Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝකයේ අමතක වූ ශූරයෙක් – සැන්දෝර් කොචිෂ්

1950 දශකයේ මුල් භාගයේ ලොව පෙරළිකාර පාපන්දු කණ්ඩායම වුණේ හන්ගේරියානු පාපන්දු කණ්ඩායම යි. මේ කණ්ඩායම අලුත් ආක්‍රමණකාරී පාපන්දු ක්‍රීඩා රටාවක් ප්‍රගුණ කළ අතර ඒ හමුවේ ලෝකයේ සිටි ප්‍රබල කණ්ඩායම් සෑම එකක් ම පාහේ පසු බසිනු දකින්නට ලැබුණා.

මෙම කණ්ඩායම සමහරුන් විසින් සළකනු ලබන්නේ එදා මෙදා තුර පාපන්දු ලෝකයේ සිටි හොඳම කණ්ඩායම ලෙසයි. මෙම හන්ගේරියානු කණ්ඩායම ලෝකය පුරා ප්‍රකටව ඇත්තේ “අරනික්සපාට්” හෙවත් “ස්වර්ණමය කණ්ඩායම” යන නමින්. මෙතරම් හොඳ තවත් කණ්ඩායමක් වේ නම් ඒ 1970 ලෝක කුසලානය දිනූ බ්‍රසීලියානු පිළයි.

හන්ගේරියානු පාපන්දු කණ්ඩායම අනුගමනය කළ මෙම නව රටාව හඳුන්වා දුන්නේ කළමණාකරු ගුස්ටාව් සෙබෙස්. මෙම ක්‍රමය අනුව ඔවුන් 2-3-3-2 ආකාරයේ ක්‍රීඩක සැලැස්මක් අනුගමනය කළ අතර එහි වූ සෙන්ටර් ෆෝර්වර්ඩ් (මැද ඉදිරි පෙළ​) ක්‍රීඩකයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම ක්‍රීඩකයන් බෙහෙවින් නම්‍යශීලී ආකාරයෙන් ප්‍රහාරක සහ ආරක්ෂක කර්තව්‍යයන් දෙකම ඉටු කළ හැකි ආකාරයෙන් සූදානමින් සිටිනු දකින්නට ලැබුණා.

හන්ගේරියානු මැද ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙද කටයුතු කළේ නන්දෝර් හිදෙක්ගුටි. ඉදිරි පෙළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකු වූ කණ්ඩායම් නායක ෆෙරෙන්ක් පුස්කාස් අදටත් ලෝ ප්‍රකට ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ ඉදිරිපෙළ සගයා ගැන එතරම්ම කතාබහ කෙරෙන්නේ නැහැ.

කොෂිච් වෙම්බ්ලි පිටියේදී “සියවසේ පාපන්දු තරඟයට” සහභාගී වෙමින් (Getty)

කෙසේ වෙතත් ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ තරඟ 43 කට වඩා ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් අතුරින් තරඟයකට වැඩිම ගෝල සංඛ්‍යාවක සාමාන්‍යයක් රඳවාගත් ක්‍රීඩකයා වන්නේ පුස්කාස්ගේ සගයා වූ සැන්දෝර් කොචිෂ්. ජාත්‍යන්තර තරඟ 68 කට ක්‍රීඩා කළ කොචිෂ් ගෝල 75 ක් වාර්තා කර තිබෙනවා. එමෙන්ම පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක ගෝල ත්‍රිත්වයන් දෙකක් ලබාගත් එකම ක්‍රීඩකයා ද වන්නේ ද කොචිෂ්.

කොචිෂ් ඉතාම දක්ෂ හෙඩර් ප්‍රහාරකයකු (හිසින් පන්දුව ගෝලය වෙත යොමු කිරීම​) ලෙස ප්‍රකටව සිටි අතර එහෙයින් ම ස්වර්ණමය හිසකින් යුත් මිනිසා යයි නමක් ද ඔහුට පට බැඳුණා. හන්ගේරියානු කළමණාකරු ගුස්ටාෆ් සෙබෙස් වරක් කියා සිටියේ ඔහු තරම් හොඳින් සිය හිසින් පහර එල්ල කළ කිසිවකුත් පාපන්දු ලෝකයේ නොදුටු බවයි.

