Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩවසම් බොන්ඩ්ගේ සුරූපී කෙල්ලෝ

ජේම්ස් බොන්ඩ් සැලකෙන්නේ බ්‍රිතාන්‍ය සිනමාව විසින් බිහි කළ සුපිරිම වීරයා ලෙසටයි.කඩවසම් පෙනුමක් සහ තියුණු බුද්ධියක් සමග නිර්භීත බව මුසු වුණු මේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ඒජන්ත වරයා නිර්මාණය කරනු ලැබුවේ ජනප්‍රිය ලේඛක ඉයන් ෆ්ලෙමින් විසිනුයි. ෆ්ලෙමින් විසින් බොන්ඩ් චරිතය අළලා නිර්මාණය කල නවකතා දොළහ සහ කෙටිකථා දෙක මෙම අපූරු මනඃකල්පිත චරිතයේ ආරම්භයයි.

1952 වසරේදී ෆ්ලෙමින් විසින් ජේම්ස් බොන්ඩ් නිර්මාණය කිරීමෙන් පසු එය පළමු වරට 1962 දී සිනමාවට නැගුණු අතර මේ දක්වා එම චරිතය ඇසුරින් සිනමාපට දුසිම් දෙකක් පමණ නිර්මාණය වී තිබෙනවා. රාජකීය නාවික හමුදාවේ 007 දරන කේත අංකයේ හිමිකරුවා සම්බන්ධ මූලික අදහස් ෆ්ලෙමින් ගේ සිතේ පහළ වී ඇත්තේ ඔහුද දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ රහස් ඒජන්ත වරයකු ලෙස කටයුතු කළ සමයේදී යි.

ජේම්ස් බොන්ඩ් ආදායම ඩොලර් බිලියන හත ඉක්මවයි

වයස අවුරුදු හතළිහක් පමණ වන කඩවසම් තනිකඩයකු වන බොන්ඩ් වටා ගෙතුණු සිනමාපට මාලාව එදා මෙදා තුර වැඩිම කලක් අඛණ්ඩව නිර්මාණය කෙරුණු සිනමාපට මාලාව ලෙසටද සැලකෙනවා. එමෙන්ම එම සිනමාපට මාලාව විසින් මේ දක්වා උපයා ඇති මුදල ඩොලර් බිලියන හත ඉක්මවන බවද බොක්ස් ඔෆීස් වාර්තා සනාථ කරනවා. වාර කිහිපයකදීම ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ මෙම බ්‍රිතාන්‍ය සිනමාපට මාලාව වාර දෙකකදී ඇකඩමි සම්මානයට පාත්‍ර වීමත් විශේෂත්වයක්.

http://img.wennermedia.com

ඕනෑම ආකාරයේ සටනකට සුදානම්, විවිධ ආකාරයේ ආයුධ හැසිරවීමට සමත්, බොන්ඩ් තමා සතුව ඇති නවීන පන්නයේ වාහන සහ වෙනත් උපකරණ හේතුවෙන්ද ලොව වටා රසික රසිකාවියන් අතර උන්මාදයක් බවට පත්ව සිටින බව නොරහසක්. මත්පැන්, සූදුව මෙන්ම කාන්තාවන්ට ද ඇල්මක් දක්වන බොන්ඩ් ලෝක සිනමාව තුල බිහි වූ දැවැන්තම සිනමා පෞරුෂ අතර ඉදිරි ස්ථානයක් හිමි කරගන්නෙක්.

එදා මෙදා තුර මෙම සුපිරි  බොන්ඩ් චරිතය රගපෑම සඳහා තෝරා ගත් නළුවන් සියලු දෙනාද සිනමාවේ සුපිරි පොරුෂ සහිත නළුවන් වීමත් විශේෂත්වයක්. මේ දක්වා එම චරිතය රඟපෑ නළුවන් හත්දෙනා අතරින් වඩාත්ම ජනප්‍රිය වුයේ සීන් කොනරි,රොජර් මුවර්,පියර්ස් බොස්නන් සහ ඩැනියෙල් ක්‍රෙග් යන සිවු දෙනායි.

