Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය – චේ

“තාප්පවල බෝක්කුවල පාළු මකන – පේමන්ට්වල ටියුෂන්වල මාර්කට් වන

අරගලයට කකියන උන් වසඟ කරන – විප්ලවීය හදවත් තුළ වන්දනීය

රතු සලකුණ නොමැකෙන නුඹ අමරණීය…”

ඔහු… මං මාවත්හි, සුපිරි රෙදි සාප්පුවල, වීදිවල රෙදි කඩවල, ටියුෂන් පන්තිවල වෙළඳ ප්‍රචාරක මාධ්‍යවල ඔබ අනේකවාරයක් දැක ඇත. තරුවකින් සැරසී කැප් තොප්පියක් පැළඳ ගත් ඔහු එතරම් ආකර්ෂණීය සංකේතයක් වූයේ මන්ද..? නිසැකවම නම කියූ පමණින් ඔබ ඔහු හඳුනනු ඇත. රැල්ලට ඔහුව අගයනවා වෙනුවට සැබවින් ඔහු කවරෙක්ද කියා ඔබ දන්නේද?

ආර්ජන්ටිනාවේ උපත ලබා, කියුබාවේ දී වීරයෙකු වී, බොලීවියාවේ දී ජීවිතයට සමු දීමට සිදු වූ 20 වෙනි සියවසේ විප්ලවයේ රතු සලකුණ වූ, ‘අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්’ නොහොත් කවුරුත් දන්නා චේ ගුවේරා ඔහුය. අධිරාජ්‍යවාදයට සහ බලයෙන් උදම් වූ ලතින් ඇමෙරිකානු රාජ්‍ය පාලකයන්ට එරෙහිව පීඩිත පන්තියේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතයම කැප කළ ඔහු සොඳුරු මිනිසෙකි. ඔහුට අරගලය තුළින් දිනාගැනීමට තිබූ එකම දෙය ආත්ම තෘප්තිය පමණකි. මිල මුදල්, බලය, කීර්තිය සඳහා ඔහු කිසි විටෙක සටන් නොකළේය.

අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්

චේ (වම් පසින්) කුඩා කළ සිය පවුල සමග. (democraticunderground.com)

1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ රෝසරියෝ නගරයේ උපත ලද චේ හට කුඩා කල පටන් ඇදුම රෝගයෙන් පීඩා විඳීමට සිදු විය. වසර නවයක් ගතවනතුරු පාසල් යාමට නොහැකි වීමට ඔහුගේ රෝගී තත්වය හේතු විය. නමුත් ඉන් කිසි විටෙක පසුබට නොවූ චේ රෝගී තත්වය පසෙකලා පාසල් වියේදී පාපන්දු, ගොල්ෆ්, රගර් මෙන්ම චෙස් ක්‍රීඩාවෙන් ද දක්ෂතා පෑවේය. තවද පුරුද්දක් ලෙස නිතරම පොත පත කියවීමට ද චේ අමතක නොකළේය. 1948 දී බුවර්නොස් අයර්ස්හි වෛද්‍ය විද්‍යාලට ඇතුළු වී අධ්‍යාපනය හැදෑරූ චේ 1951 දී වසරක නිවාඩුවක් විද්‍යාලයෙන් ලබා ගෙන ඔහුගේ සමීපතම මිතුරෙකු වූ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ සමග යතුරු පැදියක නැගී දකුණු ඇමෙරිකාව පුරා සංචාරය සඳහා පිටත් විය. මෙම සංචාරය චේගේ ජීවිතයම වෙනස් මගකට යොමු කිරීමට පාදක විය.

විප්ලවයට පාර කියූ යතුරුපැදි සවාරිය

චේගේ මෝටර් සයිකල් සවාරිය. දකුණු පස සිට තුන් වැන්නා චේය (Today in motorcycle history)

