Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාතික යුක්ති අධිකරණයට ගිය ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයා: සී. ජී. වීරමන්ත්‍රී

බොහෝමයක් දෙනාට ‘සී. ජී. වීරමන්ත්‍රී’ කියන්නේ ආගන්තුක නාමයක් වුණාට නීති ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න කෙනෙක්ට ‘සී. ජී. වීරමන්ත්‍රී’ කියන්නේ බොහෝ ම හුරුපුරුදු නාමයක්. ඒ එතුමා කලක් අන්තර්ජාතික යුක්ති අධිකරණයේ උප සභාපති ලෙස කටයුතු කළ නිසා පමණක් ම නෙමෙයි, එතුමා විසින් රචිත පොත්පත් රැසක් නීති ශිෂ්‍යයන් මෙන් ම නීතිඥයින් ද වැඩි දුර කරුණු සඳහා පරිශීලනය කරන නිසා යි. මේ ලිපිය ජනවාරි පස් වැනි දින අභාවප්‍රාප්ත වූ අන්තර්ජාතික යුක්ති අධිකරණයට ගිය ප්‍රථම සහ එක ම ශ්‍රී ලාංකිකයා වන සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමාට උපහාර පිණිස යි.

සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සමග (srilanka.embassy.gov.au)

සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සමග (srilanka.embassy.gov.au)

පාසල් සමය සහ උසස් අධ්‍යාපනය

පසු ගිය දිනෙක සිය දිවියේ නව වැනි දශකයට පා තබා, වර්ෂ 2017 ක් වූ ජනවාරි මස 5 වැනි දින සවස් යාමයේ අභාවප්‍රාප්ත වූ ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී 1926 නොවැම්බර් මස 17 වැනි දින උපත ලැබුවේ කොළඹ දී යි. කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ඔහු පාසල් සමයේ දී ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු, රාජකීය විදුහල් සඟරාවේ සංස්කාරක සහ සාහිත්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ කෙනෙක්. එසේම, සිසුවෙකු ලෙස විදුහල්පතිගේ සම්මානය (Principal’s Prize) සහ ආණ්ඩුකාරයා විසින් ලබා දෙන ශිෂ්‍යත්වය (Governor’s Scholarship) ලබා ගත් ඔහු 1943 වසරේ දී රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය (Royal Commonwealth Society) මගින් පිරි නමන විශිෂ්ටතම රචනාවට හිමි සම්මානය (Empire Essay Prize) දිනා ගත්තා.

එතුමා නීති උපාධිය ලබා ගත් ලන්ඩනයේ කින්ග්’ස් විද්‍යාලය (en.wikipedia.org)

එතුමා නීති උපාධිය ලබා ගත් ලන්ඩනයේ කින්ග්’ස් විද්‍යාලය (en.wikipedia.org)

පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් (University of Ceylon) ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් සී. ජී. වීරමන්ත්‍රී, නීතිවේදී උපාධිය සහ නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේ ලන්ඩනයේ කින්ග්ස් විද්‍යාලයෙන් (King’s College London). ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් සමත් වූ ඔහු 1948 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස දිවුරුම් දුන්නා.

නීතී වෘත්තිය

1965 වසර දක්වා කොළඹ දිස්ත්‍රික්කය තුළ නීතිඥයෙකු ලෙස කටයුතු කළ ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රීව ඒ වසරේ දී දණ්ඩාධිකරණයේ කොමසාරිස් (Commissioner of Assize) ලෙස පත් කරනු ලැබුවා. ඉන් පසුව 1967 වසරේ සිට 1972 වසර දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එම තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී මොනෑෂ් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹුවා.

අන්තර්ජාතික යුක්ති අධිකරණය

නෙදර්ලන්තයේ හේග් නුවර ඇති සාමයේ මන්දිරය (elmostrador.cl)

නෙදර්ලන්තයේ හේග් නුවර ඇති සාමයේ මන්දිරය (elmostrador.cl)

1945 දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ XIV පරිච්ඡේදයේ දැක්වෙන අන්තර්ජාතික යුක්ති අධිකරණ ව්‍යවස්ථාව (Statute of the International Court of Justice) මගින් පිහිටු වන ලද අන්තර්ජාතික යුක්ති අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවර ඇති සාමයේ මන්දිරය (Peace Palace) තුළ යි. ස්ථිර තීරක අධිකරණය (Permanent Court of Arbitration) මගින් ලබා දෙන නාමයෝජනා ලැයිස්තුව සලකා බැලීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් වසර නවයක ධුර කාලයක් සඳහා විනිසුරුවරුන් පහළොස් දෙනෙක් තෝරා ගැනීම සිදු කරනවා.

