Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධ්‍යාපනය හැර වෙනත් විකල්පයක් නොමැති බව ඇදහූ ‘අලිබබා’ සමාගමේ නිර්මාතෘවරයා – ජැක් මා

මා යුන් උපත ලැබුවේ 1964 ඔක්තෝබර් මස 15 වන දින චීනයේ නිරිතදිග කොටසේ පිහිටා තිබූ හැන්ග්ෂු නම් වූ නගරයේදීයි. ඔහුට අමතරව පවුලේ තවත් වැඩිමහල් සහෝදරයෙක් සිටි අතර පසුව බාල සොහොයුරියක් පවුලට එක් වුණා.

ඔහු උපත ලබා හැදෙන වැඩෙන සමයේ කොමියුනිස්ට් චීනය බටහිර ලෝකයෙන් ඉතා ශීඝ්‍රයෙන් දුරස් වෙමින් තිබූ යුගයක් වූ අතර ඔහුගේ දෙමාපියන්ට සිය දරුවන් තිදෙනා රැක බලා ගැනීමට එතරම් මුදල් හදල් තිබුණෙත් නැහැ.

ඒ අයුරින් දැඩි දුෂ්කරතා මත හැදී වැඩූණ යුන් මේ වන විට චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් දරා සිටිනවා. ඔබ ඔහුව හඳුනන්නේ “මා යුන්” ලෙස නොව “ජැක් මා” යන නමිනුයි. අන්ත දිළිඳු පවුලක උපත ලබා එම තත්වයට පැමිණීම කෙතරම් අසීරුද යන්න පිළිබඳව අප ඔබට අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

අද Roar පාඨක ඔබ කියවන්නට යන්නේ තරුණ පරපුරට මහත් ආදර්ශ සමුදායක්ම ලබා ගත හැකි එම දිරිය මිනිසාගේ කතාවයි.

ගැටුම්වලින් ගහණ වූ ළමා කාලය

බිලිඳු ජැක් සිය මාපියන් සමඟ (60 Minutes)

සාපේක්ෂව කුඩා ශරීරයක් තිබුණා වූවත් නිතර නිතර පන්ති සගයන් හා ගැටුම්වලට පැටලීමට ජැක් මා දැක්වූවේ අපූරු සමත්කමක්.

“මට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල සිසුන්ට මා කිසිදාක බියක් දැක්වූවේ නැහැ,” යනුවෙන් පසුකාලීනව ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

කලහකාරයෙකු වූ නමුත් සමවයස් සෑම සිසුවෙකුටම මෙන්ම ඔහුටත් විනෝදාංශ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් ඔහු ඉතාම ප්‍රියකළ දෑ වූවේ පළඟැටි වර්ගයක් වන කැරැස්සන් (cricket) නම් කුඩා කෘමීන් විශේෂයක් එකතු කිරීම සහ ඔවුන් අතර පොරයන් ඇති කිරීමයි. මේ කුරුල්ලන් සම්බන්ධයෙන් ඔහුට තිබූ දැනුමේ ප්‍රමාණය කොතෙක්ද කියනවා නම් කැරැස්සෙකුගේ හඬ අසා එම උෟ කුමන කැරැස් වර්ගයකට අයත්වන්නේද, උගේ ශරීර ප්‍රමාණය කෙතෙක්ද යන්න පවා කීමට මා යුන් අපූරු සමත්කමක් දක්වූවා.

ළමා කාලයේදී (60 Minutes)

ජීවිතය වෙනස් කළ ඇමරිකානු ජනපතිවරයාගේ චීන සංචාරය

1972 වසරේ එවකට ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් චීනයේ සංචාරයක යෙදුණු අතර ඔහු ජැක් උපන් නගරය වෙතද පැමිණියා. එම සංචාරයෙන් පසුව හැන්ග්ෂු නගරය සංචාරක පාරාදීසයක් බවට පත් වූ අතර මා යුන් එය ආශිර්වාදයක් කර ගත්තා.

