Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආචාර්ය කාල් පී. ස්මිත්

තම පර්යේෂණයක ප්‍රතිඵල සටහන් කර ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තැබූ විද්‍යාඥයෙක් තමයි කාල් පී. ස්මිත් කියන්නේ. උරගයින් සහ උභය ජීවීන් ගැන පර්යේෂණ ගණනාවක් කළ ස්මිත් ඒ සම්බන්ධව පොත් සහ සටහන් 150කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා. එම සටහන් අදටත් ඉතාමත් වැදගත් වන බවයි පැවසෙන්නේ. ඉහළ ආදායමක් ලැබූ Living Reptiles of the World  කෘතිය රචනා කර තිබෙන්නේ ඔහුයි. ස්මිත් විසින් පර්යේෂණ කරන ලද සතුන් පිළිබඳ දැනගැනීමට අවශ්‍ය අයෙකුට Karl P. Schmidt Memorial Herpetological Library හොඳම ස්ථානයක්.

Tom McNamara

පවුල් පසුබිම

ජර්මන් ජාතික කාල් පැටර්සන් ස්මිත් උපත ලබන්නේ 1890 ජූනි 19 වැනිදායි. ඔහුගේ පියා මහාචාර්යවරයෙක් වන ජෝර්ජ් ඩබ්ලිව් ස්මිත් වන අතර මව මාග්‍රට් පැටර්සන්. 1919දී ස්මිත් මාග්‍රට් වයිට්මන් සමඟ විවාහ වන අතර ‍ජෝන් සහ රොබට් නමින් දරුවන් දෙදෙනෙකු ලබනවා.

අධ්‍යාපනය

1913 දී ජීව විද්‍යාව සහ භූ විද්‍යාව ඉගෙනීමට ස්මිත් Cornell සරසවියට ඇතුළු වෙනවා. 1916දී ඔහු කලා උපාධිය ලබන අතර 1952දී Earlham විද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබනවා. 1916 සිට 1922 දක්වා ස්මිත් නිව්යෝක්හි ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ උරග සහ උභයජීවී විද්‍යා සහායකයෙකු ලෙස සේවය කර 1922දී චිකාගෝහි Field Museum of Natural Historyහි උරග සහ උභයජීවී විද්‍යා සහායක පාලකයා ලෙස පත්වීම ලබනවා. 1941දී ඔහු එහි සත්ත්ව විද්‍යාව පිළිබඳ ප්‍රධාන පාලකයා බවට පත් වනවා.

Field Museum of Natural History (museu.ms)

අධ්‍යයනයන්

සතුන්ගේ ව්‍යාප්තිය තීරණය වීමට ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ භෞතික තත්ත්ව සහ කාලගුණය ප්‍රබලව බලපාන බව ස්මිත් ඉතා පැහැදිලිව ඔප්පු කර සිටියා. ඔහු සත්ත්වයින් Arctogaean, Neogaean සහ Notogaean ලෙස ප්‍රධාන කොටස් 3කට වෙන් කළා. 1954දී ස්මිත් යෝජනා කළ මෙම ක්‍රමය 19 වැනි සියවසේදී ඉදිරිපත් වූ සත්ත්ව ව්‍යාප්ති විද්‍යාව පිළිබඳව මුල්ම වෙන් කිරීම් වල නව්‍යකරණයක් ලෙස හැඳින්විය හැකියි.

Boomslang සර්ප පැටවා සහ ස්මිත්

ස්මිත් පරීක්ෂණ කළ Boomslang සර්ප පැටවා (Tom McNamara)

උරග සහ උභය ජීවී විෂේෂ පිළිබඳව පර්යේෂණ කළ ස්මික්ට Lincoln Park Zooහි අධ්‍යක්ෂක මාලන් පර්කින්ස් විසින් සර්ප පැටවකු එවනු ලැබුවා. Boomslang නමින් හැඳින්වෙන මෙම විෂේෂය උග්‍ර විෂ සහිත බව ඒ කාලයේදී හඳුනාගෙන තිබුණේ නැහැ. අවසානයේදී ස්මිත්ගේ මරණය සිදු වෙන්නේත් මෙම විෂ දළ සහිත සර්පයා නිසයි.

