Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක හද දිනු මානවවාදී ගායකයා : ජෝන් ලෙනන්

යුද්ධ විසින් ලොව පුරා මේ වනතෙක් අහිමි කර ඇති ජීවිත සංඛ්‍යාව කොපමණක් විය හැකිද? අබාධිත වූවන්, මව පියා දූදරුවන් අහිමි වූවන් කොපමණ ඇත්ද? කොපමණ මිනිසුන් ප්‍රමාණයක ජීවිත මිහිපිට අපායන් කර ඇත්ද? ආර්ථික අර්බුද විසින්ද, බල තණ්හාව විසින්ද, මිලේච්ඡ ජාතිවාදය විසින්ද ඇවිලී ගිය යුද්ධ අපමණයි. යුද්ධය විසින් මිනිස් ජිවිත වනසන විටදී මානවවාදී කලාකරුවාගේ කාර්යභාරය කුමක් විය හැකිද? යුද්ධයට, විනාශයට උපකාර සැපයීමද නැත්නම් දේශපාලනය කලාවට අදාළ නොවන බව කියමින් නිහඬව සිටීමද? නැත්නම් මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් හඬනැගීමද? මේ පවසන්නේ මානව වර්ගයාගේ උස් නිදහස වෙනුවෙන් සිය කලාව මෙහෙයවූ ලෝ පතල මානවවාදී ගායකයකු මෙන්ම ගීත රචකයකු වූ ජෝන් ලෙනන් පිළිබඳවයි.

dailystar

ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමය තුළ අති අමානුෂික යුද්ධයක් මෙහෙයවමින් යුද අපරාධ සිදු කරමින් ජන සංහාරයක යෙදුනු යුගයක ඊට එරෙහිව හඬ අවදිකළ මිනිසුන් අතරින් ජෝන් ලෙනන් හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ළමාවිය

ජෝන් වින්ස්ටන් ලෙනන් (John Winston Lennon) උපත ලැබුයේ 1940 ඔක්තෝබර් මස 9 වනදා එංගලන්තයේ ලිවර්පුල් නගරයේ ය. වයස අවුරුදු 4 වනවිට සිය මව පියා වෙන්ව යාම නිසා නැන්දනිය සමග වාසය කළ ලෙනන් හට මවගේ සෙනෙහස හිමි වුවත් පියාගේ සෙනෙහස අහිමි විය. ලෙනන්ව කුඩාකල සිටම සංගීතය වෙත යොමුකරන්නේ ඔහුගේ මවයි. පාසලේදීත් ලෙනන් දක්ෂතා දැක්වුයේ සංගීත අංශයට වූ අතර එල්විස් ප්‍රෙස්ලි ගේ රොක් සංගීතය විසින් කුල්මත්ව සිටි ඔහු වඩා වඩාත් සංගීත ක්ෂේත්‍රය බැඳීම ගොඩනගා ගන්නා ලදී.

ලෙනන් සිය මව ජුලියා සමග (dailymail)

Beatles සංගීත කණ්ඩායම

ලෙනන් හට 1957 ජුලි මස 6 වනදා  පෝල් මැකර්ට්නිව (Paul Mccartney) මුණ ගැසෙන අතර ඉන් පසුව ලෙනන්ගේ ආරාධනයෙන් සංගීත කණ්ඩායමක් ගොඩනැගීම වෙනුවෙන් පෝල් ද එක්විය. සංගීත කණ්ඩායමට තවත් සාමාජිකයෙක් ලෙස ගිටාර් වාදක ජෝර්ජ් හැරිසන්ව (George Harrison) රැගෙන එන්නේ පෝල් ය. ඉන් පසුව Stuart Sutcliffe සහ Pete Best ද එක් වූ අතර Beatles ලෙස නම යොදන්නේ ඔවුන්ගේ කළමණාකරු බවට පත්වූ Brian Epstein විසින් 1961 දිය.