නව යොවුන් අවධියේ පසුවුවද හිරු නැගෙන්නටත් ප්‍රථම අවදි වූ ඔහු එවකට ඒ නගරයේ තිබූ විශාලම හෝටලයට පා තැබුවේ එහි යනෙන සංචාරයන්ට නගරයේ නැරඹිය යුතු ස්ථාන පෙන්වා දීමටයි. ඒ වෙනුවෙන් සංචාරකයන්ගෙන් ගාස්තු නොඉල්ලූ ඔහු ඒ වෙනුට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට ඉංග්‍රීසි බස උගන්වන ලෙසයි. එසේ මිතුරු වූ සංචාරකයෙකු තමා හැඳින්වූ ‘ජැක්’ යන නාමය ඉන්පසු දිගටම භාවිත කරන්නටත් අපේ කතා නායකයා කටයුතු කළා. මා යුන්, ජැක් මා බවට පත්වන්නේ එසේයි.

පවුල් සබඳතා සහ මුදල් යන දෙකෙන් කිසිවක් නොමැති තමන්ට දිනෙක සමාජයේ ඉහළට යාමට හැකි එකම මග වන්නේ අධ්‍යාපනය බව ජැක් මා ඒ වන විට හොඳින් වටහාගෙන සිටියා. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව තවත් ඉහළට ඉගෙන ගැනීම වෙනුවෙන් සරසවියට අයදුම් කළ මුත් වාර දෙකකදීම ප්‍රවේශ විභාගයෙන් අසමත් වූ ඔහු තෙවන වර එම විභාගයට පෙනී සිට සරසවි වරම් හිමිකරගත්තා.

ඉන්පසු 1988 වසරේදී සිය ප්‍රථම උපාධිය සමත්වූ ජැක් අනතුරුව විවිධ රැකියාවන් සඳහා අයදුම්පත් දැමීම ආරම්භ කළා.

ජැක් මා ගුරුවරයෙකු ලෙස (Wall Street Journal)

උපාධිය සමත්වීමෙන් පසු අයදුම් කළ රැකියාවන් බොහොමයක් ඔහුට ලැබුණේ නැහැ. ඒ අතර KFC ආයතනයත් තිබුණා. KFC ආයතනය චීනයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරනවිට එහි තනතුරු උදෙසා පුද්ගලයන් 24 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ වෙත කැඳවූ අතර ඉන් 23 දෙනෙකු තෝරාගනු ලැබුවා. ඔවුන් තෝරා නොගත්තේ ජැක් මා පමණයි.

කෙසේ නමුත් අවසානයේදී ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසට පත්වීමක් ලබා ගැනීමට ජැක් මා සමත් වූවා. ඉන් ඔහුට ලැබුණේ මසකට ඇමරිකානු ඩොලර් 12 ක් වැනි අඩු වැටුපක් වූවත් එම රැකියාවට ඔහු මහත් සේ ආදරය කළා.

අන්තර්ජාලය හඳුනාගැනීම, අලිබබා අඩවියේ ඇරඹුම සහ වර්ධනය

අලිබබා සමාගමේ ප්‍රධාන කාර්යාලය (Investopedia)

පරිවර්තන කටයුතු කරන ව්‍යාපාරයක් අරඹා තිබූ ජැක් මා ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් 1995 වසරේදී ඇමරිකාවේ සංචාරයක නියැලුණා. ඊට පෙර පරිඝණක සහ අන්තර්ජාලය පිළිබඳව කිසිවක් නොදැන සිටි ඔහු ප්‍රථම වරට අන්තර්ජාලය පරිශීලනය කළේ එම සංචාරය අතරතුරදියි.

අන්තර්ජාලයේ කළ ඔහුගේ පළමු සෙවුම් වචනය වූවේ ‘beer’ යන්නයි. එම සෙවුමට අදාළව ලැබුණ ප්‍රතිඵලයන්හි චීනයේ නිෂ්පාදිත බියර් වර්ග එකක්වත් සඳහන් නොවීමෙන් ඔහු මවිතයට පත්වී තිබෙනවා.

