Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාඨකයන්ගේ හදවතේ ලැගුම්ගත් කතුවරයා – පාවුලෝ කොයියෝ

ලෝකයේ දැනට ජීවත්ව සිටින කතුවරයකුගේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථය වන්නේ පාවුලෝ කොයියෝගේ The Alchemist නම් නවකතාවයි. ලෝකයේ වැඩිම පොත් අලෙවියක් වාර්තා වන ලේඛකයන් දස දෙනා අතරෙන් එක් කතුවරයෙක් ලෙසද පාවුලෝ කොයියෝ හදුන්වා දෙන්නට පුළුවන්. The Economist සඟරාවට අනුව ලතින් ඇමරිකානු ග්‍රන්ථ කර්තෘවරුන් අතරින් කොලොම්බියානු ජාතික ලේඛක ගබිරියෙල් ගාෂියා මාකේස්ට පසු වැඩියෙන්ම ජනාදරයට පත් වූ ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝයි.

නාට්‍ය පිටපත් රචකයෙක් ලෙස, ගී පද නිබන්ධකයෙකු ලෙස හා නළුවෙකු ලෙසින් ජීවිතයේ විවිධ කාල පරාසයන් වලදී කටයුතු කර කෘෘර හා වේදනාකාරී අත්දැකීම් සමූහයකට මුහුණ දී ඉතා දුෂ්කර ගමනකින් අනතුරුව අද වන විට ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක් බවට පත් වී සිටින පාවුලෝ කොයියෝ පිළිබඳව අද කතා කරන්නට අපි තීරණය කළා.

පියාට අවනත නොවූ තරුණ කොයියෝ

කුඩා පාවුලෝ කොයියෝ (Success Stories)

1947 වසරේ අගෝස්තු 24 වනදා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ බොටාෆොගෝහිදී උපත ලබන පාවුලෝ කොයියෝව දැඩි ආගමික භක්තියකින් යුක්ත වූ ඔහුගේ මව වන ලිගියා අරාරිපෙ විසින් උපන් රෝහලේදීම බෞතීස්ම කරනවා. ඔහුගේ පියා වූ පෙද්රෝ ක්වීමා කොයියෝ ඉංජිනේරුවෙක් වූ අතර ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ තම පුතු නීතිඥයෙකු වනු දැකීමයි.

නීතිඥයෙකු වීමේ සිහිනය තම කුඩා පුතුගේ මනසට ඇතුළු කළ නමුත් කුඩා කල සිට කොයියෝ සිහින දකින්නේ කලාකරුවෙක් වීමටයි. ජෝර්ජ් ලුයිස් බොර්ගස් හා හෙන්රි මිලර්ගේ කෘතීන් කියවීමට ඔහු යොමු වන්නේ පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීයි. වේදිකා නාට්‍ය කෙරෙහි යොමු වීමටද ඔහු මෙම කාලයේ උත්සාහ කරනවා.

කුඩා කල සිට කැරලිකාර චින්තනයකින් යුක්ත වූ කොයියෝගේ අධ්‍යාපනයේ ප්‍රගතිය එතරම් සාර්ථක නැතැයි සිතූ දෙමව්පියන් විසින් ඔහුව දැඩි විනය පාලනයකින් යුක්ත ජෙසුයිට් නිකායේ පාසලකට(Jesuit school) ඇතුල් කරනවා. එහිදීද නාට්‍ය කෙරෙහි තිබූ කැමැත්ත යලි ඉස්මතු වූ අතර පාසලේදී තම ප්‍රථම නාට්‍ය තරගයෙන් ජයගැනීමට හැකි වෙනවා.

