Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර යුරෝපයේ බෙදුම්වාදී ව්‍යාපාර​ හතක්

01. ස්පාඤ්ඤයේ කැටලෝනියාව

කැටලෝනියාව (BBC)

ස්පාඤ්ඤයේ උතුරුදිග කැටලෝනියා ප්‍රදේශය බටහිර යුරෝපයේ ප්‍රබලතම බෙදුම්වාදී ව්‍යාපාරය පවතින ප්‍රදේශය යයි සඳහන් කළ හැකියි​.

කැටලෝනියානු භාෂාව භාවිතය පිළිබඳ 1939-75 සමයේ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රෙන්කෝගේ පාලන කාළය තුළ සීමා පනවා තිබුණත් පසුව ඔවුනට විශේෂ වරප්‍රසාද හිමි වුණා. ඔවුනට වෙනමම ප්‍රාදේශීය පාර්ලිමේන්තුවක් පවා ලබා දෙනු ලැබුණා. ස්පාඤ්ඤයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පහෙන් එකක් පමණ කැටලෝනියාවේ උත්පාදනය වනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ ස්පාඤ්ඤ මධ්‍යම රජයේ නරක ආර්ථික ප්‍රතිපත්ති නිසා වඩා පොහොසත් තම පළාතට අසාධාරණයක් වන බවයි. ස්වාධීනත්වය ඉල්ලීමට ප්‍රධාන හේතුව එයයි.

2017 ඔක්තෝබර් 1 වනදා මෙහි පැවති ජනමත විචාරණයකදී සියයට 90 ක් ඡන්ද දායකයන් ස්වාධීනතාවට සහය පළ කළ බව කැටලෝනියා ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙයින් පසු විශාල අර්බුදයකට කැටලෝනියාව ගමන් කළ අතර එහි ප්‍රාදේශීය බලතල අහෝසි කොට කැටලෝනියානු පාර්ලිමේන්තුව සඳහා නව මැතිවරණයක් කැඳවීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය පියවර ගනිමින් සිටිනවා.

02. ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ බාස්ක් ප්‍රදේශ​

බාස්ක් ප්‍රදේශ (Wikimedia Commons)

උතුරුදිග ස්පාඤ්ඤයේ බාස්ක් ජනයා වසන ප්‍රදේශයේද ප්‍රාදේශීය පාලනයක් පවතින අතර එහි බදු මුදල් බොහොමයක් මධ්‍යම රජය වෙත යවන්නේ ද නැහැ. එහෙත් එය රටේ දුප්පත්ම ප්‍රදේශයක්. 1959 සිට ක්‍රියාත්මක වූ ETA ත්‍රස්තවාදීන් හේතුවෙන් මෙම අර්බුදය වඩා ප්‍රචලිත වුණා. ETA සංවිධානය 2014 දී සන්නද්ධ කටයුතුවලින් ඉවත් වන බව ප්‍රකාශ කළා.

නිරිතදිග ප්‍රංශයේද බාස්ක් ජනයා වසන අතර එහි ස්පාඤ්ඤයේ තරම්ම බෙදුම්වාදය ප්‍රබල නැහැ.

03. ප්‍රංශයේ කෝර්සිකාව​

කෝර්සිකාව (BBC)

1769 දී ප්‍රංශය විසින් කෝර්සිකාව ඈඳාගත් අතර අද එය එරට පළාත් 18 න් එකක්. එය කඳුකර දූපතක් වන අතර එහි ජනයා සාම්ප්‍රදායිකව නිදහස්කාමී ජනතාවක්.

1976 සිට ක්‍රියාත්මක වන කෝර්සිකානු ජාතික විමුක්ති පෙරමුණ එම ප්‍රදේශය ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට ප්‍රකාශ කරන ත්‍රස්ත සංවිධානයක්. මෑත කාලයේදී අවස්ථා කිහිපයකදීම ඔවුන් සන්නද්ධ අරගලය අතැර දමන බව සඳහන් කළ ද එයින් කැඩී ගිය කණ්ඩායම් තවමත් ක්‍රියාත්මකයි.

සම්පූර්ණ ස්වාධීනතාවය සඳහා විශාල සහයක් නැතත්, කෝර්සිකාවට ස්වයං පාලන අයිතීන් පුළුල් ලෙස ලබා දිය යුතු බව එහි ජනයාගෙන් සැළකිය යුතු පිරිසක් කියා සිටිනවා.

04. ප්‍රංශයේ බ්‍රිටනිය​

බ්‍රිටනිය (pinterest.com)

කෙල්ටික් ජනයා විසූ ප්‍රදේශවලින් එකක් වන බ්‍රිටනිය කළින් ස්වාධීන රාජාණ්ඩුවක්ව පැවත පසුව ප්‍රංශයට යටහත් ආදිපාද ප්‍රදේශයක්ව පැවතුණා. ඉන්පසු එය ප්‍රංශය හා එක්වූ නමුත් එයට විශේෂ වරප්‍රසාද හිමිව තිබුණා. 1789 ප්‍රංශ විප්ලවයෙන් පසු එම අයිතීන් අහිමිව ගියා.

