චරිත

විනාඩි 4 ක කියවීමක්

මහා ජර්මානු නාට්‍යවේදියා – බර්ටෝල් බ්‍රෙෂ්ට්

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

යුරෝපය කියන්නේ ලෝක සාහිත්‍යට ඉතාම වටිනා නිර්මාණ, සිහිවටන හා පුද්ගලයින් දායාද කළ මහාද්වීපයක්. ඉනුත් වේදිකා නාට්‍ය කලාව විශේෂ තැනක් ගන්නවා. කිතු උපතට පෙර කාලයේ සිට ග්‍රීසිය සහ රෝමයේ ඊස්කිලස් හා සොෆොක්ලීස් වැන්නවුන් වගේම 16 වනි සියවසේ විලියම් ෂේක්ස්පියර් දක්වාම කලින් කලට විවිධ නිර්මාපකයන් යුරෝපයෙන් බිහි වුණා. ඉන් පසුවද එම දාමය නොබිඳිමින් ජෝර්ජ් බර්නාඩ් ශෝ වැන්නවුන් බිහි වන්නේ ලෝක වේදිකා නාට්ය සාහිත්‍යයේ යුරෝපීය ලකුණ ඉදිරියට ගෙන යමින්.

මොවුන් අතරින් 20 වන සියවසට අයත් වන බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නම ඉතිහාසයේ ලියැවී තියෙන්නේ රන් අකුරින්. මියගොස් බොහෝ කලක් ගෙවුණත් අදටත් ඔහුගේ නිර්මාණ සක්‍රීයව ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය, අනුවාදනය වී වේදිකා ගත වෙමින් තිබීම ඔහුගේ නිර්මාණශීලී විශිෂ්ටත්වයට නිදසුන් සපයනවා. හෙන්රි ජයසේන මහතා ගේ හුණු වටයත්, ජන කරළිය නාට්‍ය කණ්ඩායම රංග ගත කරන ‘වට ඔළුවෝ හා උල් ඔළුවෝ’ නාට්‍යත් වර්තමානයේ ඔබට සිංහල බසින්ම නැරඹිය හැකි බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය නිර්මාණවල පරිවර්තන. අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ විශිෂ්ට නිර්මාපකයාගේ ජීවන තතු යි.

Advertisement

කුඩා කාලය

ක්‍රි.ව 1898 පෙබරවාරි 10 වෙනිදා ජර්මානු අධිරාජ්‍යයට අයත් බැවේරියාවේ ඔග්ස්බර්ග් හි පදිංචි යුවලකට සිය ප්‍රථම දරුවා වශයෙන් පිරිමි දරුවෙක් ලැබෙනවා. ‍යූජින් බර්ටොල් ෆ්‍රෙඩ්රිච් බ්‍රෙෂ්ට් යන නමින් ඔහු බෞතීස්මය ලබනවා. 1900 වසරේදී මේ යුවලට වෝල්ටර් නමින් තවත් පිරිමි දරුවෙක් ලැබෙනවා.

බර්ටොල් කුඩා කාලයේදී නීරෝගී දරුවෙක් වුණේ නැහැ. උපතින්ම ආ හදවතේ දුර්වලතාවයකිනුත් මුහුණේ ඇදයකිනුත් ඔහු පීඩා වින්දා. මේ නිසා ඔහු සාත්තු නිවාසයකද කාලයක් නතර කරනු ලැබ සිටියා. වයස අවුරුදු 12 දී හෘදයාබාදයක් වැළඳීමට තරම් අවාසනාවන්ත වූ මොහු කෙසේ හෝ ඉන් සුව වෙනවා.

සාහිත්‍යට පෙම් කළ තරුණයෙක්

තරුණ බ්‍රෙෂ්ට් (pinterest.com)

මූලික අධ්‍යාපනය ලබන සමයේ සිටම කුඩා බ්‍රෙෂ්ට් ට සාහිත්‍ය කෙරෙහි තිබුණේ විශාල ඇල්මක්. තමන්ට වයස අවුරුදු 16 වන විටත් සිය කාව්‍ය නිර්මාණ කීපයක් සඟරාවල පළ කරගන්නට ඔහු සමත් වී තිබුණා. නමුත් ඔහුගේ නිවහල් චින්තනය සිය පාසලෙන් නෙරපීමට ලක්වීමට ඔන්න මෙන්න අවස්ථාවකට ඔහුව පත් කරනවා. ඒ ‘සිය රට වෙනුවෙන් මියැදෙනු සැපයි’ යන මාතෘකාවට ලියූ රචනාව දේශප්‍රේමී ඇහැකින් නොබලා ප්‍රායෝගික හා ජනතාවාදී ඇහැකින් ලියන්නට යාම නිසා ගුරුවරයා කිපීමට ලක් වීමෙන්.