තුන්වරක් මානසික රෝහලට

තරුණ කොයියෝ (Success Stories)

තරුණ වියේදී කිසිදු පොදු පළිගත් මතයකට අනුකූල වූවෙක් නොවූ කොයියෝ අලුත් දේවල් සොයා යන්නෙක් විය. තමන් යන මගහි ඇති සෑම යහපත් හා අයහපත් දේවල් ඔහු විසින් අත්හදා බලනවා. ඒ අනුව ඔහු 1968 වසර වලදී ක්‍රියාත්මක වූ මැතිවරණ හා පෙළපාලි කටයුතු වලට ප්‍රගතිශීලි පාර්ශවයන් නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා.

පියාට අවනත් නොවෙමින් සිය හැදෑරීම හා විශ්වාස ඔස්සේ ගමන් කළ ඔහුගේ ජීවිතය අර්බුදයකට ලක් වෙන්නේ මේ සමයේදීයි. නව අධ්‍යාත්මික අත්දැකීම් සොයා යාම පිණිස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙන ඔහු හිපි දර්ශනය හා චින්තනය ඔස්සේ අත්දැකීම් එක් කරගනිමින් තැනින් තැනට ගමන් කරන්නෙක් බවට පත්වෙනවා. කිහිපවරක්ම ඔහු බ්‍රසීල පොලිසියේ අත්අඩංගුවටද පත් වෙනවා.

ඔහු රියෝද ජැනයිරෝ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ලියාපදිංචි වූවත් කෙටි කාලෙකින් ඉන් ඉවත් වෙනවා. මේ අතරවාරයේ දෙමාපියන් විසින් තරුණ කොයියෝව තුන් වරක්ම මානසික රෝහලකට ඇතුල් කරනවා. මානසික රෝහලෙන් පැන යන ඔහු ඇමරිකාව බලා පිටත් වෙනවා. එහිදී ජිවත් වීම සඳහා තමන්ට අනෙක් හිපි තරුණයන් උපකාර කළ බව ඔහු පසු කාලයේදී මාධ්‍ය සාකච්ඡාවක පවසා සිටිනවා.

ලේඛන කලාවට

මාධ්‍ය සාකච්ජාවක (Oprah.com)

ලිවීමට තිබූ නොනිත් ආශාව හේතුවෙන් ඔහු පුවත්පත් කලාවට අවතීරණය වන අතර “2001” නමින් විකල්ප සඟරාවක් ආරම්භ කරනවා. නමුත් ඔහුට මෙම සඟරාවෙන් නිකුත් කරන්නට හැකි වන්නේ කලාප දෙකක් පමණයි. සඟරාවේ පළ වූ එක් ලිපියක් හේතුවෙන් එකල ප්‍රසිද්ධ සංගීතවේදියෙකු වූ රාවුල් සෙයික්ෂාන් සමඟ සම්බන්ධතාවයක් ඇති කරගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.

රාවුල් සෙයික්ෂාන්ට ගී පද රචනා කිරීම ආරම්භ කරන අතර ඒ සඳහා ඔහුට අසීමිත ලෙස මුදල් ලැබුණු බව පසු කලෙක සඳහන් කරනවා. තවද රියෝ පුවත්පතක් වූ EL Globo පුවත්පතටද නවකතා රචනා කිරීම ආරම්භ කරන තුරුම ලිපි සැපයීම සිදු කරනවා. ඔහු තම ජිවිතයේ ලද කෘෘරතම අත්දැකීමට මුහුණ දෙන්නේ බ්‍රසීලයේ ඒකාධිපති පාලන සමයේ හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් හැඳි පුද්ගලයන් විසින් පැහැරගෙන ගොස් දරුණු වධ හිංසාවන්ට ලක් කිරීමයි. වාසනාවකට මෙන් කොයියෝට ඉන් ගැලවීමට හැකියාව ලැබෙනවා.

1976 වසරේදී බ්‍රසීලියානු වාර්තාකරුවෙක් ලෙස එංගලන්තයට යන ඔහු එහිදී තම ජීවිත කතාව ලියා අවසන් කළත් බ්‍රසීලයට යාමට පෙර එම පිටපත් ලන්ඩන් නුවර සමාජ ශාලාවක අමතක වී යන බැවින් කිසිදිනෙක එම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට හැකි වන්නේ නෑ.