විෂේෂය හඳුනාගැනීමේ ක්‍රියාවලිය අතරතුරදී එම සර්ප පැටවා ස්මිත්ගේ වමතේ මහපට ඇඟිල්ල සපා කා තිබෙනවා. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙනවා වෙනුවට ස්මිත් එම සර්ප විසෙන් ඇතිවන ප්‍රතිවිපාක වාර්තා කර තැබීමට තීරණය කළා. මේ තීරණය නිසා තමන් අසාධ්‍ය ලෙස අසනීප වී මරණය ළඟා වේ යැයි ස්මිත් සිතුවේ නැහැ. සර්පයා සපා කෑ දිනයේදීත් ස්මිත් දිගමට තම රැකියා කටයුතු වල නිරත වූ අතර සපා කෑමෙන් ඇතිවන ප්‍රතිඵල ගැන සටහන්ද තබා ගත්තා. නමුත් ඊළඟ දිනයේදී ඔහු මිය යනවා.

කාල් පී. ස්මිත් (Tom McNamara)

Boomslang සර්ප විෂේෂය

Dispholidus typus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වර්ගය අප්‍රිකාවේ ජීවත් වන මාරාන්තිකම සර්ප විෂේෂයක්. විශාල ඇස් පිහිටීම මොවුන්ගේ සුවිෂේෂිම ලක්ෂණය වන අතර මෙම සර්පයා හපා කෑමෙන් ස්මිත් මරණයට පත් වන තෙක්ම සිතා මොවුන් විෂ රහිත සර්ප විෂේෂයක් බවයි.

Dispholidus typus හෙවත් Boomslang සර්ප විෂේෂය (Berichard)

Boomslang සර්පයා අඩි 3ක් 5ක් අතර දිගු වන අතර සමෙහි මියර සහිතයි. මොවුන් ගස් වල වාසය කරන අතර අප්‍රිකාව ඔවුන්ගේ නිජ භූමිය වනවා. මොවුන්ගේ පිරිමි සතුන් අළු, කොළ, කළු සහ කහ පැහැයෙන්ද ඇතැම් විට රතු රෝස පැහැයෙන්ද දැකගත හැකියි. ගැහැණු සතුන් දුඹුරු පැහැතියි.

සම (Animals Videos)

මොවුන්ගේ මුඛයේ පිටුපස විශාල දත් සහිතයි. විෂෙන් ගොදුර අඩපණ කිරීමට මෙම සර්පයන් ඔවුන්ගේ මුව අංශක 170ක් පමණ විවෘත කරනවා.

Boomslang සර්ප විෂ

මෙම සර්ප විෂ රතු රුධිර සෛල විනාශ කරන අතර රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩපණ කරනවා. මේ නිසා අති විශාල රුධිර ප්‍රමාණයක් ශරීර අභ්‍යන්තරයෙන් ඉවත් වී පටක සහ ඉන්ද්‍රියයන්ට හානි සිදු කරනවා. මෙම අභ්‍යන්තර රුධිර වහනය නිසා සපා කෑමට ලක්වූ පුද්ගලයා නිල් පැහැ වීමට හැකියි. මෙම ක්‍රියාවලිය ඉතාම සෙමින්ද සිදු විය හැකි අතර ප්‍රතිකාර නොලැබුණොත් අනිවාර්යයයෙන්ම සපා කෑමට ලක් වූ පුද්ගලයා මරණයට පත් වෙනවා.

Animals Videos

ප්‍රතිඵල වාර්තා කිරීම

ඉදිරි පැය 15 ඇතුළත ස්මිත් ඔක්කාරය, බඩ දැඟලීම, උණ, අධික සීතල, වමනය,  මුඛයේ ශ්ලේෂ්මල පටල වලින් සහ නාසයෙන් රුධිර වහනය පිළිබඳව වාර්තා කර තිබුණා. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුතා ඇති වී මොළයෙන් රුධිර වහනය සිදු වී ඔහු මරණයට පත් වුණා. ස්මිත් මිය යෑමට පැය කිහිපයකට පෙරත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඇසුවත් තම වාර්තාව සම්පූර්ණ කිරීමට එය බාධාවක් යැයි කියා ඔහු ඊට අකමැතිව තිබෙනවා.

