Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රසම රස යෝජිත විවාහයකට මග මෙන්න  

“මේ රටේ සරණ මංගල පිළිබඳව විශාල උත්සව නැත්තේය. විවාහයට පෙර විවාහ ගිවිස ගැනීමේ සිරිතකුත් නැත්තේය. ස්වකීය දූ දරුවන් ආවාහ කර දීමේදී මව් පියන් විශේෂයෙන් සලකන්නේ රූප ලක්ෂණය නොව යහපත් ගති ගුණ හා පරපුරය. කුලය සම නම්, ගුණය සම නම්, ධනය කෙසේ වුවද සරණ මංගල්‍යය සිදු වන්නේය.

මෙහි විවාහ බෙහෙවින්ම තාවකාලිකය. අනිස්ථිරය. අඹු සැමියන් එකිනෙකා අතර අසතුටක් හෝ මත භේදයක් ඇති වුවහොත්, නින්දාවක් නැතිව දෙපක්ෂය සිය කැමැත්තෙන් වෙන් වෙති. ගැහැනු පිරිමි දෙපක්ෂයම සෑහීමකට පත් වන තුරු සතර පස් වරක් වුවද සරණ සැපත් වෙති. “

1660-1680 අවධියේ ලංකාවේ විවාහ චාරිත්‍ර ගැන ලියූ රොබට් නොක්ස් ගේ සටහන් දෙකකි ඒ.( පරිවර්ථනය ඩේවිඩ් කරුණාරත්න) සිංහලයින් එකල විවාහ ප්‍රාප්ත වීම කෙතරම් සරල කාරණයක් වීද යන්න එයින් යම් අදහසක් ගත හැකිය.  

කොහොමද සිරියාව (ezwed.in)

කොහොමද සිරියාව (ezwed.in)

වර්ථමානයේ මංගල්‍යයක් සිද්ධ විය හැකි ආකාර දෙකකි. ඒවා නම් ප්‍රේම සම්බන්ධතා හෝ මංගල යෝජනා යන ආකාර දෙකයි. එයින් ප්‍රේම සමබන්ධතා, විවාහය හා එහිදී සැලකිලිමත් විය යුතු කරුණු ආදිය ගැන විශාල වශයෙන් නවකතා, කෙටිකතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, නිබන්ධන, දාර්ශනික මත ආදිය තිබේ. එහෙත් යෝජනා හරහා විවාහ ප්‍රාප්ත වීම ගැන ඇති කතාබය අඩුය. කතාබහ අඩුවුවත් යෝජනා හරහා විවාහ වන්නෝද සැලකිය යුතු ප්‍රතිශතයක් සමාජයේ වෙති.

යෝජනා ආකාර

අනේ පව් අහිංසක අලියා (ezwed.in)

අනේ පව් අහිංසක අලියා (ezwed.in)

  • නෑ දෑ හිතමිතුරන් මගින්
  • කපු මහත්වරුන් සහ නෝනාවරුන් මගින්
  • පුවත්පත් දැන්වීම් මගින්
  • වෙබ් අඩවි දැන්වීම් මගින්

මේ කවර ආකාරයට සිදු වුවද සලකා බලන කාරණා වල නම් විශාල වෙනසක් නැත. එක් එක් සමාජ විවේචකයින්ට,දාර්ශනිකයින්ට හා පූජ්‍ය පක්ෂයට මේ විවාහයේදී සලකා බැලෙන කාරණා ආදිය ගැන දරුණු විවේචන තිබේ. එහෙත් විවාහයක් සොයන්නා ඒ බරසාර මතවාද අසා දරාගෙන සිටියාට ඒ තනිකඩ පුද්ගලයාට සහකරුවෙකු හමුවන්නේ නැත. ඔහුට හෝ ඇයට සහ ඒ පවුලේ අයට අවැසි වන්නේ ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයාගන්නටය.

