Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණ ජවයෙන් ලොව දිනූ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ

ඒ 2015 වසරේ ඔක්තෝබර් 20 වන දින  උදෑසනයි.  මහා මැතිවරණයකින් පසු දිනය වූවත් කැනඩාවේ වැසියන් සුපුරුදු ආකාරයටම සිය එදිනෙදා කටයුතු සඳහා එහා මෙහා යමින් සිටි බැවින් ඒ උදෑසන වෙනදා මෙන්ම කාර්යබහුල එකක් වී තිබුණා. මොන්ට්‍රියෙල් දුම්රිය පොළට සාමාන්‍යයෙන් වෙනදාට එහි නොඑන අමුත්තෙක් ඇතුළු වූවේ ඒ අවස්ථාවේදියි. ලා නිල් පැහැති කමිසයකින් සහ කළු පැහැ පිට කබායකින් සැරසී සිටි ඔහු කිසිදු  අමුත්තක් නොපෙන්වා දුම්රිය පොළට ඇතුළුවන සහ පිටවන මගීන් හා හිනැහෙමින් දුම්රිය පොළ තුලට පා තැබුවා. තමන් හා සුහදශීලි ලෙස මේ සිනාසෙන අමුත්තා කවුද කියා හරියටම වටහාගන්නට මගීන්ට විනාඩි කිහිපයක් ගත වූ අතර, ඉන්පසු ඔහුට ඔවුන්ගෙන් ලැබුණේ ඉතා උණුසුම් ප්‍රතිචාරයක්.


ඒ ඊට පෙරදින මහජන ඡන්දයෙන් තේරී පත්වූ කැනඩාවේ නව අගමැති ජස්ටින් පියරේ ටෲඩෝ යි.  හඳුනාගත් පසුව ඉතා උනන්දුවෙන් ඔහු අසලට පැමිණි ජනතාව ඔහුට සුබ පතමින් ඔහු හා සෙල්ෆි  ගැනීමටත් අමතක කළේ නැහැ. අගමැතිවරයා ලෙස තේරී පත්වී දිනක් ගතවීමටත් මත්තෙන් ලොව පුරා මාධ්‍ය වාර්තාවල,  විශේෂයෙන්ම සමාජජාලවල සිය නම රැඳවීමට ජස්ටින් ටෲඩෝ  සමත් වූවේ එසේයි.

එතැනින් ඇරඹි, මේ වන තෙක්ම නොයෙකුත් විවේචන අතර මැද  වුවත් සිය කිර්තිය ලොව පුරා එක ලෙස රඳවා ගැනීමට සමත්ව ඇති මෙම තරුණ දේශපාලනඥයා පිළිබඳ කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට Roar කණ්ඩායමේ අපි මෙවර තීරණය කළා.

අගමැති පවුලට කුලුඳුලේ එකතු වූ අමුත්තා

මාග්‍රට් සහ පියරේ ටෲඩෝ  කුඩා ජස්ටින් ක්‍රිස්තියානි කරවීමේ උත්සවයේදී  (LYNN BALL)

1971 වසරේ නත්තල් දින එවකට කැනේඩියානු අගමැති පියරේ එලියට් ටෲඩෝ  සහ මාග්‍රට් සින්ක්ලෙයා දෙපළගේ කුළුඳුල් පුත්‍රයා ලෙස ජස්ටින් උපත ලැබුවේ ඔටාවා රෝහලේදියි.

එම කාලයේදී කැනඩාවේ රෝහල්  තුළ සිදුවන දරු ප්‍රසුතියන් සඳහා සහභාගී වීමට දරුවාගේ පියාට ඉඩ ලැබුණේ නැහැ.  නමුත් මාග්‍රට් ගේ දැඩි විරෝධය පෑම්  හමුවේ එම නීතිය හකුළා  ගැනීමට රෝහල බලධාරීන්ට සිදු වූ අතර ඉන්පසු දිගටම ප්‍රසූතිය  සිදුවන අවස්ථාවේදී  මව අසල සිටීමට පියවරුන්ට අවස්ථාව ලැබුණා.  පසුව ඔටාවා රෝහල අනුගමනය කරමින් ඉහත නිතිය ලිහිල් කිරීමට කැනඩාවේ අනෙකුත් ප්‍රාන්තවල රෝහල් ද කටයුතු කළ බවයි වාර්තා වූයේ. මේ අනුව කුඩා ජස්ටින් සිය උපතේ සිටම කැනේඩියානුවන්  අතර නොමඳ ප්‍රසිද්ධියට ලක් වූ අයෙකු වූවා.

