චරිත

විනාඩි 9 ක කියවීමක්

“තාක්ෂණය වැරදි විදියට යොදා ගැනීම හරහා සංගීතයේ කඩාවැටීම් බොහොමයක් තිබෙනවා” – සංගීතවේදී කීර්ති පැස්කුවල්

Published

විනාඩි 9 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

Bhathiya Gunasena

Contributor

ගායකයකු, වාදකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගුරුවරයකු ලෙස ගෙවුණු ඔහුගේ සංගීත දිවියට දශක හතරක් සම්පූර්ණ වී තිබේ. ඔහුගේ සංගීත දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් කීර්ති ගී Evolution of Music By Keerthi Pasquel (මියැසි පරිණාමයේ මිහිර පිරි නාමය) සංගීත ප‍්‍රසංගය රසිකයින්ට තිළිණ කිරීමට සූදානම් වෙයි. මැයි 20 වැනි සෙනසුරාදා සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප‍්‍රසංගයේදී ඔහු නවතම සංයුක්ත තැටියද ජනගත කිරීමට සූදානම් වෙයි. ඒ වෙනුවෙන් කීර්ති පැස්කුවල් සමග කළ සාකච්ඡාවකි මේ.

ඔබේ සංගීත ගමනට අවුරුදු හතලිහක් සැපිරුණු බව ඔබ සහන් කර තිබුණා…

අවුරුදු හතලිහක් කියන කාලය මම කීර්ති ගී ප‍්‍රසංගය සඳහා යොදා ගත්තට මගේ සංගීත ඉතිහාසය ඊටත් වඩා එහාට යනවා. මම සංගීත කණ්ඩායමක වාදකයෙක් හැටියට ගමන ආරම්භ කරපු වර්ෂය තමයි එක්දහස් නවසිය හැත්තැ හය. එක්දහස් නවසිය හැත්තෑ හයේදි මහනුවර බිහිවෙච්ච ගැලැක්සීස් කියන සංගීත කණ්ඩායමට මම සම්බන්ධ වුණා. මේ කණ්ඩායමේ රූකාන්ත ගුණතිලකත්, මහින්ද බණ්ඩාරත් වාදකයන් හැටියට එදා දවසෙ හිටියා. ඒක තමයි මම වසර හතලිහක් කියල කිව්වෙ. එතැන් සිට ආරම්භ කරපු සංගීත ගමන තමයි මම මෙතෙක් කල් ආවෙ. නමුත් ඊටත් කලින් මම මගේ ඥාති සහෝදරවරු කිහිප දෙනෙක් එක්ක (බන්දුල රණසිංහ, ලලිත් රණසිංහ හා රංජිත් රණසිංහ) එකතු වෙලා කැලිප්සෝ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මම ඒකෙ බොක්ස් ගිටාරය තමයි වාදනය කළේ. ඉතිං මේ කණ්ඩායමත් එක්ක ඒ කාලෙ ජනප‍්‍රිය වෙලා තිබුණු හැටේ දශකයේ කණ්ඩායම් ගීත ඉතාමත් ආසාවෙන් ගායනා කළා. වාදනය කළා. ඒ විදියට තමයි සංගීත ගමන පටන් ගත්තෙ. මේ සියල්ලට මට මුල් අත්පොත තබන්න මට උදවු වුණේ මගේ අයියා. ඔහු පද්මසිරි පැස්කුවල්. ඔහු දැන් අප අතරින් වියෝ වෙලා. එතුමාගේ මග පෙන්වීම යටතේ තමයි මම සංගීතයට යොමු වුණේ.

සංගීත ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ කලාකරුවන්ට මේ ක්ෂේත‍්‍රයට එන්න මපෑදෙන්නෙ පවුල් පසුබිම හරහා. එතකොට ඔබට අවස්ථාව ලැබෙන්නෙ කෙහොමද?

