Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශතක ශතකය හෙවත් සංගක්කාරගේ සියයේ 100

කුමාර් සංගක්කාර යනු කවුදැ යි අලුතින් හදුන්වා දීමට නම් අවශ්‍ය නැත. මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ අඛණ්ඩව ම මෙතරම් ජනප්‍රියතාවක් පැවති එක ම ක්‍රීඩකයාද ඔහු විය හැකි ය. (මෙය අර්ජුන, අරවින්ද,සනත්, මුරලි සහ මහේල යන ක්‍රීඩකයන්ටත් වඩා වැඩි විය හැකි ය) ඊට හේතු කිහිපයක් ම ඇති අතර ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යය ඉන් ප්‍රධාන ය. දේශය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද කීර්තියක් හිමි කර ගෙන සිටින කුමාර් සංගක්කාර, නැවතත් ලෝකය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් හා ක්‍රීඩා මාධ්‍යවල අවධානය දිනා ගැනීමට සමත් ව ඇත. ඒ ඔහු විසින් පළමු පෙළ ශතක 100 ක් වාර්තා කිරීමත් සමගයි.

ශතක ශතකය

සංගක්කාර පසුගිය ජුනි 13 වන දින එංගලන්තයේ රෝයල් ලන්ඩන් කුසලාන තරගාවලියේ දී පළමුපෙළ සීමිත ඔවර් තරගවල දී ලබා ගත් 100 වැනි ශතකය වාර්තා කරන්නට සමත් විය. අදාළ ශතක 100 වාර්තා වන්නේ පළමු පෙළ ශතක 61 ක් සහ ඒ කණ්ඩායම් තරගවල දී ලබාගත් ශතක 39 ක් යනාදි වශයෙනි.

පන්දු 121 දී ලකුණු 121 ක් ලබා ගත් සංගක්කාර මෙැවනි දක්ෂතාවක් දැක්වූ 37 වන ක්‍රීඩකයා ලෙස වාර්තා වේ. එංගලන්තයේ විශිෂ්ඨ පිතිකරුවකු වූ ජැක් හොබ්ස් මෙම පළමු පෙළ තරගවල දී වැඩි ම ශතක සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය 199 ක් ලෙස සදහන් වේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ගේ නාමාවලිය තුළ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ශතක 117ක්), සචින් ටෙන්ඩුල්කාර් (ශතක 147 ක්) වැනි විශිෂ්ඨ ඝනයේ පිතිකරුවන් ද ඇතුළත් වී ඇත.

(bbc.com)

ශතක සියය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය සමග සිදු කළ සාකච්ඡාවේ දී සංගක්කාර මෙසේ පවසා තිබුණි. ‘‘පිටියේ දී මම අනවශ්‍ය තරම් පීඩනයක් ගන්නේ නැහැ. නොසැලකිල්ලෙන් ක්‍රීඩා කරන්නෙත් නැහැ. මම මගේ ක්‍රීඩා ශෛලියට ක්‍රීඩා කරනවා. ඒ වගේ ම සරේ කණ්ඩායමත් විශිෂ්ටයි. කළමනාකාරීත්වය තේරුම් ගන්නවා සමබර කණ්ඩායමක් යොදන්න. ක්‍රීඩාවේ දී එය සෑම විටෙක ම වැදගත්“

සංගක්කාර විසින් පසුගිය තරගමාලව තුළ රැස් කර ගත් 8 වැනි ශතකය වශයෙන් මෙය සටහන් වන අතර පසුගිය ප්‍රාන්ත ශූරතා තරගාවලියේ දී තරග 6 කට ක්‍රීඩා කළ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ දළ අනුපාතය 90.60 ක් ලෙස වාර්තා වේ.

(cricketcountry.com)

පසුගිය තරගයේ දී අඛණ්ඩව පළමුපෙළ තරග 6ක දී ශතක 6 ක් වාර්තා කරමින්, එම දක්ෂතාව සිදු කළ 6 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට තිබු අවස්ථාව ඔහු හට ගිලිහී ගියේ ලකුණු 84 ක් රැස් කරගෙන සිටි අවස්ථාවක දී ය.

