Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශිෂ්ටතම සැඟවුණු වෙඩික්කරුවා – “ධවල මරණය” හෙවත් සිමෝ හයිහා

සතුරාට නිශ්චිතවම මරණය ගෙන එන සැඟවී සිටින වෙඩික්කරුවා යන අර්ථය ඇති ස්නයිපර්කරු, සටනක ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. හතරවන ඊළාම් යුද්ධයේදී LTTE සංවිධානයේ නායකත්වය හා ස්නයිපර්වරුන් බියෙන් සලිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රෝපල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ පිළිබඳව “වන්නි මෙහෙයුමේ සැඟවුණු වෙඩික්කරු – නීරෝ” නමින් පසුගිය දිනක ලිපියක් ගෙන ආවා ඔබට මතක ඇති.

ඉතින් අද ලිපියෙන් කතා කරන්නට සැරසෙන්නේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ස්නයිපර් වෙඩික්කරුවා පිළිබඳවයි. ෆින්ලන්තය හා රුසියාව අතර දෙවන ලෝක යුද්ධ සමයේ දෙරට දේශ සීමාවේදී ඇති වූ යුධ ගැටුම් වලදී තම ස්නයිපරයෙන් රුසියන් සෙබළු 505ක් පරලොව යැවූ ෆින්ලන්ත පාබල හමුදාවේ සාමාජික “ධවල මරණය “ හෙවත් සිමෝ හයිහා(Simo Hayha) ගැනයි අද ලිපිය.

මුහුණට එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන් විරූපී වී ගිය මුහුණක් හිමි සිමෝ හයිහාගේ ජීවිත කතාව අළලා නිර්මාණය වී ඇති චිත්‍රපට සමහරවිට ඔබ නරඹා තියෙන්නටත් පුළුවන්.

ෆින්ලන්ත – රුසියානු දේශ සිමාවේ ගොපළු කොළුවා

ෆින්ලන්තයේ හා රුසියාවේ පිහිටීම. (Barentsobserver)

1905 වසරේ දෙසැම්බර් 17 වනදා රුසියානු – ෆින්ලන්ත දේශ සිමාව අසළ ෆින්ලන්තයේ කෘෂි කාර්මික ගම්මානයක් වූ Rautjarvi හි උපත ලැබූ සිමෝ ළමුන් අට දෙනෙක්ගෙන් යුත් ගොවි පවුලක දෙවැනි දරුවා වුණා. කුඩා කළ සිටන්ම තම පවුලේ ගොවිපොළේ මහන්සි වී වැඩ කරන්නට පුරුදු වූ හේතුවෙන් ශක්තිමත් හා ඉහළ දරාගැනීමේ හැකියාවකින් යුක්ත වූ ගොපළු තරුණයෙක් ලෙස සිමෝව හදුන්වා දෙන්නට පුළුවන්.

කෘෂි කාර්මික කටයුතු වල හා දඩයමේ යෙදුනු සිමෝ හයිහා වසර 20 සම්පුර්ණ වන විට, එනම් 1925 දී, ෆින්ලන්තයේ 34 වන පාබල රෙජිමේන්තුවට ඇතුල් වෙනවා.  ඒ ෆින්ලන්ත යුද්ධ හමුදාවේ එක් වර්ෂයක් සේවය කිරීම සදහා පමණයි.

පාබල සෙබළෙක් ලෙස ෆින්ලන්ත යුද්ධ හමුදාවට

ඔහු භාවිතා කල 9mm Suomi submachine තුවක්කුව. (modernfirearms.net)

1925 වසරේදී ෆින්ලන්ත පාබල හමුදාවට ඇතුල් වෙන සිමෝ හයිහා පාබල සෙබලෙකු ලෙස මූලික පුහුණුව ලබනවා. අනතුරුව වසරක හමුදා දිවියෙන් පසුව නිත්‍යානුකූලව යුද්ධ හමුදාවෙන් ඉවත්වෙන සිමෝ ඒ වන විට ක්‍රෝපල් නිළය දක්වා උසස් වීම් ලබා තියනවා.

