Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙලොව ඇති හොඳම වර්ණය වන්නේ ඔබට වඩාත් ගැලපෙනම වර්ණයයි

ඇය තම නිර්මාණශීලීත්වය තුළින් කාන්තා විලාසිතා ලෝකය සහමුලින්ම වෙනස් කරන්නට සමත්වුණ චරිතයක්. ගාබ්‍රියෙල්ලා ෂැනල්, එහෙමත් නැත්නම් කොකෝ ෂැනල් ලෙස විලාසිතා ලෝකය තුළ නමක් රැන්දූ ඒ පෙරළිකාර කාන්තාව ගැනයි මේ කතාව.

මව්පිය සෙනෙහස අහිමි වූ ෂැනල්

ෂැනල් උපත ලැබුවෙ 1883 අගෝස්තු 19 වැනිදා ප්‍රංශයේදි. ඇගේ පියා ගෙයින්-ගෙට ගිහින් භාණ්ඩ වෙළඳාම් කළ වෙළෙන්දෙක්. අවාසනාවන්ත විදියට ෂැනල් සය වැනි වියේ පසුවෙද්දී  ඇගේ මව මියයනවා.

එතැන ඉඳන් ඇගේ ජීවිතය ගත වෙන්නෙ තවත් කටුක විදියට. පුංචි ෂැනල් ඇගේ පියා විසින් අනාථ නිවාසයකට භාර කරනවා. ඉන් පස්සේ ජීවිතේ කවදාවත් ඇයට ඇගේ පියාව මුණ ගැහෙන්නෙ නැහැ. පවුලෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය කුඩා කාලයේදිම අහිමි වීම නිසා ෂැනල් විවාහ වීමට කැමැත්තක් නොදැක්වුවත් ඇය පසු කාලීනව පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟම ප්‍රේම සම්බන්ධතා පවත්වනවා.  

අනාථ නිවාසයෙන් එපිට

ෂැනල් තරුණ වියේදී. (cocktailsandcrinolines.wordpress.com)

කුඩා ෂැනල් මහන්න ගොතන්න ඉගෙන ගත්තෙ ඈ හැදී වැඩුණු අනාථ නිවාසයේදි. හරිම ආසාවෙන් මහන්න ඉගෙන ගන්න මේ පුංචි ගෑණු දරුවා අනාගතේ දවසක මුළු විලාසිතා ලෝකයම වෙනස් කරාවි කියල නම් කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති.

ඇය අවුරුදු දහඅටේදි අනාථ නිවාසයෙන් ඉවත්වෙනවා. කාලයක් සමාජ ශාලාවල ගායිකාවක් ලෙස කටයුතු කරන අපේ කතා නායිකාව බලන්න ආපු සොල්දාදුවො ඇයට “කොකෝ” ලෙස ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. ගාබ්‍රියෙල්ලා ෂැනල්, කොකෝ ෂැනල් වුණේ ඒ විදියට.

විලාසිතා ලොව වෙත

ෂැනල් නිර්මාණය කළ සරල කාන්තා හිස් වැසුම් විලාසිතාවක්. (bijouvanness.com)

විසි වන වියේදී ෂැනල් ධනවත් හමුදා නිලධාරියෙක් වන එතියන් බෙල්සන් සමඟ සබඳතාවයක් ඇති කර ගන්නවා. මොහු ෂැනල්ට ප්‍රංශයේ කාන්තා ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න උපකාර කරනවා. ඇය වෙනස්ම ආකාරයකට කාන්තා හිස් වැසුම් නිර්මාණය ආරම්භ කරන්නෙත් මේ කාලයේදි.

නමුත් ෂැනල් වසර තුනකට වඩා බෙල්සන් වෙත රැඳෙන්නෙ නැහැ. ඈ ඔහුට වඩා ධනවත් ඔහුගේම මිතුරෙක් වන ඉංග්‍රීසි ජාතික ආතර් බෝයි චැපල් එක්ක හාදකමක් ඇති කර ගන්නවා. මේ සබඳතාවය 1918 දී චැපල් විවාහ වූ පසුවත් වසර නවයක් පුරාවට පවතිනවා.

