Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාත්‍යන්තරයේ නම රැඳ වූ නූතන ලක් කතුන්

එක්සත් ජාතීන්ගේ සංගමය විසින් Women in the Changing World of Work : Planet 50-50 by 2030 යන්න තේමා කර ගනිමින් මෙම වසරේ ද මාර්තු මස 8 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ අතර එයට සමගාමී ව ශ්‍රී ලංකාවේ ද කාන්තා අභිවෘද්ධිය උදෙසා නොයෙක් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වූ අයුරු අපට දැක ගැනීමට ලැබුණා.

සියවසකට පමණ පෙර මුල් ම වරට ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලද්දේ 1913 වසරේ පෙබරවාරි මස අවසන් සෙනසුරාදා දිනයේ රුසියාවේ දී වන අතර මාර්තු 8 වැනි දින පළමු වරට ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත්තේ 1914 දී යි.

(huffpostarabi.com)

මෙසේ ලොව පුරා කාන්තාවන් විසින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ මූලික පරමාර්ථය වූයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ කාන්තාවන් අනුස්මරණය කිරීම යි. 1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ අතර 1977 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 8 වැනි දින කාන්තා අයිතිවාසිකම් සහ ලෝක සාමය සඳහා වන දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවැනි වතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ දී ද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ආරම්භ කරන ලද අතර යුරෝපීය රාජ්‍යයන් හා කරට කර සිටිමින් ශ්‍රී ලාංකීය කතුන් සඳහා ද පුරුෂයින් හා සමාන ව අයිතිවාසිකම්, අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලබා දීමට විවිධ ආණ්ඩු මගින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එසේ ලබා දුන් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය නූතන ලාංකීය කාන්තාවන් කිහිප දෙනෙකු ගැන තොරතුරු යි මේ.

සිරිමාවෝ බණ්ඩාරනායක

(blog.malala.org)

1916 අප්‍රේල් 17 වැනි දින මාතලේ දිසාව වූ රත්වත්තේ දිසාවගෙන් පැවත එන උඩරට ප්‍රකට රදල පවුලකට උපන් සිරිමා රත්වත්තේ ලෝක ප්‍රසිද්ධ වූයේ පළමු කාන්තා අගමැතිනිය (සහ ආණ්ඩුවේ ප්‍රධානියා) ලෙස යි. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සමග විවාහ වන්නේ 1940 දී යි.

දෙවැනි එලිසබෙත් රැජිනගේ කිරීටය යටතේ (21 ජූලි 1960 – 25 මාර්තු 1965 සහ 29 මැයි 1970 – 22 මැයි 1972) මෙන් ම විලියම් ගොපල්ලව ජනපතිගේ පාලන සමයේ (22 මැයි 1972 – 23 ජූලි 1977) ද ඇගේ ම දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේ (14 නොවැම්බර් 1994 – 10 අගෝස්තු 2000) ද තෙවරක් ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර හෙබ වූ ඇය, හිටපු අගමැතිවරයෙකුගේ වූ ඇගේ සැමියාගේ මරණයෙන් පසු ව දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලසුන දැරුවා.

(pastbook.com)

ඇගේ පාලන සමයේ දී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදු වූ අතර සියලු ම රාජ්‍ය ආයතනයන් හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීම සහ ඒ සමග පැන නැගුණු දෙමළ ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකක්.

එසේ ම ලංකා සම සමාජ පක්ෂයන් සමග සන්ධානගත වීම, චීනය සහ සෝවියට් රුසියාව අතර සම්බන්ධතා තර කිරීම මෙන් ම ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීම ද ඒ අතර ප්‍රධාන වෙනවා. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මතු වූයේ ද ඇගේ පාලන සමයේ දී යි.

සිබිල් වෙත්තසිංහ

(methinksatnation.blogspot.com)

කුඩ හොරා, වැනියං කළු වැනීයං, මැටි ගෙදර ළමයි වැනි සොඳුරු කතා තුළින් දෙස් විදෙස් ළමා ළපටින්ගේ සිත් දිනූ සිබිල් වෙත්තසිංහ උපත ලබා ඇත්තේ 1927 ඔක්තෝම්බර් 31 වැනි දින ගාල්ලේ ගිංතොට නම් ගම්මානයේ යි. කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය වයස 17 ක් ව තිබිය දී ලේඛිකාවක් ලෙස ලංකාදීප පුවත්පතට සේවය කිරීම අරඹා ඇති අතර ඇගේ ප්‍රථම ළමා ග්‍රන්ථය වූ ‘කුඩ හොරා’ මුල් වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1957 වසරේ දී යි. ජාත්‍යන්තර වශයෙන් ද සම්මාන බොහෝමයක් සිබිල් වෙත්තසිංහට අත් කර දුන් එය මේ වන විට චීන, ජපන්, ඉංග්‍රීසි වැනි භාෂා බොහෝමයකට පරිවර්තනය වී තිබෙනවා.

ලංකාදීප පුවත්පතෙන් පසු ව ජනතා පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස ද පසු කාලීන ව සිළුමිණ, සරසවිය, Sunday Observer, Daily News වැනි පුවත්පත් ගණනාවක් සඳහා ද තම සේවය සැපයූ ඇය විසින් සිත්තම් කරන ලද ළමා කතා පොත් ගණන 200 කට අධික වෙනවා. මුනුපුරු මිනිපිරියන් පස් දෙනෙකුගේ ආදරණීය මිත්තණිය වන ඇය මේ වන විට පසු වන්නේ 89 වැනි වියේ යි.