ක්‍රි.ව 1917 දී බ්‍රෙෂ්ට් තම ජීවිතයේ අළුත් පිටුවක් පෙරලමින් මියුනික් හි ලුඩ්විග් මැක්සිමිලියන් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නේ වෛද්‍ය සිසුවෙක් වශයෙන්. මෙහිදී ඔහුට ආතර් කුෂර් නැමති පිළිගත් නාට්‍යවේදියාගේ නාට්‍ය වැඩමුළුවලට සහභාගී වීමට අවස්ථාව ලබෙනවා. කෙසේ වෙතත් මේවා ඒ තරම් බ්‍රෙෂ්ට්ගේ සිත ගන්නේ නෑ. කොටින්ම ඔහු කුෂර්ගේ එක නාට්‍යයක් විවේච්නය කරමින් තමාට එම විෂය පථයම ගැන වඩා හොඳ එකක් ලිවිය හැකියයි ප්‍රකාශ කරනවා. මෙහි ප්‍රතිඵලය හැටියට බ්‍රෙෂ්ට්ගේ පළමු නාට්‍ය පිටපත වන ‘බාල්’ ලියැවෙනවා.

1918 ඔහුට සිය වැඩ කටයුතු ටික කාලයකට නවතන්නට වෙන්නේ ඔහුට පළමු ලෝක යුද්ධයේ වෛද්‍ය කටයුතු සඳහා සම්බන්ධ වන්නට සිදු වූ නිසයි. යුධ බිමට ගියත් ඔහුගේ පෑන නම් නතර වන්නේ නෑ. අවස්ථාව ලද විට ඔහු හෙමිහිට සිය දෙවන පිටපත වන ‘රාත්‍රියේ බෙර නද’ (Drums in the Night ) රචනා කරනවා. එහි අන්තර්ගත වෙන්නේ සොල්දාදුවෙක් යුද්ධය නිමවී ගෙදර පැමිණෙන විට ඔහුගේ පෙම්වතිය යුද්ධයෙන් වාසි ලබන්නෙකු හා විවාහ වී සිටිනු දකින කතා තේමාවක්. මෙය බ්‍රෙෂ්ට්ගේ රඟ දක්වන ලද පළමු නාට්‍යය පිටපත වන අතර 1922 වසරේදී රඟ දැක්වීමෙන් අනතුරුව ඔහු ජර්මානු නාට්‍ය රචකයෙකුට පිදෙන පිරිනැමෙන ඉහළම සම්මනයෙන් පිදුම් ලබනවා. ඊට පසු වසරේදී එනම් 1923 දී ඔහු විවාහ දිවියට පත් වන්නේ 25 හැවිරිදිව සිටියදී.

1923 වසරේදී බ්‍රෙෂ්ට්ගේ පළමු නාට්‍ය පිටපත වන බාල් (Baal) වේදිකා ගත කරනවා. මෙහිදී විශේෂත්වය වුණේ බ්‍රෙෂ්ට් පිටපත් රචකයෙක් ලෙස ආදරයෙන් ලියූ පිටපත සමහර අවස්ථාවලදී තමන් විසින්ම විවේචනයට ලක් කරමින් අධ්‍යක්ෂක කෙනෙක් වශයෙන් තැන් තැන් වෙනස් කිරීමයි. බ්‍රෙෂ්ට් තුල විවිධාකාර පැතිකඩ තිබුණු අතර විටින් විට අනෙකා පරයා ඒවා මතු වුණා. එනිසා ඔහු සමඟ කටයුතු කිරීම පහසු වුණේ නෑ. අවුරුද්දක් ගතවන විට ඔහුට 1924 දී නගර වනාන්තරය (Jungle of Cities) හා එඩ්වර්ඩ් II යන නාට්‍ය දෙකට සම්මාදන් වීමට ලැබුණු අතර එම අවුරුද්දේම බර්ලිනය බලා පිටත් වෙනවා.

