Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පැතිර ඇති රටවල් පහ

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් අද පවතින රටවල් දැක්වෙන සිතියමක්. මෙහි රතු පැහැයෙන් මායිම් කළ ප්‍රදේශය මායා ශිෂ්ඨාචාරය පැතිරුණ ප්‍රදේශය වේ  (Wikimedia Commons)

මීට කලින් මායා ශිෂ්ඨාචාරය පිළිබඳව ලිපියක් අප ඔබට ගෙන ආ අතර, වර්තමානයේ දී සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්ව ඇති, මායා ශිෂ්ඨාචාරයේ දියුණුව පිලිබිඹු කරන නටඹුන් පැතිර ඇති රටවල් පහක් පිලිබදව මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්නට අප සිතුවා. මෙක්සිකෝව ආශ්‍රිතව සංචාරයක නිරතවෙනවා නම් මේ ස්ථාන අනිවාර්යයෙන්ම දැකබලා එන්නට අමතක කරන්න එපා.

01. බෙලීස්

නිල් කුහරය (www.chabilmarvillas.com)

මායා ශිෂ්ඨාචාරයේ මිලියන දෙකක් පමණ වූ මායාවරුන්ට නිවහන සැපයු මේ ප්‍රදේශය​ ආශ්‍රිතව ආගමික පන්සල්, පිරමීඩ, දියුණු විද්‍යාත්මක යොදාගැනීම්, කෘෂිකර්මාන්තය, මාළිගා වලට අදාල නටඹුන් දැකගන්නට පුළුවන්.

ඉහත සදහන් කළ කරුණු වලට උදාහරණ විදියට පාෂාණ කාන්තාව, අල්ටුනා හා, කැරකොල්, ලමනායි, සෙරෝ මායා වැනි ආගමික අවශ්‍යතා වලට ඉදි කළ පිරමීඩ දක්වන්න පුළුවන්. ඒ වගේම බෙලීස් ආශ්‍රිතව මුහුදේ පිහිටා තිබෙන නිල් කුහරයද මායා ශිෂ්ඨාචාරයේ ගවේෂණයන්ට ලක්වූවක් වගේම සංචාරකයින් වැඩිපිරිසක් ආකර්ශණය කරගන්නා ස්ථානයක්. එහි වෘත්තාකාර විවරයේ විෂ්කම්භය මීටර 300ක්ද, ගැඹුර මීටර 125ක් ද පමණ වනවා.

02. ගෝතමාලාව

ටිකාල්හි පිහිටා ඇති මායා ශිෂ්ඨාචාරයේ උසම ගොඩනැගිල්ල (www.cahalpech.com)

මායා ශිෂ්ඨාචාරයේ හදවත ලෙස සලකන වර්තමානයේ ගෝතමාලා රටට අයත් ප්‍රදේශය, මායා​ ශිෂ්ඨාචාරයේ දියුණුම අවධියේ පැවති ප්‍රදේශයක් වනවා. ගෝතමාලා වනය තුල ඇති මේ ප්‍රදේශය ආශ්‍රිතව අද වනවිට පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකල ස්ථාන 5000ක පමණ ප්‍රමාණයක් පවතිනවා.

එල් මිරාදෝර්, උකස්අටුන් (මෙම ඉදිකිරීම සිදුකරන කාලයේ මායාවරුන් තාරකා විද්‍යාව යොදාගෙන කැලැන්ඩරය නිර්මාණය කර තිබෙනවා. එලෙසම මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදීත් ඔවුන් තාරකා විද්‍යා දැනුම භාවිතා කළ බව පැවසෙනවා) වැනි ගොඩනැගිලිවල නටඹුන් මෙහි පවතිනවා. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධ මායා ශිෂ්ඨාචාරයට අයත් නටබුන් වන ටිකාල් ආගමික පිරමීඩ සමූහය පිහිටා ඇත්තේත් මේ ආශ්‍රිතවයි. මායා ශිෂ්ඨාචාරයේ පිහිටි උසම ගොඩනැගිල්ලත් පිහිටා තිබෙන්නේ ටිකාල් පිරමීඩ සමූහය අතරයි.