ඇත්තටම අපේ අයියා තමයි අපේ පවුලට සංගීතය අරගෙන ආවෙ. මගේ දෙමව්පියන්ටත් සංගීත හැකියාවක් තිබුණා. අම්මට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. අම්මා කවි ගායනා කරනවා. තාත්තට සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. මම පුංචි කාලෙ මගේ පියා සර්පිනා වාදනය කරනවා මම දැකලා තියෙනවා. මම හිතනවා සංගීත පසුබිමක් මගේ ජානවල තියෙන්නට ඇති. අපේ ගෙදර නිතර සංගීත භාණ්ඩ තිබෙනකොට මටත් ඒ පිළිබඳව ආශාවක් ඇති වුණා. හැබැයි මට ඒවට තහංචි තිබුණා. මොකද විශේෂයෙන් මගේ අම්මට මාව වෛද්‍යවරයෙක් කරන්න ඕන වුණා. සංගීතය පැත්තට යොමු වුණොත් අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා සංගීතයට වැඩිය මාව උනන්දු කෙරෙවුවෙ නැහැ. නමුත් කෙමෙන් කෙමෙන් සංගීතයට යොමුවුණා. ඒ කාලෙ මට ගායන හැකියාවත් තිබුණා. කුඩා කාලයේ ගුවන් විදුලිය අහනකොට රසවත් ගීතවලට මගේ හිත ඇදී ගියා. මම ඒ ගීත ගායනා කරන්න උත්සාහ කළා. ඒ ගීත මට වින්දනයක් ගෙනැත් දුන්නා හිතට. ඒ වගේ හැඟීම් තමයි මට කුඩා කල තිබුණේ. ඊට පස්සෙ මේ ගීත ගිටාරය වාදනය කරමින් ගායනය කරන්න මම උත්සාහයක් ගත්තා. මම සංගීතයට පෙළඹුනේ ස්වභාවයෙන්ම තමයි. නැතුව ඉගෙන ගන්නවා කියල සංගීතය ඉගෙන ගත්තෙ නැහැ. නොදැනුවත්වම තමයි මේකට පෙළඹුණේ.

සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් දක්වනවාට ගෙදරින් අකමැත්තක් දැක්වූ බව ඔබ සහන් කළා. ඒ අකමැත්ත දිගටම තිබුණද?

මගේ අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් වෙනවා. වෛද්‍යවරයෙක් කරන්න කියලා අම්මා හිතාගෙන හිටියට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සෙ මාව මහනුවර කාර්මික විද්‍යාලයට දැම්මා. කාර්මික ඉංජිනේරුවෙක් කරන්න ඕනැයි කියලා අම්මට හිතිලා තිබුණා. නුවර කාර්මික විද්‍යාලයේ ලේත් මැෂින් එක තමයි මම ඉගෙන ගත්තෙ. ඒ මැෂින්ස් හයි කරලා තිබුණු වර්ක් ෂොප් එක තිබුණේ නුවර ටවුන් එකේ. ඔහොම ඉන්නකොට හදිසියේම මේ කාර්මික විද්‍යාලය නුවර ටවුන් එකෙන් ටිකක් බැහැර අරුප්පල කියල ගමකට අරන් ගියා. ඒ මැෂින් සවි කරන්න මාස හයක් විතර කාලයක් ගියා. ඔය කාලෙදි තමයි මම සංගීතයට වඩාත්ම නැඹුරු වුණේ. හැබැයි තියරි ලෙසන්ස් විතරයි තියෙන්නෙ. ප‍්‍රැක්ටිකල් නෑ. ඔය කාලෙදි මට කාර්මික විද්‍යාලයේ අධ්‍යපනයත් එපා වෙලා ගියා. ඔහොම ඉන්නකොට දැන් අම්මට හරිම හිතට අමාරුයි, පුතා රස්සාවක් කරන පාටක් පේන්නෙත් නැහැ. සංගීතය කරන්න ගිහිල්ලා ජීවිතේ අතරමං වෙයිද කියලා අම්මා බයෙන් තමයි හිටියෙ. දවසක් අපෙ අම්මා පත්තරේ දැන්වීමක් දැකලා මට කිව්වා යුද හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමට බඳවා ගන්නවා ඒකට දාන්න කියලා. මම ඒකට දැම්මා. සම්මුඛ පරීක්ෂණ තුනකට ගියා. ඊට පස්සෙ මෙඩිකල් එකටත් ගියා. මට ඒකෙ පත්වීම ලැබුුණා. පත්වීම් ලිපිය මගෙ අතට ආවට පස්සෙ අම්මට ඕන වුණා මාව යුද හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමට බඳවන්න. නමුත් මම පත්වීම් ලිපියත් අරගෙන ස්ටැන්ලි පීරිස් උගන්වන ඉස්කෝලෙට හමුවෙන්න ගියා. ගිහිල්ලා මම මේ ලියුම පෙන්නලා කිව්වා ස්ටැන්ලි අයියා මට රස්සාවකට යන්න ආවා මේකට මම යන්නද ? එහෙම නැත්නම් ගෲප් එකේ ඉන්නද කියලා. ස්ටැන්ලි අයියා කිව්වා පිස්සුද කීර්ති ඔයා රස්සාවල්වලට යන්න එපා. ඔයා ඉන්න මේ ගෲප් එකේ ඔයාට හොඳ තැනක් තියෙයි කිව්වා. එතුමාගේ ඒ වචනයෙන් එදා මගෙ හිතේ මල් පිපුණා. ඊට පස්සෙ මම රස්සාවට යන්නෙ නැහැ කියලා තීරණය කළා. අම්මට මගේ හිත රිද්දන්න බැරි නිසා කමක් නැහැ කියල කිව්වා. එතනින් පස්සෙ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කරගෙන ආවා. ඇත්තෙන්ම ඔය සිද්ධිය මගේ ජීවිතයේ එක්තරා විදියක හැරවුම් ලක්ෂයක් කියල මම හිතනවා. ඒකට පාදක වුණු පුද්ගලයා තමයි ප‍්‍රවීණ සංගීතඥ සටැන්ලි පීරිස් මහත්මයා.

