Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චමත් පලිහපිටිය – ලොව සුපතල ශ්‍රී ලාංකිකයා ගැන ඔබ නොදත් දේ බිඳක්

ව්‍යාපාර, ක්‍රීඩා, සංගීතය, විද්‍යාව, තොරතුරු හා තාක්‍ෂණය… මේ කුමන ක්ෂේත්‍රයකින් හෝ වේවා ස්වෝත්සාහයෙන් දියුණු වෙලා තරුණ අවධියේදීම ජාත්‍යන්තරයේ තම නම සනිටුහන් කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඒක කෙනෙකුගේ ලැබීම හෝ වාසනාව මත සිදුවන දෙයක් නොව, කැපවීම සහ අත් නොහරින උත්සාහය මත පදනම් වන සාර්ථකත්වයයි.

මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ කුඩා කල සිට සාර්ථකත්වය ගැන සිහින මවා, මේ වනවිට ජාත්‍යන්තර තොරතුරු හා තාක්ෂණ සහ ව්‍යාපාර ලෝකයේ කැපී පෙනෙන චරිතයක් වන තරුණ ලාංකිකයෙකු ගැනයි.

කවුද මේ චමත් පලිහපිටිය?

චමත් පලිහපිටිය (Fortune, fortune.com)

මොහු ගැන ඉතා කෙටි හැඳින්වීමක් කළොත්, වයස 26 දී AOLහි (අන්තර්ජාතික ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණික සමාගමක්) ලාබාලම උප සභාපතිවරයෙක් ලෙස පත්වන චමත්, පසුව ෆේස්බුක් සමාජ ජාලයේ විශාල වර්ධනයක් ඇතිවූ යුගයේ මාර්ක් සකර්බර්ග් සමඟ එක්ව එහි විධායක නිලධාරී ධුරයක කටයුතු කරනවා.

ඉනික්බිති ඔහු සෝෂල් කැපිටල් (Social Capital) නමින් ව්‍යාපාර ප්‍රාග්ධන (Venture Capital) අරමුදලක් ආරම්භ කරන අතර මේ වනවිට ඔහුගේ වාර්තාගත මුළු වටිනාකම ඩොලර් බිලියන එකකට ආසන්න බව කියවේ.

ළමා කාලය

Disrupt NY 2013 වැඩසටහනේ සාකච්ඡාවකට එක්වෙමින් (Tech Crunch, techcrunch.com)

චමත්ගේ පවුල එක්දහස් නමසිය අසූව දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට යනවිට ඔහුට වයස අවුරුදු 5ක් පමණ වන බව සඳහන් වෙනවා.  ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිළධරයෙකු ලෙස සේවය කළ චමත්ගේ පියා ගමගේ, 1986 දී නැවතත් ලංකාවට යාමට කාලය එළඹුණු විට සරණාගත තත්වය යටතේ අයදුම් කර අඛණ්ඩව කැනඩාවෙහිම රැඳී සිටින්නට තීරණය කරන්නේ ඔහුගේ සේවා කාලය තුළ මෙරට පැවති සිවිල් යුද්ධය පිළිබඳව දෙපාර්ශවයේම අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඔහු සෘජුව කථා කිරීමත්, එනිසාවෙන්ම ඇති කරගත් පසමිතුරන් ශ්‍රී ලංකාවේ වාසය කල නිසාවෙනිත්ය.

පසුව ඔටාවාහි ස්ථිර පදිංචිය ආරම්භ කරන පලිහපිටිය පවුල මුල් යුගයේ මහත් දුෂ්කරතා මැද දිවි ගෙවූ බව වාර්තාවේ. චමත්ගේ මව ගෘහ පාලිකාවක සහ පසුව හෙද උපදේශිකාවක ලෙස සේවය කර ඇති අතර පියා ලිපිකාර රැකියා කිහිපයකම නිරතුනත් බොහෝ විට රැකියා විරහිතව කල්ගෙවූ බව වාර්තා වේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වූ චමත්, නිවසේ මැදසාලයේ මෙට්ටයක් මත රැය පහන් කරන අතර Forbes සඟරාවෙන් පළ කරන ලොව ධනවත්ම 400 දෙනාගේ ලැයිස්තුව දෙස නිතර බලමින් තම නමද එම ලැයිස්තුවට ගෙන යාමට සිහින දකිමින් කාලය ගත කල බවද කියැවේ.

