Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනි දැල් මැදින් ඇවිළුණු හන්ට්-ලවුඩා ෆෝමියුලා වන් ද්වන්ධ සටන

ෆෝමියුලා වන් ඉතිහාසය ගත් කල බොහෝ අවස්ථාවලදී තීරණාත්මක රියදුරන් දෙදෙනෙක් අතරේ ඇතිවන ගැටුම් අතිශය සුලබ වනවා. මේ ධාවකයන් දෙදෙනා බොහෝමයක් දුරට ප්‍රථම සහ දෙවන ස්ථාන සඳහා සටන් වදිනා අතර ම ඔවුන්ගේ ගැටුම් බොහෝවිට ඉතිහාසයේ ජනප්‍රිය සිදුවීම් ඇති කිරීමට ද මූලිකත්වය ගත්තා.

පසුගිය ෆෝමියුලා වන් තරග වාරයේ දී ඇතිවූ වර්ස්ටාපන් සහ හැමිල්ටන් අතර සටන, 1988/94 කාලයේ අයර්ටන් සෙනා සහ ඇලන් ප්‍රොස්ට් අතර ඇතිවූ ගැටුම මේ සිදුවීම්වලට හොඳ ම උදාහරණ ලෙසින් නම් කළ හැකි යි. ඒ අතරට එකතු වන තවත් ජනප්‍රිය සිදුවීමක් වන්නේ 1976 ෆෝමියුලා තරගවාරයේ දී නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් අතර ඇතිවූ ද්වන්ධ සටන යි.

නිකී ලවුඩා – www.entertaitmentweekly.com

නිකී ලවුඩා

ඔස්‍ට්‍රියානු ධාවකයෙක් වූ නිකී ලවුඩා 1976 ෆෝමියුලා වන් තරග වාරය ආරම්භ වීමට පෙර 1975 දී ලෝක ශූරයා බවටද පත් ව සිටියා. ලවුඩා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුපිරි ධාවකයෙක් සහ එම ධාවනය උදෙසා තමන්ගේ ජීවිතය ම කැප කොට සිටි පුද්ගලයෙක්. ඔහු මෝටර් රථ ධාවනයට අමතර ව ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හසළ දැනුමක් සහිත තැනැත්තෙක් ද වුණා.

විශේෂයෙන්ම ෆෝමියුලා වන් මෝටර් රථයක් නිෂ්පාදනය කොට එන්ජින් ධාරිතා වැඩි කිරීම්, රථය සැහැල්ලු කිරීම්, අවශ්‍ය ප්‍රමාණයට සැකසීම් යන දෑ හි සිට ධාවන පථයට පිවිසි විට දී අනෙක් ධාවකයන් සමඟ ධාවනය කොට ජයග්‍රහණය කිරීම දක්වා ම ඔහුගේ හැකියාව විහිදී තිබුණා. අනෙක් අතින් නිකී ලවුඩා යනු දැඩි අවධානයකින් යුතුව තම රාජකාරියට සිත යොමු කළ අයෙක්. ඔහුට වෙනත් කිසිඳු යමකට වඩා මෝටර් රථය සහ ධාවනය වැදගත් වුණා.

ජේම්ස් හන්ට් – www.f1.com

ජේම්ස් හන්ට්

ජේම්ස් හන්ට් යනු නිකී ලවුඩාගේ චරිතයෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වී ගිය අයෙක්. ඔහු සතු ව තිබුණේ සෙල්ලක්කාර ගතිගුණ කිවහොත් වඩාත් නිවැරදි යි. තමන් මෝටර් රථ ධාවකයෙක් බවත් ඉතාම අවදානම් රාජකාරියක නිරත වී සිටින බවත් සෑම විටෙකම අමතක කළ ඔහු ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කළ චරිතයක්.

ජේම්ස් හන්ට් තමන්ගේ ධාවනය සඳහා මෝටර් රථයට නැග, ධාවනය අවසන් කළ පසුව එම කාර්යය අමතක කොට දමනවා. නිතර ම සාදවලට පවා සහභාගී වෙමින් කාලය ගත කළ ඔහු, දක්ෂ ධාවකයෙක් වීම හැර වෙනත් වගකීමක් ගැන සිතුවේ නෑ. මේ නිසාවෙන් ම ජේම්ස් හන්ට් යනු එකල සිටි වඩාත් ආකර්ෂණීය ම ෆෝමියුලා වන් ධාවකයෙක් වුණා.

