චරිත

විනාඩි 4 ක කියවීමක්

අධිරාජිණියක් ග්‍රහණයට ගත් අද්භූත පූජකයා – රස්පුටින්

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ග්‍රිගෝරි රස්පුටින් සාර් රාජ්‍ය පාලන සමයේදී රුසියාවේ ජීවත් වූ අද්භූත පූජකයෙක්. එමන්ම රුසියාවේ අවසන් සාර් (අධිරාජයා) වූ දෙවන නිකොලස්ගේ පාලන සමයේ අවසන් අවුරුදුවල ඔහු රටේ පරිපාලනයට සෘජුවම ඇඟිලි ගසන්නට වුණා. අධිරාජිණිය සමඟ වූ ඔහුගේ ගනු දෙනු, ඔහුගේ විවිධ ලිංගික සබඳතා යනාදිය පිළිබඳ කටකතා එවක රුසියාවේ සාමාන්‍ය දෙයක් වුණා. සමහරුන් විශ්වාස කළේ රස්පුටින් සිය රට ව්‍යසනයට ගෙන යන බවයි. මෙය ඔහුගේ ඝාතනයටත් හේතු වුණා.

රස්පුටින් උපන්නේ 1869 ජනවාරි 21 වනදා සයිබීරියාවේ ටොබොල්ස්ක් ප්‍රදේශයේ ටුරා ගඟබඩ පොක්‍රොව්ස්කෝයේ ගම්මානයේ යි. ඔහුගේ පියා යෙෆිම් ගොවියකු වූ අතර රුසියානු ඕර්තඩොක්ස් පල්ලියට සම්බන්ධ වී සිටියා. රස්පුටින්ගේ පවුලේ දරුවන් අට දෙනෙක් හෝ නව දෙනෙක් වුණා.

ඔහුගේ කුඩා කාළය සහ තරුණ කාළය පිළිබඳ හරි හැටි විස්තර වාර්තා වෙන්නෙ නැහැ. පසු කාලීනව රස්පුටින් අත් කරගත් නරක ප්‍රසිද්ධිය හේතුවෙන් ඔහුගේ මුල් ජීවිතය පිළිබඳව ද විවිධාකාර කතා නිර්මාණය වී තිබෙනවා. ඔහු මත්පැන්වලට ඇබ්බැහි වූ බව ද , සුලු සුලු සොරකම්වල නිරත වූ බව ද චෝදනා නැගිල තිබෙනවා.

1887 දී රස්පුටින් විවාහ වුණා . ඔහුගේ බිරිය වූයේ ප්‍රස්කොව්‍යා ඩුබ්‍රොවිනා නම් ගොවි කාන්තාවකි. ඔවුනට දරුවන් හත් දෙනෙකු ලැබුණ අතර ඉන් සිව් දෙනෙකු කුඩා කළම මරණයට පත් වුණා. 1895 දී උපන් දිමිත්‍රි, 1898 දී උපන් මාරියා සහ 1900 දී උපන් වර්වාරා දිගු කළක් ජීවත් වූ දරුවන් වුණා.

ආගමට නැඹුරු වීම

රස්පුටින් සිය අනුගාමිකයන් පිරිසක් සමඟ (Public Domain)

1897 දී රස්පුටින් වන්දනා ගමනක් සඳහා පිටත් වුනා . ඔහු මෙසේ ගමෙන් පිටව යාමට හේතුව ද පැහැදිලි නැහැ. ඇතැම් වාර්තා අනුව එසේ ගමෙන් පිටමං ව ගියේ යම් කිසි සොරකමක් සඳහා බලධාරීන් විසින් ඔහු සොයන්නට වූ නිසයි.

මේ අතර තවත් මතයකට අනුව ඔහු වන්දනා ගමනක් සඳහා පොළඹවනු ලැබූයේ සිය ගම් ප්‍රදේශය අසළ වූ ඕර්තඩොක්ස් තාපසාරාමයකට ගිය ගමනක් මගින්. සත්‍යය කුමක් වුව ද රස්පුටින් සැළකිය යුතු කාළයක් ගමෙන් පිටව සිටි අතර ඔහු එම කාළය තුළ රුසියාවේ පමණක් නොව ග්‍රීසියේ ඒතොස් තාපසාරාම සංකීර්ණයේද සංචාරය කළ බව මතයක් තිබෙනවා.