ඔහු සැරි සැරූ දුෂ්කර සංචාරයෙහි දී ඔහුට සමාජයේ විවිධ මට්ටම්වල පුද්ගලයන් මුණ ගැසුණි. විටෙක දුප්පත් ගොවියන් සහ දහඩිය හෙලන, දුක් විඳින කම්කරුවන් ද, විටෙක ඉඩම් හිමි ධන කුවේරයන්ද දුටු චේ ඔවුන්ගේ ජීවිත අතර පැවති විසල් පරතරය මනාව හඳුනා ගත්තේය. සංචාරය අතරතුර තමන්ගේ අත්දැකීම් සහ අවධානයට ලක් වූ සියලු කරුණු සටහන් කර තැබීමට චේ අමතක නොකළේය. පසු කාලීනව මෙම සටහන් “THE MOTORCYCLE DIARIES” නමින් පොතක් ලෙස එළිදැක්වුණු අතර චේගේ චරිතයට ආදරය කරන්නන් අතර අදටත් මෙම පොත ඉතා ජනප්‍රියය. මාස 09 ක පමණ කාලයක් පුරා කිලෝමීටර් 8000ක පමණ දුර ගෙවා සුවිශාල අත්දැකීම් රැසක් සමගින් නැවත ආර්ජන්ටිනාවට පැමිණෙන චේ අධ්‍යාපන කටයුතු නිමා කරනුයේ 1953 දී සාර්ථකව තම වෛද්‍ය උපාධිය ලබාගැනීමෙනි.

අවදි වූ විප්ලවකරුවා…..

පළමු සංචාරයෙන් ලද පන්නරය නිසාවෙන්ම තරුණ චේ නැවත තම ජීවිතයේ අවුරුදු දෙකක් ලතින් ඇමෙරිකාවේ සංචාරය සඳහා වෙන් කරන අතර එම ගමනේ අවසාන නවාතැන්පල ලෙස ග්වාත්මාලාව සටහන් කරනුයේ එකල එහි පැවති සමාජ පෙරළිය නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වූ එවකට ග්වාතමාලාවේ ජනාධිපති ‘ජාකබෝ අර්බෙන්ස් ගුස්මාන්’ගේ රජය පෙරළා දැමීමට ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි සේවාව දැරූ උත්සාහයට එරෙහිව චේ ද විමුක්තිකාමියෙකු ලෙස සටනට එක්වූයේය. කෙසේ නමුත් ගුස්මාන්ගේ රජය ඉල්ලා අස්වීමෙන් පසුව මෙක්සිකෝවට පළායාමට චේට සිදු විය. ඒ ඔහු මාක්ස් වාදියෙක් ලෙස සැලකු ආර්ජන්ටිනා රජය ඔහුට නැවත මවුබිමට යාමට ඉඩ ලබා නොදීම නිසාවෙනි.

දිනා දුන් අරගලය …

කියුබානු විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හවානා නුවරදී (transcend.org)

ග්වාතමාලාවේදී කියුබානු ජාතික රාහුල් කැස්ත්‍රෝ හඳුනාගැනීමට චේ හට අවස්ථාව ලැබුණද රාහුල්ගේ සහෝදරයා, එනම් පිදෙල් කැස්ත්‍රෝ නම් සුවිශේෂී චරිතය හඳුනාගැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ මෙක්සිකෝවේදීය. කියුබාව එවකට බැටිස්ටා පාලනයෙන් දැඩි ලෙස පීඩා විඳි සමයකි. පිදෙල් සමග එක්ව කියුබානු ජනයාට නිදහස දිනා දීමේ සටනට චේ සහය පළ කළ අතර 1956 නොවැම්බර් මස 25 වන දින රහසේම මෙක්සිකෝවෙන් කියුබාව බලා ග්‍රන්මා නම් වූ නෞකාවෙන් ගමන් ආරම්භ කළේ තවත් නිදහස වෙනුවෙන් සටනට එක්වූ අසූ දෙදෙනෙකුද සමගය. දෙසැම්බර් මස 2 වන දින කියුබානු භූමියට පා තැබූ ඔවුන් අතරින් කියුබානු ජාතිකයෙකු නොවූ එකම පුද්ගලයා වූයේ චේ පමණකි.

සාර්ථක ගරිල්ලා සටන් රැසකින් පසුව පිදෙල්ගේ නායකත්වයෙන් යුත් නිදහස් විමුක්තිකාමී සටන්කරුවන් කියුබාව බැටිස්ටාගේ කෲර පාලනයෙන් මුදා ගැනීමට සමත් විය. යුධ සමය පුරාවට දක්ෂ වෛද්‍යවරයෙක්, විශිෂ්ට ගරිල්ලා නායකයෙක් හා සමීප මිතුරෙක් ලෙස පිදෙල් සහ නිදහස් සටනේ සියලු දෙනාට තම උපරිම දායකත්වය සපයන චේ පිදෙල්ගේ නව රජයේ මුදල් අමාත්‍ය ධූරයෙන් සහ කර්මාන්ත අමාත්‍ය ධූරයෙන්ද පිදුම් ලැබූවේ කියුබානු පුරවැසිභාවය අැතුළු ගෞරව රැසක්ද සමගිනි.

