Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසින්ට එරෙහිව යුධ පෙරමුණ තෝරාගත් 19 වියැති සෝවියට් ස්නයිපර් සෙබළිය : රෝසා ශනිනා

1939 සැප්තැම්බර් මස පළවෙනිදා හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් ඇරඹුණු දෙවැනි ලෝක යුධ සංග්‍රාමය 1941 ජුනි මස බාබරෝසා මෙහෙයුම හරහා සෝවියට් දේශය තුලටද කඩා වැදුනා. එතැන් පටන් ජර්මන් හමුදාවේ දැඩිම ප්‍රහාරවලට ගොදුරු වූ රාජ්‍ය බවට සෝවියට් දේශය පත්වීම ආරම්භ වුනා. නාසිවාදය පරාජය කිරීමට දායක වූ හමුදාවන් ඇතුළුව සෝවියට් දේශයේ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවිතවලින් වන්දි ගෙවූ අතර ඉන් අපට හමුවන එක් වීරවරියක් පිළිබඳවයි මේ සටහන. ඇය නමින් රෝසා ශනිනා ය.

රෝසා 1944දි, 1891/30 Mosin–Nagant ගිනිඅවිය සමග[වර්ණ ගැන්වූ ඡායාරූපයකි] (rarehistoricalphotos)

ළමා කාලය

රෝසා උපත ලබන්නේ 1924 අප්‍රේල් මස තුන්වනදා රුසියාවේ ආර්කන්ගෙල්ස්ක් ඔබ්ලාස්ටයේ (Arkhangelsk Oblast) බග්දනොව්ස්කි (Bagdanovskoy) හි සමුහ ගොවි ගම්මානයකයි. ඇගේ මව ඇනා එම ගොවි ගම්මානයේ කිරි ගව රැකියාවක නිරත වූ අතර පියා යේගාර් පළමු ලෝක යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කර ආබාධයට ලක්වූ අයෙකි.

අගේ පවුලේ තවත් දරුවන් දස දෙනෙක් වූ අතර ඉන් තිදෙනෙක් හදාවඩා ගැනීමට ගත් දරුවන්ය. රෝසා සිය අධ්‍යාපනය අරඹන්නේ ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයේම යෙඩ්මා (Yedma) හි රජයේ පාසලෙනි. වසර හතරකට පසුව බෙරෙස්නික් (Bereznik) හි සිය නැන්දනිය සමග ජිවත්වන අතර අධ්‍යාපනය අතරතුර ගොවිපලක රැකියාවකද නිරත වනවා.

මුලික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ද්විතියික අධ්‍යාපනය සාහිත්‍ය ඔස්සේ හැදෑරීමට ඇයට​ අවශ්‍ය වුවත් දෙමාපියන් ඊට එකඟ නොවීම නිසා නිවසින් පලායනවා. රෝසා බොහෝ දුර ඇවිද ගොස් කොනෝෂා (Konosha) ගම්මානයෙන් ආර්කන්ගෙල්ස්ක් Arkhangelsk වෙත ගමන් කරනවා. එහිදී ඇය ජීවත්වන්නේ ඇගේ සොහොයුරෙකු වූ ෆියදෝර් (Fyoder) සමගයි.

සොහොයුරා Fyoder Shanin (rozasdiary)

නගරයේ ද්විතියික පාසල් අධ්‍යාපනය සඳහා තේරීපත්වන තුරුම අගේ වගකීම් දරන්නේ ඔහුයි. අධ්‍යාපනය ලබන කාලයේදී එය සෝවියට් රජය විසින් දරනු ලැබීම සෝවියට් අධ්‍යාපන ක්‍රමයේ අංගයක් ලෙස පත්ව තිබුණි.

රෝසා ශිෂ්‍යාවක ලෙස Arkhangelskහිදී (rozasdiary)

ගිණි අවිය තෝරා ගනියි

1941 ජුනි 22 දින හිට්ලර්ගේ බාබරෝසා මෙහෙයුම සමග සෝවියට් දේශයට දැවැන්ත යුද්ධයකට මුහුණ දීමට සිදු වුණා. එය සෝවියට් ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. මේ නිසා අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක නිරතවීමට රෝසාට සිදු වුනා. ඇය උදැසන ඉගෙනීමත් සවස ඉගැන්වීමටත් සඳහා කාලය වෙන්  කළා.

මේ අතර ඇගේ එක් සොයුරෙකු වූ මිහායිල් ජර්මන් හමුදා විසින් සිදුකළ​ ලෙනින්ග්‍රාඩ් (වර්තමානයේ ශාන්ත පිටර්ස්බර්ග්) වටලෑම අතරතුර​ 1941 දෙසැම්බර් මසදී මිය යනවා. ඇගේ තවත් සොයුරන් දෙදෙනෙකුද පසු කාළයේදී යුද්ධය විසින් බිලිගනු ලබනවා.