රාජකාරි නිම වී දුම්රියේ නිවසට යන අතරතුරදී ඔහු මෙම ප්‍රතිඵල සටහන් කිරීම ආරම්භ කරනවා. ඔහුට හවස 4.30 සිට 5.30 තෙක් වමනය යෑමකින් තොරව තද ඔක්කාරයක් ඇති වී තිබෙනවා. 5.30 සිට 6.30 තෙක් අධික සීතල, ශරීරයේ වෙව්ලීම සහ 101.7°F ට උණ සෑදී තිබෙනවා. සවස 5.30 පමණ වන විට මුඛයෙන් රුධිර වහනයද ආරම්භ වූ අතර වැඩිපුරම රුධිර වහනය සිදුවී තිබෙන්නේ විදුරුමසෙන්. ස්මිත් රාත්‍රී 8.30ට ටෝස්ට් කළ පාන් කැබලි දෙකක් ආහාරයට ගෙන තිබෙනවා.

රාත්‍රී 9 සිට 12.20 පමණ වන තෙක් ඔහුට හොඳින් නින්ද ගොස් තිබූ අතර රාත්‍රී 12.20ට ඉතා සුළු ප්‍රමාණයක් රුධිරය සමඟ මුත්‍රා පිටවී තිබුණා. අළුයම 4.30ට ඔහු වතුර වීදුරුවක් පානය කිරීමෙන් පසු ඉතා තද අප්පිරියාවක් දැනී වමනය යාම ආරම්භ වුණා. නොදිරවූ රාත්‍රී ආහාර කොටස් ඉවත් වීමත් සමඟ තරමක සහනයක් ලැබුණු බව සඳහන් වන අතර ඉන්පසු උදෑසන 6.30 තෙක් ඔහු නිදා ගත් බව සටහන් වෙනවා.

ඔහුගේ අවසාන සටහනේ මෙලෙස සඳහන් වෙනවා.

“සැප්තැම්බර් 26 උදෑසන 6.30. ශරීර උෂ්ණත්වය 98.2°Fයි. උදෑසන ආහාරය ධාන්‍ය, බිත්තර, ඇපල් සෝස් සහ කෝපි. සෑම පැය තුනකටම වරක් අවුන්සයකටත් අඩු ප්‍රමාණයක මුත්‍රා සමඟ වැඩියෙන් රුධිරය පිට වුණා. මුඛයෙන් සහ නාසයෙන් දිගටම රුධිර වහනය සිදු වුණා.”

ඉන්පසු ස්මිත්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ඔහුගේ බිරියට වෛද්‍යවරයෙකුට මෙය දැනුම් දීමට බල කෙරුණා. ස්මිත් දහදියෙන් නැහැවී කතා කරගත නොහැකි තත්ත්වයට පත් වී සිටින බව දැනගත් වෛද්‍යවරයා ඔහු රෝහලට ගෙන යන අතරතුරදී ඔහුව බේරා ගැනීමට කෙතරම් උත්සාහ කළත් ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් ස්මිත් 1957 සැප්තැම්බර් 26 වැනිදා පස්වරු 3ට මිය ගියා.

මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ස්මිත් ශ්වසනය කිරීමේ අපහසුවකින් මිය ගිය බවත්, ඔහුගේ පෙනහළු, ඇස්, හදවත, වකුගඩු සහ මොළයෙන් රුධිර වහනය වෙමින් පැවතී ඇති බවත් සඳහන් වෙනවා.

ස්මිත්ගේ ජීවිතයේ අවසන් පැය 15 ගෙවුණු ආකාරය පෙන්වන වීඩියෝවක් Science Friday මඟින් සාදා තිබෙනවා.

කවරයේ පින්තූරය – Berichard

Related Articles