‘බොන්ඩ් කෙල්ල’

ජේම්ස් බොන්ඩ් චරිතය මෙන්ම  එහි ප්‍රධාන කාන්තා චරිතයන්ද ලොව වටා ජේම්ස් බොන්ඩ් සිනමාපට රසිකයන් අතර දැඩි අවධානයට ලක් වූයේ සැම විටම  එම චරිතය වෙනුවෙන් තෝරා ගැනුණේ ද එවකට සිනමාවේ සිටින සුපිරිතම නිලියන් වීම හේතුවෙනුයි. ‘බොන්ඩ් කෙල්ල’ යන නමින් ඔවුන්ට හිමි වන විශේෂණ නාමය ඇකඩමි සම්මානයක් හිමිකර ගැනීමට සමාන්තර තලයක පිළිගැනීමක් පවතින බවත් පැවසෙනවා. ඇතැම්විට බොන්ඩ් සිනමාපටයක බොන්ඩ් කෙල්ලන් කිහිප දෙනෙකු ද දක්නට ලැබෙන බවත් ප්‍රකටයි.

සරාගී පෙනුම මෙන්ම සියුම් බුද්ධිය මනාව කැපී පෙනෙන එම චරිතය, බොන්ඩ්ගේ පෙම්වතිය ලෙසින්  හෝ ඇතැම් විට ඔහුගේ මිතුරිය හෝ  පසමිතුරිය ලෙසටද සිනමාපටයන් තුල දක්නට ලැබෙනවා. බොන්ඩ් කෙල්ලක් බොන්ඩ්ගේ  ස්ථිර පෙම්වතිය බවට පත් වී ඇත්තේ සිනමාපට දෙකක පමණක් වීම විශේෂත්වයක්.  On Her Majesty’s Secret Service (1969) සහ Casino Royale (2006) යනු එම සිනමාපට දෙකයි.අනෙක් බොහෝ සිනමාපට වල බොන්ඩ් කෙල්ල මිතුරියක ලෙස සිට බොන්ඩ් ගොනාට ඇන්දීමට උත්සාහ කළ පස මිතුරියක් බව හෙළි වීමත් ප්‍රකට කරුණක්.(අප මෙම ලිපිය තුල බොන්ඩ් කෙල්ල ලෙස සඳහන් කරන්නේ බොන්ඩ් සිනමාපට මාලාවේ එන කාන්තා චරිත සැමවිටම බොන්ඩ් ගේ පෙම්වතියම නොවීම හේතුවෙන් බව සලකන්න)

බොහෝ විට බොන්ඩ්ගේ ආකර්ෂණය දිනා ගන්නා බොන්ඩ් කෙල්ල හෙවත් බොන්ඩ් ගේ පෙම්වතිය වයස අවුරුදු විසි පහක් පමණ වන තරුණියක් ලෙසට සිනමාපට වල නිරූපනය වන අතර, ඉයන් ෆ්ලෙමින් විසින් රචනා කර ඇති බොන්ඩ් ගේ ලාබාලතම පෙම්වතියගේ වයස අවුරුදු දහ අටක්. එම චරිතය අඩංගු වන්නේ You Only Live Twice යන නමින් නිර්මාණය කෙරුණු නවකතාවේ සහ එනමින්ම නිර්මාණය කෙරුණු සිනමාපටයේ යි.

