චරිත

විනාඩි 3 ක කියවීමක්

ලක් මවගේ නම ලොවට ගෙන ගිය සොඳුරුතම පරාජිතයා

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

මෙරට ක්‍රීඩා ඉතිහාසය තුළ නොමැකෙන සටහන් තැබූ ක්‍රීඩා තරු බොහෝය. එවැනි අය අතර ඔලිම්පික් තරගාවලියේ රිදී පදක්කම් ජය ගෙන අප රටේ නාමය ලොවට ගෙන ගිය සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඩන්කන් වයිට්ට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. මේ ලිපියෙන් ලියවෙන්නේ ඔලිම්පික් තරගාවලියේදි පදක්කම් ජය නොගත්තද ලක් මවගේ නාමය ලොව පතල කළ, ලාංකිකයන්‍‍ගෙන් නිසි සැලකුම් නොලැබූ දක්ෂ දිගු දුර ධාවක රණතුංග කරුණානාන්ද නම් අසහාය ක්‍රීඩකයා පිළිබඳවයි.

1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළ

1936 වසරේ මැයි 21 වැනි දා ශ්‍රී ලංකාවේ නාත්තණ්ඩිය ප්‍රදේශයට නුදුරු ඈත ගම්මානයක ඉපදුණු රණතුංග කෝරාලගේ ජයසේකර කරුණානන්ද දරුවා ගම්පොල ජිනරාජ පිරිමි විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබුවේය. ඉන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු ඔහු ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දැක්වූ අතර, වැඩි වශයෙන් නැඹුරු වුයේ මලල ක්‍රීඩා අංශයටය. මෙරට මැරතන් ධාවන තරඟ වල ජයග්‍රාහකයෙකු වූ ඔහුට 1964 වසරේ දි ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 5,000 සහ 10,000 දිගු දුර ධාවන තරඟ වලට සහභාගි වීමේ අවස්ථාව හිමිවිය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මිටර් 10,000 තරඟයේ අංක 67 යටතේ තරඟ වදින්නේ කරුණානන්දයි (onceuponatimeinthevest.blogspot.com)

1964 ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් යවනු ලැබූ සෙසු ක්‍රීඩකයන් අතර වෙඩි තැබීමේ ඉසව්ව සඳහා රවී ජයවර්ධන සහ  M.R. පෙරේරා ද, බොක්සින්  ක්‍රීඩාව සඳහා මැල්කම් බර්නර් සහ වින්ස්ටන් වෑන් කියලන්බර්ග් ද, පොර බැදිමේ ඉසව්ව සඳහා අර්නස්ට් ෆර්නෑන්ඩු ද වූ අතර එම ක්‍රීඩක කණ්ඩායමේ සිටි එකම මලල ක්‍රීඩකයා කරුණානන්ද විය. එම කණ්ඩායමේ කළමනාකරු වුයේ V.A. සුගතදාස මහතාය. 1964 වසරේ ඔක්තෝබර් 14 වන දින රටවල් 17 ක මලල ක්‍රීඩකයන් 29 දෙනෙකු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 10,000 දිගු දුර ධාවන ඉසව්ව සඳහා සහභාගි වූහ. මෙම ඉසව්වට ශ්‍රි ලංකාව වෙනුවෙන් කරුණානන්ද සහභාගි වූ අතර ඔහු මෙම ඉසව්වට පෙර දින  මිටර් 5,000 ඉසව්වට සහභාගි වී 47 වන ස්ථානය ලබා ඉන් ඉවත් වූ අතර මීටර් 10,000 ඉසව්වට සහභාගි වන විට දැඩි ලෙස රෝගි තත්වයක පසු විය. තරගය අරඹා වට 10 ක් අවසානයේදි තරගයේ පෙරමුණ දැරීමට ඇ.එ. ජනපදයේ බිලී මිල්ස්, ටියුනිසියාවේ මොහොමඩ් ගමෞඩි, ඕස්ට්‍රේලියාවේ රොන් ක්ලාක්, ඉතියෝපියාවේ මමෝ වොල්ඩේ, සෝවියට් ජනපදයේ ලියොනිඩ් ඉවානෝව් සහ ජපානයේ ක කිචි ට්සුබුරයා සමත් වූහ. තරගය 20 වන වටය වන දක්වා දිර්ඝ වන විට කරුණානන්ද තවත් පසු බැස්සේය. තරගයේ රන් පදක්කම ඇමෙරිකානු ජාතික බිලී මිල්ස් දිනා ගත් අතර, පදක්කම් ජයග්‍රාහකයන් තරගය අවසන් කරන විට කරුණානන්ද සිටියේ ඔවුන්ට වඩා වට 4ක් පිටුපසිනි.

