චරිත

විනාඩි 4 ක කියවීමක්

ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ සලකුණ : ජෙෆ්රි බාවා

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ලන්දේසීන්ගේ හා බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ව පැවති, සිවිල් යුද්ධයෙන් විනාශ වී ගොස් ස්වභාවික විපත් හේතුවෙන් වැනසී ගිය රටක සුන්දරත්වය යළිත් ඉස්මතු කරමින් නිදහස් ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණයට ඍජු එහෙත් සොඳුරු බලපෑමක් සිදු කළ පුද්ගලයෙක් ලෙස ජෙෆ්රි බාවා හැඳින්විය හැකි යි. ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ සලකුණ ලෙස හැඳින්විය හැකි ඔහු එදාමෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටත ම ගෘහ නිර්මාණ ශිල්පියා බවට කිසිදු සැකයක් නැහැ.

ජෙෆ්රි බාවා (Pic: Geoffrey Bawa Trust)

නීතියෙන් පටන් ගත් වෘත්තීය ජීවිතය​

ජෙෆ්රි මැනිං බාවා (1919 ජූලි 23 – 2003 මැයි 27) උපත ලබන්නේ යටත් විජිත ප්‍රවේණියක් සහිත බහු වාර්ගික පවුලක සාමාජිකයෙක් ලෙස යි. ධනවත් සහ සාර්ථක නීතිඥවරයෙකු වූ ඔහුගේ පියා, බෙන්ජමින් ඩබ්ලිව්. බාවා, මුස්ලිම් සහ ඉංග්‍රීසි පෙළපතකින් පැවත ආ අයෙකු වූ අතර බර්තා මැරියන් කැම්බෙල් ශ්‍රේඩර් නම් වූ ඔහුගේ මව සිංහල, ජර්මානු සහ ස්කොට් ජාතික සම්භවයක් පැවති තැනැත්තියක්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ජෙෆ්රි බාවා, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වූ අතර එයින් අනතුරු ව තම මුත්තණුවන් වූ අහමදු බාවාගේ සහ පියාගේ අඩි පාරේ යමින් ලන්ඩන් හි දී නීති උපාධියක් ලබා ගත්තේ 1944 වර්ෂයේ දී නීතීඥයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරමින්.

Advertisement

ලුනුගඟ ව්‍යාපෘතිය

නමුත් කෙටි කලකින් ම නීතීඥ වෘත්තියෙන් වෙහෙසට පත් වූ ඔහු 1946 වර්ෂයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ පෙරදිග රටවල සංචාරයක් සඳහා පිටත් ව යනවා. දෙවසරකට පසු ව ලොව වටා සංචාරය අවසන් කරන ඔහු යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අලුත් අදහසක් පෙරදැරි කරගෙන යි. ඒ අනුව අත්හැර දමන ලද ලුනුගඟ රබර් වතුයාය මිලට ගන්නා ජෙෆ්රි බාවා එය සුන්දරත්වයෙන් පිරිපුන් නිවර්තන පාරාදීසයක් බවට පරිවර්තනය කරන්නේ ඔහු ප්‍රිය කළ මධ්‍යධරණී කලාපයට අයත් අලංකරණ ක්‍රම යොදා ගනිමින්.

ලුනුගඟ වතුයායේ කොටසක් (geoffreybawa.com)

ජෙෆ්රි බාවාගේ ලුනුගඟ ව්‍යාපෘතිය, නූතන ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණය ශිල්පයට අද්විතීය ශෛලියක් එක් කළ අනගි නිර්මාණයක් ලෙස සැලකෙනවා. ඔහු තුළ වූ පරිකල්පනය සහ නිර්මාණශීලිත්වය හෙළි කර ගැනීමට ලුනුගඟ ව්‍යාපෘතිය ජෙෆ්රි බාවාට උපකාර කළ අතර ම ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ඇවැසි තාක්ෂණික පුහුණුව ඔහුට නොමැති බවට පසක් කර දුන්නා. මේ හේතුවෙන් කෙටි කාලයක් කොළඹ, කුමාර වීදියේ ‘එඩ්වඩ්ස් රීඩ් සහ බෙග්’ ගෘහ නිර්මාණ ශිල්පීන් යටතේ ආධුනිකයෙකු ලෙස කටයුතු කළ ඔහු නැවත වරක් එංගලන්තය බලා සංචාරය කරන්නේ ලන්ඩන් හි වාස්තු විද්‍යා සංගමයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය හැදෑරීමේ අරමුණ ඇති ව යි. ඒ අනුව 1957 වර්ෂයේ දී වයස අවුරුදු 38 ක් ව තිබිය දී ඔහුගේ අරමුණ සඵල කර ගැනීමට ජෙෆ්රි බාවා සමත් වෙනවා.