රස්පුටින් යළි සිය උපන් ගමට පැමිණි පසු තමන් වටා කුඩා අනුගාමිකයන් පිරිසක් එකතු කරගත්තා. ඔවුන් ආගමික රැස්වීම ද පැවැත්වූ අතර මේ පිළිබඳ ගමේ පූජකයා සහ ඇතැම් වැඩිමහල්ලන් එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැහැ. මේ අතර රස්පුටින් පිළිබඳ විවිධ කටකතා ද පළ වන්නට වුණා. ඔහුගේ ආගමික රැස්වීම්වලට පෙර අනුගාමිකයන් විසින් ඔහුව දෝවණය කරන බවත් ඔහු පුද්ගලයන් කිහිප දෙනකු එක්ව සිදු කරන ලිංගික ක්‍රියාකාරකම් සිය චාරිත්‍රයක් ලෙස සිදු කරන ආගමික කණ්ඩායමක සාමාජිකයකු බව ද මෙම කට කතා අතර වුණා.

මෙම කතාවල ඇත්ත නැත්ත කෙසේ වෙතත්, 1900 පමණ සිට රස්පුටින්ගේ ප්‍රසිද්ධිය සයිබීරියාවේ විවිධ ප්‍රදේශවල පැතිරුණා. එමෙන්ම ඔහු කසාන් සහ සාන්ත පීටර්ස්බර්ග් වැනි නගරවල සංචාරය කළ අතර එමගින් ද ඔහුගේ නම ප්‍රචලිත වුණා.

රජ පවුල හා සමීප වීම

අධිරාජිණිය ඇගේ දරුවන්, ඔවුනගේ ආයම්මා සහ රස්පුටින් සමඟ (Public Domain)

අවස්ථා කිහිපයකදී ම ප්‍රධාන නගරවලට කළ සංචාරයන් අතරතුර දී රස්පුටින් ඉහළ පැළැන්තියේ පිරිස් සමඟ සබඳතා ඇති කරගත්තේය. මේ අතර කාන්තාවන් ප්‍රමුඛ විය . ඔහු පූජකයකු වූ හෙයින් ආගම දහමට ලැදි කාන්තාවන් සමඟ සබඳතා ගොඩ නගා ගැනීමට රස්පුටින්ට හැකි වූ අතර ඇතැම් කාන්තාවන් සමඟ ලිංගික සබඳතා ද පැවැත්වූ බව කියනු ලැබේ.

සාන්ත පීටර්ස්බර්ග් නගරයට ගිය ගමන්වලදී ඔහුට මිලිට්සා සහ ඇනස්ටාසියා කුමරියන් මුණ ගැසුණි. ඔව්හු එවක මොන්ටිනීග්‍රෝ රාජ්‍ය පාලකයාගේ දියණියන් වූ අතර ඔවුනගේ සැමියන් රුසියානු රජ පවුලට සම්බන්ධ අය වූහ . රස්පුටින් සාර් රජපවුල හඳුනා ගත්තේ ඔවුන් මගිනි.

දෙවන නිකොලස් සාර්වරයාගේ එකම පුත්‍රයා වූ ඇලෙක්සේයි රුධිරය කැටි නොගැසීමේ හිමෝෆීලියා රෝගයෙන් පෙළුණා. එම රෝගය සුවපත් කිරීමට කිසිවකුට නොහැකි වුණා. රස්පුටින් රජ පවුල හා සම්බන්ධ වන්නේ එම රෝගයට ප්‍රතිකාර කිරීමට ය . ඔහුට යාඥා කිරීම මගින් රෝග සුව කළ හැකි බවට ද කටකතා පැවතුණා. කිනම් හෝ ආකාරයකින් රස්පුටින් කුමාරයාගේ රෝගී තත්ත්වය පාලනය කිරීමට සමත් වුණා.

රස්පුටින් කුමාරයාගේ රෝගය සුව කිරීම පිළිබඳ විවිධ මත පවතිනවා. නමුත් ඔහු එය සිදු කළේ කොහොමදැයි තවමත් හරි ආකාරව පැහැදිලි නොවූ අභිරහසක්.