සංගාගේ ජාත්‍යන්තර එක් දින තරග වාර්තා

(mid-day.com)

එක්දින ක්‍රිකට් තරග 404 කදී ඉනිම් 380 ක් ක්‍රීඩා කර ලකුණු 14,234 ක් රැස් කර ගෙන ඇති ඔහු දෙවනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ට පමණි. (තෙන්ඩුල්කාර් තරග 463 ක දී ඉනිම් 452 ක් ක්‍රීඩා කර ලකුණු 18,426 ක් රැස්කර ගෙන ඇත)

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගවල දී ශතක 25 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් ලබාගත් ක්‍රීඩකයන් සයදෙනා අතර ද සංගා සිටී. (සචින් තෙන්ඩුල්කාර් – 49, රිකී පොන්ටින් – 30, සනත් ජයසූරිය – 28, විරාත් කෝලි – 27, හෂීම් අම්ලා – 25) එසේ ම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගලවල දී අඛණ්ඩව ශතක 4 ක් වාර්තා කළ එක ම ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ය.

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගවල දී වැඩි ම අර්ධ ශතක රැස් කර ඇති ක්‍රීඩකයන්ගේ නාමාවලියේ දෙවැන්නා වන්නේද මොහු ය. ඒ අර්ධ ශතක 93 ක් රැස් කර ගනිමිනි. පළමු තැන හිමි වන්නේ අර්ධ ශතක 96ක් රැස්කර ඇති සචින් ට ය.

(sportskeeda.com)

කඩුලු රකින්නකු ලෙස එක්දින තරගවල දී වැඩි ම ලකුණු රැස් කර ඇත්තේ ද ඔහු ය. එසේ ම කඩුලු රකින්නකු ලෙස සංගා, එක්දින තරගාවලියක දී වැඩි ම ලකුණු රැස් කර ඇත. ඒ 2015 ලෝක කුසලානයේ දී තරග 7 කට ක්‍රීඩා කර ලකුණු 541 ක් ලබා ගනිමිනි.

කඩුලු රකින්නකු විසින් සිදු කරන ලද වැඩි ම දවා ගැනීම් සංඛ්‍යාව වන 482 හිමි වන්නේ ද සංගාට වන අතර වැඩි ම ස්ටම්ප් කිරීම් වාර්තා කොට ඇත්තේ ද ඔහු ය. (ස්ටම්ප් කිරීම් 99ක්)

සංගාගේ ටෙස්ට් ක්‍රිකට් තරග වාර්තා

(mid-day.com)

ටෙස්ට් තරග යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක ස්වරූපය වන අතර එහි දී එදා මෙදා තුර බිහිව ඇති විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ලෙස සැලකෙන්නේ ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ය. 99.94 ක විශ්මිත දළ ලකුණු අගයකට හිමිකම් කියන බ්‍රැඩ්මන් ද්විත්ව ශතක දොළහක් රැස් කර ඇත. එය කිසිදිනක ළගා වීමට අපහසු තරග වාර්තාවක් ලෙස බොහෝ ප්‍රේක්ෂකයන් හා ක්‍රිකට් විචාරකයන් අදහස් ප්‍රකාශ කර තිබුණ ද කුමාර් සංගක්කාර ද්විත්ව ශතක එකොළහක් වාර්තා කර ඇත.

සංගා තාක්ෂණයෙන් ඉහළ ම පිතිකරුවකු ලෙස සැලකේ. (alloutcricket.com)

අන්තර්ජාතික ටෙස්ට් තරග දිවියක දී 5 වැනි වැඩිම ලකුණුලාභි පිතිකරුවා වන සංගක්කාර ඒ සදහා ලකුණු 12,400 ක් රැස් කර ඇත. එලෙස වැඩි ම ලකුණු රැස්කර ඇති මුල් පිතිකරුවන් 10 දෙනා අතරින් හොදම ලකුණු රැස් කිරීමේ ප්‍රතිශතය පවතින්නේ ද කුමාර් සංගක්කාර හට ය. එය 57.40 කි.

ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදු වූවා යැ යි සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශතකයක් වාර්තා කිරීම විශේෂී කරුණක් ලෙස සලකන අතර එකී කඩඉම ජයගැනීමට ද සංගක්කාර සමත් විය.

අන්තර්ජාතික ටෙස්ට් තරග තුළ ලකුණු 11,000 සහ 12,000 යන කඩඉම් වඩාත් ඉක්මනින් ම පසු කළ පිතිකරුවා ලෙස සංගා වාර්තා පොත් අතර සදහන් වී ඇත.

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගයක දී ඕනෑ ම කඩුල්ලක් සදහා දැනට වාර්තා කර ඇති ඉහළ ම සබදතාව සදහා ද සම හිමිකාරීත්වයක් සංගාට ඇත. 2006 වසරේ දී ඉන්දියාවට එරෙහිව 3 වන කඩුල්ල සදහා මහේල ජයවර්ධන සමග එක්ව ලකුණ 624 ක දැවන්ත සබදතාවක් පවත්වාගෙන යන ලදී. එහි දී සංගක්කාර ලකුණු 287 ක් ලබා ගැනීමට සමත් විය.

කඩුලු රකින්නකු ලෙස ඉනිමක දී වැඩි ම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරින්, ලකුණු 230 ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානය හිමි කරගෙන සිටින සංගා, දෙවැනි වී ඇත්තේ ලකුණු 232 ක් නොදැවී ලබාගෙන ඇති ඇන්ඩි ෆ්ලවර් හට ය.

දිනා ඇති සම්මාන – ඇගයීම්

(easternherald.blogspot.com)

සංගක්කාර යනු නිරන්තර ඇගයීමට හා සම්මානය පාත්‍ර වුණු ක්‍රීඩකයෙකි. මෙරට ක්‍රිකට් පමණක් නොව සමස්ත ක්‍රීඩා සියල්ල ම හා එකට ගත් කළ වුව ද ඔහු තරම් ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූවකු තවත් නැති තරම් යැ යි කිව හැකි ය.

ඔහු ලබා ඇති එකී බොහෝ සම්මාන – ඇගයීම් අතරින් වැදගත් ම කිහිපයක් මෙහි දී අප විසින් මෙසේ සදහන් කර තබන්නෙමු. වර්ෂ 2011 දී සහ 2013 දී අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයත්, 2012 දී වසරේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයත්, 2012 දී LG ජනතා සම්මානයත්, 2012 සහ 2015 වසරවල දී වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි විස්ඩන් සම්මානයත්, 2012 දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි විස්ඩන් සම්මානයත් ඔහුට හිමි විය.

Cowdrey Lecture (youtube.com)

එසේ ම ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වෙමින් සිටිය දීම සුප්‍රසිද්ධ කවුඩ්‍රි දේශනය පැවැත්වීම සදහා තෝරා ගත් එක ම ක්‍රීඩකයා වන්නේ ද සංගක්කාර ය. ඔහු දේශීය හා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහත්මා‘ ලකුණ හිමි ක්‍රිකට් කීඩකයකු ලෙස සැලකේ.

කුමාර් සංගක්කාර ටෙස්ට් දිවියෙන් සමුගන්නා දින ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාර ගන්නා මෙන් යෝජනා කරනා කිරීම ද ඔහු විසින් උපයාගෙන ඇති කීර්තියට හා ගෞරවයට කදිම සාක්ෂියක් ලෙස හැදින්විය හැකි ය.

මූලාශ්‍ර:

  1. http://www.espncricinfo.com
  2. http://www.cricbuzz.com
  3. www.bbc.com
  4. http://kumarsangakkara.lk/
  5. www.facebook.com
  6. www.youtube.com

කවරයේ පින්තුරය: ESPN Cricinfo

Related Articles