මුල්ම සමයේදී Beatles (dailymail)

1960 දශකයේ ලොව ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට පත්වීමට Beatles හට හැකිවන්නේ ඉතාම කෙටි කාලයකිනි. මේ වනවිට එක්සත් ජනපදය වියට්නාමය තුළ ජනසංහාරය අරඹා එය වඩාත් තීව්‍ර කර තිබූ නිසා 1964 දී එක්සත් ජනපදයේ සංචාරය අතරතුර යම් පිරිසක් විසින් විරෝධය දැක්වූ අවස්ථාවක්ද විය. නමුත් දස දහස් ගණන් ජනයාගේ උණුසුම් පිළිගනිම මධ්‍යයේ ඔවුන් සාර්ථක සංදර්ශනයන් පැවැත්වීමට සමත් විය. මෙහිදී මාධ්‍යය හමුවේදී ලෙනන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ ‘ලෝකයේ සිදුවන දේ පිළිබඳව අපට නිහඬව සිටිය නොහැකි බවයි.’

1964 ලාස් වේගස් සංදර්ශනයේදී (getty image)

වම්පස සිට Paul, George, Ringo, Lennon (theguardian)

1962 දී ලෙනන් සින්තියා පවෙල් (Cynthia Powel) සමග විවාහ වන අතර ඔවුන් දෙදෙනා පිරිමි දරුවකුගේ දෙමාපියන් බවටද පත් වුවත් 1968 දී විවාහ දිවිය අවසන් කරනු ලැබිය. ඉන් පසුව 1969 මාර්තු 20 වනදා එංගලන්තයේ පදිංචිව සිටි ජපන් ජාතික කලාකාරිනියක් වූ යෝකෝ ඔනෝ (Yoko Ono) සමඟ විවාහ විය.

සින්තියා සමග (art-sheep)

Beatles සමුගැන්ම

ලොව අතිමහත් ජනාදරයට පත් වුවත් 1967 දී එහි කළමණාකරු වූ Brian Epstein ගේ හදිසි මරණයෙන් පසුව සංගීත කණ්ඩායම දුර්වල වන්නේ වාණිජ අසර්ථක බවට මුහුණ දීම සමගයි. ඉන් පසුව පෝල් විසින් එහි නායකත්වය දැරුවත් ඔහුට එම වගකීම ඉටු කිරීමට නොහැකිව යන අතර 1969 වනවිට ලෙනන් බොහෝ සෙයින් Beatles ගෙන් වෙන්වූවා. මෙයට ඔහු හා යෝකෝ සමග විවාහයද බලපාන බව ද පැවසුනි. ලෙනන් සහ යෝකෝ ලොව පුරා මාධ්‍යය අතර පුවත් මවන චරිත දෙකක් වෙමින් පැවතුනි. 1970 අප්‍රේල් හිදී Beatles ගෙන් ලෙනන් වෙන්වූ බව පෝල් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. 1969 ජනවාරියේ ලන්ඩන්හි පැවැත්වූ Roof Top ප්‍රසංගය අවසන් ප්‍රසිද්ධ ප්‍රසංගයයි.

Roof Top ප්‍රසංගය (4.bp.blogspot)

යුද විරෝධී මධු සමය- Bed In

විවාහයෙන් පසුව ලෙනන්-යෝකෝ යුවල මධු සමය ගත කරන්නේ කිසිවෙකු නොසිතු අයුරින්. මේ වනවිට වියට්නාම් යුද්ධය පිළිබඳව එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් විරෝධය ගොඩනැගී තිබූ කාලයක් විය. ලෝකය පුරා සෑම විටම යුද්ධය පිළිබඳ පුවත් මවමින්, යුද්ධය වෙනුවෙන් තිබූ මාධ්‍යය උනන්දුව සාමය වෙනුවෙන් නොමැති නිසා ලෙනන් යුවල ලොවට සාමය පිලිබඳ පණිවිඩය ගෙනයාමට අපූරු උපක්‍රමයක් භාවිත කළා.