කේන්දර බැලීම

කාගේද දන්නේ නෑ (ezwed.in)

කාගේද දන්නේ නෑ (ezwed.in)

කේන්දර වල ග්‍රහ පිහිටීම මනුෂ්‍ය ජීවිතයට බලපාන බවට දැඩි විශ්වාසයක් අපේ සමාජයේ තිබේ. යමෙක් කේන්දර නොපිලිගත්තේ වුවද ඔහුගේ මව්පියන් නෑයින් හෝ යහලුවන් කේන්දර පිලිගන කටයුතු කරන අය නම් කේන්දර නොබලා සිටීම කල නොහැකි දෙයකි. පුවත් පත් දැන්වීම් වලට හෝ වෙබ් අඩවි දැන්වීම් වලට හෝ වෙනත් යෝජනාවකදී කේන්දර කොපියක් නොමැතිව මංගල යෝජනාව බාරගැනීමටවත් බොහෝ දෙමාපියෝ කැමැති නැත. කේන්දරය මගින් ඒ බලපෑම් අනුව ජීවිත වෙනස්වේද නැද්ද ගැන යන්න ස්ථිර අදහසක් නැතිමුත් කේන්දර කොපියක් රහිතව මගුලක් සොයාගන්නට මංගල යෝජනා වලට බැසීම ඵලක් නැත.

කේන්දරය සැකසෙන්නේ උපන් වෙලාව අනුවය. බරපතල ගනයේ දුර්ලභ කේන්දරයක් ඇත්නම් සුදුසුම දේ වේලාව ස්වල්පයක් එහා මෙහා කරවා නව කේන්දරයක් සාදවා ගැනීමය . නමුත් රහස අනාරවරණය වීමෙන් දරුණු ප්‍රතිපල ඇතිවිය හැකි බැව් සිහිතබාගත යුතුය. ඇතැම් විට ඔබ කසාද බැඳ අවුරුදු 80ක් පමණ සතුටින් පවුල් කෑවද විවාහයේදී කේන්දර නොගැලපුන බවක් අවට අය දැනගතහොත්, ඒ නිසා ඔබේ දරුවන්ට, නෑයින්ට හෝ අඩුවසයෙන් පන නැති වස්තුවක් වූ  නිවසට හෝ ලොකු අපල උපද්‍රවයක්,පාඩුවක් වූ බව කියා කේන්දර ලොල් අය ඔබව දිරිමත් කරනු ලබන්නේය.

වස්තු දේපල ආදිය බැලීම

හම්මේ කොහොමද ආදරේ? (ezwed.in)

හම්මේ කොහොමද ආදරේ? (ezwed.in)

ගෙවල් දොරවල් බලන්නට ගෙවල් වලට ගිය විට බොහෝ දෙමාපියෝ.. “හෙහ් හෙහ් හෙහ් හේ.. මේ ඔක්කොම මෙයාට තමයි ඉතිං..දැන් ඉතිං මෙයාට නේ අපේ සැලකිල්ල.. “ ආදී ලෙස සිනාසෙමින් කියති. නමුත් ව්‍යාපාර දේපල වස්තුව තොග ගනන් ඇතැයි පුරසාරම් දෙඩුවාට කලක් ගිය පසු ආරංචි වන්නේ එ්වා එක්කෝ ණය මගින් කරන ලද අසාර්ථක ව්‍යාපෘතිය..නැතිනම් ඉඩම් හෝ දේපල නඩු වලට හිර වූ දේපලය. එබැවින් දේපල ‍වලට ලෝලව ගිජුව මනමාලිය මනාලයෙකු තෝරාගන්නා විට ඒවා නිරවුල්ද ණය බර තිබේද ආදිය ගැන සැලකිලිමත් විය යුතුය.