ජේම්ස් හන්ට් සහ නිකී ලවුඩා

ෆෝමියුලා වන් ධාවනයට එළඹීමට පෙර සිට ම නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් යනු එකිනෙකා සමඟ ගැටුණ චරිත දෙකක් ව සිටියා. ඔවුන් දෙපළ ම බෙහෙවින් අනෙක් චරිතය විවේචනයට ලක් කළා මෙන් ම මුහුණට මුහුණ හමු වූ අවස්ථාවලදී යම් යම් වචන හුවමාරු කර ගැනීමට ද අමතක කළේ නෑ. 1975 අවසන් වූ තරග වාරයේදී නිකී ලවුඩා ලෝක ශූරයා ලෙසින් අබිසෙස් ලබද්දී ජේම්ස් හන්ට් සිව්වන ස්ථානයට පත් ව තිබුණා.

නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් – www.f1.com

1976 දී මැක්ලරන් සමඟින් ගිවිසුම් ගත වන ජේම්ස් හන්ට් වෙනස් ම ආකාරයකින් එවර තරග වාරයට පිවිසෙනවා.  ලවුඩා ප්‍රකාශ කොට සිටින්නේ ජේම්ස් හන්ට් ගේ ජීවන රටාවත් සමඟින් ඔහුට ලෝක ශූරයෙක් වීමේ අපහසුවක් තිබෙන බව යි. ජේම්ස් හන්ට් සෑම විටෙක ම ඔහුගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කොට සිටියා. මේ නිසා තරගවාරය ආරම්භ වීමටත් පෙර සිට ම මේ දෙදෙනාගේ ගැටුම ආරම්භ වෙමින් තිබුණා.

1976 ලෝක ශූරතාවේ මුල් වට 

1976 ලෝක ශූරතාවේ තරග වාරය සඳහා ලොව වටා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් 16ක් පැවැත්වීමට කටයුතු සූදානම් වූවා. මේ 16 න් ආරම්භ වූ පළමු තරග දෙක ම නිකී ලවුඩා ජයග්‍රහණය කරද්දී ජේම්ස් හන්ට් පළමු තරගයෙන් ඉවත් වූ අතර ම දෙවන තරගයේ දෙවන ස්ථානයට පත් වුණා. 

 ස්පාඤ්ඤ අදියරේදී දස්කම් අතරට පැමිණෙන ජේම්ස් හන්ට් එම අදියර ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණය තමන්ට අභියෝගයක් නොවන බවට පෙන්වූ නිකී ලවුඩා ඊළඟට පැවති බෙල්ජියම් සහ මොනාකෝ අදියර දෙකම ජයග්‍රහණය කළා. මෙම තරග දෙක ම ජේම්ස් හන්ට්ට නිම කිරීමට නොහැකි වීම නිසා ලවුඩා සෑහෙන තරම් ලෝක ශූරතාවයේ ඉදිරියට පැමිණියා.

1976 තරගවාරයේ ධාවනයේ යෙදෙනා නිකී ලවුඩාගේ ෆෙරාරි රථය – www.scuderiafans.com

ඒ වන විට පැවති ග්‍රෑන්ඩ් ප්‍රික්ස් 6න් 4ක් ජයග්‍රහණය කොට සහ දෙවන ස්ථාන දෙකක් ද සමග ලවුඩා ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 48ක්. අසාර්ථක ආරම්භයක් ලබා ගෙන සිටි ජේම්ස් හන්ට් ප්‍රසාද ලකුණු 15ක් පමණක් ලබා ලෝක ශූරතා සටනේ පිටුපසින් රැඳී සිටියා. ඉන් පසුව පැවති අදියරවලදී ප්‍රංශ අදියරේ ජය ජේම්ස් හන්ට්ට හා බ්‍රිතාන්‍ය අදියරේ ජය නිකී ලවුඩාට හිමි වුණා.

අදියර 9ක් අවසානයේදී නිකී ලවුඩා ප්‍රසාද ලකුණු 61ක් සහ ජේම්ස් හන්ට් ප්‍රසාද ලකුණු 26ක් ලබා සිටියා. ඒ වන විටත් 1976 වසරේ ලෝක ශූරයා වන්නේ නිකී ලවුඩා බවට බොහොමයෙක් දෙනා අනාවැකි පළ කරමින් සිටියා.  මීළඟට පැවති 10 වන අදියර වූ ජර්මානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් හී දි කිසිවකුත් අපේක්ෂා නොකළ සිදුවීමක් සිදු වුණා.