සංගීත කණ්ඩායමක වාදකයෙක් ලෙස ස්ථාවර වුණාට පස්සෙ එතනින් එහාට මේ ගමන එන්න ඔබේ පැත්තෙන් කරපු කැපවීම් මොනවද?

ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීව රැඳී සිටීම නිසා විවිධ සංගීත රටා ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. මුල්ම කාලයේ කැලිප්සෝ සංගීතය. ඊට පස්සෙ හැත්තෑව දශකයේ ජනප‍්‍රිය වෙලා තිබුණු ඒ සංගීත ක‍්‍රම. සංගීත භාණ්ඩ. ඊට පසුව මම අසූව දශකයේදී කොළඹට අාවා, එහිදී පටිගත කිරීම්වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව සැලසුණා. මේ කාලයෙදි ෆෝචූන් සංගීත කණ්ඩායම ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ ප‍්‍රධානත්වයෙන් අපි ආරම්භ කළා. මේ ෆෝචූන් කණ්ඩායම අර මුල් කණ්ඩායමට වඩා ටිකක් දියුණු මට්ටමක සංගීත ක‍්‍රමයක් අනුගමනය කළා. පෙරදිග අපරදිග භාණ්ඩ අපේ සංගීත කණ්ඩායමේ මිශ‍්‍ර වුණා. බටහිර සංගීත භාණ්ඩත් සමග බටනලාව, තබ්ලාව, වයලීන්, සිතාර් මේ සංගීත භාණ්ඩත් සංගීත කණ්ඩායමට එකතු වුණා. එතනදි සංගීතයේ තිබෙන රසය සහ ස්වභාවය දියුණු මට්ටමකට ආවා. මම එදා ඒ ශිල්පීන් සමග වාදන කටයුතු කරනකොට විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් ලබා ගත්තා. අපි දැන් අහන අසූව දශකයේ නිර්මාණය වුණු බොහෝමයක් ගීත කැසට් පට සහ චිත‍්‍රපට ගීතවල වාදකයෙක් හැටියට මට දායක වෙන්න හැකියාව ලැබුණා. ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ අපි මාස හයක් නොකඩවා දිනපතා එක දිගට පැය හයක් පුහුණු වෙනවා. ඒ පුහුණු වීම්වලින් ලබාගත්ත අත්තිවාරම තමයි මට අදටත් ශක්තියක් වෙලා තිබෙන්නෙ. මම සංගීතය පිළිබඳව බොහෝ දේ හදාරන්න ඉගෙන ගන්න ශක්තියක් වුණේ ඔය පුහුණු වීම්.

ඔබේ ප‍්‍රධාන වාදන භාණ්ඩය බේස් ගිටාරය. ඇත්තටම බේස් ගිටාරය සමඔබට තිබෙන බැඳීම මොන වගේද?