Bed In (wikimedia)

ඔවුන් 1969 මාර්තු 25 සිට 31 දක්වා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි හිල්ටන් හෝටලයේ සිය කාමරය තුල සාමය පිලිබඳ පණිවිඩය පෙන්වමින් ඇඳ මතට වී පැමිණෙන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කාලය ගත කරන ලදී. මෙය රට පුරා මෙන්ම ලොව පුරාද අමුතු ආකාරයේ පුවතක් වූ නිසා වඩාත් ඔවුන්ගේ පණිවිඩයද වඩාත් සමාජය වෙත සමීප විය. ලෙනන් මෙන්ම යෝකෝ ද ඉතා මානවවාදිනියක් වූ නිසා ලෙනන්ද තව තවත් සිය හඬ මේ වෙනුවෙන් වැය කිරීමට ශක්තිය හිමිවිය.

feelnumb

ලෙනන් සහ යෝකෝ විසින් රචනා කරන ලදුව ලෙනන් විසින් ගායනා කරන ලද ලොව එදා මෙදා තුර අතිශය ජනාදරයට පත් ගීයක් වූ Imagine ද යුද විරෝධය සහ සාමය පිලිබඳ පණිවිඩය ලොවට ගෙන ගිය අනගි නිර්මාණයක් විය.

1971 දී ඇමරිකාවේ පදිංචියට යන යෝකෝ සහ ලෙනන් හට එරට රජයෙන් පිටුවහල් කිරීමේ තර්ජන එල්ලවන්නේ ඔවුන් ඇමරිකාවේ යුද ප්‍රතිපත්තියට එරෙහිව සිදුකල දේ හා සිදුකරමින් සිටි දේ නිසයි. නමුත් රජය පාර්ශවය ප්‍රකාශ කළේ ලෙනන් විසින් 1968 දී බ්‍රිතාන්‍යයේදී මර්ජුවානා පානය කිරීමේ චෝදනාව නිසා මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බවයි. එවන් චෝදනාවක් පවා යොදාගනිමින් ලෙනන් සහ යෝකෝ රටින් පිටුවහල් කිරීමට ජනාධිපති නික්සන් ගේ පාලනය උත්සහ කරන ලදී.

squarespace

මේ වනවිට ඇමරිකාව තුළ වියට්නාම් යුද්ධය පිලිබඳ අතිශය විරෝධයක් ගොඩනැගී තිබු අතර ලෙනන් සහ යෝකෝ ද ඊට තම දායකත්වය සපයන ලදී. ජනතා රැළි වෙනුවෙන් ගීත ගායනය මෙන්ම දේශනා පැවැත්වීමද  ඔවුන් සිදුකරන ලදී. 1971 දෙසැම්බර් මස 10 වනදා ජෝන් සින්ක්ලෙයා නිදහස් කරගැනීමෙන් රැළියක ප්‍රසංගය මෙහෙයවුයේද ලෙනන් විසිනි. ජෝන් සින්ක්ලෙයා ඇමරිකාවේ යුද විරෝධී සිවිල් ක්‍රියාකාරිකයකු වූ අතර ඔහුව මර්ජුවානා පානය කිරීමේ චෝදනාවක් මත සිර ගත කරන ලදී. සැබෑ හේතුව වුයේ ඔහුගේ සමාජ ක්‍රියාකාරිත්වයයි. සින්ක්ලෙයා වෙනුවෙන් නිර්මාණය කළ ගීයක්ද මෙහිදී ගයනා කරන ලදී. ඊට දින දෙකකට පසුව සින්ක්ලෙයාව නිදහස් කිරීමද සුවිශේෂී ජයග්‍රහණයකි.

සින්ක්ලෙයා නිදහස් කරගැනීමේ රැළියේ ගායනය කරමින්(Wikimedia)

ජනතාව අවදී කිරීමටත් ධෛර්යය සැපයීමටත් කැපවීමෙන් කටයුතු කළ ලෙනන් සහ යෝකෝ පසුව යම් විරසකයකින් 1973 දී වෙන්වන අතර වෙන්ව සිටින සමයේදී ලෙනන් විසින් Mind Games නමින් ගීත අල්බයක් නිකුත් කරනු ලබනවා. පසුව 1974 දී යෝකෝ සහ ලෙනන් නැවත එක්වන අතර 1975දි ඔවුන් දෙදෙනා අතරට දරුවකු (Sean Lennon) එක්වීමෙන් පසුව ලෙනන් සංගීත කටයුතුවලින් කලකට සමුගන්නේ සැමියාගේ සහ පියකුගේ කාර්යය වඩා හොඳින් ඉටුකිරීමේ අරමුණ සහිතවයි. දරුවා උපත ලබන්නේ ලෙනන් හට වයස 35ක් වන 1975 ඔක්තෝබර් මස 9 වනදා වීමද විශේෂත්වයකි. 1976 දි ඔවුන්ට ස්ථිර පදිංචිය සහතික කර ගැනීමට හැකියාව ලැබෙනවා.