ජෙෆ්රි බාවාගේ කොළඹ නිවස (Pic: Horvath Bence)

ඉන් අනතුරු ව එළැඹි වසර 32 ක කාලය තුළ දී ජෙෆ්රි බාවා කටයුතු කරන්නේ ‘එඩ්වඩ්ස් රීඩ් සහ බෙග්’ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අනුග්‍රහය යටතේ යි. මුල් කාලයේ දී ඔහු ලද කොන්ත්‍රාත්තු සියල්ලක් ම පාහේ සමන්විත වුණේ කොළඹ නගරයේ පිහිටි නිවාස, කාර්යාල සහ පොදු ගොඩනැගිලිවලින්. ඒ බොහෝමයක් නිර්මාණය වුණේ ලුනුගඟ වතුයාය මෙන්ම නිවර්තන සුන්දරත්වය කැටි වූ නූතන ශෛලියකින්. මේ හේතුවෙන් ම  අභියෝගී පරිසර තත්ත්වයන් හමුවේ ආලෝකය, අවකාශය සහ ද්‍රව්‍ය භාවිතා කරමින් නව වාස්තු විද්‍යා ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම සඳහා ජෙෆ්රි බාවා නැති ව ම බැරි පුද්ගලයෙකු බවට පත් වුණා.

ඒනා ද සිල්වාගේ නිවස (Sebastian Posingis/Al Jazeera)

මුල් කාලීන ව්‍යාපෘති

1960 වර්ෂය වන විට ධනවත් හෝටල්කරුවන්, යුරෝපීය වගාකරුවන්, කතෝලික පල්ලි සහ වෙනත් පුණ්‍ය ආයතනවල මෙන් ම රටේ පිළිගත් සහ බලවත් පුද්ගලයින්ගේ අවධානය ද ජෙෆ්රි බාවාගේ සොඳුරු නිර්මාණ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව රටේ ප්‍රකට බතික් නිර්මාණ ශිල්පිණියක් මෙන් ම ජෙෆ්රි බාවාගේ හිතවත් මිතුරියක් ද වූ ඒනා ද සිල්වා, ඇය වෙනුවෙන් කොළඹ නගරයේ සාම්ප්‍රදායික නිවසක වටපිටාව රඳවා ගත් මැනවින් වාතාශ්‍රය ලැබෙන නවීන පන්නයේ නිවසක් ගොඩ නගන්න යැයි ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඔහු ඒනා ද සිල්වා වෙනුවෙන් ගොඩ නැගූ නිවස, ඔහුගේ මුල් කාලීන ව්‍යාපෘතීන්ගෙන් එකක්.

The Gallery Café වර්තමානයේ දී ( timeout.com)

එයින් වසරකට පසු ව ඩෙන්මාර්ක් ජාතික උල්රික් ප්ලෙස්නර් සමග සමීප ව ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරතුර දී ජෙෆ්රි බාවා තමන් වෙනුවෙන් කොළඹ, ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ නව කාර්යාලයක් ගොඩ නැගූ අතර මේ වන විට එහි The Gallery Café නම් අවන්හල පවත්වාගෙන යනවා. ඒ ‘Paradise Road’ ව්‍යාපාර සමූහයේ හිමිකාරීත්වය දරණ උදේශාන්ත් ප්‍රනාන්දු මහතා විසින්.

1970 දශකයේ මුල් කාලයේ දී ශ්‍රී ලංකාව සොඳුරු සංචාරක නැවතුමක් ලෙස අවධානය දිනා ගනිමින් සිටි අතර සංචාරකයන් ඉලක්ක කර ගැනීම උදෙසා ම නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවාඩු නිකේතනය වන බෙන්තොට බීච් හෝටලය සහ ඒ ආසන්නයේ ම පිහිටා ඇති සෙරන්ඩිබ් හෝටලය නිර්මාණය කිරීමේ වගකීම ජෙෆ්රි බාවාට පැවරුණා. පැරණි මාලිගා, මධ්‍යධරණී බලකොටු සහ යටත් විජිත සමයට අයත් මන්දිර සතු සුන්දරත්වය ඇතුළු කරමින් ඉතාමත් සියුම් ලෙස බෙන්තොට බීච් හෝටලය ගොඩ නැංවීමට ඔහු සමත් වූ අතර සෙරන්බිඩ් හෝටලය නිර්මාණය කර තිබුණේ ස්වභාවික පරිසරය හා මුසු වන නවාතැන් පොළක් ලෙස යි. ලොව වටා පිහිටි සුඛෝපභෝගී හෝටල් නිම වීම සඳහා ජෙෆ්රි බාවාගෙන් සිදු වුණේ අපමණ සේවාවක්. 1965 – 1997 අතර කාලයේ දී ඔහු හෝටල් 35 ක් සැලසුම් කර ඇති අතර එයින් 13 ක් ම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ යි. නමුත් අවාසනාවන්ත ලෙස එයින් මුල් නිර්මාණය තව දුරටත් රැඳී ඇත්තේ හෝටල් 5 ක (ද ට්‍රිටන් හෙවත් හෙරිටන්ස් අහුන්ගල්ල, ද නෙප්චූන් හෙවත් හෙරිටන්ස් ආයුර්වේද මහ ගෙදර, කන්ඩලම හෝටලය, ද ලයිට්හවුස් හෙවත් ජෙට්වින්ග් ලයිට්හවුස් සහ බ්ලූ වෝටර්) පමණ යි.