බේස් ගිටාරය වාදනය කරන්න ප‍්‍රධාන වෙච්ච කාරණාව ඉතාම සිත්ගන්නා සුළු කතාවක්. මම අපේ ඥාති සහෝදරවරුත් එක්ක කණ්ඩායමේ වාදනය කළේ රිදම් ගිටාරය. බේස් ගිටාරය වාදනය කරන්න මට හැකියාවක් තිබුණෙ නැහැ. අපිට එක දවසක් විවාහ මංගල උත්සවයක වාදනය කරන්න ලැබුණා. ඒ වෙඩින් එකට සියළු සංගීත භාණ්ඩ වාදනය කළ යුතුව තිබුණා. අපි කාටවත් බේස් ගිටාරය වාදනය කරන්න බැහැ. නුවර ඉන්නවා බේස් ගිටාර් වාදනය කරන්න පුළුවන් තුන්දෙනෙක්. පහුවදා උදේ දහයට තමයි වෙඩින් එක තිබෙන්නෙ. ඊට කලින් දවසෙ තමයි මේ වැඩේ අපිට ආවෙ. ඉතින් අපි ගිහිල්ලා සවුන්ඩ් බුක් කළා. ඊට පස්සෙ අපි බේස් ගිටාර් ප්ලේ කරන එක්කෙනෙක් හොයන්න අර තුන්දෙනාගෙම ගෙවල්වලට ගියා. නමුත් ඔවුන් තුන්දෙනාටම එන්න විදියක් නැහැ කියල කිව්වා. දැන් අපිට ප‍්‍රශ්නයක් ආවා පහුවදා කොහොමද බේස් ගිටාරය වාදනය කරන්නෙ කියලා. ඊට පස්සෙ මම ඒ වැඩේ අභියෝගයක් විදියට බාර ගත්තා. ඊට පස්සෙ වෙඩින් එක දවසේ පාන්දර හය වෙනකොට ගියා සවුන්ඩ් උපකරණ තිබෙන මහත්තයගෙ ගෙදරට. වෙඩින් එකට බේස් ගිටාර් එක වාදනය කරන්න තියෙනවා. මට ගිටාරය පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා ගිටාරය ඉල්ලගෙන උදේ හයේ ඉඳලා උදේ දහය වෙනකල්ම පුරුදු වුණා. රිදම් ගිටාරය සම්බන්ධයෙන් මට තිබුණු දැනුමත් එක්ක බේස් ගිටාර් වාදනය මට එච්චර අමාරු වුණේ නැහැ. වෙඩින් එක පටන් ගන්න කල්ම මම පුහුණු වුණා. ඊට පස්සෙ වෙඩින් එකේ හොඳින් වාදනය කරන්න මට හැකි වුණා. වෙඩින් එකෙන් පස්සෙ සවුන්ඩ්වල අයිතිකාර මහත්තයා කිව්වා අපි බේස් ගිටාර් ප්ලේ කරන කෙනෙක් හොයනවා ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙ ගෲප් එකට. ඔයා එන්න කැමතිද කියලා. මට මේක අදහා ගන්න බැරි වුණා. මොකද උදේ බේස් ගිටාර් එකට අත තියලා හවස් වෙද්දි කොහොමද මේ වගේ ආරාධනාවක් ලැබුණෙ කියලා. ඒක දෛවෝපගත සිදුවීමක් වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. පසුව ඔහු මට දවස් දෙකකින් සාප්පුවට එන්න කියල දැනුම් දුන්නා. මම ගියාට දැන් ඇතුළට යන්න බයයි. මම රජ වීදියෙ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නවා. කඩේ ඇතුළට යන්නෙ නැහැ. බයයි යන්න. මොකද මට බේස් ගිටාර් ගහන්න බැරි නිසා මම අපහසුතාවයට පත්වෙයි කියල බයයි. ස්ටැන්ලි පීරිස් මහත්මයා වගේ ප‍්‍රවීණයෙක් ගාවට මම කොහොමද යන්නෙ කියලා හිතමින් හිටියා. නමුත් ඔහු මාව දන්නවා. මොකද මගේ අයියා ප්ලේ කළෙත් මේ සංගීත කණ්ඩායමේ. නමුත් මම වාදකයෙක් කියලා ස්ටැන්ලි පීරිස් මහත්මයා දන්නෙ නැහැ. ඒක නිසා මට බයයි යන්න. සවුන්ඩ් ආයතනයේ හිමිකාර මහත්මයා මාව දැකලා එන්න කිව්වා. ඊට පස්සෙ මාව බෑන්ඩ් එකට එක්කගෙන ගියා. එතන මගේ වයසෙ කිහිප දෙනෙක් හිටියා. රූකාන්ත, මහින්ද, හිරාන් වගේ කිහිප දෙනෙක්. ඉතින් මට කිව්වා බේස් ගිටාර් එක ගන්න කියලා. ගණන් ගත්තෙත් නැහැ එච්චර ලොකු දෙයක් හැටියට. ඉතින් මම ගිටාර් එක අරගෙන ඉතින් එතනින් පටන් ගත්තා. එතනින් තමයි බේස් ගිටාර් වාදකයෙක් වුණේ. හරි සතුටුයි. මොකද ඊට පස්සෙ මම ලංකාවෙ ඉන්න ප‍්‍රවීණතම සංගීතඥයන්ගේ නිත්‍ය බේස් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළා. සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, රෝහණ වීරසිංහ වගේ සංගීතඥයින්ගේ නිත්‍ය බේස්ගිටාර් වාදකයා වුණා පසු කලෙක මම. ඉතිං මේ සියල්ලම සිහිපත් කරනකොට හරි සතුටක් දැනෙනවා. මම මගේ ගමන ආපු විදිය, පටන් ගත්ත විදිය සහ ඒ වෙච්ච ක‍්‍රියාදාමයන් එක්ක මට එන්නට ලැබුණු තැන පිළිබඳව මට බොහෝම නිහතමානී සතුටක් තිබෙනවා.