මෙසේ තෝරා ගන්නා විනිසුරුවරුන් පහළොස් දෙනා රටවල් පහළොවකින් වීම අනිවාර්ය යි. එයින් විනිසුරුවරුන් පස් දෙනෙක් බටහිර රටවලින් ද විනිසුරුවරුන් තිදෙනෙක් අප්‍රිකානු රටවලින් ද විනිසුරුවරුන් දෙදෙනෙක් නැගෙනහරි යුරෝපීය රටවලින් ද තවත් තිදෙනෙක් ආසියානු රටවලින් ද ඉතුරු විනිසුරුවරුන් දෙදෙනා ලතින් ඇමෙරිකානු රටවලින් ද තෝරා පත් කර ගන්නවා.

සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා අන්තර්ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස වැඩ භාර ගන්නේ 1991 වසරේ දී යි. පසු ව 1997 වසරේ දී ඔහු ව අන්තර්ජාතික යුක්ති අධිකරණයේ උප සභාපති ලෙස පත් කරනවා. සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා උප සභාපති තනතුර දරණ කාලය තුළ දී ඔහු න්‍යෂ්ටික අවි භාවිතා කිරීම, සහ න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිළිබඳ තර්ජනයක් සිදු කිරීමේ අනීත්‍යානුකූලත්වය ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් වැදගත් තවත් නඩු තීන්දු කිහිපයක් ම ලබා දෙනවා. වසර නවයක ධුර කාලයකට පසු ව ඔහු අන්තර්ජාතික යුක්ති අධිකරණයෙන් විශ්‍රම ගන්නේ 2000 වසරේ දී යි.

අන්තර්ජාතික යුක්ති අධිකරණයේ නඩු විභාග වන අයුරු (en.wikipedia.org)

අන්තර්ජාතික යුක්ති අධිකරණයේ නඩු විභාග වන අයුරු (en.wikipedia.org)

Ad Hoc (තත්කාර්ය) විනිසුරුවරුන්

සාමාන්‍යයෙන් තත්කාර්ය විනිසුරුවරුන් විසින් සිදු කරන්නේ පොදුවේ විසඳුමක් ලබා දිය නොහැකි ගැටලු සඳහා විශේෂ විසඳුම් නිර්මාණය කිරීම යි. මෙසේ තත්කාර්ය විනිසුරුවරුන් විසින් නිර්මාණය කරන විසඳුම් පසු කාලීන ව වෙනත් ගැටලු සඳහා යොදා නොගැනීම යි සාමාන්‍යයෙන් සිදු වන්නේ.

වර්ෂ 1998 සිට 2002 දක්වා කාලය තුළ පුලාවු ලිජිටන් සහ පුලාවු සයිපැඩන් යන දූපත් අයත් වන්නේ මැලේසියාවට ද නොඑසේ ම ඉන්දුනීසියාවට යන ගැටලුවේ දී සී. ජී. වීරමන්ත්‍රී විනිසුරුතුමා මැලේසියාව වෙනුවෙන් තත්කාර්ය විනිසුරුවරයෙක් ලෙස පෙනී සිටියා. අවසානයේ දී අන්තර්ජාතික යුක්ති අධිකරණය තීරණය කළේ එම දූපත් දෙක අයත් වන්නේ මැලේසියාවට බව යි.

මහාචාර්ය භූමිකාව

අන්තර්ජාතික යුක්ති අධිකරණයෙන් විශ්‍රම ගැනීමෙන් අනතුරුව සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමාගේ කාලය වැය වූයේ ග්‍රන්ථ රචනයට සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා දේශන පැවැත්වීම සඳහා යි. ගිවිසුම් නීතිය, මානව හිමිකම්, ඉස්ලාමීය නීතිය, ජාත්‍යන්තර නීතිය වැනි එකිනෙකට වෙනස් විෂය ධාරාවන් රැසක් ඔස්සේ ග්‍රන්ථ රචනා කර ඇති ඔහු වෙළුම් තුනකින් යුතු ස්වයං චරිතාපාදනයක් ‘Towards One World : The Memoirs of Judge C. G. Weeramantry’ යන නාමයෙන් එළි දක්වා තිබෙනවා.