1910 දී බෝයි චැපල් ගේ සහයෝගය ඇතුව ෂැනල් ඇගේ පළමු සාප්පුව විවෘත කරනවා. මුලින්ම ඇය හිස් වැසුම් අලෙවිය පටන් ගත්තත් කාලයත් සමඟම කාන්තා ඇඳුම් නිර්මාණයටත් යොමු වෙන අතරම තවත් සාප්පු දෙකක් විවෘත කරනවා. ඇය නිර්මාණය කරන ලද කාන්තා ජර්සි විලාසිතාවන් ගැණුම් කරුවන් අතර ඉතා ජනප්‍රිය වෙනවා. සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා කාන්තාවන් වෙනුවෙන් සැහැල්ලු ඇඳුම් නිර්මාණය කළ පළමු විලාසිතා නිර්මාණ ශිල්පිණිය ඇයයි.

ෂැනල් සහ චැපල්. (www.pinterest.com)

ෂැනල්ගේ ජීවිතයට අතිශය දරුණු ලෙස බලපෑ එක් කාරණයක් තමයි 1919 දී වාහන අනතුරකින් සිදු වුණු බෝයි චැපල්ගේ මරණය. ඒ සිදුවීමෙන් වසර 25කට පසුව ෂැනල් ඇගේ මිතුරියකට පවසා තිබෙනවා “ඔහුගේ මරණය මට දරුණු පීඩාවක් ගෙන දුන්නා. චැපල් අහිමි වීමත් එක්කම මට සියළු දේම අහිමි වුණා. මම සැබෑ සතුටක් ගෙන දුන්නා කියලා හිතුව දේවල් වලින් ඇත්තටම සතුටක් ලැබුණෙ නෑ ඉන් පස්සෙ.” චැපල් ගේ මරණය ඇයට කෙතරම් තදින් බලපෑවද කියන කාරණය විසිපස් වසරකට පසුව ඇය කළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

සුවඳ විලවුන්

Chanel No, 05 සුවඳ විලවුන් නිශ්පාදනය. (scentandvision.wordpress.com)

ක්‍රම ක්‍රමයෙන් දියුණු වන ඇගේ ව්‍යාපාරය 1920 දී තවත් ඉහළ තලයකට ඔසවා තබන්නට ෂැනල් සමත් වෙන්නෙ ඇගේ ප්‍රථම සුවඳ විලවුන් නිශ්පාදනය වන “Chanel No, 05” ලෝකයට හඳුන්වා දීමෙන් පසුවයි.

ඇයට අනුව නම් “සුවඳ විලවුන් කියන්නෙ විලාසිතාව තුළ තිබෙන නොපෙනෙන, අමතක කළ නොහැකි, මූලිකම අංගයක්.” ඉන්පසු ෂැනල් ගේ පෙම්වතා වන්නේ වර්තයිමර් නැමැත්තෙක් වන අතර ඔහු ඇගේ ව්‍යාපාරික සඟයා බවටද පත් වෙනවා. 1925 දී කොලර රහිත ජැකට්ටුව සහ ශරීරයේ හැඩය මනාව ඉස්මතු වන ලෙස නිර්මාණය කරන ලද සාය හඳුන්වා දුන් අතර ඒ දිනවල ෂැනල්ගේ මෙම විලාසිතා තරමක් විප්ලවකාරී වුණා.

ඇය කාන්තාවන් සඳහා නිර්මාණය කළ ඇඳුම් විලාසිතා පිරිමි විලාසිතා වලට තරමක් සමාන, අනවශ්‍ය විච්චූරණ වලින් තොර සරල නමුත් ආකර්ශනීය නිර්මාණ ලෙස ගැණුම් කරුවන්ගේ සිත් තුළ තැන්පත් වුණා. බොස්තොරොක්ක සහ ශරීරය අනවශ්‍ය ලෙස සිර වෙන, ඉහිල් බවක් නොමැති ඇඳුම් විලාසිතා වලට සමු දෙන්නට කාන්තාවන්ට හැකි වුණේ ෂැනල්ගේ නිර්මාණශීලිත්වය නිසයි.

සම්ප්‍රදායන් කළඹවන ඇගේ තවත් නිර්මාණයක් ලෙස “කෙටි කළු ගවුම් විලාසිතාව” හඳුන්වන්නට පුළුවන්. දුක්ක දෝමනස්සයන් හා නිතර බැඳී පවතින කළු වර්ණය සුන්දර සවස් යාමයකට කෙතරම් ආකර්ශනීය ලෙස ගලපන්න හැකියි ද කියලා මේ හිතුවක්කාර විලාසිතා නිර්මාණ ශිල්පිණිය ලෝකෙට පෙන්නලා දුන්නා. මීට අමතරව සාහිත්‍යයට දැඩි ඇල්මක් දැක්වූ ෂැනල් බැලේ රංගනයන් සඳහාද ඇඳුම් නිර්මාණය කර තිබෙනවා.

