටතා පන්තියේ ගමන් කරන මගීන්ට සිත්ගන්නාසුලු ආහාර පාන ද ලැබෙනවා. එහි දී විශේෂ ආහාර වට්ටෝරුවලට අනුව ප්‍රධාන වේල් සඳහා ආහාර ලබා දෙනවා. එම ආහාර වේල් සඳහා තමන්ට කැමති ආහාර මෙනුව තෝරා ගැනීමේ අවස්ථාව මගීන්ට ලැබෙනවා. ඊට අමතරව කෝපි, ෂැම්පේන්, වයින්, පලතුරු යුෂ, චොක්ලට්, රස කැවිලි, ඇතුළු කෑම වර්ග ද මෙහි ගමන් කරන මගීන්ට හිමි වෙනවා. ඔවුන්ට දවස පුරා ම කෙටි ආහාරත් සැපයෙනවා. මේ හේතුවෙන් විශිෂ්ටතා පන්තියේ ගමන් කරන මගීන්ට ඉතාමත් විනෝදයෙන් සිය ගමනාන්තය දක්වා ගමන් කරන්නට පුළුවන්.

පළමු සහ දෙවන පන්තියේ මගීන්ට ලැබෙන පහසුකම්

ස්වීස් ෆ්රෑන්ක් 268ක මුදලක් දී පළමු පන්තියේ ටිකට් පතක් ලබා ගන්නා මගියෙක් දෙසැම්බර්-මැයි අතර කාලයේ දී තවත් ස්වීස් ෆ්රෑන්ක් 39ක මුදලක් ගෙවා පළමු පන්තියේ සාමාන්‍ය ආසනයක් වෙන් කර ගත යුතු යි. මෙම දුම්රියට ඉහළ ඉල්ලුමක් පවතින මැයි-ඔක්තෝබර් අතර කාලයේ දී පළමු පන්තියේ ආසන වෙන් කිරීමේ මුදල ස්වීස් ෆ්රෑන්ක් 49 දක්වා ඉහළ යනවා. සාමාන්‍ය පළමු පන්තියේ ආසන වෙන් කර ගත් මගීන්ට සැප පහසු ආසන, විශේෂ නැරඹුම් කවුළු, ආසනයට සම්බන්ධ කළ විශාල මේස ඇතුළු පහසුකම් අත්විඳිය හැකි යි.

දුම්රියේ ගමන් කරන මගීන් – glacierexpress.ch

ස්වීස් ෆ්රෑන්ක් 152ක මුදලකට දෙවන පන්තියේ ටිකට් පතක් මිල දී ගත් මගියකුට ආසන වෙන් කර ගැනීම සඳහා සාමාන්‍ය පළමු පන්තියේ මගීන් ගෙවන මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා. මෙම දුම්රියේ දෙවන පන්තියේ මගීන්ට සැපයෙන ආසන සහ මේස පළමු පන්තියේ මගීන්ට ලැබෙන ආසන සහ මේසවලට වඩා කුඩා යි.

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රියේ පළමු සහ දෙවන පන්තිවල ගමන් කරන මගීන්ට ප්‍රධාන වේල් සඳහා අවශ්‍ය ආහාර කලින් ඇණවුම් කරන්නට පුළුවන්. එසේ ඇණවුම් කළ ආහාර සඳහා ඔවුන් වෙන ම මුදල් ගෙවිය යුතුයි. ඊට අමතර ව කෙටි ආහාර ලබා ගැනීම සඳහා දුම්රිය තුළ ආපනශාලාවක් ස්ථාපිත කර තිබෙනවා.

ග්ලැසියර් එක්ස්ප්‍රස් ලොව ජනප්‍රියත ම දුම්රියක්

ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම දුම්රියේ ආසන වෙන් කර ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. මෙම දුම්රියට වැඩි ඉල්ලුමක් ලැබී තිබෙන්නේ මෙය ඉතාමත් සුන්දර මාර්ගයක ගමන් කරන නිසා යි. සාමාන්‍යයෙන් සෑම වසරක ම 250,000කට ආසන්න මගීන් ප්‍රමාණයක් මෙම දුම්රියෙන් ගමන් කරනවා. එසේ ගමන් කරන සංචාරකයන් අතර විදෙස් සංචාරකයන් ද වැඩි ප්‍රමාණයක් සිටිනවා. ග්ලැසියර් එක්ස්ප්‍රස් ලොව ජනප්‍රියත ම දුම්රියක් ලෙසින් සැලකෙනවා.

ග්ලැසියර් එක්ස්ප්‍රස් ලොව ජනප්‍රියත ම දුම්රියක් ලෙසින් සැලකෙනවා – www.youtube.com/@glacierexpress7533

කවරයේ ඡායාරූපය- ග්ලැසියර් එක්ස්ප්‍රස් දුම්රිය - gettyimages.com
මූලාශ්‍ර:
rhb.ch
happyrail.com
glacierexpress.ch
magicswitzerland.com
seat61.com

Related Articles