Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වේග පන්දුවෙන් දස්කම් පෑ චමින්ද වාස්

ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරය ක්‍රිකට් කරලියේත් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන්ගෙන් එක් අයෙක් තමයි චමින්ද වාස්. තම උපක්‍රමශීලී පන්දු යැවීම තුළින් ක්‍රීඩා ලෝලී සියල්ලන්ගේම අවධානයට ලක් වූ වාස් එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කරනවා.

මුල් පන්දුවාරය තුළ කෙසේ හෝ කඩුල්ලක් ලබා ගැනීම  ඔහුගේ තිබුණු විශිෂ්ටතම දක්ෂතාවය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මුල් පන්දුවාරය තුළ චමින්ද වාස් කඩුල්ලක් බිඳ දමන බවට එවකට ක්‍රිකට් ලෝලීන් සියළු දෙනා විශ්වාස කළා. ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ව පහසුවෙන් ක්‍රීඩාගාරයට හරවා යැවිය හැකි පන්දු යවන්නෙක් ලෙසත් වාස් එවකට ලෝක ප්‍රසිද්ධයි.

ඉතින් අද ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් පිළිබඳවයි. චමින්ද වාස් නම් විශිෂ්ටයා පිළිබඳව ඔබට හැඟෙන දේත් comment එකකින් කියා යන්න අමතක කරන්න එපා.

වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස්

චමින්ද වාස් (ICC Cricket live)

1974 වසරේ ජනවාරි 27 වනදා මතුමගල ප්‍රදේශයේ උපත ලබන වර්ණකුලසුරිය පටබැඳිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස් අධ්‍යාපනය ලබන්නේ මරදාන ශාන්ත ජොසප් විද්‍යාලයෙන්.

1994දී වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීමට සුදුසුකම් ලබන අතර පුරා අවුරුදු 15ක් තිස්සේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්ම එක්දින කණ්ඩායම හා T20 කණ්ඩායම නියෝජනය කර 2009 වසරේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හා 2008 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා.

ඔහුගේ තරග අවසාන කාල සීමාවේ පිතිකරුවෙක් ලෙසත් තමන්ගේ දක්ෂතා පෙන්වනවා. කෙසේ වුවත් පන්දු යවන්නෙක් වශයෙන් එක්දින තරග 322 කදී කඩුලු 400ක්, ටෙස්ට් තරග 111 දී කඩුලු 355ක් හා T20 තරග 6කට සහභාගී වී කඩුලු 6ක් ද වාස් ක්‍රීඩා පිටියෙන් සමුගන්නා විට බිඳහෙලා අවසන්.

96 විජයග්‍රාහී කණ්ඩායමේ වේග පන්දු යවන්නා

ලෝක කුසලාන අවසන් තරගයේදී මාක් වෝ දවාගත් චමින්ද වාස්ට සුභ පතන අර්ජුන රණතුංග (Cricinfo)

96 ලෝක කුසලාන තරගාවලියේදී මුල් තරග කිහිපයේදී ප්‍රථම පන්දු යවන්නා ලෙස තම වේග පන්දුවෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරන චමින්ද වාස් ඔස්ට්‍රේලියාව හා පැවති අවසන් තරගයෙදී පළමුවන පන්දුයවන්නා ලෙස කටයුතු කරනවා.

මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියත්  ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 36කට සීමා කරමින් මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් සමත් වෙනවා.

හරාරේ සටනේ මූලිකයා

සිම්බාබ්වේට එරෙහිව කඩුලු හතරක් ලබා ගනිමින් (Getty Images)

එක්දින තරගයකදී කණ්ඩායමක්  අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීමේ වාර්තාව තාමත් දරා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. එම වාර්තාව තැබීමට මුල් වූයේ චමින්ද වාස් නම් ප්‍රභල වේග පන්දු යවන්නායි. 2004 වසරේ අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගයේදී චමින්ද වාස් ප්‍රමුඛ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු 35 කට මෙසේ දැවී ගියේ සිම්බාබ්වේ කණ්ඩායමයි. මෙහිදී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට චමින්ද වාස් ඉඩ ලබා දෙන්නේ නෑ. තරගයේ කඩුලු හතරක් බිද දමමින් චමින්ද වාස් එක්දින තරගවලදී කඩුලු 300 සිමාව පසු කරන්නේ මේ තරගයේදීයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ හෙලූයේ ඊට වසරකට ඉහත දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලානයේදී තමන් විසින්ම කැනඩාව ලකුණු 36 කට දවාලමින් තබා තිබූ ලෝක වාර්තාවයි.

ඕවරයේ මුල්ම පන්දු තුනට විකට් තුනක්

බංගලාදේශයට එරෙහිව මුල්ම පන්දුවාරයේ මුල් පන්දු තුනට විකට් ත්‍රිත්වයක් ලබා ගත් පසු (Getty Images)

2003 ICC ලෝක කුසලාන තරගාවලියේදී පෙබරවාරි 13 වනදා Pietermaritzburg නගරයේ City Oval ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගයේදී කාසියේ වාසිය දිනා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සනත් ටෙරාන් ජයසූරිය පන්දුවට පහර දීම සඳහා අරාධනා කරන්නේ බංගලාදේශ කණ්ඩායමටයි.