අන්තර්ජාලය තුළ ගණුදෙනු කෙරෙන සමාගමක් චීනයේ පිහිටුවිය යුතුයි ජැක් තීරණය කරන්නේ මේ සිදුවීම මුල් කරගනිමිනුයි.

මෙසේ අරඹන ලද මුල් ව්‍යාපාර දෙකම අසාර්ථක වූවත් සිය ප්‍රයත්නයට නැවතීමේ තිත තැබීමට මේ කුඩා මිනිසා කටයුතු කළේ නැහැ. ඇමරිකානු සංචාරයෙන් වසර 4කට පසු සිය නවාතැන වෙත මිතුරන් 17 දෙනෙකු කැඳවන ජැක් අන්තර්ජාලය හරහා කෙරෙන ව්‍යාපාරයක් වෙනුවෙන් තම අරමුණ හා දැක්ම ඔවුන්ට පැහැදිලි කර එහි ආයෝජනය කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු එයට ලබා දී තිබුණේ ‘අලිබබා’ යන නාමයයි.

මිතුරන් හා පැවති සාකච්ඡාවක් (60 Minutes)

අපනයනකරුවන්ට සිය නිෂ්පාදන පිළිබඳව අලිබබා අඩවියේ පළ කර ඒ හරහා ගණුදෙනු කිරීමට ඉඩ සලස්වාදීම ඔහුගේ අරමුණ වුණා.

මේ ආකාරයෙන් ඇරඹි ‘අලිබබා’ අඩවිය කෙටි කලක් තුලදී ලොව පුරාම ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. 1999 වසරේ ඔක්තෝබර් මස වන විට ගෝල්ඩ්මන් සැක්ස් බැකුව ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ද, සොෆ්ට් බෑන්ක් සමාගම ඩොලර් මිලියන 5ක් ද අලිබබා අඩවිය වෙනුවෙන් ආයෝජනය කර තිබුණා. ජපානයේ ප්‍රකට ටෙලිකොම් සමාගමක ආයෝජන ද තමන් වෙත ලබා ගැනීමට අලිබබා වෙබ් අඩවිය සමත් වූවේ මේ අතරතුරදියි.

අලිබබා ප්‍රථම කණ්ඩායම (Youtube)

මෙසේ දිනෙන් දින දියුණුව කරා යන විට සමාගමේ සේවකයන් අතර කණ්ඩායම් හැඟීම, විනෝදකාමී බව වර්ධනය කිරීම වෙනුවෙන් ජැක් මා සෑම විටම ප්‍රමුඛතාවක් දුන්නා.

2000 වසරේදී eBay අඩවියේ තරඟකරුවෙකු ලෙස Taobao නම් අඩවියක් ඇරඹීමටත් අලිබබා සමාගම තීරණය කළා.

2005 වසරේදී අලිබබා සමාගම හා අත්වැල් බැඳ ගැනීමට Yahoo ආයතනය තීරණය කිරීම ඔවුන් ලැබූ ලොකුම ජයග්‍රහණයක් ලෙස ජැක් මා හඳුන්වනවා. යාහූ සමාගම අලිබබා සමාගමේ හිමිකාරත්වයෙන් 40% ක් වෙනුවෙන් ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීමට එකඟ වූ අතර අලිබබා සමාගම ඒ වන විට චීනය තුළ ක්‍රියාත්මක වූ eBay හා තරඟ වැදෙමින් සිටියා.

මෙය යාහූ සමාගමත් ලැබූ ජයක් ලෙස සැලකිය හැක්කේ ඒ හරහා ඩොලර් බිලියන 10ක ශුද්ධ ලාබයක් ආලිබාබා ප්‍රථම ප්‍රසිද්ධ කොටස් නිකුතුවෙන් අත්පත් කරගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වූ නිසා යි.

ප්‍රධාන විධායක නිලධාරි (CEO) තනතුරෙන් ඉවත් වීම සහ ප්‍රථම ප්‍රසිද්ධ කොටස් නිකුතුව

2013 වසරේදී අලිබබා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වීමට ජැක් තීරණය කළ අතර විධායක සභාපතිවරයා ලෙස සමාගමේ රැඳී සිටීමට ඔහු කටයුතු කළා.

