Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිතුරා වෙනුවෙන් දිවිදුන් මිනිසා: ව්ලදිමීර් කමරොෆ්

මිනිසා අභ්‍යවකාශය ජයගැනීමේ ක්‍රියාදාමයේ ඔබත් මමත් නොඇසූ නොදුටු විරුවන් කී දෙනෙක් සිටිනවා විය හැකිද? රුසියානු ගගනගාමී ව්ලදිමීර් කමරොෆ් එවන් විරුවෙක්. තම හොඳම මිතුරා වූ ලොව සුපතල යුරී ගගාරින් වෙනුවෙන් දිවිදුන් ඔහු අභ්‍යවකාශ මෙහෙයුමක දී මියගිය පළමු ගගනගාමියායි. මේ ඒ සැගවුණු ශ්‍රේෂ්ඨ විරුවා ගැන සටහනක්.

ව්ලදිමීර් කමරොෆ් උපත ළබන්නේ 1927 මාර්තු 16 වෙනිදා මොස්කව් නගරයේදි. ඔහුගේ ළමා කාලය එතරම් සුන්දර නොවුනත් ඔහු කුඩා අවදියේ සිටම ගණිත විෂයන්ට ඉතාමත් දක්ෂ සිසුවෙක් බව පැවසෙනවා. ඒ වගේම ඔහු කුඩා කාලයේ සිටම ගගනගාමියෙක් වීමට සිහින මැවූ කෙනෙක්. ඔහු 1942 දි පළමුවැනි මොස්කව් විශේෂ ගුවන්‍ හමුදා පාසලට ඇතුලත් වී තිබෙනවා. ඒ ඔහුට යන්තම් අවුරුදු 15ක් පිරෙනවාත් සමඟයි. ඔහු 1945දී සම්මාන දිනාගනිමින් ඔහුගේ පාඨමාලාව අවසන් කරනවා. ඉන්පසු ඔහු 1946 දී චෙක්ලෝව් උසස් ගුවන් හමුදා විදුහලෙන්ද A.K. සෙරොව් හමුදා පුහුණු පාසලෙන්ද පුහුණුව ලැබූ කමරොෆ් 1949 දි ලුතිනන් වරයෙක් ලෙස රුසියානු ගුවන් හමුදාවට එක් වෙනවා. ගුවන් හමුදාවේ සිටියදීම ගුවන්‍ යානා පිළිබදව විශාල ඉංජිනේරු දැනුමක් ලබාගත් නිසාම කමරොෆ් ඉංජිනේරු කපිතාන්වරයෙක් ලෙස උසස්වීමක් ලබාගෙන තිබෙනවා.

ව්ලදිමීර් කමරොෆ්    (www.alchetron.com)

කමරොෆ් අභ්‍යවකාශගාමියෙක් වූ අයුරු

රුසියානු සමූහාණ්ඩුව 1959දී නව අභ්‍යවකාශගාමීන් බඳවා ගැනීමට පවත්වන සම්මුඛ පරීක්ෂණයට කමරොෆ් ඉදිරිපත් වන්නේ තවත් පුද්ගලයන් 3000ක් සමගින්. ඔහුගේ ශරීර ප්‍රමාණය හා වයස නියමිත වූ කොන්දේසි වලට නොගැලපුනත්, ඔහු ගුවන් නියමුවෙක් වීම නිසා මෙන්ම ගුවන් යානා පිළිබඳ ඔහු සතුවූ විශේෂ ඉංජිනේරු දැනුම නිසා ඔහුව අවුරුදු 32දී අභ්‍යවකාශගාමියෙක් ලෙස ගුවන් හමුදා විශේෂ පළමු කණ්ඩායමට තේරී පත්වෙනවා.

Voskhod 1

කමරොෆ්ගේ පළමු අභ්‍යවකාශ තරණය වන්නේ Voskhod 1 ව්‍යාපෘතියයි. ඔහු එම මෙහෙයුමේ නායකයා ලෙස පත් කරන රුසියාව මේ සාර්ථක මෙහෙයුම අවසානයේ කමරොෆ්ට Order of Lenin  සහ Hero of the Soviet Union යන සම්මාන වලින් ගෞරව දක්වා තිබෙනවා.