ලෝක පූජිත කතුවරයෙක් බවට

පාවුලෝ කොයියෝ (Huffington Post)

1986 වසරේදී  උපයාගෙන තිබූ මුදලින් තම බිරිඳ වූ ක්‍රිස්ටිනා ඔයිට්සිකා සමඟ හයමසක් පුරාවට ලෝකය පුරා සංචාරය කරන්නට තීරණය කරන 36 හැවිරිදි කොයියෝ ඒ සඳහා ස්පාඤ්ඤය තෝරා ගන්නවා. ප්‍රංශයේ සිට ස්පාඤ්ඤයට ගමන් කිරීමට ඔහු දින 56ක් ගත කරනවා. සන්තියාගෝවේ (Santiago) සිට කොම්පොස්ටේලා (de Compostela) දක්වා යන පුරාණ මාර්ගයේ සැතපුම් 500කට වඩා වැඩි දුරක් පාගමනින් ගමන් කරන ඔහු එහිදී ලද අත්දැකීම් පාදක කරගනිමින් තම ප්‍රථම නවකතාව වන The Pilgrimage කෘතිය රචනා කරනවා.

තම දෙවන නවකතාව වන 1987දී රචනා කළ The Alchemist ( මෙය චූලානන්ද සමරනායක විසින් ‘සන්තිගෝ නම් සැරිසරන්නා’ නමින් සිංහලයට පරිවර්තනය කර ඇත) නවකතාව විසින් ඔහුව ලෝකයේ ජනප්‍රිය නවකතාකරුවෙක් බවට පත්කරනවා. මෙහි පිටපත් දල වශයෙන් මිලියන තිස්පහක් පමණ ලොවපුරා විකිණී ඇති බවයි පැවසෙන්නේ. මෙම කෘතිය හේතුවෙන් දැනට ජීවත්ව සිටින කතුවරයෙක්ගේ කෘතියක් වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වීමේ වාර්තාවට හිමිකම් කියන්නට කොයියෝ සමත් වෙනවා.

ඔහුගේ රචනා විලාශය හා භාෂාව සරල වන අතරම ඒ තුලින් ඔහු ගැඹුරු ජීවන  හරයන් ඉදිරිපත් කරන බව විචාරකයන් විසින් පෙන්වා දෙනවා. The Alchemist කෘතියෙන් පසුව ඔහු තවත් කෘති 26ක් පමණ රචනා කර ඇති අතර ඒවා තුලින් සමාජය, දේශපාලනය, ආර්ථිකය හා අධ්‍යාත්මික සුවතාවය පිළිබඳව ගැඹුරින් සටහන් කර තිබෙනවා (The Winner Stands Alone, The Devil and Miss Prym, Eleven Minutes, Brida හා The Witch of Portobello වැනි කෘතීන් ඒ අතරින් කිහිපයක්).

මෙම කෘතීන් දළ වශයෙන් මිලියන 65ක් පමණ විකිණී ඇති අතර ලොව පුරා භාෂා 59කට පරිවර්තනය වී තිබෙනවා. තවද තම කර්තෘ භාග වලින් ලැබෙන මුදලින් වසරකට ඩොලර් ලක්ෂ 4ක් රියෝ නුවර පැල්පත් වාසි දුගී දරුවන්ගේ සුබසාධනය උදෙසා වැය කරන්න ඔහු විසින් තීරණය කර තිබෙනවා.

ඔහුගේ කෘතීන් ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ නොමඳ ගෞරවයට ලක් වී ඇති අතර වත්මන් යුගයේ ලෝකයේ ආදරණීය ලේඛකයා ලෙස පාවුලෝ කොයියෝ නම් කිරීම වඩා නිවැරදි යැයි අප සිතනවා.

කවරයේ ජායාරූපය – The Geek Initiative

Related Articles