ලෝක ශූරතාවට එක් වූ ජේම්ස් හන්ට් ධාවනය කළ මැක්ලරන් රථය – www.motorsports.com

මරණයේ සොහොන් බිම- නර්බරින්ග්

එවකට ජර්මානු ෆෝමියුලා වන් අදියර පැවැත්වුණේ නර්බරින්ග් නම් වූ ධාවන පථයක යි. මෙම ධාවන පථයේ එක් වටයක් කිලෝමීටර් 28.3 ක දිගකින් යුක්ත වීම විශේෂත්වයක්. එහි අතිශය භයානක වූ වංගු සහිත ස්ථාන මෙන් ම ධාවන පථයේ ධාවනය කිරීමට අතිශය අපහසු ස්ථාන ද සුලබ වුණා. මේ නිසා එම ධාවන පථය හැඳින්වුණේ මරණයේ සොහොන් බිම ලෙසට යි. 

1976 ජර්මානු අදියර පැවැත්වීමට ප්‍රථම අධික වර්ෂාවක් ඇද හැළෙමින් තිබුණා. මේ නිසා මෙම ධාවන පථයේ රථ ධාවනය කිරීම තවත් භයානක අදියරකට යමින් තිබුණු නිසා ධාවකයන්ට විශේෂ රැස්වීමක් කැඳවීමට සංවිධායකයන් කටයුතු කළා. එහිදී නිකී ලවුඩා එක හෙළා ප්‍රකාශ කර සිටියේ ධාවන පථය අතිශයින් ම භයානක තත්ත්වයකට පත් ව ඇති නිසා මෙම තරගය අවලංගු කළ යුතු බව යි.

1976 ජර්මන් අදියර ආරම්භ වෙමින් – www.f1.com

එම තරගය අවලංගු කිරීමේ වාසිය හිමි වන්නේ නිකී ලවුඩාට බව ජේම්ස් හන්ට් චෝදනා කොට සිටියා. මේ නිසාවෙන් තරගය අනිවාර්යයෙන් ම පැවැත්වීමට තමා යෝජනා කරන බවට ජේම්ස් හන්ට් අවධාරණය කළා. අවසානයේ දී රියදුරන්ගේ ඡන්දයකට ගොස් වැඩි ඡන්දෙයන් තරගය පැවැත්වීමට තීරණය වුණා. ඒ අනුව අතිශය අසීරු ධාවන පථය තෙත සහිත ව තිබිය දී ම තරඟය ආරම්භ කිරීමට තීරණය වුණා.

 ධාවන පථයේ ඛේදවාචකයක්!

ධාවන පථය තෙත සහිත වීම නිසාවෙන් තෙත ටයර් භාවිත කිරීමට කණ්ඩායම් ගණනාවක් කටයුතු කළා. නිකී ලවුඩා සහ ජේම්ස් හන්ට් ද මෙයට අයත්. ධාවන පථය වියළීමට ලක්ව තිබීම නිසා එය ඔවුන් දෙදෙනාට ම වාසියක් වුණේ නෑ. අවසානයේ දී පළමු වටයෙන් ම ටයර් මාරු කිරීමට දෙදෙනාට ම සිදු වුණා.

ඉන් අනතුරුව ලවුඩා අතිශය වේගවත් ධාවනයක නිරත වෙමින් ධාවන පථයේ කිලෝමීටර් 10.8 ක් ගිය පසු හමුවන බර්ග්වර්ක් කෝනර් නම් ස්ථානයට පැමිණියා. එම ස්ථානයේ දී මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකි වූ ලවුඩාගේ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට විසි වී පැති බැම්මේ ගැටී නැවතත් ධාවන පථයට ම පැමිණියා. පිටුපසින් පැමිණ තිබුණු බ්‍රෙට් ලන්ගර්, අර්ටුරෝ මෙර්සාරොයෝ ගේ රථ ද එහි ගැටුණා.