ජස්ටින්ගෙන් පසුව අගමැති පවුලට තවත් පුතුන් දෙදෙනෙකු එකතු වුණා.

ටෲඩෝ සොහොයුරන් සිය පියාණන් සමඟ අගමැති නිල නිවසේදී (The Star)

ජස්ටින්ගේ ළමා විය ගෙවුණේ මාධ්‍ය සහ මහජනයා යන දෙපිරිසගේම දැඩි අවධානය මැදයි.  ඔහුගේ පියා එවකට  මහජනතාව අතර ඉතාම ජනප්‍රිය පුද්ගලයෙකු වීම එයට බලපෑ ප්‍රධානම හේතුවක් ලෙස හැඳින්විය හැකියි.  ඉතින් ඔහුට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ළමා කාලය ගෙවන්නට වූ අතර අගමැති ආරක්ෂක අංශය ඔහු හැඳින්වීමට භාවිතා කළ සංකේත නාමය වූවේ ‘මේපල් 3′  යි.

නමුත් වයසින් වැඩෙත්ම සිය අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන් ජස්ටින් දේශපාලනය පිලිබඳ කටයුතුවලින් ඈත් වී සිටීමට කටයුතු කළා. මැක්ගිල්  විශ්වවිද්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍ය කොළොම්බියා  විශ්වවිද්‍යාලයෙන් උපාධි සම්පූර්ණ කළ ඔහු අනතුරුව ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළා.

ජස්ටින් ටෲඩෝ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිසු පිරිසක් සමඟ (CBC)

නමුත් 1998 වසරේදී ඔහුගේ බාල සහෝදරයා වූ මයිකල් ටෲඩෝ අවාසනාවන්ත අයුරින් හිම මත ලිස්සායාම ක්‍රීඩාවේ  නියැලෙමින් සිටින අවස්ථාවක මරණයට පත් වුණා. මේ ඛේදවාචකය නිසා ඔහුට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට සිදු වුණා. එම ක්‍රීඩාවේ නියැලෙන අයගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ගත් සංගමයක මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් ජස්ටින් කටයුතු කළා.

පියරේ ටෲඩෝගේ මරණය  

පියාගේ දේහයට අවසන් ගෞරව දක්වන ජස්ටින් (The Globe)

2000 වසරේදී හිටපු අගමැති පියරේ ටෲඩෝ  ගේ අවමංගල උත්සවයේදී ජස්ටින් ටෲඩෝ  විසින් පැවැත්වූ කතාව  ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.

“පියරේ එලියට් ටෲඩෝ!  මේ වචන කිහිපය බොහෝ දෙනාට ඔහු පිලිබඳ බොහෝ දේවල් සිහියට නංවන  බව මා දන්නවා.

ඒ ප්‍රාන්ත දේශපාලනඥයෙක්, බුද්ධිමතෙක්, මහාචාර්යවරයෙක්, නීතිඥයෙක්, මාධ්‍යවේදියෙක්,  ලේඛකයෙක්  සහ අග්‍රාමාත්‍යවරයෙක් ලෙසට.

ඒත් ඒ සියළුම චරිතවලට වඩා මා ඔහුව දකින්නේ වෙනස් ආකාරයට.  ඔහු මගේ ආදරණීය පියාණනුයි!”

ඔහු එම කතාව මැදදී ඉතාම හැඟීම්බර අයුරින් පවසා සිටියා.

29 හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයාට දේශපාලනඥයෙකු වීමට සෑම සුදුසුකමක්ම ඇතිබවට මත පළවන්නට ගත්තේ මෙම කතාවෙන් පසුවයි.

දේශපාලන ගමනේ ආරම්භය

2015 මැතිවරණ රැළියක් අමතන ජස්ටින් ටෲඩෝ (THE CANADIAN PRESS/Paul Chiasson)

ජස්ටින් දේශපාලන වේදිකාව මත පෙනී සිටින්නට පටන් ගත්තේ පියරේ ටෲඩෝගේ මරණයෙන් පසුවයි. 2007 වසරේදී මොන්ට්‍රියෙල් හි පැපිනූ  ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂයෙන් නාමයෝජනා ලබා ගන්නා ඔහු 2008 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා.