ඔබ සත්‍යයේ ගීතය සහ පවන ප‍්‍රසංගද්වයේ වාදකයෙක් හැටියට කටයුතු කළ බව මා අසා තිබෙනවා. ඒ ගැන මතකය කොයි වගේද?

ඒක බොහොම අහම්බෙන් සිදු වුණු දෙයක්. නන්දා මාලිනී මහත්මිය කියලා තිබුණා ස්ටැන්ලි පීරිස් මහත්මියට කෝරස් කියන්න කවුරු හරි හොයලා දෙන්න කියලා. ඊට පස්සෙ මගෙන් ඇහුවා යන්න කැමතිද කියලා. මම කැමතියි කිව්වට පස්සෙ ඒ වැඩේට මාව සම්බන්ධ කරගත්තා. ඊට පස්සෙ මට වාදන හැකියාවකුත් තිබුණු නිසා ගිටාර් එක වාදනය කියලා කිව්වා. අසූ දෙකේ තමයි මේ ප‍්‍රසංගය ආරම්භ වුණේ. ඉතින් අසූ දෙකේ සිට අසූ පහ දක්වා වසර තුනක කාලයක් තුළ ප‍්‍රසංග වාර පන්සිය තිහකට මම සහභාගී වුණා සත්‍යයේ ගීතය ප‍්‍රසංගයට. ඒ ප‍්‍රසංගය මගේ ජීවිතේ ඉතාමත් හොඳ අත්දැකීමක් ලැබුණු කාලයක්. මේ ප‍්‍රසංගය තුළ මම දැකපු ප‍්‍රධානම කාරණය තමයි මේක චිත‍්‍රපටියක් වගේ. මොකද චිත‍්‍රපටියෙ කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැහැනෙ ඕන ඕන වෙලාවට. පටන් අරගෙන ඉවර වෙනකල් එකම විදියට තමයි රූප රාමු ගලාගෙන යන්නෙ. ඒ වගේම තමයි මේ ප‍්‍රසංගයත්. පටන් ගත්ත මොහොතේ සිට අවසානය දක්වා එකම විදියට ගලාගෙන යනවා. ගීත ගායනාවත් එක වගේ. නන්දා අක්කා හැරෙන විදිය, පොත පෙරළන විදිය, කොළේ එහා පැත්තට පෙරළන විදිය, නැගිටින විදිය, වාඩිවෙන විදිය මේ සියල්ලක්ම ඉතාම සැළසුම් සහගතව තමයි සිද්ධ වෙන්නෙ. ගායකයන් වාදකයන් අත්වැල් කණ්ඩායම් සියලු දෙනාම මේක ඇතුළෙ එකම විදියට තමයි කටයුතු කරන්නෙ. පේ‍්‍රක්ෂකයන් පුදුමාකාර විදියට මෙතුමියගේ ගීතත් එක්ක, කටහඩත් එක්ක බැඳිලා හිටියා. ඒ තරම් පේ‍්‍රක්ෂක අවධානයක් දිනාගන්න ඒ ගීතවල පදමාලාවලට, තනුවලට, එතුමියගේ ගැඹුරු හඩට ශක්තියක් තිබීම පිළිබඳ පුදුම වුණා මම. මම ඉගෙන ගත්ත දේවල් මෙතෙකැයි කියන්න බැහැ මේ ප‍්‍රසංගය ඇතුළෙ. අසූ පහේදි මේ ප‍්‍රසංගය නවත්වලා පවන ප‍්‍රසංගය පටන් ගන්නකොට මම ඒ ප‍්‍රසංගය එක්කත් හිටියා. නමුත් මට ප‍්‍රසංග තිහකට විතර පමණයි මට සහභාගී වෙන්න පුළුවන් වුණේ. මොකද ඒ වෙනකොට මම ගායකයෙක් හැටියට ජනප‍්‍රිය වෙලා ඉතාමත් කාර්යබහුල කාලයක් ගත කරමින් හිටියෙ. ප‍්‍රසංගයට බාධාවක් වන නිසා මම ඒකෙන් ඉවත් වුණා. මගේ අයියගෙ පුතා මහේන්ද්‍ර පැස්කුවල් ඒ තැනට යොමු කරළා මම එතනින් ඉවත් වුණා. අදටත් මම සතුටු වෙනවා මහේන්ද්‍ර පැස්කුවල් කියන ඒ දක්ෂ සංගීතඥයාව නන්දා අක්කා ගාවට යොමු කිරීම පිළිබඳව. මොකද ඔහු බොහෝ දුර ගමනක් ආවා. නන්දා අක්කගේ හැම වැඩකටම අදටත් සෙවණැල්ලක් වගේ ඉන්න කෙනෙක් තමයි මගෙ අයියගෙ පුතා. ඉතින් මා වෙනුවට හොඳ කෙනෙක් එතනට දෙන්න පුළුවන් වීමත් මට ලොකු සතුටක්.