අනතුරෙන් පසුව ගිනි ගන්නා නිකී ලවුඩා සිටි ෆෙරාරි රථය – www.mirror.co.uk

මෙම ගැටීම් සමඟ ම නිකී ලවුඩා සිටි ෆෙරාරි රථය ගිනි ගැනීමට ලක් වුණා. ලන්ගර්ට පෙර මෙවැනි අත්දැකීම් තිබුණ නිසා ඔහු වහා ම තම මෝටර් රථයෙන් පැන පැමිණ ලවුඩාව ඉවතට ගැනීමට උත්සාහ කළා. නමුත් එය පහසු වූයේ නෑ. ධාවන පථයේ සේවකයන්ද සමඟ ගින්න නිවමින් ඔහු ඉවත ගනිද්දී සෙල්සියස් අංශක 800 ක පමණ උෂ්ණත්වයක නිකී ලවුඩා විනාඩියක් පමණ ගින්නකට අනාවරණය වී තිබුණා.

 නිකී ලවුඩාට මරණීය තුවාල

මෙම ගින්නට හසු වීම නිසා නිකී ලවුඩාගේ ශරීරය දරුණු ලෙස පිළිස්සීමට ලක් වුණා. පෙනහළු තුළට දුම ආඝ්‍රාණය වීම නිසාවෙන් විස වායුවෙන් පෙනහළු පිරීම මෙන් ම අනතුර නිසා ඇතිවූ තවත් අභ්‍යන්තර තුවාළවලට ද ඔහු මුහුණ දුන්නා. මේ නිසා ම නිකී ලවුඩාගේ ජීවිතය පවා අවදානමක තිබුණා. 

මේ අතරේ ඔහු අනතුරට මුහුණ දුන් ජර්මානු අදියර ජේම්ස් හන්ට් ජයග්‍රහණය කළා. කෝමා තත්ත්වයක සිටි නිකී ලවුඩා ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත්වුණු අතර ම ඔහුගේ මුහුණ බොහෝ සෙයින් පිළිස්සීමට ලක් වී තිබුණා. ඉන් අනතුරුව නිකී ලවුඩා පෙනහළු පිරිසිදු කිරීමට භාජනය වූ අතරම එය ඉතා වේදනාකාරී ක්‍රියාවක් වුවත් නැවතත් ඉක්මනින් යථා තත්ත්වයට පැමිණීමේ අටියෙන් ඔහු දිගින් දිගට ම පෙනහළු පිරිසුදු කිරීම සිදු කළා.

ගිනි ගෙන දැවෙන ලවුඩා ඉවතට ගැනීමට උත්සාහ කරන අයුරු – www.foxsports.com

මේ අතරවාරයේ දී ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිගටම ක්‍රියාත්මක වූ අතර ලවුඩා නොමැති වීමේ වාසිය ජේම්ස් හන්ට් ලබා ගත්තා. ඔහු ඕස්ට්‍රියා අදියරේ සිව්වැනියා වුවත් නෙදර්ලන්ත අදියර ජයග්‍රහණය කළා.

අනපේක්ෂිත පැමිණීම

ජර්මානු අදියර නිමා වී සති 6ක් ඉක්ම යද්දී ඉතාලි අදියර ක්‍රියාත්මක වීමට සූදානමින් තිබුණා. නමුත් මේ මොහොතේදී කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි තම තුවාල සම්පූර්ණයෙන් ම සුව වීමටත් ප්‍රථම නිකී ලවුඩා ධාවන පථයට පැමිණ තිබුණා. අනතුරකින් මරණීය තුවාළ ලබා ඉන් අනතුරුව සති 6 කින් ඔහු නැවත ධාවන පථයට පිවිසීම සියලු ම දෙනා විමතියට පත් කරන්නක් වුණා.

අනතුරෙන් පසුව පැමිණ සිටි ලවුඩා – www.the42.com

ලෝක ශූරතාව තමන් අත නොහරින බවට පෙන්වමින් අතිශය ධෛර්යයක් සටහන් කළ නිකී ලවුඩා ඉතාලි අදියරේ සිව්වෙනියා ලෙසින් තරගය නිමා කළා. එදින ඔහු ෆෝමියුලා වන් පිටියේ සැබෑ වීරයෙක් බවට පත් ව තිබුණා. මීළඟ අදියර දෙකේදී ද ලවුඩා සාර්ථක නොවූ නමුත් ජේම්ස් හන්ට් ජයග්‍රහණ දෙකක් වාර්තා කළා. මේ නිසා අවසන් තරග දිනයට පැමිණෙන විට ජේම්ස් හන්ට් ප්‍රසාද ලකුණු 66ක් සහ නිකී ලවුඩා 68ක් ලබා සිටියා.