අනතුරුව ෆින්ලන්ත සිවිල් ආරක්ෂක සංවිධානයට බැඳෙන සිමෝ එහිදී ඉලක්කයට වෙඩි තැබීම සඳහා මනා ලෙස පුරුදු පුහුණු වෙනවා. ඉලක්කයට වෙඩි තැබීම සඳහා තදබල ආශාවක් දැක්වූ ඔහු වැඩි කාලයක් ගත කරන්නේ එළිමහනේ ඉලක්ක සොයමින්. මුල් කාලයේ ඒ සඳහා රුසියන් අවියක් වූ Mosin-Nagant bolt action M91 භාවිතා කළ ඔහු පසුව වැඩි දියුණු කරන ලද අවියක් වන 9mm Suomi submachine gun භාවිතා කරනවා.

ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව කොතරම් දුරට දියුණු කරගත්තාද පවසනවානම් ඔහුට විනාඩියකට 16 වතාවක් අඩි 500ක් දුරින් ඇති ඉලක්කයකට වෙඩි තැබිය හැකි වෙනවා.

මෙම ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව ස්නයිපර්වරයෙක් ලෙස පසුව දස්කම් දැක්වීමට මනා ලෙස උපයෝගී වූ බව සිමෝ විසින් පවසනවා.

ස්නයිපර්වරයෙක් ලෙස ශීත සෘතු යුද්ධයට

ශීත සෘතු යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන් (Euromaidan Press)

1939 වසරේදී ලොව මෙතෙක් සිදු වූ මහා සංග්‍රාමය ලෙස සැලකෙන දෙවන ලෝක යුද්ධයට සමගාමීව 1939 – 1940 වර්ෂ තුළදී හටගත් රුසියාව හා ෆින්ලන්තය අතර ශීත සෘතු යුද්ධය (The Winter War) සඳහා ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස සිමෝව සටන් පෙරමුණට කැදවනවා. මේජර් ජෙනරාල් Uiluo Tuompo යටතේ 6 වන බළකායට ඇතුල් වන ඔහු සෝවියට් රතු හමුදාවේ 9 වන හා 14 වන සේනාංක වලට එරෙහිව තම අවිය මෙහෙයවනවා.

මෙම යුද්ධය යනු ලොව මෙතෙක් පැවති ඉතාමත් කටුක දේශගුණයක් හමුවේ කළ යුද්ධයක් ලෙස හදුන්වන්නට පුළුවන්. විශාල වශයෙන්  හිම වැටුණු මෙම මාස හතරකට ආසන්න කාලයක් පුරා උෂ්ණත්වය වූයේ සෙල්සියස් අංශක -20ත් -40ත් අතර අගයක්. ඉතාමත් අදුරු කාලගුණයක් දවස පුරා පැතිරී තිබුණු අතර හිරු එළිය ලැබුනේ පැය කිහිපයක් පමණයි.

යුද්ධයෙන් මිය ගිය පිරිසට අමතරව රුසියානු හා ෆින්ලන්ත හමුදා සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් මෙම පරිසර තත්වයට හැඩ ගැසීමට නොහැකිව මිය යනවා. මේ ආකාරයෙන් ඉතා කටුක පරිසර තත්වයකදී තමයි සිමෝ විසින් ඉතා විශාල ඉලක්ක සංඛ්‍යාවක් සාර්ථක කර ගන්නේ.

සෝවියට් සෙබළුන් බියෙන් සලිත කළ “ධවල මරණය”

සිමෝ හයිහා හෙවත් ධවල මරණය සීත සෘතු යුද්ධයේදී (Pinterest)

හිමේ වර්ණය සඳහා අනුවර්තනය වෙමින් මුළු ශරීරයම වැසෙන ලෙස  සුදු පැහැති ඇදුමෙන් සැරසුණු සිමෝ හයිහා හුස්ම ගැනීම සඳහා කුඩා සිදුරක් පමණක් ඉතිරි කර මුළු මුහුණම වසාගෙන හිමේ සැඟවී “Mosin-Nagant M91” රයිෆලයෙන් තම ඉලක්ක ලබා ගැනීමේ කාර්යයේ නිරත වෙනවා. ඔහුගේ ඉලක්කයට අසු වෙන රතු හමුදා සොල්දාදුවෙකුට ජීවත් වීමට ඉඩකඩ නොලැබෙන බව දැන සිටි සෝවියට් රතු හමුදා සෙබළුන් සිමෝ හදුන්වන ලද්දේ සුදු පැහැති මරණය හෙවත් “ධවල මරණය” ලෙසයි.