මුල් අවධිය

චමත් පලිහපිටිය සිය බිරිඳ, බ්‍රිජෙට් ලෞ සමඟින් (First Republic, firstrepublic.com)

ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කැනඩාවේ උසස්ම පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වූ වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා පිටවන චමත් එකල ඔහුගේ සිහිනය වූ වෙළඳ ව්‍යුත්පන්න (Trading Derivatives) ගණුදෙනු රැකියාවක් සඳහා BMO Nesbitt Burns සමාගම හා සම්බන්ධ වනවා.

1999 වර්ෂය ඔහුගේ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. එකල ඔහුගේ පෙම්වතිය (බ්‍රිජෙට් ලෞ – මේ වනවිට විවාහ වී ඇති මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකුද සිටී) හමුවීමට පාලෝ ඇල්ටෝ වෙත යන චමත්ට ඔහුගේ පෙම්වතිය විසින් අවට ඇති දැවැන්ත තාක්‍ෂණික සමාගම් පෙන්වමින් ගමන් කරන අතරතුර “High Octane Capitalism ඉදිරියෙන්” යනුවෙන් දැන්වීම් පුවරුවක් දකින්න ලැබෙනවා. ඇසුරු සැනින් චමත්ට ව්‍යාපාර ප්‍රාග්ධන ක්ෂේත්‍රයට පිවිසීමේ සිතක් පහළ වෙනවා.

පසු කාලීනව මෙය ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකළ සංසිද්ධියක් ලෙස ඔහු සඳහන් කරනවා. එම ගමනින් පසු නැවත ටොරන්ටෝ වෙත පැමිණි චමත් තම මතකයට නැගුණු සෑම තාක්‍ෂණික සමාගමකටම අයදුම් කළ බව කියවේ. පසුව AOL, Mayfield Fund වැනි සමාගම් කිහිපයකටම එක්වී සාර්ථක ලෙස වසර කිහිපයක් රැකියාව කල චමත් ඔහුට වයස 26දී AOL හි ලාබාලතම උප සභාපතිවරයා ලෙසද උසස්වූ බව ද කියැවේ.

ෆේස්බුක්හි තනතුර

චමත් පලිහපිටිය Cornell Tech හි සභාව අමතමින් (Bloomberg, bloomberg.com)

චමත් පලිහපිටියගේ දිවියේ තවත් කඩයිම් ලකුණක් වන්නේ 2007 වසරේදී මාර්ක් සකර්බර්ග් ගේ යෝජනාවකට අනුව ෆේස්බුක් කණ්ඩායමට එක්වීමයි. මේ කාලය තුළ ෆේස්බුක්හි විධායක තනතුරක් හෙබවූ චමත් අළෙවි, සන්නිවේදන, පාරිභෝගික සේවා සහ වෙළඳ ප්‍රචාරණ වැනි අංශ ගණනාවක් මෙහෙයවා ඇති බව සඳහන්.

ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ට අනුව 2008 වසරේ දිනක් චමත් පලිහපිටිය ඔහු වෙත අවුත්, නව ෆේස්බුක් පරිශීලකයින් වර්ධනය සඳහා වෙනම ම කැපවූ කණ්ඩායමක් අවශ්‍ය බවට තර්ක කර ඇති අතර චමත්ගේ මතය වී ඇත්තේ වෙන කිසියම්ම වූ දෙයකටත් වඩා ෆේස්බුක් භාවිත වන්නේ ලොව වටා සිටින පුද්ගලයින් එකිනෙකා සමඟ සම්බන්ධ වීමට බවත්, එමනිසා අන් කිසිවකටත් වඩා වැදගත් වන්නේ සමාජ ජාලය භාවිත කරන්නන් ප්‍රමාණය වර්ධනය කිරීමට උපාය මාර්ග යෙදීම බවත්ය. අවසානයේ ඔහු ස්වෙච්ඡවෙන්ම මේ කණ්ඩායමේ ප්‍රධානීත්වය තම කර මතට ගෙන කටයුතු කරන අතර, ඔහු මේ තනතුර භාර ගන්නා විට මිලියන 50 කටත් අඩුවෙන් තිබු පරිශීලකයින් ගණන චමත් ෆේස්බුක් කණ්ඩායමෙන් ඉවත් වන විට මිලියන 750 ක් දක්වා වැඩි කිරීමට ඔහු දායක වී තිබුණා.