අවසන් සටන

ජපාන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර අවසන් ලෝක ශූරතා අදියර වූ අතර ම එය නිකී ලවුඩා පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීම ජේම්ස් හන්ට්ට අනිවාර්ය වී තිබුණා. එදින ද තරගයට පෙර දරුණු වර්ෂාවක් ධාවන පථයට ඇද වැටෙමින් තිබුණා.

සුපුරුදු පරිදි තරගය ආරම්භ කළත් තරග වට කිහිපයක් ධාවනය කිරීමෙන් අනතුරු ව ෆෝමියුලා වන් ලොව ම පුදුමයට පත් කරමින් නිකී ලවුඩා ධාවනයෙන් ඉවත් වුණා. ඒ මෙම වර්ෂාව මධ්‍යයේ ධාවනය කිරීම අතිශය අවදානම් බවට ප්‍රකාශ කරමින්. ඉන් පසුව ජේම්ස් හන්ට්ට ලෝක ශූරයා වීමට නම් අවම අවශයෙන් තෙවන ස්ථානය දිනා ගැනීම ප්‍රමාණවත් වුණා.

තරගයේ අවසන් වට වලදී ටයර් ගෙවී ගොස් ඒවා මාරු කිරීමට යම් ප්‍රමාදයක් ඇති වූවත් ජේම්ස් හන්ට් තෙවනියා ලෙසින් තරගය නිමා කළා. ඒ අනුව නිකී ලවුඩාට වඩා එක් ප්‍රසාද ලකුණක් ඉදිරියෙන් සිටි ජේම්ස් හන්ට් පළමු වතාවට 1976 දී ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත් වුණා.

1976 ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනූ ජේම්ස් හන්ට් – www.f1.com

1976 න් පසු

ජේම්ස් හන්ට් එතැන් පටන් නැවතත් ෆෝමියුලා වන් පිටියේ සාර්ථක රියදුරෙක් වුණේ නෑ. මේ නිසා ඔහුගේ ක්‍රීඩා දිවිය 1979 දී නිමාව දුටුවා. ඉන් අනතුරු ව ෆෝමියුලා වන් විස්තර විචාරකයෙක් බවට පත් වූ ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. ඔහුගේ සෙල්ලක්කාර දිවිය එතනින් නිමා වුණේ ද නෑ. ජේම්ස් හන්ට් තම සුපුරුදු දිවිය ම ගත කළා. 1993 දී 45 හැවිරිදි වියේ පසු වූ ඔහු හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණයට පත් වුණා.

තමන්ගේ අනතුරේ අමිහිරි මතක අමතක කර දැමූ නිකී ලවුඩා නැවතත් 1977 දී ලෝක ශූරයා වුණා. 1979 දී ෆෝමියුලා වන් ධාවන පථයෙන් විශ්‍රාම ගොස් නැවත 1982 දී ධාවනයට එක් වන ඔහු 1984 දී තෙවන වතාවටත් ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. එවර ඔහු ලෝක ශූරයා වෙද්දී ජේම්ස් හන්ට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයක්.

නිකී ලවුඩා අවසන් කාලයේ මර්සිඩීස් සමඟ කටයුතු කරමින්. අනතුරෙන් පිළිස්සීම නිසා ඇතිවූ තුවාළ කැළැල් ඔහු මිය යන තුරුම දක්නට ලැබුණා – www.grandprix247.com

ඉන් අනතුරුව ෆෝමියුලා වන් කළමනාකාරිත්වයට පැමිණෙන නිකී ලවුඩා ෆෙරාරි සහ ජගුවර් කණ්ඩායම්වල කළමනාකරු වුණා. 2012 දී මර්සිඩීස් කණ්ඩායමේ කළමනාකරු වූ ඔහු එයට ලුවිස් හැමිල්ටන් ලබා ගැනීමට ද සැලකියයුතු කාර්යභාරයක් ඉටු කළා. වකුගඩු ආශ්‍රිත ව ඇතිවූ රෝග තත්ත්වයන් නිසාවෙන් 2019 දී නිකී ලවුඩා සුරිච් හී රෝහලක දී නින්දෙන් ම අවසන් සුසුම් හෙළුවා. මියයන විටදී ඔහුගේ වයස අවුරුදු 70ක් ලෙසින් සටහන් වුණා.

කවරයේ ඡායාරූපය -ජේම්ස් හන්ට් පළමු වතාවට 1976 දී ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත් වුණා - www.autoweek.com
මූලාශ්‍ර :
www.f1.com
www.jameshunt.com
www.express.co.uk
www.skysports.com
www.snaplap.net

Related Articles