සත්‍යයේ ගීතය සහ පවන කියන්නෙ අපේ රටේ පැවැත්වුණු විශේෂත්වයන් සහිත ප‍්‍රසංග දෙකක්. ඒ පිළිබව ඔබ මොකද හිතන්නෙ?

දැකපු විශේෂත්වය තමයි එතුමිය රටට ආදර්ශවත් පණිවුඩයක් ගෙනාවා. මේ පණිවුඩයට රටේ බොහෝ පේ‍්‍රක්ෂකයන්ගේ අවධානය හිමි වුණා. ඒක නිසා තමයි ශාලා පිරී ඉතිරී යන විදියට පේ‍්‍රක්ෂකයන් මේ ප‍්‍රසංගයට සහභාගී වුණේ. මේ ගීතවල තිබෙන පණිවුඩ අරගෙන බැලුවොත් එක ගීතයක එක කොටසක් වත් බැහැර කරන්න පුළුවන් ඒවා නොවෙයි. ඒ ගීතවල තිබුණු ඒ අර්ථවත් බවට ජීවයක් දුන්නා නන්දා මාලිනී මහත්මියගෙ කටහඩ. පේ‍්‍රක්ෂකයන් පිපාසාවෙන් වගේ තමයි මේ ප‍්‍රසංග බලන්න ආවෙ. ඒ යුගයේ ප්‍රසංග ගොඩාක් තිබුණා. ඒ හැම එකකම මම වාදකයෙක් හැටියට වාදනය කළා. ජෝති රාත‍්‍රිය ජෝතිපාල මහත්මයාගේ. රැජින මමයි ලතා වල්පොල මහත්මියගෙ. බෙග් ගීතිකා මොහිදින් බෙග් මහත්මයාගෙ. ඇති මිහිර සුජාතා අත්තනායක මහත්මියගෙ. ෆ්‍රෙඩී සිල්වා මහත්මයගෙ, ඇන්ජලීන් ගුණතිලක මහත්මියගෙ මේ සියල්ලන්ගෙම ප‍්‍රසංගවල මම වාදකයෙක් හැටියට වාදනය කරළා තිබෙනවා. ඒ සියළුම ප‍්‍රසංගවලට වඩා හාත්පසින්ම වෙනස් වූ පේ‍්‍රක්ෂකාගාරයක් තමයි නන්දා මාලිනියගේ මේ ප‍්‍රසංග දෙකටම සහභාගී වුණේ.

සංගීතයේ බොහෝ දුර පැමිණි ප‍්‍රවීණයෙක් ඔබ. ඇත්තටම සංගීතය පිළිබව ඔබේ විග‍්‍රහය මොකක්ද?