මේ සමඟම ඔහු රජ පවුලට බෙහෙවින් සමීප වුනේ නිරායාසයෙන්ම වගේ. දෙවන නිකොලස් සාර්වරයා ද රස්පුටින් කෙරෙහි විශ්වාසවන්ත වූ අතර ඇලෙක්සැන්ඩ්‍රා සාර්වරිය සහ ඔහු අතර ඇති වූයේ කිට්ටු සම්බන්ධතාවයකි. ඒ සමඟම ඔහුට විශාල දේශපාලන බලයක් ලැබුණා.

රාජකීය යුවළ සමඟ ඔහු හැසිරුණේ අතිශයින්ම පූජනීය අයකු ලෙස ය . රස්පුටින් සතු වූ දේශපාලන බලය හේතු කොටගෙන විවිධ පුද්ගලයෝ සිය අවශ්‍යතා උදෙසා ඔහු වෙත ළං වූහ . මේ අයගෙන් ඔහු විවිධ ඵල ප්‍රයෝජන ගත්තා. විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් ඔහුට වසඟ වූ බව සඳහන් වෙනවා. රස්පුටින් විවිධ දේ ඉටු කර දෙන බව පවසමින් ප්‍රභූ කාන්තාවන් ගෙන් ලිංගික අල්ලස් ගත් බව ප්‍රකට කරුණක්. එමෙන්ම ඔහු විවිධ අයගෙන් මූල්‍යමය අල්ලස් ලබාගත්තා.

ඝාතනය

1914 දී පළමු ලෝක යුද්ධය ඇරඹුණා. රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවල් ජර්මනිය , ඔස්ට්‍රියාව, තුර්කිය සහ බල්ගේරියාව යන රටවල් සමඟ මෙහිදී යුද වැදුණා. රුසියාව යුද්ධයට සම්බන්ධ වීම පිළිබඳ රස්පුටින් සිටියේ කැමැත්තකින් නොවේ. ඔහු යුධ විරෝධියකු වීම එයට හේතුව වුණා .

කෙසේ නමුත් ඔහුගේ විරුද්ධවාදීන් සැක කළේ අනෙකක්. ජර්මන් ජාතික කාන්තාවක වූ අධිරාජිණිය සහ රස්පුටින් යන දෙදෙනාම ජර්මන් ඒජන්තයින් බව ඔවුන් සැක කළා.

රස්පුටින් ඝාතනයේ නායකත්වය ගත් යුසුපොව් (Public Domain)

මේ අතර සාර්වරයා යුධ පෙරමුණේ වැඩිපුර කල් ගත කරන්නට වුණා. ඒ කාළයේ අගනුවර පාලන කටයුතු සැළකිය යුතු ප්‍රමාණයක් කෙරුණේ අධිරාජිණිය අතින්. රස්පුටින් සහ ඇය අතර වූ මිත්‍රත්වය හේතුවෙන් ඔහු රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන්න පටන් ගත්තා.

යුද්ධය රුසියාවට හිතකර විදියට ගලා ගියේ නැහැ. රටේ වැරදි බොහොමයකට රස්පුටින් වග කිව යුතුය කියන අදහසක් විරුද්ධවාදීන් තුළ ඇති වුණා. එයින් පිරිසක් ඔහු ඝාතනය කරන්න සැළසුම් කළේ මේ අනුවයි.

මේ පිරිසෙහි නායකත්වය ගත්තේ ෆීලික්ස් යුසුපොව් කුමාරයා යි. එමෙන්ම මහාදිපාද දිමිත්‍රි පැව්ලොවිච් සහ ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කුමන්ත්‍රණයට හවුල් වුණා. යුසුපොව් කුමාරයා විවාහ වී සිටියේ අධිරාජයාගේ ලේලියක වූ ඉරිනා කුමරිය සමඟයි. කුමාරයාගේ මාළිගය වෙත රස්පුටින්ව කැඳවා ගැනීමට කුමන්ත්‍රණකරුවන් කළ ප්‍රයෝගය වූයේ ඉරිනා කුමරියට ඔහු මුණ ගැසීමට අවශ්‍යව ඇතැයි පැවසීමයි. සත්‍ය වශයෙන්ම ඇය එදින සිටියේ ක්‍රිමියාවේ මිස සාන්ත පීටර්ස්බර්ග් හි නොවේ. නමුත් ඒ බව රස්පුටින් දැන සිටියේ නැහැ.