සමහර අවස්ථාවල දේපල දරුවන් අතර නොබෙදා ඇති අතර ගැහැනු දරුවන් කිහිප දෙනෙකු සිටින පවුල් වල එකම ඉඩම ඒ දරුවන් හතර දෙනාම විවාහ වන විට මේක ඉතිං මේ දරුවට තමයි  කියා වාචිකව පවරා දෙන අවස්ථාද තිබේ.  ඔබ පුදුම කරමින් විටෙක ඔබට මනමාලිය සමග දෑවැද්දට කාර් එකක් ලැබෙන්නට පුලුවන. නමුත් ඊලග මාසේ සිට ලීසින් එක රුපියල් පනස්දාහක් විතර කාර් එක වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන්නේ නම්.. ඒ ගැන මදක් නැවත සිතිය යුතුය.

රැකියා ආදිය නිරූපනය

ගමුකො ඉතින් selfie එකකුත් නිකන් ඉන්න (ezwed.in)

ගමුකො ඉතින් selfie එකකුත් නිකන් ඉන්න (ezwed.in)

රැකියාවක් නිරූපනය කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. නමගිය ආයතනයක ස්ථිරව රාජකාරී කරන ඉහල නිලතල වලට මංගල යෝජනාවන් හිදී විශේෂ ලකුණු ලැබේ. ඉංජිනේරු, නීතීඥ, දොස්තර, ගණකාධිකාරී, විධායක ශ්‍රේණි උපාධිධාරී… ආදී විශේෂණ මනාල මනාලියෝ රැකියා වලින් ‍මංගල යෝජනා වලදී ඉහලම ලකුනු ලබති. මංගල යෝජනාවක් හුවමාරු වන අවස්ථාවක සිටීනම් වඩාත් සුන්දර රැකියා නාමයක් ඇතිකරගන්නා එක නුවණට හුරුය. සහකාර ඉංජිනේරු වලින් සහකාර ඉවත්වීමත්, ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ආයුර්වේද කොටස හැලීම ආදීදේද මංගල යෝජනා වලදී සාමාන්‍යයෙන් සිදු වන දේවල් වේ.

යුරෝපයේ සීයා කෙනකු බලාගන්නා මාගේ මිතුරකු සිය යෝජනාවේදී රැකියාව ලෙස මේල් නර්ස් ලෙස නිරූපනය කලේය. එය සත්‍යයකි. ඔහු යම්කිසි සාත්තු සේවයක් සහ නර්ස් කර්තව්‍යයක්ද කරයි. එසේම ගඩොල් කපමින් ජීවත් වන අපේ ගමේ මිතුරකු මංගල යෝජනාවක දක්වා තිබුනේ ගඩොල් නිෂ්පාදනාගාර හිමිකරු ලෙසයි. ඔහු ගඩොල් නිපදවීමක් කරන නිසාත් ඒ කටයුත්තේ මූලිකයා ඔහු නිසාත් එහි න්‍යායික වරදක් නොමැත්තේය. ගොවිතැන, ගරේජ් බාස් ආදී වෘත්තින් වුවද ඉඩම්හිමි වැවිලිකරු, ඉංජිනේරු කාර්මික ආදී ලෙස අලංකාරව නිරූපනය කිරීමේ හැකියාව ඇත.

යෝජනාවක් පැමිණි කලද රැකියාව තීරුව ගැන දක්වා තිබෙන දේම විශ්වාස කල යුතු නැත. ඒවා උපායෙන් කතා බහ කර හෝ ආරංචි කිරීමෙන් සෙමෙන් සෙමෙන් සොයාගත යුතු කාරණා වන්නේය.