03. එල් සැල්වදෝරය​

ටසුමාල් නටඹුන් අතර ඇති පිරමීඩයක ඦායාරුපයක් (tripfreakz.com)

එල් සැල්වදෝරය​ ආශ්‍රිතව පිහිටි නටඹුන් මායා ශිෂ්ඨාචාරයේ අනෙකුත් ස්ථාන තරම්ම වැදගත් නොවුවත්, මායාවරුන්ගේ පැවති දියුණුව මනාව පෙන්වන නටඹුන් කිහිපයක්ම පවතිනවා. ජෝයා ඩි සෙරේන්  නටඹුන් (මායාවරුන් ජිවත්වන කාලයේ මේ අසල සිදුවූ ගිනිකදු පිපිරීම් නිසා මේ ප්‍රදේශය විනාශ වී තිබෙනවා. එහිදී පිටවූ අලුවලට වැසි තිබී සොයාගත් නටඹුන් අද දැකගන්න පුළුවන්. මේ ප්‍රදේශය ඇමරිකාවේ පොම්පේ නගරය ලෙසත් හදුන්වනවා), ටසුමාල් නටඹුන් (මේ නටඹුන් සමූහය තුල පිරමීඩ, සොහොන් ආදී දේ දැකගන්න පුළුවන්. මේ ප්‍රදේශය එකල වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින්නට ඇතැයි සැලකෙනවා) ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයේ දැකගන්න පුළුවන්.

04. මෙක්සිකෝව

2007 වසරේ ලොව පුදුම හතෙන් එකක් ලෙස නම්කළ කුකුල්කාන් පිරමීඩයේ ඦායාරුපයක් (en.wikipedia.org)

මෙක්සිකෝව ආශ්‍රිතව මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පිහිටි ස්ථාන 500ක් පමණ දැනට සොයාගෙන තිබෙනවා. ඒ අතරින් චීචෙන් ඉට්සා නටඹුන් නගරය (පිරමීඩ, සොහොන් ආදී ගොඩනැගිලිවල නටඹුන් මෙහිදී දැකගන්න පුළුවන්. ඒ වගේම මායාවරුන්ගේ ආගමික කටයුතු වලට මේවා යොදාගන්නට ඇතැයි සැලකෙනවා. කුකුල්කාන් පිරමීඩය පිහිටා ඇත්තෙත් මේ නටඹුන් අතරයි. එය 2007 දී ලොව පුදුම හතෙන් එකක් ලෙසද නම්කරනු ලැබුවා), පැලන්කෝ නටඹුන් (මේ නටඹුන් නගරය ප්‍රධාන වශයෙන්ම මාළිගාවක ආකෘතියක් ගෙන ඇති බවට සැලකෙනවා. මෙහි ඊජිප්තුවෙහි මෙන් රජු වෙනුවෙන් සොහොන් ගැබක්ද නිර්මාණය කල බවට සාධක හමුවනවා) ආදිය වනවා.

05. හොන්ඩුරාස්

කෝපන් නටඹුන් නගරයේ මායාවරුන් නිර්මාණය කල ක්‍රීඩා පිටියේ ඦායාරුපයක් (Adalberto Hernandez Vega / Wikimedia Commons)

හොන්ඩුරාස්හි පිහිටි මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් අතරින් කෝපන් නගරය විශාල වැදගත්කමක් දරනවා. එනිසාම 1980 වසරේ ලෝක උරුමයක් ලෙසත් මේ ප්‍රදේශය නම්කරනු ලැබුවා. නගරයේ නටඹුන් අතර මායා ශිෂ්ඨාචාරයේ භාවිතා කළ, පන්දු ක්‍රීඩා කිරීමට යොදාගත් ක්‍රීඩා පිටියක් මේ නගරයේ පිහිටා තිබෙනවා. ඒ වගේම එය පිරමීඩ, සොහොන් ආදී නගරයකට අවශ්‍ය සියලු ගොඩනැගිලි වලින් සමන්විත වනවා. මායාවරුන් 20,000ක පමණ ජනගහනයක් මේ නගරය අවට ජීවත්වන්නට ඇතැයි සැලකෙනවා.

කවරයේ පින්තූරය : secretflying.com

Related Articles