2011 මැතිවරණයෙන් ද එම ආසනය නියෝජනය කරමින් ජයග්‍රහණය කිරීමට ජස්ටින් සමත්වෙනවා.

ලිබරල් පක්ෂය වෙනුවෙන් නව නායකයෙකු තෝරා පත්කර ගැනීම  වෙනුවෙන් කථිකාවතක් ඇතිවන්නේ මේ අතරතුරදියි. කිහිප විටක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමන් පක්ෂයේ නව නායකත්ව ධුරයට තරඟ වැදීමට කැමති බව ජස්ටින් 2012 වසරේදී ප්‍රකාශ කරනවා.

මෙම නායකත්ව සටන අතරතුරදී ජස්ටින්ට ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන ප්‍රබලතම චෝදනාව වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ඔහු තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැති බවයි. මෙය මහ  මැතිවරණයේදීත් ඔහු වෙත එල්ල වුණ  චෝදනාවක්.

කෙසේ වුවත් ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා වූ ඡන්ද විමසීමෙන් අති  විශිෂ්ට ජයක් ලබා ගැනීමට 2013 වසරේදී ජස්ටින් සමත් වුණා.

21 වන සියවසේ කැබිනෙට්ටුව

කැනඩාවේ කැබිනට් මණ්ඩලය (Telegraph)

2015 වසරේ කැනඩාවේ 23 වන අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විසින් පත් කළ කැබිනට් මණ්ඩලය ලොව පුරා දැඩි ප්‍රශංසාවට බඳුන් වූවා. ඒ ඔහු කාන්තා –  පිරිමි දෙපාර්ශවයටම සම අවස්ථා ලබා දීම සහ අමාත්‍යධුර සඳහා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් ලෙස කටයුතු කළ දේශපාලනඥයන් තෝරාගැනීම නිසායි.

වරක් ඔහු ඒ ආකාරයෙන් සිය කැබිනට් මණ්ඩලය තෝරාපත් කර ඇත්තේ ඇයි ද කියා ඇසුවෙකුට  ඔහු ලබා දුන් පිළිතුර වූවේ “ඒ,  මේ 21 වන සියවස නිසායි.”  යන්න.

පෞද්ගලික ජීවිතය

ජස්ටින්  ටෲඩෝ  බිරිඳ සහ දරුවන් සමඟ (twitter)

ජස්ටින් ටෲඩෝ  2004 වසරේදී රූපවාහිනී  සහ රේඩියෝ නිවේදකවරියක වූ සොෆී  ග්‍රෙගරි සමඟ විවාහ වුණා. ඒ වසර කිහිපයක ප්‍රේම සම්බන්ධයකින් අනතුරුවයි. ජස්ටින් –  සොෆී දෙපල මේ වන විට දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්.

ජනප්‍රියත්වයට හේතු වූ සාධක

ජස්ටින්  ටෲඩෝ  සහ බැරක්  ඔබාමා (Toronto Star)

වර්තමාන ලෝක නායකයන් අතරින් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටින නායකයා වශයෙන් ජස්ටින් ටෲඩෝ හැඳින්වුවහොත් එය නිවැරදි බවට ඔබ අප හා එකඟ වනු ඇති. කඩවසම් රූපය මෙන්ම ඔහු පෙනී සිටින ලිබරල් ප්‍රතිපත්ති  මෙම ජනප්‍රියත්වයට හේතු ලෙස දැක්විය හැකියි.

උදාහරණයක් ලෙස ඔහු සරණාගතයන් සම්බන්ධව සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙක්.  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයක වැසියන්ට ඇමරිකාවට පැමිණීම වාරණය කරමින් නියෝගයක් නිකුත් කළ විට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජස්ටින් ටෲඩෝ පවසා සිටියේ උපකාර අවශ්‍ය ඕනෑම අයෙකුට ජාතිකත්වය සහ අදහන ආගම නොබලා පිහිට වීමට කැනඩාව සෑම විටම කටයුතු කරන බවයි.  වරක් කැනඩාවට ඇතුළු වූ සිරියානු සරණාගතයන් පිළිගැනීමට ඔහු සහ ඔහුගේ බිරිඳ කටයුතු කිරීමත් ලොව පුරා අවධානයට පාත්‍ර වූවා.