කන්ඩලම හෝටලය (Aitken Spence Travels)

ද ලයිට්හවුස් හෙවත් ජෙට්වින්ග් ලයිට්හවුස් (Pakkawat Paisitthawee)

දෙස් විදෙස් කීර්තිය​

ජෙෆ්රි බාවාගේ දක්ෂතාවය නිසා ම ඔහු විදේශයන් හි පවා ජනප්‍රිය වූ අතර 1971 දී ඉන්දියාවේ මදුරායි සමාජ ශාලාව (වර්තමානයේ දී ටාජ් කොනෙමාරා හෝටලය) විශාල කිරීමේ ව්‍යාපෘතිය ද ඔහුට භාර වුණා. එසේ ම 1973 දී ඕස්ට්‍රේලියානු ජාතික සිත්තරෙකු වූ ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ්ගේ බාලි හි පිහිටි පෞද්ගලික නිවෙස් නිර්මාණය කර ඇත්තේ ද ජෙෆ්රි බාවාගේ සැලසුම්වලට අනුව යි.

ඉන් අනතුරු ව ගෙවී ගිය දශකය තුළ දී ජෙෆ්රි බාවාගේ නිර්මාණශීලීත්වය කොළඹ නගරයේ බොහෝමයක් ගොඩනැගිලි තුළින් ඉස්මතු වුණා. 1977 වර්ෂයේ දී බේරේ වැව මධ්‍යයේ පිහිටා ඇති සීමා මාලකය ද ඔහු අතින් නිර්මාණය වන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ ඉල්ලීමකට අනුව යි. ඉන් දෙවසකට පසුව 1979 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කෝට්ටේ නගරයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේ වගකීම ජෙෆ්රි බාවාට පැවරුවා. එසේ දියවන්නා ඔය මධ්‍යයේ ගොඩ නංවන ලද නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 1982 දී විවෘත කරන ලද අතර අද වන විට එය සැලකෙන්නේ සමස්ත රාජ්‍යයේ ම සාරය එක්තැන් කළ නිර්මාණයක් ලෙස යි.

රුහුණ සරසවියේ කොටසක් (Pic: flickr.com)

1980 දශකයේ වැඩි කාලයක් ජෙෆ්රි බාවා ගත කළේ රුහුණ විශ්ව විද්‍යාලය සැලසුම් කිරීම සඳහා යි. මාතර නගරයට ආසන්නයේ කඳු වැටි පෙළක් මත අලංකාර ලෙස ගොඩ නංවන ලද රුහුණ විශ්ව විද්‍යාලය ද ස්වභාවික පරිසරය විනාශයට පත් නොකර සියුම් නිර්මාණ කිරීමට ඔහු තුළ පැවති විශිෂ්ට හැකියාව මැනවින් විදහා දක්වනවා.

සීමා මාලකය (Chamal De Silva)

ශ්‍රී ලංකාවේ සංචාරයක කරන්නෙකුට ජෙෆ්රි බාවාගේ විශිෂ්ටත්වය දැක බලා ගත හැකි තැන් බොහෝම යි. 1990 දශකයේ අග වන තෙක් ම ඔහුගේ ස්වාධීන ව්‍යාපාරය ඔස්සේ ඔහු දිගින් දිගට ම  නිර්මාණකරණයේ යෙදුණා. 1998 මාර්තු මාසයේ දී වසර අවුරුදු 79 ක් ව තිබිය දී ජෙෆ්රි බාවා හෘදයාබාධයකට මුහුණ දුන් අතර ඉන් පසු ව 2002 දී වසා දමන තෙක් ම ඔහුගේ ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සිදු වුණේ චන්න දාස්වත්ත අතින්. ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ජාත්‍යන්තරය පවා ගෙන යාමට කටයුතු කළ ඔහු 2003 මැයි 27 වැනි දින කොළඹ දී මිය ගියා.

කවරයේ පින්තූරය – ජෙෆ්රි බාවා (Pic: archnet.org)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්