මුල් කාලය ​

1929 සැප්තැම්බර් 21 වනදා හන්ගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නගරයේ උපන් කොචිෂ් දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1945 දී කොබන්යායි TC හෙවත් KTC යන පාපන්දු ක්‍රීඩා සමාජයට බැඳුණා. එම වසරේදීම ෆෙරෙන්ක්වරොස් නම් ක්‍රීඩා සමාජයට එක් වූ ඔහු එය දියුණු කිරීමට දායක වුණා​. පසුබසිමින් සිටි ෆෙරෙන්ක්වරොස් ක්‍රීඩා සමාජය නගා සිටුවීමට කොචිෂ් ප්‍රබල දායකත්වයක් දැරූ අතර 1949 දී ඔවුන් වසර අටකට පසු හන්ගේරියානු ලීගය ජයග්‍රහණය කළා.

කොචිෂ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූයේ හමුදාවට බැඳීම යි​. 1950 දී පාබල හමුදා සෙබළකු ලෙස හමුදාවට බැඳුණ ඔහු යුධ හමුදාවේ ක්‍රීඩා සමාජය බවට පත්වූ හොන්වෙඩ් සමාජයට ක්‍රීඩා කළා​. ඔහුට පුස්කාස් ද මුණ ගැසුණේ මෙහිදී යි​. මේ දෙදෙන මීළඟ වසර හය තුළ දී තුන් වතාවක් ම හන්ගේරියානු ලීගයේ ශූරතාව සිය කණ්ඩායමට ලබා දීමට දායක වුණා. ඒ වගේම හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ප්‍රහාරකයන් දෙදෙනා විදියට ඔවුන් දෙදෙනා ලෝකයේ ම ගෞරවයටත් පත් වුණා.

පුස්කාස් – කොචිෂ් සුසංයෝගය​

පුස්කාස් සහ කොචිෂ් මෙතරම් සාර්ථක වීමට එක් හේතුවක් වූයේ ඔවුන් දෙදෙනා එකිනෙකාට වෙනස් ක්‍රීඩා ශෛලීන් සතු දෙදෙනකු වීම නිසා ය​. මේ දෙදෙනාගෙන් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ වඩා නිපුණත්වයකින් මෙන්ම කිසිවකුට නොදෙවනි ස්ථානෝචිත ප්‍රඥාවකින් හෙබි ක්‍රීඩකයා වූයේ පුස්කාස් බවට විවාදයක් නැහැ. ඔහුගේ වේගවත් තීරණ ගැනීමේ හැකියාව ප්‍රතිවාදීන් අන්ද මන්ද කළේ වරක් දෙවරක් නොවේ. මේ අතර කොචිෂ් ඉතාම දක්ෂ ආක්‍රමණකාරී ක්‍රීඩකයකු වුණා. 1951, 1952 සහ 1954 වසරවල හන්ගේරියානු ලීගයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වුණේ කොචිෂ්. ඒ පිළිවෙලින් ගෝල 30 ක්, 36 ක් සහ 33 ක්.

මෙයින් 1952 සහ 1954 දී ලෝකයේ ඕනෑම රටක පළමු පෙළ පාපන්දු තරඟාවලියකදී වැඩිම ගෝල ප්‍රමාණය ලබාගත් ක්‍රීඩකයා වූයේ ද කොචිෂ්. පුස්කාස් ද එක් වතාවක් මෙම දස්කම දක්වා තිබුණා.

ජාත්‍යන්තර තරඟ​

කොචිෂ් හන්ගේරියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලද්දේ 1948 දී. 1950 දශකයේ මුල් භාගයේ ලොවම මවිත කළ ස්වර්ණමය කණ්ඩායමේ ප්‍රබලම සාමාජිකයකු ලෙස ඔහු කැපී පෙණුනා.

