චරිත

විනාඩි 3 ක කියවීමක්

නිදහස් අධ්‍යාපන විප්ලවයේ නිහඩ නියමුවා – ආචාර්ය සි.ඩබ්.ඩබ්. කන්නන්ගර

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය ලබාගැනීම සඳහා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වී තිබෙනවා. එම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඉහළ පැලැන්තියට පමණක් සීමා වෙමින් තිබූ අධ්‍යාපනය සෑම සමාජ පන්තියකම වරප්‍රසාදයක් බවට පත් කළ මානව හිතකාමී දේශපාලඥයෙක් පිළිබඳව කුඩා සටහනක් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ලක්වාසීන්ගේ ගෞරවය දිනා සිටින ඔහු ඔබ අප කවුරුත් හොදින් අසා තිබෙන ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර හෙවත් ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නන්ගරයි.

ඉගෙනීමට උපන් හපන්කමක් දැක්වූ කුඩා ක්‍රිස්ටෝපර්

ආචාර්ය සි.ඩබ්.ඩබ්. කන්නන්ගර (Daily News)

දොන් දානියෙල් විජේකෝන් කන්නන්ගර නම් පියාටත්, එමලි වීරසිංහ නම් මවටත් දාව 1884 ඔක්‌තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ රන්දොඹේහිදී උපත ලබන ක්‍රිස්‌ටෝපර් විලියම් විඡේකෝන් කන්නන්ගර දරුවන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලේ තුන්වැන්නා විය.

කුඩා කළ පටන් අතට අසු වුනු දෙයක් කියවීමට මහත් රුචියක් දැක්වූ ක්‍රිස්ටෝපර් ක්‍රමයෙන් වැඩෙන විට පාසලේ සියළුම විෂයයන් ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා හා කථිකත්වයටද සහජ දක්‍ෂතා පෙන්නුම් කරනවා. අම්බලන්ගොඩ වෙස්ලියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු එහිදී පෑ දස්කම් හේතුවෙන් 1897 වසරේදී ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය මගින් පිරිනැමූ ශිෂ්‍යත්වයකට හිමිකම් කියනවා. ඒ අනුව ඔහුට රිච්මන්ඩ් විද්‍යාලයේ සියළු පහසුකම් සහිතව ගාස්‌තු ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව උදා විය.

උසස් අධ්‍යාපනයෙන් අනතුරුව නීතිඥ වෘත්තියට

රිච්මන්ඩ් විද්‍යාලය අද (Flickr)

රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ කේම්බ්‍රිඡ් දේශීය කනිෂ්ඨ පරීක්‍ෂණයෙන් ගණිතය විෂයට විශිෂ්ට සාමාර්ථයක්‌ ඇතුළුව දෙවනි පන්තියේ සාමාර්ථයක්‌ ලබා ගන්නට ඔහුට හැකිවෙනවා. 1902 වසරේදී  කේම්බ්‍රිඡ් ජ්‍යෙෂ්ඨ පරීක්‍ෂණයට මුහුණ දෙන අතර එහිදී විශිෂ්ට සාමාර්ථයන් සහිතව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සමත් වූවන් අතරින් පළමුවන ස්‌ථානය ලබා ගන්නවා. එම කාලයේදී රිච්මන්ඩ් විද්‍යාලය මගින් පිරිනමන පාක් ශිෂ්‍යත්වය, ගුණවර්ධන ශිෂ්‍යත්වය හා ජුබිලි ශිෂ්‍යත්වයද පිට පිටම දිනා ගැනීමට ක්‍රිස්ටෝපර් සමත් වෙනවා.

1904 වසරේදී රිච්මන්ඩ් විද්‍යාලයේම ගණිත ගුරුවරයෙකු ලෙස සේවයට එක් වෙන තරුණ ක්‍රිස්ටෝපර් රිච්මන්ඩ් විද්‍යාලයෙන් පසුව වේල්ස්‌කුමර, මෙතෝදිස්‌ත හා වෙස්‌ලි යන විද්‍යාල වල ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කරනවා. මේ අතර නීති විද්‍යාලයට බැඳී නීතිය හදාරන ඔහු එයින් සමත්ව 1910 වසරේදී නීති වෘත්තියට පිවිසෙන්නේ ගාල්ල අධිකරණයට පත්වීමක් ලබා ගනිමින්.

රාජ්‍ය මන්ත්‍රණ සභාවට

රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල (Wikipedia)

1923 වසරේදී පැවැත්වූ මැතිවරණයේදී ඔහු ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවේ දකුණු පළාත නියෝජනය කිරීම සඳහා බහුතර ඡන්දයකින් තෝරා පත්වෙන අතර 1931 වසරේ ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව විසුරුවන තෙක් එහි කටයුතු කරනවා. මෙම කාලය තුළ මරණීය දණ්ඩනය අහෝසි කිරීම, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන රජයේ නිවාඩු ගණන සාධාරණ ගණනක් දක්වා දීර්ඝ කරගැනීම හා ආදායම් බදු හා ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ සඳහාද ඔහු සක්‍රීයව සහභාගී වෙනවා.

