Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආදර්ශ මගුල් ගෙදර – ගිහින් නැත්නම් කියවලා බලන්න

කිසිදාක විවාහ මංගලෝත්සවයකට සහභාගී වී නොමැති කෙනෙක් ලංකාවේ නැති තරම්. අතීත විවාහ මංගලෝත්සව කෙසේ වෙතත්, වර්තමානයේ නම් මෙම උත්සව පැවැත්වීමේ අරමුණ විවාහ වීමම ද කියලා සැක හිතෙන තරමටම මේවාට විවිධාකාරයේ අලුත් අංග එකතු වී තිබෙනවා. අනික් අතට, අද කවුද ‘බඳින ජෝඩුවට’ සුබ පතන්න මගුල් ගෙදරක යන්නෙ? පුද්ගලිකව, මම නම් යන්නෙ බඩ පැලෙන තරමට කන බලාපොරොත්තුවෙන්. වයසක ඇන්ටිලා, තරුණ අක්කිලා යන්නෙ තමන්ගෙ ලස්සන සාරි, තදටම මේක්-අප් කළ මූණු පෙන්නන බලාපොරොත්තුවෙන්. අයියලා යන්නෙ ඒ ලස්සන අක්කලාව බලන්න. බහුතරයක් අංකල්ලා නම් මගුල් ගෙවල්වල යන්නෙ වෙරි වෙන්න. අලුත් ජෝඩුව අයිනකට වෙලා කසාද බැන්දාවෙ, අපි අපේ ජොලිය ගමු, නැද්ද?

මේ සියළු කාරණා සළකා බලලා, විනෝදෙටත් එක්ක අපි හිතුවා සාමාන්‍ය ශ්‍රී ලාංකික වෙඩින් එකක් ගැන ලියන්න.

“අපි මෙහෙමයි ලව් කළේ, මේ බලන්ඩෝ…!”

title: අපි මෙහෙමයි ලව් කළේ.. මේ බලන්ඩෝ..! (Studio 3000)

අපි මෙහෙමයි ලව් කළේ.. මේ බලන්ඩෝ..! (Studio 3000)

‘ ප්‍රී වෙඩින් ෂූට්’ එක ශ්‍රී ලාංකික විවාහ සංස්කෘතියට මෑත කාලයේ දී එක්වුණු අංගයක්. දෙදෙනෙක් ඉතා ඉක්මනින් විවාහ වීමට බලාපොරොත්තු වන බවට ලැබෙන පළමු ‘හින්ට්’ එක තමයි මේ ප්‍රී ෂූට් එක. විච්චූර්ණ ඇඳුම් ඇඳලා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකේ, ගාලු කො‍ටුවේ, නිදහස් චතුරස්‍රය අවට, එහෙමත් නැත්නම් දියත උයනෙ ඉඳන් එක එක විකාර ඉරියව් වලට ඇඹරිලා, ලයිට් කණු බදාගෙන, ඒත් නැත්නම් මල් ගස් වටේ දුවන ගමන් ගත් ෆොටෝස් එහෙම ෆේස්බුක් ප්‍රෝෆයිල් එකට අප්ලෝඩ් කරලා නම්, ඔන්න වෙඩින් එකක් අත ළඟ.

“බලන්ඩෝ.. මේ බලන්ඩෝ…. අපි ලව් කළ විදිය බලන්ඩෝ… මෙහෙම තමයි දෙන්නෙක් ලව් කරන්නේ! මේක තමයි බ්‍රෝ ලව් ස්ටෝරි එක! මේ මේ.. මේකත් බලන්ඩෝ.. සුරංගනා කතාවක් වගෙ නේදෝ..!?!”

‘ඇන්දීම’

මේ කටයුත්ත විවාහ මංගලෝත්සවය දිනයේ උදේ පාන්දර 1, 2 වැනි වේලාවකදී ආරම්භ වන්නක්. මනමාලයා උදේ 5 පමණ වන තෙක් නිදාගනිද්දී, මනමාලි උදේ පාන්දර 1 ඉඳන් සැලෝන් එකේ. කොන්ඩෙ බන්දවාගන්න ලක්ෂ එකහමාරක් ගෙව්වට පස්සෙ ආයෙ උදේ පාන්දර ඇහැරෙන එකත් මහා වැඩක් ද බ්‍රෝ?