මනුෂ්‍යයාගේ මනසට සංවේදී ලෙස ළඟා වෙන්න පුළුවන්, මනුෂයාව වෙනස් කරන්න පුළුවන් කලාවක් තමයි සංගීතය. අනිත් කලාවන් එක්ක ගත්තම සංගීතය කියන විෂය හුඟක් ඉදිරියෙන් ඉන්නවා. මොකද ඒක තුළින් රෝග පවා සුව කරන්න පුළුවන්. මනස සුව කරන්න පුළුවන්. විඩාබර සිතක් සනසන්නට පුළුවන්. කෙනෙක්ව සංවේදී කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ විවිධාකාර හැඟීම් වචනයෙන් ප‍්‍රකාශ නොකොට, නාදයක් තුළින් කෙනෙකුගේ මනසට ඇතුළු කරලා, ඒ හරහා හැඟීම් ලබා දෙන්න පුළුවන් විෂයක් තමයි සංගීතය කියන්නෙ. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. කතා කරළා ඉවර වෙන තැන පටන් ගන්නෙ සංගීතය කියල තමයි හඳුන්වන්නේ. ඒ නිසා කතාවෙන් අපිට කරන්නට බැරි දෙයක් කරන්න පුළුවන් විෂය තමයි සංගීතය. සංගීතය කියන්නෙ උත්තරීතරම භාෂාවක්.

මෙවැනි සාකච්ඡාවක් තුළ වත්මන් සංගීතය පිළිබවත් කතා නොකළොත් එය අඩුවක්. ඔබ දකින විදියට මේ මොහොතේ සංගීත භාවිතය සම්බන්ධයෙන් මොකද හිතන්නෙ?

මම ප‍්‍රවීණයෙක් නෙමෙයි. නමුත් මම අත්දැකීම් බහුල කෙනෙක්. ගායකයෙක් හැටියට, වාදකයෙක් හැටියට, සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට අත්දැකීම් රාශියක් තිබෙනවා. මට ශබ්දාගාරයක් තිබෙනවා. ඒ ශබ්දාගාරයේ ගීතයක් නිර්මාණය වීම පිළිබඳව හොඳ අත්දැකීමක් තිබෙනවා. සංගීතයට අදාළ ක්ෂේත‍්‍රයන් පිළිබඳව මට බොහෝ අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් එක්ක මම දකින දේ තමයි මේ කාලය බොහෝ පසුබෑම්වලට ලක්වුණු යුගයක් හැටියට දකින්න පුළුවන් මේ සංගීත කලාවේ. තාක්ෂණය දියුණු වීම තමයි අපේ සංගීතයේ අභාවය කියල මම හිතන්නෙ. තාක්ෂණය වැරදි විදියට යොදා ගැනීම හරහා සංගීතයේ යම් යම් අඩාල වීම්, කඩාවැටීම් බොහොමයක් තිබෙනවා. පරිගණක තාක්ෂණය හරහා සිදුවුණු දේවල් නිසා දක්ෂ ගායකයින්, සංගීතවේදීන් බිහිවීමේ ඌනතාවයක් තිබෙනවා. ඒ වගේම ගායන ශිල්පීන්ගේ හැකියාවන් මොටවෙන අවස්ථා තිබෙනවා. සංගීත සංකලනවල යම් කිසි දියුණුවක් තිබෙනවා, නමුත් මනුෂ්‍යයා විසින් බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණවල යම්කිසි විදියක කඩා වැටීමක් මම දකිනවා මේ නවීන තාක්ෂණයත් එක්ක. අපි එදා අහපු රසවත් තනු අද බිහි වෙන්නෙ නැහැ කියලා අපි අතර කතාබහක් තිබෙනවා. මේකට හේතුව තමයි නිර්මාණකරුවා තාක්ෂණය යොදාගැනීමේ වැඩි කම. නිර්මාණවලට බුද්ධිය මෙහෙයවීම අඩු වෙලා තිබෙනවා. නමුත් මේ තත්වය අභිබවා යන තරුණ පෙළක් හොඳ දෙයක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මම ඒ අයට සුබ පතනවා. ඒ අය පුළුවන් තරම් දිරිමත් කරමින් මට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න මම උත්සාහ කරනවා වගේම ඉතාමත් සතුටින් බැඳී සිටිනවා.

කීර්ති ගී ප‍්‍රසංගය ඔබේ සංගීත පරිණාමය වශයෙන් හදුන්වා දී තිබුණා. ඒ පිළිබවත් කතා කරමු…