ප්‍රේක්ෂකයන්ගේ අපහාස උපහාස මැද තනිව තරගය ධාවනය

තනිව තරඟයේ නිරත කරුණානන්ද (sinhalensoft.com)

පදක්කම් ජයග්‍රාහකයන් තරගය අවසන් කිරිමෙන් අනතුරුව අනෙකුත් ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වු අතර ඔලිම්පික් නිලධාරීන් මීලඟ තරගය සඳහා ධාවන පථය සූදානම් කිරිමට තැත් කරද්දී, කරුණානන්ද නොනැවතී දිගටම ධාවනයේ යෙදෙන්නට විය. ඔහු රෝගී තත්ත්වයක පසු වුවද, මෙසේ නොනැවතී ධාවනයේ යෙදුනේ විශේෂයෙන්ම ඔහුගේ දියණිය මෙම තරගයට සහභාගි වන ලෙස ඔහුගෙන් කර තිබු ඉල්ලීම ඉටු කිරිමටය. ආරම්භයේදි තනිව ධාවනයේ යෙදෙන කරුණානන්දට ප්‍රේක්ෂකයන්ගෙන්  අපහාස උපහාස හූ හඬ නොමඳව එල්ල විය. නමුත් ඒ කිසිවකින් තම අධිෂ්ඨානය වෙනස් කර නොගත් මෙම අසහාය ක්‍රීඩකයා දෙවන වටයද දිවීම ආරම්භ කරද්දී, ප්‍රේක්ෂකයන්ගෙන්  එල්ල වූ අපහාස උපහාස නැවතී, ප්‍රේක්ෂකයන්ගේ දිරිමත් කිරීම් ඇසෙන්නට විය. ඔහු සිව්වන වටය ධාවනය කර තරඟය අවසන් කරද්දී අත්පොලොසන් නදින් ‍ප්‍රේක්ෂකාගාරය ගිගුම් දුන් අතර එම පිලිගැනීම ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය ලැබූ බිලී මිල්ස්ට ලැබුණු පිලිගැනීමද ඉක්මවා යන්නක් විය. පුවත්පත් වාර්තාකරුවන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවටද ඔහු පත්වූ අතර, රන් පදක්කම්ලාභී ඇමෙරිකානු ජාතික බිලී මිල්ස් පවසා තිබුණේ තරගයේ නියම ජයග්‍රාහකයා කරුණානන්ද බවයි. 1964 වසරේ ඔලිම්පික් ක්‍රීඩා වාර්තා අනුව ඔහුගේ ධාවන කාලය මිනිත්තු 32 තත්පර 21.2 ක් විය.

ජපන් ජාතිකයන්ගේ වීරයෙකු වීම

කරුණානන්ද පිළිබඳ ඇතුළත් ජපාන පාසල් පෙල පොත් (www.ada.lk)

මෙම ශ්‍රී ලාංකීය ක්‍රීඩා විරුවා සමග ප්‍රථමයෙන්ම සම්මුඛ සාකච්ඡාවකට අවස්ථාව ලබා ගත්තේ ජපාන වාර්තාකරුවෙකු වූ හරුවෝ සුසුකි ය. කරුණානන්ද විසින් වාර්තාකරුවන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලෙස පවසා තිබුණේ, ඔලිම්පික් උළෙලේ සැබෑ හරය වන්නේ ජයග්‍රහණය නොව සහභාගිවීම බවයි. කරුණානන්දගේ නොපසුබට උත්සාහය හේතුවෙන් මෙයින් පසු ඔහු ජපන් ජාතිකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අතර වීරයෙකු ලෙස සලකන ලදී. ඔහුගේ එම උදාර ගුණය සදාකාලිකවම සිහිවීම පිණිස ජපාන පාසල් පෙළපොත් වලට කරුණානන්දගේ කතාව ඇතුලත් කරන ලදී.