සෝෂල් කැපිටල් ආරම්භය

චමත්ට හිමි බව පැවසෙන සුපිරි විදුලි කාරය Renovo Coupe (Business Insider, businessinsider.com)

ෆේස්බුක් කණ්ඩායමේ සිටින කාලය අතරතුරම චමත් විවිධ ආයෝජන වලට උනන්දුවක් දැක්වූ අතර වසර 2011දී ඔහු ෆේස්බුක් විධායක තනතුරෙන් ඉවත්වී “සෝෂල් කැපිටල් පාට්නර්ශිප්” නමින් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ආරම්භ කරනවා.

ව්‍යාපාර ප්‍රාග්ධනය හෙවත් Venture Capital යනු ඉහළ වර්ධනයක් සමඟම ඉහළ අවධානමක්ද ඇති නව ව්‍යාපාර අදහස් පණ ගැන්වීමට යොදන මුල්‍යයයි. සිව් මසක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 300 ට ආසන්න මුදලක් රැස් කිරීමට සමත්වන චමත්ගේ නව සමාගම, තම ආයෝජන බොහෝ දුරට සෞඛය, අධ්‍යාපන සහ මූල්‍ය සේවා යන අංශ වලට සීමා කර තිබෙනවා. මෙයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මූලික වෙනස්කම් ඇති කිරීම ඉතා අපහසු වුවත් මෙම අංශ වලට මෙවන් ආයෝජන අත්‍යාවශ්‍ය බවය. මේ වනවිට සෝෂල් කැපිටල් සිදුකර ඇති ආයෝජනයන් අතර Box, Slack, Survey Monkey වැනි නව ව්‍යාපාර ඇතුලත් බව පැවසෙන අතර මේ ඒවායින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවයි වාර්තා වන්නේ.

ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් සම අයිතිය

Golden State Warriors කණ්ඩායම තරඟයක් අතරතුර (Blue Man Hoop, bluemanhoop.com)

2011 වසරේදී චමත් තම කුඩා කල සිට දුටු සිහිනයක් සැබෑ කරගනිමින්, ඇමෙරිකාවේ වෘත්තීය පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors හි සම අයිතිය අත්පත් කරගැනීමට සමත් වෙනවා.

පෞද්ගලික ජීවිතයෙන් බිඳක්

පෝකර් ක්‍රීඩා කරන චමත් (Card Player, cardplayer.com)

පෝකර් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන බව පැවසෙන චමත්, සිලිකන් වැලිහි ජනප්‍රියතම පෝකර් තරඟය ඔහුගේ නිවසේ පවත්වන බවට වාර්තා වන අතර, ධනවත් සහ නමගිය පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ තරඟ වලට නිරන්තරයෙන් සහභාගී වන බව ද පැවසේ.

තවද 2015 වසරේ අග භාගයේදී එළිදැක්වූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික සුපිරි විදුලි කාරයක් වන Renovo Coupe රථයක්ද ඔහු සතුවන බවට වාර්තා වේ. 2015 ජනපතිවරණයෙන් පසුව ලංකාවට පැමිණි චමත්, ජනපති මෛත්‍රී සහ තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් සමඟ මෙරට ව්‍යාපාර පුළුල් කරගැනීමේ අවස්ථා පිළිබඳ කළ සාකච්ඡා විවිධ මාධ්‍ය මඟින් වාර්තා වුනි.

ඉතින් මේ වගේ ලංකාවේ නම ලෝකයට ගෙනගිය චරිත ගැන ඔබේ සිතුවිලි මොනවාද? Comment එකකින් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: yahoo.com

මූලාශ්‍ර – businessinsider.com, businessnewsdaily.com, bloomberg.com, fortune.com, corp.aol.com, dealbook.nytimes.com, www.nba.com

Related Articles