වෙඩින් ෆොටෝස්

(lucysbuzz.blogspot.com)

(lucysbuzz.blogspot.com)

මේ වෙන්නෙත් කලින් දියත උයනෙ, ගාලු කො‍ටුවෙ කළ වැඩේමයි. එකම වෙනස මගුල් ඇඳුම් හැඳ සිටීම පමණයි. මනමාලීයි මනමාලයයි බර කල්පනාවකින් ඈත බලාගෙන ඉන්න ෆොටෝස්, ගංගාරාමෙ සීමාමාලකේ ඉඳන් බුදුන් වඳින ෆොටෝස්, පරණ පඩිපෙලක් ළඟ මනමාලි වාඩිවෙලා ඉන්න ෆොටෝස්, මනමාලයයි දෙවනි මනමාලයො සෙට් එකයි පිටිපස්ස හැරිලා ඉන්න ෆොටෝස්, මනමාල ජෝඩුවයි දෙවනි මනමාලයො මනමාලියොයි, පොඩි පොඩි ඇච්චො බැච්චො සෙට් එකයි උඩ පනින ෆොටෝස්, බොරුවට හිනාවෙන, විහිළුකරගන්න ෆොටෝස්.. හම්මේ ඉතින්.

ඇත්තටම ඇයි මේ උඩ පනින්නෙ? (srilankan-star.blogspot.com)

ඇත්තටම ඇයි මේ උඩ පනින්නෙ? (srilankan-star.blogspot.com)

ජම්බෝ මගුල් ගෙවල්

ඇයි පොඩියට මගුල් උත්සවයක් ගන්නෙ? 300කටවත් ආරාධනා නොකළොත් ගතියක් නෑනෙ, නැද්ද? අර නැන්දගෙ දුවට අවුරුදු 5කින් විතර කතාකරලා නෑ නේද? අවුලක් නෑ, එයාට ආරාධනා කරමු. ඇයි එහාගෙදර අංකල් බැඳලා ඉන්න ඇන්ටිගෙ අක්කා බැඳලා ඉන්න කෙනාගෙ ලොකු අම්මා? එයා ආවෙ නැත්නම් කසාද බඳින එකෙනුත් වැඩක් නෑ වගේ.

කොහොම වුණත් ඕනෙ ඔට්‍ටුවක්, උත්සවයට එන 300න් 200ක්වත් මනමාලිවවත් මනමාලයාවවත් දණගාන කාලෙන් මෙහා දැකලා නැති දුර නෑදෑයො.

බුෆේ පෝලිම

(dailypakistan.com)

(dailypakistan.com)

කන්න නම් කෑම වර්ග ඕනෑ තරම්. හැබැයි පෝලිම නම් දිගයි මීටර 15ක් විතර. දිග විතරක් නෙවෙයි, මේ පෝලිම කවදාවත් ඉස්සරහට යන්නෙත් නෑ. ඇයි? ඇයි තඩි ඇන්ටිලා පොඩි බබාලත් එක්කම පෝලිම පනිනවානෙ!

පෝරුවේ චාරිත්‍ර

බලා ඉන්න ප්‍රියයි. විවිධාකාර වූ චාරිත්‍ර ‍රැසක් නැකතට අනුව පෝරුව මත සිදුකෙරෙනවා. එකම ගැටළුව, පැයක් පමණ වේලාවක් හිටගෙන ඉන්න වෙන එක. මෙතනදි වෙන්න පුළුවන් නරකම දේ තමයි, උත්සවයට සහභාගී වෙන්න ආ පිරිස චාරිත්‍රානුකූලව විවාහය සිදුවෙන මේ අවස්ථාවෙදි එයට සහභාගී නොවී ශාලාව පුරාම තම තමන්ගේ බරපතල සාකච්ඡා වල නියැලෙමින් ඉන්න එක (වෙන්න පුළුවන් අනිත් නරකම දේ තමයි ජයමංගල ගාථා ගයන වෙලාවේ පොඩි එකෙක් මහා සද්දෙට අඬන්න පටන්ගන්න එක).