පිටියට පිවිසෙන Hannan Sarkar පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යවන්නට චමින්ද වාස්ට හැකිවෙනවා. දෙවන පන්දුවට මුහුණ දුන් Mohammad Ashraful වාස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවීයන අතර තෙවන පන්දුවට මුහුණ දෙන Ehsanul Haque දැවියන්නේ උඩපන්දුවක් මහේල ජයවර්ධනට ලබා දෙමින්. එක්දින තරගයක මුල්ම පන්දුවාරයේ  මුල් පන්දු තුනට විකට් ත්‍රිත්වයක් ගත් පළමු ක්‍රීඩකයා ලෙස වාස් තාමත් වාර්තා පොත් තුළ ලියැවී තිබෙන්නේ 2002-2003 ICC World Cupහි දහවන තරගය හේතුවෙන්.

විකට් 10න් විකට් 8ක් වාස්ට

සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8ක් ලබා ගනිමින් (Wisden India)

2001 වසරේ දෙසැම්බර් මාසයේ LG අබාන්ස් තුන්කොන් කුසලාන එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේයි. කොළඹ SSC ක්‍රීඩා පිටියේ තමයි ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු තරගය පැවැත්වුණේ.

සිම්බාබ්වේ කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් පන්දුවාර 15යි පන්දු 4කදි නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වෙනවා. ලකුණු 38ක් තුළදී සියළු දෙනාම දැවී යද්දී කඩුලු 10න් කඩුලු 8ක් දවා ගන්නට සමත් වෙන්නේ චමින්ද වාස් නම් විශිෂ්ට වේග පන්දු යවන්නයි. එය එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වෙනවා. තවද ලකුණු 19කට කඩුලු 8ක් බිඳ හෙළීම අදටත් ලෝක වාර්තාවක් ලෙස පවතිනවා.

චමින්ද වාස් විසින් මෙම අපූරු වාර්තාව පිහිටුවන්නේ ඔහුගේ බිරිඳගේ උපන්දින දවසේ වීම විශේෂ සිදුවීමක්. ඉක්මණින් තරගය නිමකර උපන්දිනය සමරන්නට එනලෙස බිරිඳ කියූ බැවින් වාස් මේ තරම් කඩුලු ප්‍රමාණයක් ඉක්මණින් දවාගත් බව ඔහුගේ හිතවතුන් සිනාමුසු මුහුණින් එකල ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 54කට දවාලීම

ඉන්දියානු පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින් (Deccan Chronicle)

එක්දින තරගයකදී  අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථා අතරින් ප්‍රභල ඉන්දියානු කණ්ඩායමට නවවන ස්ථානය ලැබී තිබෙනවා.

2000 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේ පැවැත්වුණු කොකා-කොලා චැම්පියන් තරගාවලියේ අවසන් තරගයේදී තමයි ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියානු ක්‍රීඩකයන්ට මෙලෙස දරුණු පරාජයක් හිමිවන්නේ.

මෙම තරගයේදී වාස්ගේ වේග පන්දු හමුවේ තෙන්ඩුල්කාර්, ගංගුලි හා යුවරාජ් සිං වැනි ප්‍රභලයන් ඇතුළු පිතිකරුවන් පස් දෙනෙක් දැවී යන්නේ අඩුම තරමින් ලකුණු 10ක් හෝ රැස් කරගැනීමට අවස්ථාවක් නොලබමින්. දැවී ගිය පිතිකරුවන් පස් දෙනාටම රැස් කරගන්නට හැකි වන්නේ ලකුණු 14ක් පමණයි.

ඔහු 2008 දී අවසන් එක්දින තරගය ක්‍රීඩා කළත්, 2011 වසරේ ඉන්දියාවේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේදී ආබාධ වලට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් ලෙස චමින්ද වාස්ව නම් කරනු ලබනවා.

ක්‍රිකට් වලින් සමුගැනීමෙන් පසු

වේග පන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග සමඟ (RTE)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගැනීමෙන් පසුව 2012 වසරේ නවසීලන්ත ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් 2013 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එකතු වී 2015 දක්වා එම තනතුරේ කටයුතු කරනවා. එම තනතුරෙන් ඉල්ලා අස්වෙන ඔහු 2016 වසර මුලදී අයර්ලන්ත වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නට අයර්ලන්තයට පිටත් වෙනවා.

නැවතත් 2016 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස නව පත්වීමක් චමින්ද වාස්ට ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිට විවිධ වයස් කාණ්ඩ වල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සඳහා පුහුණු කර සුදානම් කිරීම වර්තමානයේදී චමින්ද වාස්ගේ මූලික කාර්යය භාරය වෙනවා.

මුලාශ්‍ර- espncricinfo.com, cricketcountry.com, wikipedia,cricbuzz.com

Related Articles