සිය පවුල, ජනතාව පත්ව ඇති ව්‍යසනය නිසා යුද පෙරමුණ තෝරා ගැනීමට රෝසා තීරණය කරනවා. නමුත් එය මුලදී සාර්ථක වන්නේ නැහැ. කාන්තාවන් යුද්ධය සඳහා තවමත් සුදානම් නැතිවබ බලධාරීන් පවසනවා. ඇය විවිධ හමුදා නිලධාරින් හමුවී ඉල්ලීම් කලත් අවසන් තීරණය ඇයට සුභදායි පුවතක් වුයේ නැහැ. ඇය මේ වනවිට නාසීන් සමග යුද වැදීමට දැඩි ලෙස අධිෂ්ටාන සහගතව බලා සිටියා.

පසුව කාන්තාවටද යුද්ධය සඳහා අවසර හිමිවනවා. රෝසාද ඒ අනුව යුද හමුදාවේ ලියාපදිංචි වනවා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 19 සැපිරුනා පමණයි. ඇය පුහුණුව ලබන්නේ Vsevobuch මුලස්ථානයේ මධ්‍යම කාන්තා ස්නයිපර් ඒකකයෙදියි. වයස අවුරුදු 20දි රෝසා පුහුණුව හමාර කර යුද සේවය සඳහා තුන්වන බෙලොරුසියානු පෙරමුණේ, 184 වැනි රයිෆල් බලකායේ ප්‍රධානියා ලෙස පිටව යනවා.

ස්නයිපර් පුහුණු පාසලේදී 1943/12/24 (rozasdiary)

අති දක්ෂ ස්නයිපර් සෙබළියක්

රෝසාගේ උනන්දුව මෙන්ම ඇය දක්ෂතාවයෙන්ද ඉදිරියෙන්ම සිටියා. ඇය නිවැරදි ඉලක්ක ලබා ගැනීමේ හැකියාවට ඇය ඇගයුමට ලක්වූ අතර දුර සතුරු කණ්ඩායම් පිටින් ඉලක්කයට හසු කරගැනීමට සමත්කම් දක්වන ඇය යුගල ප්‍රහාර එනම් ක්ෂණිකව දෙවරක් දුරින් සිටින සතුරාට වෙඩි තැබීමේ හැකියාවද ප්‍රගුණ කර සිටියා.

rarehistoricalphotos

1944දී කැනේඩියානු පුවත්පතක් ඇයව හැඳින්වුයේ, ‘නැගෙනහිර ප්‍රශියාවේ නොපෙනෙන භීතිය’ (the Unseen terror of East Prussia) ලෙසයි. ඇය සෝවියට් ඉතිහාසයේ ප්‍රථම වරට Order of Glory සම්මානයෙන් පිදුම් ලද සෙබළිය මෙන්ම ප්‍රථමවරට තුන්වන බෙලොරුසියානු පෙරමුණේ සටන් කල සෙබලියද වනවා.

රෝසාට හිමිවු ධෛර්යවත් සෙබළිය සදහා සහතිකය (rozasdiary)

වරක් 1138 වන රයිෆල් රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියාව සිටි මේජර් Degtyarevගේ සටහන් අනුව 1944 අප්‍රේල් 6ත් 11 ත් අතර රෝසා ජර්මන් සෙබළුන් 11කගේ දිවි තොර කිරීමට කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ප්‍රහාර මධ්‍යයේ  සමත් වනවා. ඇයට දක්ෂ සහ නිර්භීත සෙබළියක් ලෙස ඇගයුම් හිමිවන අතර ජුනි මස 9 වන දින Unichtozhim Vraga සෝවියට් පුවත්පතේ මුල් පිටුවේ ඇගේ ඡායා රුපයක්ද පළ කරනු ලබනවා.

1944 බෙලාරුස්හි Vitebsk පළාතේ Merzlyakov ගම්මානයේදී (rarehistoricalphotos)

රෝසාගේ ලිපි

රෝසා විසින් විවිධ අවස්තාවලදී ලියු ලිපි අතුරෙන් විශේෂ ලිපි දෙකක් මෙහිදී උපුටා දක්වමු. ඇත්තෙන්ම, කාන්තාවන් යුද්ධය සඳහා කැඳවා තිබුනත් අත්‍යවශ්‍ය අවස්තාවන් හැරුනුකොට ඔවුන් යුද පෙරමුණේ නොතබන ලෙසයි ඉහලින් උපදෙස් ලැබී තිබුනේ. නමුත් මෙය රෝසාගේ කනසල්ලට හේතු වුනා. කඳවුර වෙනුවට යුද පෙරමුණට ඇය ආශාවක් දැක්වුවා. වරින් වර යුද පෙරමුණේත් කඳවුර තුලත් රැඳීමට සිදුවීම පිළිබද ඇය සතුටක් දැක්වුයේ නැහැ. කඳවුරෙන් මිදී පෙරමුණට යාමට ඇය සැමවිටම උත්සහ කළා.