බ්‍රිටනියේ 1971 සිට ක්‍රියාත්මක බ්‍රෙටන් විප්ලවකාරී හමුදාව නම් කුඩා ත්‍රස්ත සංවිධානයක් වන අතර එය බෝම්බ පිපිරවීම් හා වෙනත් ත්‍රස්ත ක්‍රියා 200 ක පමණ යෙදී ඇතැයි සඳහන්. නමුත් ඔවුන් ජීවිත හානි අවම වන ලෙස මෙම ක්‍රියාවල නිරත වන අතර ඔවුනගේ ඉලක්කය දේපල හානි සිදු කිරීමයි.

2013 දී කරන ලද සමීක්ෂණයකට අනුව බ්‍රෙටන් ජාතිකයන් සියයට 20 කට කිට්ටු ප්‍රමාණයක් ස්වාධීනතාවට පක්ෂ බව සඳහන් වුණා.

05. එක්සත් රාජධානියේ ස්කොට්ලන්තය​

ස්කොට්ලන්තය (Wikimedia Commons)

1603 දී එංගලන්තය​, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය එකම රජ කෙනෙකුගේ පාලනය යටතට පත් වූ අතර එක්සත් රාජධානිය නිල වශයෙන් පිහිටුවන ලද්දේ 1707 දීයි. ස්කොට්ලන්ත ජාතිකවාදීන් සඳහන් කරන්නේ එරට එක්සත් රාජධානියෙන් වෙන් විය යුතු බවයි. මීට ජාතික මෙන්ම ආර්ථික කරුණු ද බලපා තිබෙනවා.

ස්කොට්ලන්ත ස්වාධීනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානම පක්ෂය වන්නේ ස්කොටිෂ් ජාතික පක්ෂයයි. 2014 දී පැවති ස්වාධීනත්වය පිළිබඳ ජනමත විචාරණයකදී ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක් ලෙස සිටීමට තීරණය කළා. නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ඡන්දයේදී ස්කොට්ලන්තයේ බහුතරයක් දෙනා ඊට විරුද්ධ වූ හෙයින්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු නැවත ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳ ස්කොටිෂ් ජාතික පක්ෂය අදහස් දක්වා තිබෙනවා.

06. ඉතාලියේ දකුණු ටිරොල්

ට්‍රෙන්ටිනෝ – දකුණු ටිරොල් ප්‍රදේශය (worldatlas.com)

ජර්මන් බස කතාකරන වැසියන් බහුතරයක් ජීවත් වන දකුණු ටිරොල් ප්‍රදේශය ඔස්ට්‍රියාවෙන් ඉතාලියට පවරා ගන්නා ලද්දේ පළමු ලෝක යුද්ධය අවසානයේදී ය​. එය යළි ඔස්ට්‍රියාවට එක් විය යුතු බවට දකුණු ටිරොල් වැසියන් සමහරෙකුගේ අදහස වන අතර ඇතමුන් දකුණු ටිරොල් ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට තර්ක කරනවා.

07. ඉතාලියේ පදානියා

උතුරුදිග ලීගය ඉල්ලා සිටින පදානියාව (Wikimedia Commons)

උතුරු ඉතාලියෙහි ක්‍රියාත්මක උතුරුදිග ලීගය විසින් යෝජනා කරනු ලබන ප්‍රදේශයකි. මුල් කාලයේ දී ඉතාලියෙන් වෙන්ව යා යුතු බව ඔවුන් විසින් සඳහන් කරන ලද නමුත්, පසු කලෙක ෆෙඩරල් ක්‍රමයක් සඳහා උතුරුදිග ලීගය කැමැත්ත දක්වා තිබෙනවා. ඔවුන් උතුරු ඉතාලියට වෙනම පාලනයක් ඉල්ලන්නේ ආර්ථික කරුණු මතයි. උතුරු ඉතාලිය වඩා ධනවත් වන අතර තම ප්‍රදේශයෙන් උපයන බදු මුදල් වෙනත් ප්‍රදේශ සඳහා වියදම් කිරීම ඔවුන් රුස්සන්නේ නැහැ.

ඔක්‍තෝබර් 22 වනදා උතුරුදිග ප්‍රදේශ දෙකක් වන ලොම්බාර්ඩි සහ වැනේටෝ හි පැවති ජනමත විචාරණවලදී, එම ප්‍රදේශවලට වැඩි ස්වයං පාලනයක් දිය යුතු බව, ඒවායේ ජනතාවගෙන් විශාල පිරිසක් කියා සිටියා.

Cover Image: ස්කොට්ලන්ත ධජය​ (haggisadventures.com)

Related Articles