1931 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙන කන්නන්ගරයන් 1936 වසරේදී දෙවන වරටත් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරනවා. 1931 දී ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර අධ්‍යාපන කාරක සභාවෙහි සභාපතිවරයා වශයෙන් පත්වෙන අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත්වෙනවා. 1931 සිට 1947 දක්‌වා වූ මුළු රාජ්‍ය මන්ත්‍රණ සභා කාලය තුළම ඔහු එම අමාත්‍ය ධූරය දරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය අතරින් එකක් – කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, මතුගම  (Panoramio)

1938 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව අධ්‍යාපන ආඥා පනතක්‌ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ කන්නන්ගර මැතිතුමා ව්‍යවස්‌ථා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත අධ්‍යාපන විධායක කාරක සභාවක් නිර්මාණය කර යම් බලපෑම් වලට යටත් වූවත් එහි සභාපති ලෙස කටයුතු කරනවා.

එවකට උසස් පාසල් වලට ඇතුල් වීමට හැකියාව ලැබුනේ වරප්‍රසාද ලත් ප්‍රාන්තිකයන්ට පමණයි. අධ්‍යාපන පද්ධතියේ දුර්වලතා නැතිකොට සියලු දෙනාටම සම අධ්‍යාපනයක්‌ ලබාදීමේ කටයුත්තට මොහු උත්සාහ දරන්නේ මෙම කමිටුව හරහායි.

සියළු දෙනාට සම අධ්‍යාපන අයිතිය ලබා දීමට ගෙන ආ යෝජනාව ඉතා දුෂ්කරතා මධ්‍යයේ සම්මත කරගැනීම එදා මෙදා තුර අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිදුකල ඉහළම කැපකිරීම ලෙස හැදින්වීම වඩා නිවැරදියි. ඒ හා සමගාමීව ගම්බද අධ්‍යාපනය නගා සිටුවීමට මධ්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ ව්‍යාපෘතියද ඉතා සාර්ථක වෙනවා. මධ්‍ය විද්‍යාල හතරකින් ඇරඹුන මෙහි සාර්ථකත්වය කොතරම්ද යන්න අද වන විට ඔප්පු වී හමාරයි.

1938 වසරේ හා 1944 වසරේ කන්නගර ඇමතිවරයා විසින් පත්කළ අධ්‍යාපන කාරක සභා වලින් සම්මත වී ක්‍රියාත්මක වූ යෝජනා කිහිපයක් හා නවීකරණ පහත ආකාරයට පෙළ ගස්වන්නට පුළුවන්.

  • පළමුවන වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය.
  • අඩු අාදායම්ලාභී පවුල් වල  දක්ෂ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් පිහිටුවීම මගින් ගම්බද අධ්‍යාපනය පුළුල් කිරීම. (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය)
  • පාසල් පද්ධතිය රජයට පවරා ගැනීම.
  • ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විද්‍යාල පිහිටුවීම.
  • සිංහල බසින් ඉගැන්වීම සිදු කිරීම හා දෙවන පන්තියේ සිට ඉංග‍්‍රීසි ඉගෙනීම අනිවාර්ය කිරීම.
  • පාසල් සඳහා පොදු විෂය නිර්දේශ සකස් කිරීම.
  • සාක්ෂරතාවය 50%ක් වූ වැඩිහිටි ජනගහන සඳහා සිංහල හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම.
  • අධ්‍යාපනික උපයෝගී සේවාවන් ආරම්භ කිරීම. (සෞඛ්‍ය, දිවා අහාර, ගමන් පහසුකම් හා පාසල් ගුවන්විදුලි සේවාව ආරම්භ කිරීම)
  • ස්ථිර ගුරු වැටුප් හා විශ්‍රාම ගුරු වැටුප් ක්‍රමයක් හදුන්වා දීම.
  • ලංකා වෛද්‍ය විද්‍යාලය හා යුනිවර්සිටි කොලීජිය ඒකාබද්ධ කර ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම.

මැතිවරණයෙන් පරාජය වීම

ප්‍රථම විශ්වවිද්‍යාලය – ලංකා විශ්ව විද්‍යාලය (Wikipedia)

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් හා ඇමතිවරයෙක් ලෙස සියළුම සභා වාර වලට පැමිණ තිබූ පුද්ගලයෙක් ලෙස සඳහන් කළ හැකි කන්නන්ගරයන්ට රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයට ඉටුකළ අනූපමේය සේවයට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය විසින් 1943 වසරේදී ආචාර්ය උපාධියක් පිරිනමනවා.

1947 මැතිවරණයේදී පරාජයට පත්වෙන ආචාර්ය කන්නන්ගර 1950 වසරේ සිට 1952 වසර දක්‌වා කාලය තුළ ඉන්දුනීසියාවේ ලංකා තානාපතිවරයා ලෙස සේවය කරනවා. නැවත වරක් 1952 වසරේදී පැවති මහා මැතිවරණයේදී ආචාර්ය කන්නන්ගර එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. එහිදී පළාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.

නිදහස් අධ්‍යාපනය නූපන් පරපුරක් වෙත දායාද කල මේ විශිෂ්ට යුග පුරුෂයා 1969 සැප්තැම්බර් 23දා මෙලොව හැරගියත් නිදහස්‌ අධ්‍යාපනය ලබා දීම මගින් නොදියුණු සමාජය පිබිදවීම උදෙසා කල නිහඬ විප්ලවයේ ප්‍රතිඵල අදවන විට අප සියළු දෙනා භුක්ති විදිමින් සිටිනවා.

කවරයේ ජායාරූපය – Lakehouse Media Library

මුලාශ්‍ර – Wikipedia, rupavahini.lk, www.dailymirror.lk

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්