පියතෝර් මොල්චනොව් (Pyotr Molchanov) වෙත, 1944 ජුලි 29

කරුණාකර මෙම ලිපිය ඉහල පරිපාලනය වෙත යොමුකර මා හට උපකාර කරන්න. යුද පෙරමුණේ අපේ සටන් සගයන් සමග එක්ව නාසීන් විනාශ කර දැමීමට මට ඇති උනන්දුව ඔබ දන්නව නම්. මෑතකදී මගේ සගයින් සිව් දෙනෙක් මියගොස් එක් අයෙක් තුවාල ලැබුවා. ඔවුන්ට යුක්තිය ඉෂ්ට කිරීමට මට අවශ්‍යයි. ඔබ ඉතාමත් කාර්යබහුල අයෙක් බව දනිමි. මෙය වෙනත් බලධාරියෙක් අතට හෝ පත්කරන්න.

පියතෝර් මොල්චනොව් (Pyotr Molchanov) වෙත, 1944 අගෝස්තු 31

ස්තුතියි. අවසානයේ නැවතත් අපි යුද පෙරමුණේ සටන් කරනවා. අපි බොහොම දක්ෂ විදිහට සටන් කරමින් ඉන්නවා.

rarehistoricalphotos

රෝසාගේ දින පොතින්

දින පොත ලිවිම අරඹන්නේ 1944 ඔක්තෝබර් මසදීය. පහතින් පලවන්නේ ඉන් තෝරාගත් සටහන් කිහිපයකි.

1944 ඔක්තෝබර් 25 – මිතුරියක් සිටීම හැමවිටම වටියි. සශා(Sasha) මම ඔයත් එක්ක ඉන්නවා. මා ඔබ සමග හුවමාරු කරගන්න සියල්ල මගේ හදවතේ රැඳුනු දේයි.

1944 නොවැම්බර් 05 – බොහෝ කාලයක් ලිවිම මගහැරුනා. යුද පෙරමුණේ සිටි නිසා ඒ සඳහා කාලයක් සොයාගැනීමට නොහැකි වුනා. සෝවියට් දේශයේ වීරයකු වන ගුවන් නියමු ශෙව්චෙන්කෝගේ සහෝදරයා නිකොලායි ශෙව්චෙන්කෝ කාලතුවක්කු අංශයේ ලුතිනන්වරයෙක්. මම ඔහුට ඇත්තටම කැමතියි. ඔහු මාත් එක්ක ආදරෙන් ඉන්නේ. එත් ඔහු ඒ තරම් උස නැති එකයි ගැටළුව.

1944 නොවැම්බර් 18 – මට මතකයි නිකොලායිව මුලින්ම හමු වූ දිනය. ඇයි මට ඔහුව ප්‍රතික්ෂේප කරන්න​ ධෛර්යයක් තිබ්බෙ නැත්තේ? එදා බොහොම සීතලයි. මට උදව් අවශ්‍ය වුනා. ඔහු මට උදව් කළා. දැන් ඔහු මට කැමතියි. මමත් හිතන්න​ පුරුදු කරගෙන ඉන්නවා මම ඔහුට ගරු කරනවා කියල විතරක් නෙමේ, ඔහු නොමැති විටදී පාලුයි කියලත්. ඇයි මම ඔහුට ආදරේ හිතෙන විදිහට හිතන්න​ පුරුදු කරගත්තේ? මොකද, බ්ලොකින්ගෙන් පස්සේ මට වෙන කවුරුත් ගැන හිතන්ඩ පුළුවන් කියල මම හිතන්නෙ නෑ.

මිතුරිය සශා සමග (rarehistoricalphotos)

මරණය

පිතෘ භූමියත් සිය ජනතාවත් වෙනුවෙන් අභිතව නාසිවදින්ට එරෙහිව සටන් කළ රෝසා ශනිනා 1945 ජනවාරි 27 දින ක්‍රියාන්විතය අතරතුර ඝාතනයට ලක්වනවා. ඒ වයස අවුරුදු 21ක් වත් නොවූ තරුණියක් ලෙසයි. ඒවන විට ඇය නිල වශයෙන් තහවුරු කල නාසි ඝාතන 59ක් සිදු කර තිබුනා. ඇගේ මිතුරිය සශා(Sasha) ද  පෙබරවාරි මස 26 දින ඝාතනයට ලක්වනවා.

රෝසාගේ අවසන් ඡායාරුපය 1945 ජනවාරි 1 (rarehistoricalphotos)

ඇගේ දේහය පුර්ණ හමුදා උත්තමාචාර සහිතව නැගෙනහිර ප්‍රශ්‍රියාවේ Richau හි Ilmsdorf ගම්මානයේදී භූමිදානය කරනු ලබනවා.

රෝසාගේ මරණ සහතිකය

රෝසා ශනිනා යනු පරාර්ථය වෙනුවෙන් පෙරට පැමිණි ලක්ෂ ගණනක් වූ සෝවියට් සෙබල සෙබළියන්ගෙන් එක් වීරවරියක් බව අවසානයේ සටහන් කරමු.

මුලාශ්‍ර:

rozasdiary.com

http://rarehistoricalphotos.com/roza-shanina-1945

කවරයේ පින්තුරය: rarehistoricalphotos

Related Articles