බර්ලිනයේ සාර්ථකත්වය

පැන්ස තුනේ ඔපෙරාව (operatest.jmwdlinuxserver1.com)

බර්ලිනයට පැමිණෙන බ්‍රෙෂ්ට් ට හොඳ කලක් උදා වෙනවා. සාර්ථක නිෂ්පාදන කීපයක්ම කරන ඔහු ඉක්මනින්ම ජනප්‍රසාදයට පත් වෙන්වා. ‘පැන්ස තුනේ ඔපෙරාව’ (The three penny opera) අති සාර්ථක වෙනවා. මේ අතර ඔහු සිය පළමු කවි පොතද පළ කරන අතර එයට සාහිත්‍ය සම්මානයක්ද ලැබෙනවා.

බර්ලිනයේ ගෙවූ මුල් අවදිය බ්‍රෙෂ්ට්ගේ කලාවට හා සාහිත්‍යට හොඳ කාලයක් වුණත් ඔහුගේ පෞද්ගලික ජීවිතයට නම් හැල හැප්පීම් බහුල කාලයක්. සිය පළමු බිරියගෙන් 1927 දී දික්කසාද වන ඔහු 1929 වන විට දේශපාලනය පැත්තටද හැරී කොමියුනිස්ට් වාදය වැළඳ ගන්නවා. ඔහුගේ මේ අදහස් ඇතුළු කර 1929දී ‘ මහගොනියේ නැගීම හා බැස්ම’ (The rise and fall of the city of Mahagonny ) යනුවෙන් නාට්‍යයක් නිෂ්පාදනය කරන අතර සාමන්‍ය ජනයා එයට ප්‍රසාදය පළ කළත් බලයට එමින් තිබුණු නාට්සි වාදීන් නම් එයට දැඩි විරෝධයක් දැක්වූවා.

ජර්මනියෙන් පිටවීම

1929 බ්‍රෙෂ්ට් දෙවනි විවාහයක් කරගන්නවා. 1933 දී නාට්සි වාදීන් ජර්මනියේ බලයට පැමිණෙන්නේ බ්‍රෙෂ්ට්ගේ බර්ලිනයේ ගත කළ ස්වර්ණමය යුගය නිමා කරමින්. 1929 -1933 අතර කාලයේදී දේශපාලන හා පෞද්ගලික හැල හැප්පීම් නිසා ඔහුගේ අතින් සිනමා තිර පිටපතක් (Khule Wampe-1932 ) හැරුණු විට වෙනත් නිර්මාණ බිහි වන්නේ අඩුවෙන්. නාට්සීන් බලයට පත් වීමත් සමඟ තමන්ගේ විරුද්ධවාදී දේශපාලන චින්තනය නිසා ජීවිතයෙන් වුවද වන්දි ගෙවීමට සිදු විය හැකි බව තේරුම් ගත් බ්‍රෙෂ්ට් බොහිමියාවේ ප්‍රාග් නුවරට පලා යනවා. ජර්මනිය තුල ඔහුගේ නිර්මාණවලට වාරණයක් වැටෙනවා.

ජර්මනියෙන් පිටත සමය

ජර්මනියෙන් පලා යන බර්ටෝල් බ්‍රෙෂ්ට් ප්‍රාග් නුවරින් වියානාවටද, ස්විට්සර්ලන්තයේ සුරික් නුවරටද ගොස් අවසානයේ නතර වෙන්නේ ෆින්ලන්තයේ. ඔහුගේ සාහිත්‍ය මිතුරියක් වන හෙලා වුලීජොකී ගේ නිවසේ නතර වන ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට වීසා ඉල්ලුම් කරනවා. වීසා ලැබෙන තුරු වුලිජොකී සමඟ නාට්‍ය පිටපත් කීපයක්ම ඔහු රචනා කරන අතර ඉන් සමහරක් නිෂ්පාදනය වෙනවා. Mother Courage and her Children (1939), Mr. Puntilaa and his Man Matti, (1940), The Good Person of Szechwan (1941), හා The Resistible Rise of Arturo Uri (1941) මේ කාලයේදී ඔහු අතින් ලියැවුණු නාට්‍යය යි.