ෆොටෝස් ගැනීමේ චාරිත්‍රය

කෑම බීම අවසන් වුණාම මෙන්න මේ චාරිත්‍රය ඉ‍ටුකිරීමේ අවස්ථාව එළැඹෙනවා. කරන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයයි. පවුල් පිටින් ගිහින්, මනාල යුවල දෙපසින් ඉඳලා ෆොටෝ එකක් ගන්න එක (මේ ෆොටෝස් කවදාවත් ප්‍රින්ට් කරන්නෙ නැති එක වෙනම කාරණයක්). මේක තමන්ගෙ විවාහ මංගලෝත්සවයෙ මතකයන් සුරක්ෂිත කිරීමට ගන්නා පියවරකට වඩා, පැමිණෙන නෑදෑයන් හිතමිත්‍රාදීන්ගෙ සිත් සැනසීම සඳහා ගන්නා පියවරක් ලෙස සලකන්න පුළුවන්.

මේසයක් පිරෙන්න තෑගි පෙට්ටි

ජෝඩුවට තෑගි ලැබෙන පිඟන් සෙට්, කෝප්ප, සාස්පාන්, කේතල් වලින් මගුල් ගෙදර ඉවර වුණාට පස්සෙ කඩයක් දාගන්න පුළුවන් (කියලා රටේම තියෙන තරමක් මේ දේ තෑගි ලෙස පිරිනමන අය හිතාගෙන ඉන්නවා වෙන්න ඕනෙ).

අර බීලා නටන අංකල්

මේක ශ්‍රී ලාංකික මගුල් ගෙදරක අනිවාර්ය අංගයක්. ශාලාවෙ කොනේම මේසයක් තියාගෙන බොන අංකල්ලා පිරිසෙන් හරි ගාණට පදම් වෙලා ඉන්න එක්කෙනෙක් නටන්න ගන්න මේ වෙලාවට. වාදනය වන සින්දුවෙ තාලයට (නො)ගැලපෙන්න නටන්න මේ අංකල් හරිම දක්ෂයි. වැඩි වේලාවක් මේ අංකල්ට තනියම නටන්න වෙන්නෙ නෑ, මොකද වීදුරුවක් ඔළුව උඩ තියාගෙන නටන්න පුළුවන් අංකල්, අර ක්ලැසිකල් පප්පා ඩාන්ස් එක දාන්න පුළුවන් අංකල් එහෙමත් මේ අංකල්ට එකතුවෙනවා (නටන්න පුළුවන්ද, බැරිද කියන එක මෙතනට අදාල නෑ. සින්දුවක තාලෙකට වැනෙන්න, නැලවෙන්න, ඇඹරෙන්න පුළුවන් ද? එහෙනම් ඔබ තමයි ඩාන්සින් ස්ටා).

(marryinaweek.com)

(marryinaweek.com)

ජෝඩුවගෙ ඩාන්ස් එක

මනමාලි කිලෝ ගාණක් බර සාරියත් ඇඳගෙන, අඩි උස සපත්තු දෙකකුත් දාගෙන, කකුල පැටලිලා තමන් වැටෙයි කියන බයට මනමාලයගෙ කරෙත් එල්ලීගෙන, මාසයක් පමණම ඒ වෙනුවෙන්ම නැ‍ටුම් පන්ති වලටත් සහභාගී වෙලා ඉගෙනගත් නැ‍ටුමක් නටනවා (කියලා හිතාගෙන ඉන්නවා) දකිනවා තරම් තවත් සතුටක් තිබේද පින්වත්නි?

ස්තුති කතා

හා…පෝ…. හතුරෙකුටවත් මෙහෙම විපතක් නම් වෙන්න එපා. දුර නෑයෙක්ගෙ කතාවකුයි, ළඟ නෑයෙක්ගෙ කතාවකුයි, එහාගෙදර අංකල්ගෙ කතාවකුයි, ඉස්කෝලෙ කාලෙ යාළුවෙකුගෙ කතාවකුයි, වැඩ කරන තැන බොස්ගෙ කතාවකුයි… ස්තුති කතා අවසන් වෙනකොට මනාල යුවලයි, මුළු මංගල සභාවමයි අඩ නින්දේ සුව සිහින දකිමින් සිටීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්.

අපට මග හැරුණු තවත් අංග තිබෙනව ද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. (ළඟදි විවාහ වෙන්න ඉන්න යාළුවො ඔබටත් ඇතිනෙ? නෑ අපි මේ නිකමට ඇහුවෙ..)

කවරයේ පින්තුරය: studiodotflash.com

 

Related Articles