කුලය කුල වාදය

මෙයාව නම් FIFA යැවුවත් පාඩු නැහැ (ezwed.in)

මෙයාව නම් FIFA යැවුවත් පාඩු නැහැ (ezwed.in)

ගොයිගම දෙන්නෙක් සෙට් වුනාය කියලා ඒ දෙන්නා එකට කුඹුරු කොටන්නේ නැත. ‍එසේම කරාව කුලයේ අය එකතුවුනාය කියලා ඒ අඹුව සහ සැමියා එක්ව මූදු යන්නේද නැත. දුරාව නම් රා මදින්නන් යැයි අතීතයේ හැදින්වුනු කුලයේ අය එක්වී විවාහ වුනාය කියලා ඒ දෙන්නා එකට පොල් ගස් නැග බාගෙන එකට රා බොන්නේද නැත.පුරාණයේ තණ  තිබූ බිම්වල විසූ බල්ලා දෙ‍තුන් ගමනක් කැරකී තනකොල මෑත්වූ බිමේ නිදාගත්තේය. දැනුදු බල්ලා ඉස්තරම්ම ටයිල් එකක් උඩ තැබුවද උගේ ගතිය එසේමය. මිනිසුන්ගේද කෙතරම් නවීන උපාංග සහිත ලෝකයක ජීවත් වුවත් නොවෙනස් වන පැරණි මතිමතාන්තර තිබේ. එයින් එකකි කුලය.

‍කුලවත් වීම,  වංශවත් වීම, ඉංග්‍රීසි කතාකරන සමාජයට අයිති වීම, නමගිය අය පරම්පරාවේ සිටීම, ඉහල රක්ෂාවක් කිරීම, නමගිය පාසැලක ඉගනීම, ආගම නිකාය ගැලපීම  ආදී කරුනු  මංගල යෝජනා වලදී සැලකිලිමත් වේ. මෙවන් කාරණා සැගවීම මදක් අපහසුය. පුවත්පත් දැන්වීමකින් වාසගම තරමක් වෙනස් කරගැන්මෙන් කුලය වෙනස් කරගත හැකි වුවද නෑදෑ සනුහරේ සියල්ලෝම අපට වෙනස් කල නොහේ. මුදල් සහ සමාජ තත්වය ආරෝපනය වන විට කුල බැමි ආදිය ඈත් වී යන ආකාරයක්ද තිබේ. තවමත් සමාජයේ විවාහයේදී කුල ගැන සලකා බලයි. එබැවින් ඒ ආදී සමාජ කුලක සහ කුල ගැන අවබෝධයෙන් යෝජනාවකදී කටයුතු කිරීම වැදගත්ය.

සමාන්තර යෝජනා අධ්‍යනය

මංගල යෝජනා වලදී එකම කාලයකදී යෝජනා කිහිපයක්ම යම්තමින් ගැලපීගෙන එන අවස්ථා තිබේ. එවන් විටකදී සුදුස්සා තොරාගන්නට යම් කාලයක් ගැනීම කල යුතුය. විවිධ ප්‍රයෝග යොදාගනිමින් සත්‍ය කරුණු සොයාගන්නට කල් මරමින් සිට සුදුස්සාටම යශ්ඨිය පුද කල යුතුය. විවාහයකදී නෑයින් සහ තමුන් එකතුව කරන තෝරාගැනීම ඇතැම් විටක සංකීර්ණ පරිඝනක ක්‍රීඩාවකටත් වඩා අමාරු කර්තව්‍යයකි. කෙසේ තෝරාගත්තද ඒ තෝරාගැනීම වැරදි වීමටද ඉඩ කඩ තිබේ. තෝරාගැනීමේ ගැඹුරට බට කල අපිට යම් කිසි යෝජනාවකට අපේ ජීවිතය හරහා ගලා යෑමට ඉඩ දිය යුතු අවස්ථාවක් එළඹෙනු ඇත. එම අවසාන අවස්ථාව අවට අයට වඩා තමුන්ටම තීරණය කල හැකිනම් එය වඩාත් වටිනා මංගල යෝගයක් විය හැක.

මේ තියෙන්නේ කාරණා ටිකක් විතරයි..තවත් කාරනා තියේනං කමෙන්ට් කරල ලියල යන්න. හැමෝම ආස වෙයි මේ ගැන තවත් රසවත් කරුණු කාරනා දැනගන්න.

කවරයේ පින්තුරය ezwed.in

Related Articles