ඇමෙරිකානු ආගමනය

1941 දී බර්ටෝල් බ්‍රෙෂ්ට් ට ඇමෙරිකානු වීසා හිමි වන අතර ඔහු කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාවලට සම්ප්‍රාප්ත වෙනවා. මෙහිදී ඔහු හොලිවුඩ් සිනමා තිර පිටපත් රචකයෙක් වීමට උත්සාහ දැරුවත් ඔහුගේ අසාමාන්‍ය දර්ශනය හා දෘෂ්ඨිකෝණය නිසා බොහෝ සිනමා පිටපත් ප්‍රතික්ෂේප වෙන්නේ ඒවා බරපතල වැඩි යයි පවසමින්. ඔහුගේ එකම සාර්ථක හොලිවුඩ් පිටපත ‘Hangmen also die’ 1943 දී ලි‍යැවෙනවා. මින් ලැබුණු මුදලින් ඔහු තවත් නාට්‍ය පිටපත් කීපයක්ම රචනා කර සමහරක් නිෂ්පාදනය කරනවා. ඔහුගේ ජනප්‍රියම නිර්මාණයක් වන the Caucasian Chalk Circle නිෂ්පාදනය වෙන්නේ මේ කාලයේදී යි. 1945 දී බිහි වූ මෙහි සිංහල අනුවාදය වන හුණු වටයේ කතාව ගැන කවුරුත් දන්නවාට සැකයක් නැහැ.

The Caucasian Chalk Circle (ent-nts.ca)

බර්ටෝල් ගේ අවාසනාවට ඔහුට ඇමෙරිකාවේ යහතින් ඉඳීමට ලැබෙන්නේ 1947 වන තුරු පමණයි. දේශපාලන සම්බන්ධකම් ගැන හාරා ඇවිස්සීමට ඇමෙරිකානු රජය උත්සාහ කිරීම නිසා ඔහුගේ කොමියුනිස්ට්වාදී චින්තනයට වැට කඩුළු බැඳෙන බව තේරුම් ගත් බර්ටෝල් හැකි ඉක්මනින් යුරෝපයට පිටත් වෙනවා.

නිජ බිම හා පිදුම් ලැබූ අවසන් අවුරුදු 8

1948 දී බ්‍රෂ්ට් නැවත නැගෙනහිර ජර්මනියේ බර්ලින් නුවරට සම්ප්‍රාප්ත වන අතර එහි නාට්සි පාලනය නිම වී නව පාලනයක් ස්ථාපිත වී තිබුණා. නව පාලනය බ්‍රෙෂ්ට් සියලු ගෞරව ලබාදී ඉහළින් පිළිගත් අතර ‘දිරිය මාතාව’ නාට්‍යය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රතිපාදනද සපයනු ලැබුවා. 1949 දී බ්‍රෙෂ්ට් ඔහුගේම නාට්‍ය සමාගමක් ආරම්භ කළ අතර 1954 වන විට තමන්ගේම රංග ශාලාවක් ලබාගැනීමට තරම් වාසනාවන්ත වුණා.

බ්‍රෙෂ්ට් මහළු වියෙදී (maddogblues-jackpersons.blogspot.com)

මේ මහා නාට්‍යවේදියා සිය අවසාන අවුරුදු කීපය ගත කළේ බර්ලිනයේදීයි. ඔහු සිය ජීවිතයේ අවසාන අවුරුදු කීපයේදීත් නිර්මාණ කීපයක් කළත් පෙර මෙන් ඒවා එතරම් ජනප්‍රිය වුණේ නෑ. 1956 අගෝස්තු 14 වන දින හෘදයාබාදයක් සෑදීම නිසා මේ මහා නාට්‍යවේදියා ජීවන රඟමඩලෙන් සමුගන්නවා. ඒ වන විට ඔහු 58 හැවිරිදි වුණා.

සාහිත්‍යය හා දේශපාලන දෘෂ්ඨිකෝණය

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව බ්‍රෙෂ්ට්ගේ The Caucasian Chalk Circle හි පරිවර්තනයකි (www.kln.ac.lk)

බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල තිබූ විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රේක්ෂකයා තුළ හැඟීම් ජනනය කරනවාට වඩා එම චරිත තුළින් ඔහු තුළ යම් චින්තනයක් ගොඩ නගන්නට දරා ඇති උත්සාහයයි. උදාහරණයක් ලෙස හුණු වටය නාට්‍යයේ අසඩක් චරිතය ගන්නට පුළුවන්. සාම්ප්‍රදායික රටාවෙන් මිදී ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ගෝචර වන්නට නාට්‍ය තැනූ බ්‍රෙෂ්ට් ලෝක වේදිකා නාට්‍යය නව මානයකට ගෙන සැබෑම විශිෂ්ඨයෙක්.

කවරයේ පින්තූරය – bbc.co.uk

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්