1916 දෙසැම් බර් 30 වනදා රාත්‍රියේ රස්පුටින් යුසුපොව්ගේ මාළිගයට පැමිණියා. ඔහු සහ ඔහුගේ මිතුරන් රස්පුටින්ට කේක් සහ වයින්වලින් සංග්‍රහ කළා. යුසුපොව් පවසන ආකාරයට එම වයින් සහ කේක්වල සයනයිඩ් කවා තිබුණා. කුමරිය පැමිණෙන තෙක් සංග්‍රහය බුක්ති විඳින ලෙසයි ඔවුන් රස්පුටින්ට පවසා සිටියේ.

රස්පුටින් මරා දැමුණ ස්ථානය (Public Domain)

කෙසේ නමුත් කේක් සහ වයින්වලින් රස්පුටින් මරා දමන්න හැකි වූයේ නැහැ. රස්පුටින් කිසිදු ගණනක් නැතිව සිය සංග්‍රහය භුක්ති විඳිනු දුටු යුසුපොව් කලබලයට පත් වුණා. එක් අතකින් ඔහු මිය යන්නට ප්‍රමාද වුවහොත් ඔහුගේ සිරුර සැඟවීම පිළිබඳ ප්‍රශ්නයකට මිනීමරුවන් මුහුණ දෙනවා. අනෙක් අතට ඔහු කිසි ලෙසකින් හෝ මිය නොගියොත් මිනීමරුවන් ගේ උත්සාහය ව්‍යර්ථ වනවා. මේ නිසා යුසුපොව් ඇතුලු පිරිස හදිසි සාකච්ඡාවකින් පසු රස්පුටින් වෙඩි තබා මරා දමන්න තීරණය කළා.

යුසුපොව් පසුව සඳහන් කළ පරිදි වෙඩි පහර කිහිපයක් එල්ල වූ පසු රස්පුටින් ඇද වැටුණා. ඉන් පසු කුමන්ත්‍රණකරුවන් මඳක් ඉවත්ව ගියා. නමුත් සුලු මොහොතකින් යුසුපොව් ආපසු එම ස්ථානයට පැමිණියා.

මේ අවස්ථාවේ සිදු වූයේ ඔහු සිහිනෙන් වත් නොසිතූ දෙයක්. වෙඩි වැදී වැටී හුන් රස්පුටින් එකවර නැගී සිට යුසුපොව් දෙස කඩා පැන්නා. ඔවුන් පොර බදන්නට වුණා. යුසුපොව්ගේ වාසනාවට ඔහුගේ සගයින් එහි අවුත් පොලු මුගුරුවලින් ගසා රස්පුටින්ව මෙල්ල කර ගත්තා.

මෙවර පහර කෑමෙන් රස්පුටින් මිය ගිය බවක් දිස් වුණා. කුමන්ත්‍රණකරුවන් ඔහුගේ අතපය බැඳ ගෝනියක දමා පිටතට ගෙන ආවා. එදින අතිශයින්ම සීතල දිනයක්. කුමන්ත්‍රණකරුවන් ඔහුගේ සිරුර ගෙන ගොස් නෙවා ගඟට අත හැරියා.

දින කිහිපයකදී එම සිරුර සොයා ගැනුණා. ඒ වනවිට එහි අත පය බැඳ තිබූ බැමි කැඩී තිබූ බවත් පෙනහලුවල ජලය තිබූ බවත් සඳහන් වනවා. එහි අදහස නම් වස දීමෙන්, වෙඩි තැබීමෙන් සහ පහර දීමෙන් ද පසු ඔහු තවමත් ජීවත්ව සිටි බවයි.

රස්පුටින් මරා දැමීමෙන් රුසියානු පාලනය යහපත් වේ යයි ඔහුගේ ඝාතකයින් බලාපොරොත්තු වූ නමුත් එය එසේ සිදු වූයේ නැහැ. මාස තුනක් ඉක්ම යාමට පෙර රුසියානු රාජාණ්ඩුව බිඳ වැටුණ අතර 1918 දී රජ පවුල ඝාතනයට ලක් වුණා.

මූලාශ්‍ර: Jennifer Rosenberg, The Murder of Rasputin, thoughtco.com, Rasputin murdered, history.com

කවරයේ ඡායාරූපය: රස්පුටින් (Public Domain)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්