Soyuz 1 මාරක මෙහෙයුම

Soyuz 1 ව්‍යාපෘතිය සදහා කමරොෆ් සුදුසුකම් ලබාගන්නේ තවත් ලෝක පූජිත ගගනගාමීන් වූ යුරී ගගාරින් සහ ඇලෙක්සී ලියනෝෆ් සමගයි. මේ කාලය වන විට යුරී ගගාරින් සහ කමරොෆ් හොදම මිතුරන් බවට පත්වී සිටිය බව පැවසෙනවා. මිනිසෙක් පෘථිවි කක්ෂය වටා ගමන් කරවීම හා දෙවනි යානයක් සමඟ අභ්‍යවකාශයේදී සම්බන්ධ කිරීම අරමුණු කරගත් මෙම මෙහෙයුම අවසන් වන්නේ ව්ලදිමීර් කමරොෆ් නම් ඒ අසහාය මිනිසාගේ මරණයෙන්. මේ මෙහෙයුමේ වැඩ කටයුතු සිදුකෙරෙන අතර ව්‍යාපෘති ඉංජිනේරුවන් යානයේ පැවති කාර්මික මෙන්ම සැලසුම් අඩුපාඩු 203 ක් පෙන්වා දී තිබුණත් දේශපාලන බලපෑම් මත ඒවා යටපත් වී තිබෙනවා. කමරොෆ් ඉංජිනේරුවෙක් වූ නිසාම මේ ප්‍රශ්නය ගැන රජයේ බලධාරීන් දැනුවත් කිරීමට උත්සහ කලත් ඔහුගේ අදහස බලධාරීන් ඉවත දමා තිබෙනවා. මේ යානයේ ගමන් කිරීමට කමරොෆ් තෝරාගෙන තිබුණු අතර යුරී ගගාරින් උපස්ථ නියමුවා ලෙස තෝරාගෙන තිබූ බව සදහන්. මේ ව්‍යාපෘතියේ තිබුණු දෝෂ ගැන යුරී ගගාරින් රුසියානු රජයේ ඉහලම නිළධාරීන් සමඟ දිගින් දිගටම ගැටුණත් ඔවුන් ව්‍යාපෘතිය නතර කිරීමටවත් එහි දෝෂ සකස් කිරීමටවත් ඉදිරිපත් වන්නේ නැහැ. යුරී පිටු 10ක ලිපියක් රුසියානු රජයට ඉදිරිපත් කළත් රුසියානු රජය එයට ප්‍රතිචාර දක්වන්නේ එම ලිපිය දුටු සියළු දෙනා සයිබීරියාවට පිටුවහල් කිරීමෙන්.

යුරී ගගාරින් වෙනුවෙන් කළ කැපකිරීම

යූරි ගගාරින් හා කොමොරොව් වර්ෂ 1964දී (Europress/AFP)

කමරොෆ් රුසියානු රහස් ඔත්තු සේවයේ සිටි ඔහුගේ මිතුරෙකුට පවසන්නේ “මම මේ ගමනින් ආපසු එන එකක් නැහැ” කියායි. අවශ්‍ය නම් කමරොෆ්ට යානයේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාව තිබුණා. එසේ වූයේ නම් යානයේ ගමන් කිරීමට සිදුවන්නේ යුරී ගගාරින්ටයි. ඒත් කමරොෆ් ඔහුගේ හොදම මිතුරා වූ ලෝක පූජිත ගගාරින්ගේ ජීවිතය අනතුරේ හෙලීමට කැමති වූයේ නැහැ. වෙන්යමින් රුසෙයෙව් නම් නිළධාරියා කමරොෆ්ගේ මරණයෙන් පසු කළ සම්මුඛ සාකච්ඡාවකදී කමරොෆ්

“මම මේ ගමන ගියේ නැත්නම් ඔවුන් සහයක නියමුවා මේ ගමනට මා වෙනුවට යවනවා. ඒ යූරා (යුරී ගගාරින්). ඔහු මා වෙනුවට මියයාවි. අපි ඔහුව කෙසේ හෝ රැකගත යුතුයි”

ලෙස ප්‍රකාශ කර හඩාවැටුණු බව පවසා තිබෙනවා. යානාව දියත් කරන දිනයේ එම ස්ථානයට පැමිණි යුරී ගගාරින් තම අභ්‍යවකාශ ඇදුම පැළඳගෙන කමරොෆ් වෙනුවට යානයට ගොඩවීමට උත්සහ කළ බවත් ඔහුව ඉවත් කිරීමට මහත්වූ වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් පුවත්පත් වාර්තාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් 1967 අප්‍රේල් 23 අදුරු දිනයේදී කමරොෆ් රැගත් Soyuz 1 යානය ගුවන් ගත කෙරන්නේ ඔහුගේ ඉරණම තීරණය කරමින්.