එතුමා විසින් රචිත ස්වයං චරිතාපාදනයේ පිටපතක් (lakehousebookshop.com)

එතුමා විසින් රචිත ස්වයං චරිතාපාදනයේ පිටපතක් (lakehousebookshop.com)

එසේම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු ද වන ඔහු කලක් නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයෙකු ලෙස ද තනතුරු හෙබ වූ අයෙක්. එයට අමතර ව සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ, හොංකොං විශ්ව විද්‍යාලයේ, ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ, පැපුවා නිව් ගිනියා විශ්ව විද්‍යාලයේ, දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බෝෂ් විශ්ව විද්‍යාලයේ, සහ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ බාහිර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

අනෙකුත් තනතුරු

මිය යන විට දී සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා ප්‍රවේණි විද්‍යා ප්‍රතිපත්ති ආයතනයේ නීතිමය සහ මානව හිමිකම් උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතරම න්‍යෂ්ටික අවිවලට එරෙහි ජාත්‍යන්තර නීතිඥ සංගමයේ මුල් පුටුව ද දැරුවා. එයට අමතරව ඔහු ලෝක අනාගත මණ්ඩලයේ (World Future Council) මන්ත්‍රණ සභිකයෙකු ලෙස ද, අන්තර්ජාතික තිරසාර සංවර්ධන නීති මධ්‍යස්ථානයේ ගරු අනුශාසකවරයා ලෙස ද, පරිසර නීති ආයතනයේ උපදේශකවරයෙකු ලෙස ද, මැක්ගිල් විශ්ව විද්‍යාලයීය තිරසාර සංවර්ධන ආයතනයේ අන්තර්ජාතික මණ්ඩලයේ සභාපති ලෙස ද කටයුතු කළා.

ගෞරව පදවි සහ සම්මාන

සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා විසින් ජාත්‍යන්තර නීතිය සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ලන්ඩන් විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, රුහුණ විශ්ව විද්‍යාලය, ඉන්දීය ජාතික නීති විද්‍යාලය, සහ මොනෑෂ් විශ්ව විද්‍යාලය මගින් එතුමාට ගෞරව ආචාර්ය උපාධි පිරි නමා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයෙකුට හිමි වන ඉහළ ම සම්මානය, ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ (vishvaniketan.org)

ශ්‍රී ලාංකිකයෙකුට හිමි වන ඉහළ ම සම්මානය, ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ (vishvaniketan.org)

එසේම ශ්‍රී ලංකා රජය මගින් එතුමාට දේශමාන්‍ය සහ ශ්‍රී ලංකාභිමාන්‍ය පදවිය ද, ස්වීඩන් රජය මගින් Right Livelihood Award ද, ඕස්ට්‍රේලියා රජය මගින් Order of Australia හි ගෞරවනීය සාමාජිකත්වය ද පිරි නමා ඇති අතර, 2006 වසරේ දී යුනෙස්කෝ සංගමය මගින් ලබා දෙන සාම අධ්‍යාපනය සඳහා වන සම්මානය (UNESCO Prize for Peace Education) හිමි වූයේත් සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමාට යි.

මෙසේ ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයට මෙන් ම අන්තර්ජාතික නීති ක්ෂේත්‍රයට මහත් මෙහෙයක් ඉටු කරමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ රැඳ වූ සී. ජී. වීරමන්ත්‍රී මැතිතුමා 2017 ක් වූ ජනවාරි 5 වැනි දින සවස් යාමයේ අභාවප්‍රාප්ත වූයේ මුළු මහත් නීති ක්ෂේත්‍රය ම කම්පාවට පත් කරමින්. මේ වන විට එතුමාගේ දේශය බොරැල්ලේ රේමන්ඩ් මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

කවරයේ පින්තුරය: en.wikipedia.org

මූලාශ්‍ර – en.wikipedia.org, sundaytimes.lk, icj-cij.org

 

Related Articles