කරුණානන්දගේ අදහස වූයේ ශ්‍රී ලංකාව යනු ක්‍රීඩාශීලී ජාතියක් ජීවත් වන රටක් බවත්, ඔහුද එම දේශයෙන් පැමිණි අයෙකු බවත්ය. ශ්‍රී ලංකා පිළ ජපානයට පැමිණියේ සත්‍ය ක්‍රීඩාශීලිත්වයෙන් මිස හුදෙක් තරගයෙන් ජයග්‍රහණය කිරීමට පමණක් නොවන බවත්, එම සැබෑ ඔලිම්පික් හරය ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකිවූ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම ටෝකියෝ ඔලිම්පික් උළෙල අලලා 1965 දී ටෝක්යෝ ඔලිම්පියාඩ් (1965) නමින් වාර්තාමය චිත්‍රපටියක් නිපදවනු ලැබූ අතර එය කොන් ඉචිකාවා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක් වේ. මෙම චිත්‍රපටය තුළදී ද ශ්‍රී ලාංකික ක්‍රීඩක රණතුංග කරුණානන්ද අවසාන තරගකරුවා ලෙස තරගය අවසන් කරමින් දැක් වූ අප්‍රතිහත ධෛර්යය තිරපටයට නගා තිබේ.

ජපාන‍යෙන් කරුණානන්ද‍ට උපහාර ‍දැක්වු අවස්ථාවක් (www.ada.lk)

අකල් මරණය

ඔලිම්පික් තරගාවලියෙන් පසුව, කරුණානන්දට 1975 වසරේදී ජපානයෙන් ලද ශිෂ්‍යත්වයක් යටතේ රැකියාවකට ලැබු අවස්ථාව ලබා ගැනිමට ඔහු තීරණය කළේය. නමුත්, අවාසනාවන්ත ලෙස කරුණානන්ද රට හැර යාමට පෙර අබිරහස් ලෙස නාමල් ඔයේ ගිලී මරුමුවට පත්විය. ඔහුගේ මරණය සැක සහිත වූ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන්ගේ අදහස ඔහුගේ මරණය වූයේ ඔහුගේ මිනීමැරුමක් බවයි. කරුණානන්දගේ මරණයෙන් පසු ඔහුගේ පවුල අසරණ වී ඇති අතර ඥාතියෙකුගේ  උපකාරයෙන් ජීවත් වී ඇත.

කෙසේවුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තම උපරිමයෙන් කැපවුණු මේ ක්‍රීඩකයා පිළිබඳ අද වනවිටත් ජපානයට මතක තිබුණද, ඔහුගේ උපන් බිමේ කිසිවෙකුටත් ඔහු පිළිබඳ මතකයක සේයාවක්වත් නොමැති වීම අභාග්‍යයකි. ඔහු තම රට වෙනුවෙන් තනිවම කැප කළ ‍ධෛර්යය, වීර්යය වෙනුවෙන් නිසි ගෞරවය ලැබිය යුතු වීරයෙකි. එකී වීරයා පිළිබඳ මතකය කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට නොදීම සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමකි.

 

මුලාශ්‍ර

  1. www.ada.lk
  2. www.island.lk
  3. Sinhalensoft.com
  4. www.sundaytimes.lk
  5. onceuponatimeinthevest.blogspot.com
  6. www.dailynews.lk

කවරයේ පින්තුරය – 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවස්ථාවක් . ඇමෙරිකානු ජාතික බොබ් හේස් මීටර් 100 ඉසව්ව තත්පර 10ක් තුළ ජයග්‍රහණය කරයි. (KYODO)

 

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්