අලිබබා සිය ප්‍රථම ප්‍රසිද්ධ කොටස් නිකුතුව සිදු කළේ 2013 සැප්තැම්බර් මස 19 වනදායි. ඇමරිකානු ඩොලර් බිලියන 150ක වටිනාකමින් යුතු වූ එම කොටස් එකතුව නිව්යෝක් කොටස වෙළෙඳ පොලේ ඉතිහාසය තුළ ඇමරිකාවේ ලැයිස්තුගත සමාගමක් වෙනුවෙන් එතෙක් නිකුත් වූ විශාලතම කොටස් නිකුතුව ලෙස සැලකෙනවා.

මේ නිකුතුවත් සමඟම චීනයේ ධනවත්ම මිනිසා ලෙස ජැක් මා පෙරට පැමිණි අතර ඔහුගේ වත්කම් අගය ඩොලර් බිලියන 25ක් පමණ වන බව තක්සේරු කරනු ලැබුවා.

පෞද්ගලික ජීවිතය

ජැක් මා බිරිඳ සමඟ (Hangzhou Weekly)

ව්‍යාපාරික ලෝකයේ දිනෙන් දින ඉදිරියට යන විටදී වූවත් සිය පෞද්ගලික ජිවිතයේ තොරතුරු ලෝකය හමුවේ තැබීමට ජැක් මා පෙළඹුණේ නැහැ.

සරසවියේදී හඳුනාගත් ගුරුවරියක වූ ශැන්ග් යින් හා 80 දශකයේ අග භාගයේදී විවාහ වූ ජැක් ට දියණියක සහ පුතෙකු සිටිනවා.

“ඔහු කඩවසම් යැයි සැලකෙන පුද්ගලයන් ගොන්නට අයත් කෙනෙකු නෙවෙයි. ඒත් මගෙ හිත ඔහුට ඇදිල ගියේ කඩවසම් යැයි සම්මත අයට කළ නොහැකි බොහෝ දේවල් කිරීමට ජැක් දැක්වූ විශ්මිත හැකියාව නිසායි,”  ශැන්ග් යින් වරක් එසේ පවසා සිටියා.

ජැක් මා යනු මේ වනවිට චීනයේ ඉතාම කීර්තිමත් පුද්ගලයෙක්. ඔහුගේ කතා ඇසීමට චීන ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

ශූර ව්‍යාපාරිකයෙකුට අමතරව ඉතාම විනෝදකාමී පුද්ගලයෙකු වන ජැක් මා වරක් අලිබබා සමාගමේ වාර්ෂික ප්‍රසංගයේදී Punk රොක් ගායකයෙකු ලෙස සැරසී ඉදිරිපත් කිරීමක් ද කරනු ලැබුවා. ඒ සේවකයන් 20,000ක් පමණ ඉදිරිපිට.

ජැක් පන්ක් රොක් ගායකයෙකු ලෙස සැරසී (REAUTERS)

ජැක් මා සිය සමාගමට ‘අලිබබා’ යන නම තැබීම සුදුසු බව තීරණය කළේ ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි කෝපි අවන්හලක් තුළ කොපි කෝප්පයක් තොල ගාමින් සිටියදියි.

ප්‍රකට අලිබබා සහ හොරු හතලිහ කතාවේ එක් කුඩා මුර පදයකින් අසීමිත ධනස්කන්දයක් වෙත පිවිසීමට අවස්ථාව ලැබෙන බව ඔබට මතක ඇති. ඒ ආකාරයෙන්ම ජැක් මා ගේ ‘අලිබබා’ සමාගම යනු කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති අසීමිත අවස්ථා වෙත පිවිසීමට ඇති හැකියාව පිළිබඳව මහඟු පාඩමක් ලෝකයට උගන්වා සිටින බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකියි නේද?

කවරයේ රූපය: (Forbes)

මුලාශ්‍ර:

  1. The Business Insider
  2. Forbes
  3. USA Today

Related Articles