1972 අප්‍රේල්හි නිව්යෝක් Bryant Park හි සාමය සඳහා රැළියක් අමතන ලෙනන් (newyorkhistoryblog)

නැවත 1980 දී Double Fantasy ඇල්බමය සමග නැවත කලා ක්ෂේත්‍රය වෙත පැමිණෙන ලෙනන්  නව ආරම්භයක් සමග ගමනක් ඇරඹිමට වෙහෙසුනි.

ගායකයකු ගීත රචයකයකු වන Sean Lennon (stereogum)

ඉරණම්කාර රසිකයා

1980 දෙසැම්බර් මස 8 වන දින උදෑසන ලෙනන් පදිංචි නිව්යෝක්හි නිවස අසලදී සිය රසිකයකු හට සමරු සටහනක් ලබා දී පිටව යනවා. ඔහු සවස නැවත පැමිණෙන විටදී පෙරකී රසිකයා විසින් ලෙනන් හට සාහසික ලෙස කිහිප වතාවක් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. සාමය වෙනුවෙන් මිනිස් ජිවිත වෙනුවන් හඬ නැඟු ශ්‍රේෂ්ට මිනිසෙක් ලොව පුරා රසිකයන් හඬවමින් තම අවසන් හුස්ම වා තලයට මුදා හරිනු ලැබුවේ ඒ අයුරින්.

මෙම ඝාතනය පිළිබඳ විවිධ විග්‍රහ පවතින අතර ඝාතකයාට අනුව ඔහු එය තම තනි අදහසට සිදුකර ඇත්තේ ජනප්‍රියත්වයක් ලබා ගැනීමේ අදහසින්. මෙය රජයේ කුමන්ත්‍රණයක් ලෙසද CIA මෙහෙයුමක් ලෙසද රාවයන් පැවතියත් මේ වනවිට නීතිමය පිළිගැනිම සහිත මතය වන්නේ ඝාතකයා විසින් ප්‍රකාශ කළ පාපොච්චාරණයයි.

උදෑසන ඝාතකයාට සමරු සටහනක් ලබාදෙන අවස්ථාව (rarehistoricalphotos)

මරණයට දින දෙකකට පෙර 1980 දෙසැම්බර් 6 වනදා BBC ගුවන් විදුලිය සමග සාකච්චාවකදී ලෙනන් විසින් 1969 තමාගේ සහ යෝකෝගේ Bed In ක්‍රියාමාර්ගය පිලිබඳ ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

‘ අපි මුලින්ම ඇම්ස්ටඩෑම්හි Bed In සිදු කරා. එහි අරමුණ වුනේ දිනපතා යුද්ධය ප්‍රචාරය කිරීම වෙනුවට සාමය ප්‍රචාරය කිරීම. හැමදාම අපිට දකින්ඩ තිබ්බේ කැබලි වුන ශරීර. අපි කල්පනා කරා ඇයි ඔවුන්ට හොඳ දේවල් නැත්තෙ වාර්තා කරන්ඩ? ඒ නිසා අපි Bed In සිදුකරා දින හතක්. මාධ්‍යවේදීන්ට කැමති ප්‍රශ්නයක් අහන්ඩ පුළුවන්. කිසිම රහසක් තිබ්බේ නෑ. කාලයට සීමාවක් තිබ්බේ නෑ. ඔබට ජෝන් සහ යෝකෝ ගැන දැනගන්ඩ අවශ්‍ය ඕනෑම දෙයක් දැනගන්ඩ අවස්ථාව තිබ්බා.‘

15 (nydailynews)

ලෙනන්ගේ සහ යෝකෝගේ සුප්‍රකට Imagine ගීතය ඔබට පහතින් අසන්නට පුලුවන්.

https://www.youtube.com/watch?v=YkgkThdzX-8

කවරයේ පින්තුරය – bbc

මුලාශ්‍ර:

LennoNYC වාර්තා චිත්‍රපටය

biography.com

Related Articles