සුසන්තිකා ජයසිංහ

(zimbio.com)

‘ආසියාවේ කළු වෙළඹ’ නමින් විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලාංකීය නාමය ලෝ තලයේ රැඳ වූයේ 2000 සිඩ්නි ඔලිම්පික් උළලේ දී මීටර් 200 දිවීමේ ඉසව්ව සඳහා වන රීදි පදක්කම දිනා ගනිමින්. ඒ සඳහා ඇය තත්පර 22.28 ක කාලයක් ගත කර ඇති අතර එය එම ඉසව්ව සඳහා වන ඇගේ පෞද්ගලික වාර්තාව ද වෙනවා. සුසන්තිකා ජයසිංහ විසින් දිනා ගන්නා ලද එම රිදී පදක්කම ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගන්නා ලද දෙවැනි ඔලිම්පික් පදක්කම වන අතර ආසියානුවෙකු විසින් කෙටි දුර දිවීමේ ඉසව්වක දී ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව ලෙස ද සැලකෙනවා.

1975 දෙසැම්බර් 17 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවක නම් ග්‍රාමයේ දී උපත ලද  ඇය දැඩි දුෂ්කරතා මධ්‍යයේ පුහුණුවීම්වලට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් අතර ඉතා මතභේදාත්මක වන ඇගේ ක්‍රීඩා දිවියේ දී ඇයට තහනම් උත්තේජක භාවිතා කරන ලදැයි පවසා තරඟ තහනමක් ද පනවා තිබෙනවා. මෙයට හේතු වී ඇත්තේ දේශපාලනික ස්ථාවරය සහ ක්‍රීඩා නිලධාරීන් සමඟ ඇති වූ ආරවුල් බව යි ඇය පවසා ඇත්තේ. විවාහයෙන් පසු ක්‍රීඩාවෙන් සමු ගත් ඇය මේ වන විට දෙදරු මවක්.

ඔටාරා ගුණවර්ධන

(commonindividuality.wordpress.com)

ශ්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරයේ ද ප්‍රසිද්ධ වෙළඳ නාමයන් වන ODEL සහ Embark හි නිර්මාතෘවරිය වන  ඔටාරා ඩෙල් ගුණවර්ධන උපත ලබන්නේ 1964 අගෝස්තු 30 වැනි දින කොළඹ දී යි. කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි සිසුවියක් වන ඇය පාසල් සමයේ දී මළල ක්‍රීඩා සහ පිහිනුම් ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝලිං ග්‍රීන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධාරිණියක් ද වෙනවා.

1990 වසරේ දී ඇය ඇරඹූ ODEL විලාසිතා සමූහය දශක දෙකක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ පොදු සමාගමක් බිහි කළ ප්‍රථම කාන්තාව වන්නේ ද ඇය යි. 2010 දී ඇමෙරිකානු ස්ටීවි සම්මාන උළලේ දී හොඳ ම කාන්තා ව්‍යවසායකයාට හිමි සම්මානය ඇයට හිමි වූ අතර 20013 දී Echelon සඟරාව මගින් ශ්‍රී ලංකාවේ බලවත් ම ව්‍යාපාරික කාන්තාව ලෙස ව ඇය ව නම් කර තිබෙනවා.

පසු කාලීන ව ඇය සත්ත්ව ශුභසාධනය සඳහා Embark සන්නම යොදා ගනිමින් අරමුදලක් ස්ථාපිත කළ අතර එහි අරමුණ හඬක් නැගිය නොහැකි සතුන් වෙනුවෙන් හඬක් සැපයීම බව යි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

ජයන්ති කුරුඋතුම්පළ

(hirunews.lk)

එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසට වාර්තා පොතට එක් වූ ජයන්ති කුරුඋතුම්පළ, ජොහාන් පීරිස් සමග 2016 මැයි 21 වැනි දින පෙරවරු 5.03 ට එවරස්ට් කඳු මුදුනට පා තැබුවා. ඇගේ එම ජයග්‍රහණයත් සමග එවරස්ට් කන්ද තරණය කළ කාන්තාවන්ගේ ලැයිස්තුවේ පෝලන්තය, දකුණු අප්‍රිකාව සහ ක්‍රොඒෂියාවෙන් පසු ව හතර වැනි ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවට යි.

1979 සැප්තැම්බර් 3 වැනි දින උපත ලැබූ ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ අදි සිසුවියක් වන අතර ඇය විසින් ශ්‍රී ලංකාවට අත් කර දුන් කීර්තිය ඇගයීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ඇයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ සන්නාම තානාපති ධූරය පිරි නමා තිබෙනවා.

රාධිකා කුමාරස්වාමි

(childrenandarmedconflict.un.org)

කලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය දැරූ රාධිකා කුමාරස්වාමි ජාත්‍යන්තර වශයෙන් වඩාත් ජනප්‍රිය වූයේ 1994 – 2003 අතර කාලය තුළ දී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියෙක් ලෙස මෙන් ම මානව හිමිකම් නීතිවේදියෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන්. එසේ ම 2006 – 2012 දක්වා ඇය දරුවන් සහ යුධ ගැටුම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලේකම්වරියක් ලෙස ද සේවය කළා.

1953 සැප්තැම්බර් 17 වැනි දින උපත ලැබූ ඇය කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර ඇය විසින් සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇයට ශ්‍රී ලාංකිකයෙකුට ලබා ගත හැකි දෙවැනි උසස් ම සම්මානය වන දේශමාන්‍ය සම්මානය පිරි නමා තිබෙනවා.

කවරයේ පින්තූරය: (srilanka.travel)

මූලාශ්‍ර: en.wikipedia.org, bbc.com, dailysports.lk, sathhanda.lk, encyteus.com

Related Articles