එසේ කැනඩාවට ඇතුළු වූ සිරියානු සරණාගත යුවළක්  ඔහුට උපහාරයක් ලෙස සිය අලුත උපන් බිලිඳාට ජස්ටින් ටෲඩෝ  ඇඩම් බිලාල් ලෙස නම් තැබුවා.

අගමැති ජස්ටින් ටෲඩෝගේ දෑතේ සිටින බිලිඳු ජස්ටින් ටෲඩෝ (The Global News)

එමෙන්ම ඔහු තමන් ස්ත්‍රීවාදියෙකු ලෙස හඳුන්වා ගන්නෙක්.  “”ඔබ ප්‍රගතිශීලි මිනිහෙකු නම් ඔබ අනිවාර්යයෙන්ම ස්ත්‍රීවාදියෙකු විය යුතුයි.  මොකද ස්ත්‍රීවාදීන් කටයුතු කරන්නේ සමානාත්මතාවය වෙනුවෙන්. ඔවුන් කටයුතු කරන්නේ මේ ලෝකය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීමටයි,” යනුවෙන් ඔහු පවසා තිබුණ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

ගෝලීය උණුසුම පාලනය කිරීම මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රචලිත කිරීම වෙනුවෙනුත් කණඩා අගමැතිවරයා පෙනී සිටිනවා.  2016 වසරේ පැරිස් පාරිසරික සම්මුතියට අත්සන් තැබීමටත් කැනඩාව තීරණය කළා.

LGBT ප්‍රජාව වෙනුවෙනුත් පෙනී සිටින ජස්ටින් ඔවුන්ගේ පා  ගමන් සහ රැළිවල ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකු ද වනවා.

පුණ්‍යාධාර එකතු කිරීම වෙනුවෙන් පැවති බොක්සින් තරඟයකදී (twitter)

මේ සියල්ලටම අමතරව ඔහුගේ විලාසිතා,  ලෝක නායකයන් සමඟ පවත්වන මිත්‍ර සම්බන්ධතා,  පවුල් ජීවිතය,  ක්‍රීඩාශීලිත්වය ආදී දෑ  දෙසද ලෝකය බලා සිටින්නේ උනන්දුවෙන්.

විවේචනයන්

ජස්ටින් ටෲඩෝ  සරණාගතයන් වෙනුවෙන් දරණ ස්ථාවරය ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන්වී තිබෙන්නේ තව වසර කිහිපයන් යුරෝපයේ සහ ඇමරිකාවේ මේ වන විට සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් කැනඩාවේත් සිදුවනු ඇති බවට බිය  කරමින්.

විශේෂයෙන්ම ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය වෙනුවෙන් සිය ට්විටර් ගිණුම හරහා ශෝකය ප්‍රකාශ කිරීම ලිබරල් මතවාද දරණ කැනේඩියානුවන් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වුණා.

තවද මෙම වසරේ කැනඩා  දිනය සමරමින් ඔහු පැවැත්වූ කතාවේදී ඇල්බර්ටා ප්‍රාන්තය සඳහන් කිරීම අමතක කිරීම වෙනුවෙනුත් බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක්වීමට අගමැතිවරයාට සිදු වූවා.

එමෙන්ම ඔහු කාර්යාලයෙන් පිටත  උත්සව අවස්ථාවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන බවත්,  මහජන ධනය ප්‍රමුඛතාවන් නොවන වෙනත් දෑ  සඳහා වැඩියෙන් යොදවන බවත් ජස්ටින් ට එරෙහිව එල්ලවන තවත් චෝදනාවන් දෙකක්.

කඩවසම් රූපය නිසා උවමනාවටත් වැඩියෙන් ප්‍රසංශාවට ලක්වන අයෙකු ලෙසත් ඇතැමුන් ඔහුව හඳුන්වනවා.

කුමන චෝදනා එල්ල වූවත් ජස්ටින් ටෲඩෝ යනු තවමත් පුවත් මවන දේශපාලනඥයෙක්.  ඔහුගේ ඉදිරි ගමන් මග කුමන හැඩයක් ගනු ඇතිද කියා මේ බැරෑරුම් සමයේ ලෝකයේ බොහෝ දෙනා විමසිල්ලෙන් බලාසිටින බවත් නොරහසක්.

මූලාශ්‍ර

  1. BBC
  2. thestar.com
  3. The Guardian
  4. The Business Insider
  5. BBC
  6. Al Jazeera

කවරයේ ඡායාරූපය: Canadian Press/REX

Related Articles