ඉගෝර් ස්ටැවින්ස්කි නම් රචකයෙකු සමඟ ඈ පෙම් සබඳතාවයක් පැවැත්වූ බවත් සඳහන්.

ෂැනල් වංශාධිපතියෙකු සමඟත් දීර්ඝ කාලීන සබඳතාවයක් පැවැත්වූ අතර ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඇය කියා සිටියේ ඕනෑ තරම් ආදිපාදවරියන් සිටිය හැකි මුත් ෂැනල් නමින් හිඳින්නේ එක් කාන්තාවක් පමණක් බවයි. එමෙන්ම දෙවන ලෝක යුධ සමයේ දී හෙදියක් ලෙස කටයුතු කළ ඇය නාසි යුධ සෙබලෙක් සමඟත් හාදකමක් පවත්වාගෙන ගිහින් තියෙනවා.

කාන්තාවන්ට පිරිමි විලාසිතා

1954 දී කාන්තාවන් සඳහා නාවික උඩු කබා සහ බෙල්-බොටම් නිර්මාණය කරමින් ෂැනල් තවතවත් තමන්ගෙ අනන්‍යතාවය ඔපමට්ටම් කර ගන්නවා. නවතම ලොම් කබා විලාසිතා ඇතුළු මේ නිර්මාණශීලී ඇඳුම් එකතුව හොලිවුඩයේ සුපිරි තාරකාවන් ගෙ සිත් සොරා ගන්න සමත් වෙනවා.

විචාරකයින්ගේ විවේචන අඩුවක් නැතුව ලැබුණත්, හරිම සුන්දර සැහැල්ලු මේ ඇඳුම් විලාසිතා බොහොම ඉක්මණින් තරුණ නෝනලාගෙ හදවතේ තැන්පත් වෙන්නෙ ආයෙ උදුරලා විසි කරන්න බැරි විදියට.

අසූ අට වෙනි වසර

ෂැනල් සුවඳ විලවුන් වෙළඳසලක් (www.pinterest.com)

ඇය 1971 ජනවාරි 10 වෙනිදා මෙලොවින් සමු ගත්තා. කිසිදාක විවාහ නොවූ මේ නිර්මාණශීලි, හිතුවක්කාර ගැහැණිය ඇගේ ජීවිතයේ අවසාන දින වලත් නිර්මාණ කටයුතු වල නියැලුණා. ඇගේ මරණයෙන් වසර කිහිපයකට පසුව 1982 දී කාල් ලැජෆීල්ඩ් නමැත්තා ෂැනල්ගේ ව්‍යාපාරය පාලනය ආරම්භ කරමින් “ෂැනල්” නාමය ඉදිරියට ගෙන යාමට අඩිතාලම දමනවා. ෂැනල් සන්නම අද වන විට මිලියන සිය ගණනින් ලාබ ලබමින් ලොව පුරා ඉහළ පැලැන්තියෙ කාන්තාවන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. කාන්තා හිස් වැසුම්, සුවඳ විලවුන්, ඇඳුම් විලාසිතා වගේම අත් බෑග් සහ පාවහන්ද අද වන විට මේ වෙළඳ නාමය යටතේ නිශ්පාදනය වෙනවා.

ඇත්තටම බොහොම කටුක අතීතයක් හිමි වුණු, දෙමාව්පිය සෙනෙහසක් හරිහැටි නොලැබුණු, දිළිඳු දැරියක් විදියට ළමා කාලය ගත කළ ෂැනල්ගෙ විලාසිතා සුපිරි පැලැන්තියෙ ධනවත් කාන්තාව ඉලක්ක කරගෙන නිර්මාණය වුණු ඒවා. සාමාන්‍ය ආදායමක් තියෙන අයෙකුට ළඟා වෙන්න බැරි තරමට ඒවායේ මිල අධිකයි. අනවශ්‍ය විසිතුරු කිරීමි වලින් තොර, සැහැල්ලු, සරල සහ වැදගත් විලාසිතා එකතුවක් හඳුන්වා දුන්නු ඇය “කාන්තා විලාසිතාව” නව මානයකට රැගෙන යන්න මූලික අඩිතාලම දැමුවා.  

මූලාශ්‍ර: biography.com, lifetimetv.co.uk

Related Articles