ස්වර්ණමය කණ්ඩායම 1953 දී. සිටගෙන සිටින්නන් අතුරින් වමේ සිට සිව් වැන්නා කොචිෂ් ය​. වමේ සිට තෙවැන්නා හිඩෙග්කුටි ය​. ඉදිරිපෙළ මැද සිටින්නේ පුස්කාස් ය​. (Tibor Erky-Nagy)

1953 දී වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව පැවති සුප්‍රසිද්ධ තරඟයට ද ඔහු සහභාගී වුණා. නමුත් එම තරඟයේදී ඔහුට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. එහිදී හිඩෙක්ගුටි ගෝල ත්‍රිත්වයක් ලබාගත් අතර එංගලන්තය තම රටේදී ම 6-3 ක් ලෙස පරාජය වුණා. මෙය පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ඨතම තරඟය ලෙස නම් ලබා තිබෙනවා.

1954 ස්විට්සර්ලන්තයේ පැවති පාපන්දු ලෝක කුසලානයට හන්ගේරියාව පැමිණියේ එම තරඟාවලිය ජය ගැනීමට වැඩිපුරම ඉඩ ඇති කණ්ඩායම ලෙස යි. කොචිෂ් මෙම තරඟාවලියේ හන්ගේරියාව මුහුණ දුන් පළමු තරඟ දෙකේදීම ගෝල ත්‍රිත්වය බැගින් ලබා ගත්තා. ඒ දකුණු කොරියාව සහ බටහිර ජර්මනිය යන රටවලට එරෙහිවයි. සත්‍ය වශයෙන් ම ඔහු බටහිර ජර්මනියට එරෙහිව ගෝල 4 ක් ම ලබා ගත්තා. ඉන් පසුව අර්ධ අවසන් පූර්ව තරඟයේදී බ්‍රසීලයට එරෙහිව ද, අවසන් පූර්ව තරඟයේදී උරුගුවේ රටට එරෙහිව ද ඔහු ගෝල දෙක බැගින් ලබා ගත්තා.

කෙසේ නමුත් අවසන් මහා තරඟයේදී කොචිෂ්ට ගෝල ලබාගත හැකි වූයේ නැහැ. එමෙන්ම හන්ගේරියානුවන් බලාපොරොත්තු නොවූ පරිදි ඔවුන් බටහිර ජර්මනිය හමුවේ ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් වුණා.

1956 හන්ගේරියානු විප්ලවය මර්දනය කිරීම සඳහා සෝවියට් දේශය එරට ආක්‍රමණය කළා. ඉන් පසු ස්වර්ණමය කණ්ඩායම සී සී කඩ වුණා. පුස්කාස් ඇතුලු ඇතැම් ක්‍රීඩකයන් රට හැර ගියා. 1957 දී කොචිෂ් ද එසේ රට හැර ගිය අයට එක් වුණා.

එක් වසරක් ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ කොචිෂ් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයට එක් වුණා. ඒ 1958 සිට 1965 දක්වා යි. ඔහුත් සමඟ තවත් හන්ගේරියානුවකු වූ සොල්ටාන් සිබෝර් ද බාර්සිලෝනා සමාජයට එක් වුණා. මේ අතර ෆෙරෙන්ක් පුස්කාස් බාර්සිලෝනා කණ්ඩායමේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළා.

අභිරහස් මරණය​

පාපන්දු ක්‍රීඩාවේ නියැලීමෙන් පසු කොචිෂ් පුහුණුකරුවකු ලෙස කෙටි කලක් කටයුතු කළ නමුත් ඔහුට ලියුකේමියාව වැළඳී ඇති බව හෙළි වීමෙන් පසු ඔහුට එම රැකියාවට තිත තබන්නට සිදු වුණා. මින් පසුව ඔහුට උදරයේ ද පිළිකා තත්ත්වයක් ඇති බව හෙළි වුණා.

1979 ජූලි 22 වනදා බාර්සිලෝනාවේ රෝහලක සිව් වැනි තට්ටුවෙන් වැටීමෙන් කොචිෂ් මිය ගියා. එය හදිසි අනතුරක් ද නැත්නම් සිය දිවි නසාගැනීමක් ද යන්න කිසිදිනක හෙළි වූයේ නැහැ.

කවරයේ රූපය : සැන්දෝර් කොචිෂ් (Retro Futbol)

මූලාශ්‍ර:​

  1. Matt Vincent, The Forgotten Legends of Football: Sándor Kocsis, Sportskeeda
  2. Cult hero: Barcelona’s Hungarian Sándor Kocsis, UEFA
  3. Sandor Kocsis, FC Barcelona official web page (fcbarcelona.com)

Related Articles