වර්තමානය වෙනකොට සංගීත ක‍්‍රම වෙනස් වෙලා තිබෙනවා. දැන් පරණ ගීතත් යම් යම් වෙනස්කම් එක්ක නවීකරණය වෙලා වාදනය කරනවා. ඉතින් ඒ ගීතවලට මගේ ගීතත් ඇතුළත් වෙලා නවීකරණයටත් ලක්වුණා. ඉතින් මේ පරිණාමය මගේ සංගීත ජීවිතයට ඇතුළත් කරලා තමයි මම මේ ප‍්‍රසංගය පවත්වන්නේ. ප‍්‍රසංගය ඇතුළේ කණ්ඩායම් හතරකට වෙන් කර සංගීතය සැපයෙනවා. කැලිප්සෝ සංගීතය, හැත්තෑවෙ දශකයේ සංගීතය, අසූව දශකයේ සංගීතය සහ වත්මන් නව පරපුරේ සංගීතය යනාදී වශයෙන්. ඒකට මගේ ගීතත් ඇතුළත් කරගෙන, ඒ ඉන්න සංගීත ශිල්පීන්වත් සහභාගී කරවගෙන, යුග ගීත ගායනා කරන්න ගායිකාවන්ගේ සහයෝගයත් අරගෙන මේ ප‍්‍රසංගය පැවැත්වෙනවා. මුල් කොටස සංගීතවත් කරනවා නාලක සජී. සරත් ද අල්විස් හා මහේෂ් දෙනිපිටිය. සංගීතඥයන් තුන්දෙනෙක් සංගීත මෙහෙයවනවා. යුග ගායනයට මාත් එක්ක එකතු වෙනවා හැටේ දශකයේ එරල් ප‍්‍රනාන්දු. හැත්තෑව දශකය වෙනුවෙන් ඇනස්ලි මාලේවන. නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නෙළු අදිකාරී, ධම්මිකා බණ්ඩාර, මරියසෙල් ගුණතිලක, ඒ වගේම මගේ දරුවනුත් මේ ප‍්‍රසංගයට සහභාගී වෙනවා. මගේ පුතා කසුන් පැස්කුවෙල්. චාරුනී පැස්කුවල් දුව. මගේ ලේලිය චේතනා රණසිංහ. ඉතින් මම හිතනවා මේ ප‍්‍රසංගය මගේ පේ‍්‍රක්ෂකයන්ට කඩ ඉම් මතක් කරගන්න හොඳ අවස්ථාවක්. ඉතිහාසය දන්න බොහෝ පේ‍්‍රක්ෂකයන්ට නැවත සිහි කැඳ වීමක් වගේ වෙයි කියල මම විශ්වාස කරනවා මේ ප‍්‍රසංගය නරඹන එක. මගේ පැරණි ගීතත් අලුත් ගීතත් මේ ප‍්‍රසංගය තුළ මම ගායනා කරනවා.

අවසන් වශයෙන් මේ ප‍්‍රසංගය වෙනුවෙන් ඔබේ රසිකයන්ගෙන් ඔබ කරන ඉල්ලීම මොකක්ද?

මගේ දයාබර රසිකයන්ට මම ආරාධනා කරනවා මැයි විසිවෙනිදා හවස හතට බන්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවෙදි පැවැත්වෙන මේ ප‍්‍රසංගයට එන්න කියලා. මගේ ජීවිතේ, සංගීතයේ පරිණාමය තමයි මේ ප‍්‍රසංගය තුළ පෙන්වන්ට බලාපොරොත්තු වෙන්නේ. මගේ ජීවිතේ කඩඉම් පිළිබඳව මේ ප‍්‍රසංගයේ යම් යම් අවස්ථාවලදී හැඳින්වීම් කරනවා. මේ ජාතියේ ප‍්‍රසංගයක් කවුරුත් කරලා නැහැ කියල මම හිතන්නේ. මොකද ඒ වගේ අත්දැකීම් තිබෙන අය අද අඩුයි. ඒ අයට මේ වගේ දෙයක් කරන්න හිතිලාත් නැතුව ඇති. නමුත් පළවෙනි ප‍්‍රසංගය කරලා මම යම් කිසි ආදර්ශයක් ලබා දෙනවා මෙන්න මේ වගේ දේවල් අපි අමතක කළ යුතු නැහැ කියන එක ගැන. ඒ කියන්නෙ අපේ ජීවිතේ ආරම්භයේ සිට මේ දක්වා ආපු ගමන, අද ඉන්න තැන ජනතාවට පේ‍්‍රක්ෂකයන්ට පෙන්වීම වැදගත් කටයුත්තක් ලෙස මම දකිනවා. ඉතින් මේ ප‍්‍රසංගය සාරවත් ප‍්‍රසංගයක් බවට පත්වේවි කියල මම විශ්වාස කරනවා. ඉතිං මම මගේ පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා, එදා දවසට එන්න. මා සමග මේ ප‍්‍රසංගයේ සතුට බෙදා හදා ගන්න කියලා.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්