සටන පුරාවට පිදෙල් හට ශක්තියක් වූ චේ ඇතැමුන් විසින් හඳුන්වනු ලැබුවේ පිදෙල්ගේ මොළය ලෙසයි. රාජතාන්ත්‍රිකයෙකු ලෙස ජාත්‍යන්තරයේ කියුබාව පිළිබඳ ආකල්පය යහපත් එකක් බවට පත් කිරීමට චේගෙන් මහත් මෙහෙයක් ඉටුවිය. මේ අතරවාරයේ සෝවියට් රුසියාව, චීනය වැනි සමාජවාදී රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද සංචාරය කිරීමට චේට අවස්ථාව උදාවිය.

කිසිවිටෙක තනතුරු සහ ගෞරව බුහුමාන පසුපස හඹා නොගිය චේ ගුවේරා කියුබාවෙන් තමාගේ අරගලය නිමා කිරීමට කිසිසේත් සූදානම් නොවීය. ග්වාතමාලාවෙන් ඇරඹි සටන කියුබාවෙන් නිමා නොකළ චේ තමන්ගේ මීළඟ සටන් භූමිය ලෙස බොලීවියාව තෝරා ගත්තේය.

නොනැවතුණු චේ…

චේ ගුවේරා බොලීවියාවේදී (Getty Images)

කියුබානු රජයේ සියළු තනතුරු හැර දමා 1966 දී බොලීවියාවට පිවිසෙන චේ එහිදී තම සටන නැවත ආරම්භ කළද මාස 18ක් වැනි කාලයකදී ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේය. දුර්වල සෞඛ්‍ය තත්වය, බොලීවියානු සටන්කාමීන්ගේන් උපරිම දායකත්වය නොලැබීම මෙන්ම පිදෙල් කැස්ත්‍රෝ චේ හට සහය දීම නවතා දැමීම ද ඔහුගේ සටන අසාර්ථක වීමට හේතු විය.

අමරණීය සමුගැන්ම

ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව සිරුර චේගේදැයි යන්න පරික්ෂා කිරීම (transcend.org)

1967 වසරේ ඔක්තෝම්බර් මස 08 වන දින ඇමෙරිකානු CIA සංවිධානයේ උපකාරය ද අැතිව බොලීවියානු හමුදාව විසින් චේ ඇතුළු සටන්කාමීන් පිරිසක් යුරෝ දුර්ගයේදී වටලනු ලැබූ අතර එහිදී ඇති වූ සටනින් චේ තුවාල ලබා රජයේ හමුදා භාරයට පත් විය. ඒ වන විටත් මුළු මහත් ලෝකයේම අවධානය දිනා සිටි චේව මරා නොදමා සිරගත කළ යුතු බව ඇමෙරිකාව විසින් බොලීවියානු රජයට දන්වා යවන ලද්දේ ඔහු එසේ මරා දැමීමෙන් චේ ගුවේරා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වීමේ අවදානම දුටු නිසාවෙනි. එහෙත් චේ ගුවේරා සමග දැඩි වෛරයකින් පසු වූ බොලීවියානු ජනපති ‘රෙනේ බරියෝන්තොස්’ වග විභාගයකින් තොරවම චේ නම් වූ මානව හිතවාදීයා මරා දැමීමට අණ නිකුත් කළේය.

දෙසැම්බර් 08 අත්අඩංගුවට පත් වූ චේ පසුදිනම එනම් 1967 වසරේ ඔක්තෝම්බර් මස 09 වන දින ‘ලා හිගුවේරා’ නම් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් තුළදී ‘මාරියෝ ටෙරාන්’ නම් වූ සොල්දාදුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

39 වන වියේදී ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ පරාර්ථකාමී සටන්කාමීයෙකු වූ චේ අදටත් විප්ලවීය තරුණ හදවත් ආදරයෙන් අදහන චරිතයක් බවට පත්වී ඇත. සෑම විටම ආත්මාර්ථය හැරදමා මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් ලෙස සටන් කළ, විප්ලවීය ඉතිහාසයේ නොමැකෙන අමරණීය රතු සලකුණ ලෙස චේ ගුවේරා මනුෂ්‍ය හදවත් තුළ සදා අනුස්මරණීයව ලැගුම් ගනු ඇත.

කවරයේ ජායාරූපය- ඇල්බර්ටෝ කොර්ඩා විසින් ගන්නා ලද චේගේ සුප්‍රසිද්ධ ජායාරූපය (wikipedia)

මූලාශ්‍ර:

  1. encyclopedia
  2. thechestore.com

Related Articles