බොන්ඩ් කෙල්ලන්ගේ  මූලික ලක්ෂණ

කදිමට පවත්වාගත් සිරුරේ හැඩය, විලාසිතාවට බර වීම මෙන්ම ඕනෑම සටනකට සුදානම්ව සිටීමත් ජේම්ස් බොන්ඩ් කෙල්ලන්ගේ  මූලික ලක්ෂණයි. අඩ නිරුවත මෙන්ම අවශ්‍ය අවස්ථාවේ නිරුවතද බොන්ඩ් ගේ ජේම්ස් බොන්ඩ් කෙල්ලන්ගේ මායම් අතර කැපී පෙනෙන්නක්.බොන්ඩ් කෙල්ලන්ගේ  ඇස් වල පැහැය මෙන්ම කොණ්ඩා මොස්තරයන්ද බොහෝවිට සිනමා රසිකාවියන්ගේ අවධානය දිනා ගන්නා කරුණු බවට පත් වී තිබෙනවා. ජේමිස් බොන්ඩ් මෙන්ම ඔහුගේ කෙල්ලන්ද විලාසිතා ලෝකය තුලට කළ බලපෑම ලොව වටා බොන්ඩ් උප සංස්කෘතියක් ඇති කිරීමටද මේ වන විට හේතු වී තිබෙනවා.

https://www.statesidestills.com

ලිංගිකත්වයද බොන්ඩ් කෙල්ලන්ගේ චරිතය තුලින් විවිධ අයුරින් ඉස්මතු කිරීමට බොන්ඩ් සිනමාපට නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂකවරුන් ක්‍රියා කර ඇත්තේ තරුණ ප්‍රේක්ෂක ආකර්ෂණය එම සිනමාපට වලට ලබා ගැනීමේ අරමුණෙනුයි. කෙසේ වෙතත්, මුල් නවකතා රචනය කළ ඉයන් ෆ්ලෙමින් ගේ නවකතා තුලද එම ලක්ෂණය ඇතැම් දුරකට දැකිය හැකියි.

බොන්ඩ් කෙල්ල ගේ චරිතය රඟපෑ නිලියන්

උර්සුලා ඇන්ඩ්‍රෙස් ( Dr. No (1962)) පළමු බොන්ඩ් කෙල්ලයි. ඇය එහි රඟපෑ චරිතය හැඳින්වුනේ හනි රයිඩර් ලෙසටයි. සුප්‍රකට නිලි මොනිකා බෙල්ලුසි වයස්ගතම බොන්ඩ් කෙල්ල ලෙසට සැලකෙන්නේ ඇයට එම අවස්තාව හිමිවන විට ඇය පනස් වැනි විය ආසන්නයේ සිටි බැවිනුයි.

එදා මෙදා තුර බොන්ඩ් කෙල්ල ගේ චරිතය රඟපෑ නිලියන් අතර වඩාත්ම ජනප්‍රිය නිලියන් ලෙස සැලකෙන්නේ ඊවා ග්‍රීන්, කිම් බසින්ගර්, හැලී බෙරි, ඩෙනිස් රිචර්ඩ්ස් ආදීන් ලෙස සැලකෙනවා.

බොන්ඩ් සිනමාපටයක ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීම සෑම නළුවකුට මෙන්ම නිලියකටමද සිහිනයක්. එබැවින් සිනමාවේදී බොන්ඩ් නිලියක් වීම සැලකෙන්නේ ස්වීප් ටිකට්ටුවක් ඇදීමක් හෙවත් එක රැයකින් ජනප්‍රිය විමක් ලෙසයි. බොන්ඩ් කෙල්ලන් බවට පත්වී පසු කලෙක ඇකඩමි සම්මාන දිනු නිලියන් අතර කිම් බසින්ගර් සහ හැලී බෙරිට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

http://cdn.playbuzz.com

ජේම්ස් බොන්ඩ් සිනමාපට මාලාවේ විසි පස් වැන්න 2019 වසරේදී තිරගත වීමට නියමිතව තිබෙනවා. එම සිනමාපටයේ ප්‍රධාන චරිතය ඩැනියෙල් ක්‍රෙග් විසින්ම රඟපෑමට නියමිත බව පැවසෙන අතර එහි බොන්ඩ් ගේ සුරූපී කෙල්ලන් පිරිස තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

cover photo- https://www.007.info

Sources

https://www.007james.com

http://jamesbond.wikia.com

Related Articles