1939 වසරේ දෙසැම්බර් මාසයේ මුලදී සටන් පෙරමුණට පිවිසෙන සිමෝ දෙසැම්බර් 22 වනදා වන විට ලබාගත් සාර්ථක ඉලක්ක ගණන 138ක් ලෙසත් 1940 වසරේ පෙබරවාරි 17 වන විට එය 219ක් ලෙසද මාර්තු 6 වනදා වන විට මරණයට පත්කළ සතුරන් ගණන 505ක් ලෙස වාර්තා වෙනවා. මොහු ලබා ගත් ඉලක්ක ගණන මීට වඩා ඉහළ බවත් වාර්තා වී තිබෙන්න 505ක් පමණක් බවත් සදහන් වෙනවා.

සිමෝගේ වම් හක්කට වැදුණු වෙඩිල්ල

සුව වීමෙන් පසු (TV Tropes)

දින 105ක් තිස්සේ යුධ පිටියේ සිටිමින් රුසියන් සෙබළුන් 505ක් පරලොව යැවූ සිමෝ පිළිබඳව රුසියන් පාබල හමුදාව දැඩි බියක් දක්වනවා. ඔහුව මරා දැමීම සඳහා රුසියානු හමුදා නායකන් විසින් වෙනම ඉලක්ක වෙඩික්කරුවන් පවා යොදවනු ලබනවා.

1940 වසරේ මාර්තු 6 වනදා රුසියන් ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයට හසු වෙන සිමෝගේ වම් හක්ක පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් කිදා බසිනවා. ඒ සමඟම ඇද වැටෙන සිමෝව රෝහල් ගත් කරන්නට ෆින්ලන්ත සොල්දාදුවන් සමත් වෙනවා. දින 11ක් කෝමා තත්වයේ සිටි සිමෝට සම්පුර්ණ සුවය ලැබීමට වසර පහක පමණ කාලයක් ගත වෙනවා. නමුත් ඔහු රෝහලෙන් පිටවන්නේ මුහුණ විරූපී වූ පුද්ගලයෙක් ලෙසයි.

1940 මාර්තු 13 වනදා රුසියන් ෆින්ලන්ත යුද්ධය නිමා වෙන අතර දෙරට අතර සාම ගිවිසුමක් ඇති වෙනවා. සුවය ලැබූ මේ විශිෂ්ට සැගවුණු වෙඩික්කරුවා දෙවන ලුතිනන් වරයෙක් දක්වා උසස් කිරීමට එරට ජනාධිපතිවරයා තීරණය කරනවා. ෆින්ලන්ත හමුදා ඉතිහාසයේ පළමුවරටයි එලෙස ක්‍රෝපලවරයෙකුට දෙවන ලුතිනන් වරයෙක් දක්වා උසස් වීමක් ලැබෙන්නේ.

1998 වසරේදී රූපවාහිනී වැඩසටහනකදී මෙතරම් මිනිසුන් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කණගාටුවක් ඇත්දැයි නිවේදකයෙකු විසින් විමසූ විට “ මා කලේ මට භාරදුන්න රාජකාරිය. ඒ නිසා මට කණගාටුවක් නෑ” යැයි ප්‍රකාශ කරනවා.

ෆින්ලන්තයේ ගෞරවනීය පුරවැසියෙක් ලෙස වසර 96ක් ජීවත් වූ සිමෝ හයිහා 2002 වසරේ අප්‍රේල් 1 වනදා මිය යන අතර ෆින්ලන්තයේ රුවෝකොලිහිට් දේවස්ථානය අසළ ඇති ඔහුගේ සොහොන් කොතට අදටත් වසරක් පාසා හමුදා ආචාරය පිරිනමනු ලබනවා.

කවරයේ ජායාරූපය – PPcorn

මුලාශ්‍ර – Wikipedia, badassoftheweek.com, damninteresting.com, historyextra.com, tvtropes.org

Related Articles