යානයේ දෝෂ හටගැනීම

යානයේ කාර්මික දෝෂ ඇරඹෙන්නේ යානය දියත් කර පැය කිහිපයක් ගත වන විටයි. යානයේ සූර්ය කෝෂ සහිත පියාපත් වල දෝෂයක් හටගැනීමෙන් ඒවා නිසි පරිදි දිග හැරෙන්නේ නෑ. මේ නිසා යානය කක්ෂගත වන විටත් යානයේ විදුලියෙන් ක්‍රියාත්මක වන සමහර උපාංග ක්‍රියාවිරහිත වී තිබුණු බව කමරොෆ් පෘථිවියට වාර්ථා කර තිබෙනවා. තවත් පැය කිහිපයක් යන විට ඉතා විශාල දෝෂ ගණනක් හට ගන්නා Soyuz 1මොඩියුලය යානයේ අක්ෂය වටාම භ්‍රමණය වීම ඇරඹෙන්නේ  කමරොෆ් අන්දමන්ද කරමින්. මේ අතර Soyuz 1 සමඟ සම්බන්ධ වීමට යැවීමට සැලසුම් කල Soyuz 2 යානය ගුවන් ගත නොකිරීමට බළධාරීන් තීරණය කර තිබෙනවා. එහි පෘථිවිය සමග සන්නිවේදනය බිදවැටුණු අතරම යානයේ තාපය පාලනය කරන පාලක පද්ධතියත් බිදවැටෙනවා. නමුත් කමරොෆ් ඔහුගේ දක්ෂ ඉංජිනේරු දැනුම භාවිතයෙන් පැය 5ක පමණ උත්සහයකින් පසු යානයේ දෝෂ හැකි පමණින් සකස් කර යානය ස්ථාවර තත්වයකට ගෙන එන්න සමත් වී තිබෙනවා. මේ අතර ඔහුට අත්විය හැකි ඉරණම ගැන වැටහුණු රුසියානු සමූහාණ්ඩුවේ ඉහල නිලධාරියෙක් වූ ඇලෙක්සී කොසිගෙන් වීඩියෝ ඇමතුමක් කමරොෆ්ට ලබාගෙන පවසන්නේ ඔහු ජාතික වීරයෙක් බවයි. කමරොෆ්ගේ බිරිඳටත් කමරොෆ් සමග කතා කිරීමට ඇලෙක්සී අවස්ථාව ලබා දී තිබෙනවා. මේ ඇමතුමේදී කමරොෆ් ඉතා සංවේදී වූ බව සදහන්. (මෙම සංවාදය ගැන විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වනවා. සමහරු මේ සංවාදය බොරුවක් බවයි පවසන්නේ)

යානය කඩා වැටීම

යානය නැවත පෘථිවි කක්ෂයට ඇතුල්වී පෘථිවිය දෙසට එන විට යානයේ වේගය පාලනය කරන පැරෂුට් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය පිළිබඳව ගගාරින් කමරොෆ් ඇතුළු පිරිස පෙරදී අනතුරු අඟවා තිබුණා. කමරොෆ් ඔහුගේ අතිරේක පැරෂුටය දිග හැරීමට උත්සහ කලත් එයද සාර්ථක වෙන්නේ නැහැ. උදෑසන 7ට පමණ ඉතා වේගයෙන් කමරොෆ් රැගත් යානය පොළොවට පතිත වී තිබෙනවා. යානයේ වේගයත්, ඝට්ටණයේදී ඇතිවූ ගින්නත් නිසා කමරොෆ් එම අවස්ථාවේදීම මියගිය අතර ඔහුගේ දේහයේ ඉතිරි වූ කොටස් ඔහුගේ පෙර ඉල්ලීමක් මත විවෘත දෙණක් තුල ප්‍රදර්ශනය කර මහජන ගෞරවය ලබාදුන්නා.

කොමරොව්ගේ දේහයේ අවශේෂ ප්‍රදර්ශනය කරමින් (RIA Novosti/Photo Researchers Inc)

කමරොෆ්ගේ භෂ්මාවශේෂ ක්‍රෙම්ලිනයේ තැන්පත් කෙරුණු අතර රුසියානු රජයේ ඉහලම ගෞරවයක් වන රන් තරුවෙන් ඔහුගේ සේවය අගය කෙරුණා. එමෙන්ම පළමු සඳ ගමනේ දී නීල් ආම්ස්ට්‍රොන්ග් කමරොෆ්ගේ සහ මියගිය තවත් ගගනගාමීන්ගේ නම් සදහන් පුවරුවක් සඳ මත සිටුවා තිබෙනවා.

කමරොෆ්ගේ දේහය  මිහිදන් කර ඇති ස්ථානය (www.alchetron.com)

කමරොෆ්ගේ නමින් සඳේ ආවාටයක් වගේම ග්‍රහකයක් නම් කර තිබෙන්නේ ඔහුට කෙරෙන උපහාරයක් වශයෙන්.

කමරොෆ්ගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරා වූ යුරී ගගාරින් ඉතා විශාල මානසික ආතතියකට පත්වූ බව සදහන් වනවා. කමරොෆ්ගේ මරණයෙන් වසරකට පමණ පසු ගුවන් අනතුරකින් යුරී ගගාරින්ද මෙලොවින් සමුගත්තා.

ව්ලදිමීර් කමරොෆ්ගේ චරිතයෙන් සැබෑ මිතුදම පිළිබඳව වගේම නොපසුබට උත්සාහය ගැනත් අපට ගතහැකි ආදර්ශ බොහෝයි.

කවරයේ පිංතූරය – යුරී ගගාරින් (වමේ) හා කොමොරොව් (RIA Novosti/Photo Researchers Inc)

Related Articles